මියගිය නන්දා මාලිනීගේ භූමිකාව

 

ලංකාවේ ගීත කලාව තුළ ගැඹුරු මුද්‍රාවක් තැබූ ගායිකාවක වන නන්දා මාලිනී 2026 අගෝස්තු 20 වන දින පස්වරුවේ නාවල පිහිටි ඇයගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වූවාය. ඇයගේ අභාවයත් සමග ඇය විසින් දායක වූ නිර්මාණ පිළිබඳ සංවාදයක් ආරම්භ විය.  මාලිනීගේ සංගීත නිර්මාණ සහ ඇයගේ ජීවන භාවිතාව පිලිබඳ ඇගයීමකට වඩා එකී සංවාදයට මැදිහත් වීම වඩා වැදගත් වේ. එම සංවාදයේ ප‍්‍රධාන පැතිමාන දෙකක් නිරීක්ෂණය කළ හැකිය. එකක් කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව සම්බන්ධයෙන් මතුපිටින් ගිය සංවාදයයි. අනෙක ඊට ගැඹුරින් තිබු සමාජය ප‍්‍රගතිශීලී සහ ප‍්‍රතිගාමී ලෙස දෙකට බෙදුණු සංවාදයයි.

පළමුවැන්න සඳහා නන්දා මාලිනී වස්තු බීජයක් වීම වටහා ගත හැකිය. ඒ ඇයගේ ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’  වැනි දේශපාලන අරුත් රැුගත් නිර්මාණ සමුච්ඡුයන් හරහා ඇය එක්තරා ආකාරයකින් ලංකාවේ ප‍්‍රවණතාත්මක කලාවේ සංකේතයක් බවට පත්වී සිටීමයි. නන්දා මාලිනීට අමතරව ලංකාවේ එවැනි සංකේතාත්මක භුමිකාවකට පණ පෙවූ ගායකයෙකු සිටියේ නම් ඒ ගුණදාස කපුගේ පමණි. ගීතයක් හෝ වෙනත් යම් කලා නිර්මාණයක් යම් සමකාලීන අරමුණු සමග සමපාත විය යුතුද, නැතිනම් ඒවා එම නිර්මාණ බිහිවූ යුගය ඉක්මවා සර්වකාලීන මනුෂ්‍ය ගැටලූ පාදක කරගත යුතුද යන විවාදය සමාජ මාධ්‍ය වල එක් පිරිසක් අතර පැනනැගුණු සංවාදය විය. 20 වන සියවස මුලදී රුසියාවේ මෙම සංවාදය ඇතිවූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් බොල්ෂෙවිකයන් ඒ පිළිබඳ සිටියේ වෙනස්ම ස්ථාවරයකය. ඒ සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි පවසන්නේ මෙසේය. ‘ශුද්ධ කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව සම්බන්ධයෙන් වන වත්මන් විවාදයේදී පැත්තක් ගැනීම අපට තරම් නොවේ. මාක්ස්වාදී දයලෙක්තිකය පවතින්නේ ඊට ඉහළිනි.’ ඔහුගේ ප‍්‍රකාශයේ හරය වන්නේ ‘ශුද්ධ කලාව’ හා ‘ප‍්‍රවණතාත්මක කලාව’ ආදී නාමකරණයන්ගෙන් ඔබ්බට කලාවේ සමකාලීනත්වය සහ සර්වකාලීනත්වය අතර දයලෙක්තික අන්තර් සම්බන්ධයක් ඇති බවයි. නිදසුනක් ලෙස ප‍්‍රංශ විප්ලවයේ එළිපත්තේ වර්ධනය වූ යථාර්ථවාදී චිත‍්‍ර කලාවට හෝ ලෝක යුද්ධ අභිමුව වර්ධනය වූ අනාගතවාදී චිත‍්‍ර කලාවට අයත් සම්ප‍්‍රදායේ චිත‍්‍ර අද පවා අපට එකී සමකාලීනත්වයට හෝ එම ඉතිහාසයේ කෞතුක අගයට සීමා නොවූ වින්දනයක් හා ප‍්‍රඥාවක් ජනිත කරයි. යුරෝපා ආක‍්‍රමණ නිසා රාජ පරම්පරා දුර්වල වීමෙන් පරිපාලන වියවුලක පැටලූණු ලංකාවේ කෝට්ටේ යුගයේ සමාජමය ප‍්‍රතිචාරය වූ සංදේශ කාව්‍ය ගැනත්, කාර්මික විප්ලවයේ සමාජමය හා මානවීය හා පාරිසරික වෙනස්කම් වලට එංගලන්තයේ සමාජ ප‍්‍රතිචාරය වූ ඉංග‍්‍රීසි

රොමැන්ටික් කාව්‍ය ගැනත් කිව යුත්තේ එයමය. එනිසා ශුද්ධ කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව සම්බන්ධ විවාදයේදී අපේ පදනම් ස්ථිරය.

නමුත් ශුද්ධ කලාව සහ ප‍්‍රවණතාත්මක කලාව පිළිබඳ ශාස්ත‍්‍රීය විවාදයට  ගැඹුරේ පැවතියේ සමාජ දේශපාලන විවාදයකි. ප‍්‍රතිගාමී කඳවුර නන්දා මාලිනීගේ නිර්මාණ විචාරය කිරීමේ මුවාවෙන් 1980 දශකය අග එජාප ආණ්ඩුවේ නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙළ සාධාරණීකරණය කිරීමේත්, එයට එරෙහිව පැනනැගුනු අරගලය හෙළා දැකීමේ හා එය ඉතිහාසයේ මුග්ධ අත්වැරදීමක් ලෙස බැහැර කිරීමේත්, එම අරගලය රට ගිනි තැබීමක් ලෙස අර්ථකථනය කර, ‘පවන’ ප‍්‍රසංගයේ ගීත එම ගිනි ඇවිලවූ අපරාධකාරීත්වයක් ලෙස හංවඩු ගැසීමේත්, කලාව හා දේශපාලනය අතර ඇතිවන  ඕනෑම සම්බන්ධයක් අවර ගනයේ පිරිහීමක් ලෙස ලේබල් කිරීමේත් දේශපාලන ව්‍යාපෘතියකට ප‍්‍රවේශ විය. එය නන්දා මාලිනීට ‘තරුණයන් රවටා ප‍්‍රචණ්ඩත්වයට පෙලඹවූ අපරාධකාරියක්’ ලෙස අවමන් කිරීමේ ස්වරූපයෙන් මෙන්ම ‘නන්දා මාලිනීට දේශපාලනයක් නෑ, ඇයගේ පාට සුදුපාට’ ලෙස ඇයව සාන්තුවරියකට ඇන්දීමේ ස්වරූපයෙන්ද මතු විය.

නමුත් 1987-89 අරගලයේ අත්දැකීම් සහිත වැඩිහිටි පරම්පරාවේ සිට තවමත් නවයොවුන් වියේ සිටින, නන්දා මාලිනීගේ මරණයෙන් අනතුරුව ප‍්‍රථම වතාවට පවනේ ගීත ඇසූ පරම්පරාවන් දක්වා පුළුල් පරාසයක ප‍්‍රගතිශීලී කඳවුරක් ඇයගේ නිර්මාණ සහ ඒවායේ දේශපාලනය ආරක්ෂා කිරීමට පෙළගැසිනි. අවසානයේ ප‍්‍රතිගාමී කඳවුරේ අවලාදයන් මුළුමනින් නිහඬ කර දැමිණි. 1987-89 අරගලය අලූත්ම පරම්පරා තුළත් සුජාතකරණය විය. නන්දා මාලිනීගේ මරණය අපේ සමකාලීන සමාජයේ දේශපාලන ධ‍්‍රැවීකරණය ප‍්‍රකාශයට පත්කළ මොහොතක් සේම, නව ලිබරල් ධනවාදයටත් ඒකාධිපති පාලන තන්ත‍්‍ර වලටත් එරෙහිව අරගල කිරීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇති බව අලූත් වටයකින් තහවුරු වූ මොහොතක් විය.

එනිසා ජීවත්ව සිටි නන්දා මාලිනී ගායිකාවගේ නිර්මාණවල හා ජීවන ව්‍යවහාරයේ දේශපාලනය පාලක පන්තියට ඇතිකළ අභියෝගය ඉක්මවූ අභියෝගයක් ඇයගේ මරණයට සමාන්තරව ඇතිවූ සංවාදය විසින් අභිමුඛ කර තිබේ. නන්දා මාලිනීගේ නිර්මාණ පිළිබඳ විචාරය සහ ඇයගේ ජීවන භාවිතය පිළිබඳ මතභේද ඉක්මවා එම සංවාදය තුළින් 1980 දශකය අග කලා ලෝකය කළඹවන ලද දේශපාලන සංවාදයට නව උපතක් ලබාදිය යුතුය. එය පාලක පන්තිය විසින් මරා, අඩි හයක් යට වල දැමීමට අරමුණු කරන දේශපාලනයක් යළි උත්ථානය කිරීමකි, එයට නව ජීවය පිඹීමකි. 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම