'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න


දැවෙන විහඟුන් සිනමා පටය සිනමා ශාලාවලින් ගැලවී අවසන්ය. චිත‍්‍රපටය පිළිබඳ සිදුකෙරුණු කතා බහ, චිත‍්‍රපට කණ්ඩායම තුළම මතුවූ විසංවාදයන්ගෙන් ගිලීගිය අතර, (එම විවාදයට මැදිහත්වීමට අප බලාපොරොත්තු නොවන අතර) ”කලාකෘතියක් ලෙස චිත‍්‍රපටය පිළිබඳ” සංවාදයකට පැවැතියේ ඉතාමත් අවම මට්ටමේ ඉඩකි. ඒ අතර, චිත‍්‍රපටයේ කලින් දර්ශනවාරවල නොතිබූ දර්ශන කොටස් පසුකාලීන දර්ශනවලට ඇතුල්වීමක් පිළිබඳවද කතා බහක් ඇති විය. ඉතින්, ‘දැවෙන විහගුන්’ චිත‍්‍රපටය පිළිබඳ විචාර කතිකාව මෙවන් සංදර්භකය පවතින අතරම චිත‍්‍රපටය පිළිබඳව අපගේ අදහස ‘රළ’හි සටන් කිරීමට අප තීරණය කළා.

චිත‍්‍රපටයේ කතා වින්‍යාසයට පාදක වෙන සිද්ධි දාමය 80 දශයේ අග භාගයේ, ලංකවේ නැගෙනහිර පළාතේ සිදුවූ, තමාමද අත්දුටු සත්‍ය සිදුවීම් දාමයක් බව චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාරම පුවත් පතකට පවසා තිබුණි.
කෙසේවෙතත්  චිත‍්‍රපටයේ දිගහැරෙන පරිදි, එකී සිදුවීම් දාමයේ ආරම්භය සහිටුහන් වනුයේ, 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ සන්නද්ධ අරගලය තුළ කි‍්‍රයාකාරී වූ සුනිල් නම් ජ.වි.පෙ. කි‍්‍රයාධරයා, ආණ්ඩුවේ අතුරු හමුදා ඛණ්ඩයක් විසින් පැහැරගෙන ගොස්, සමූහ මිනීවලක් තුළ මරා පුළුස්සා දැමීමෙනි.

චිත‍්‍රපටය ආරම්භවන විටම පසුබිමෙන් ඇහෙන පිරිත් නාදය හුදු ‘ගම්බද උදෑසනකට’ අවශ්‍ය ශාබ්දික හැගවුමක් පමණක නොව, චිත‍්‍රපටය තුළ පාසලේ විදුහල්පතිවරයා, පන්සලේ හාමුදුරුවන්ගෙන් නියෝජනය වන ලාංකේය ගැමි ගොවි සමාජයේ ප‍්‍රභූ ස්ථරයේ හා ආගමේ නියෝජනයකි. චිත‍්‍රපටයේ අවසාන භාගයේදී මිය ගිය කැරලිකරුවාගේ වැන්දඹු බිරිය හා දරුවන් වසන නිවසට ගල්මුල් ප‍්‍රහාර එල්ල කරන ඊනියා සදාචාරවාදීන්ගේ අඩංගුවද මේ ස්ථරයමයි. කෙසේවුද චිත‍්‍රපටය තුළ ලාංකික ගමේ දක්නට ලැබෙන මේ ”අපන්තික සන්ධානය” ඉබේටම වගේ මතුවී යනවා හැර, අධ්‍යක්ෂකවරයාගේ, පිටපත් රචකයාගේ මූලික අවධානය ඒ වෙත එල්ලවී ඇති බවක් නොපෙනේ. මන්ද චිත‍්‍රපට කරුවාගේ විෂය වී ඇත්තේ 87-89 අරගලය හෝ එහි පන්ති මූලයන් නොව, අරගලයෙන් අනතුරුව එළඹි කාල පරිච්ෙඡ්දයයි. එකී දුෂ්කර කාලපරිච්ෙඡ්දයේදී මරා දැමූ සුනිල් නම් ‘කැරලිකරුවාගේ’ වැන්දඹු බිරිය වූ කුසුමා විසින් මුහුණ දෙන දුෂ්කර ජීවන කොන්දේසී සමුදායයි. ”කැරැුල්ල වෙනුවෙන් සමාජය ගෙවූ වන්දිය” ලෙස යම් පමණකට අපට එය හඳුනාගත හැක.

චිත‍්‍රපටයේ ඉන් අනතුරුව එන ජවනිකාවලදී ”කුසුමා (අනෝමා ජිනාදරී නිරූපනය කරන චරිතය) මුහුණ දෙන හිංසනය අප තේරුම් ගත යුත්තේ එතනිනි. එනම් පවත්නා පද්ධතින් රැුඩිකල් ලෙස ඛණ්ඩය කිරීමට උත්සාහ දරන, විප්ලවවාදියා, රැුඩිකල්වාදියා, කැපකරන බරපතළම දෙය නම්, ‘සිය ආදරණීයන්ගේ ජීවිතයයි’ යන්නය.
එතැන් පටන් කුසුමා මස්කඬේ මුදලාලිට, සම්බාහන ආයතයේ ගැනුම්කරුවන්ට ලිංගික ගොදුරක්වන වාරයක් පාසා පේ‍්‍රක්ෂක මනසට රිදුම් දෙන ආකාරයෙන් අප කලින් දැක්වූ අදහස සනාථ කිරීමට සංජීව සමත්වී ඇත.
අවසන සම්බාහන ආයතනය වටලා ඇය පොලිසියට කොටුවීමෙන් ඇති වූ සමාජ අපවාදය හමුවේ මිය ගිය සටන්කාමියාගේ මව සිය දිවි නසා ගනියි. මවක් හා පියෙක් අහිමිවූ දරුවන්ට මවක් වෙමින් වැඩිමහලූ දියණිය (සමනලී ෆොන්සේකා රඟන චරිතය) වගකීම් කරට ගත්තද පසුගාමී ගැමි ගොවි සමාජය ඊට ඉඩ නොදෙන අතර, කෑලෑපත්තර, නිවාසට එල්ලවන ගල් ප‍්‍රහාර හමුවේ ඇය සිය කුඩා නංගිලාද මල්ලිලාද කැටිව නගරයට සංක‍්‍රමණයවී ඇගලූම් කර්මාන්ත  සේවිකාවක් බවට පත්වේ.

කෙසේ වුවද හිරෙන් නිදහස්වී පැමිණි කුසුමා සිය ස්වාමියා මරා දැමීම සඳහා ”ගෝනි බිල්ලකු” ලෙස කටයුතු කළ පාසලේ මුල් ගුරුවරයා මන්නයකින් කපාකොට මරා දමයි. අවුරුදු ගාණක් සිරගතව නිදහස් වූ කුසුමා සිය දරුවන්ව සොයා ගැනීමටත් පෙර සිය ස්වාමියාගේ ඝාතනයේදී බිල්ලකු සේ කටයුතු කළ මුල් ගුරුවරයා මරා දැමීම චිත‍්‍රපට කතාවෙන් පැන නගින ඉල්ලීමකට වඩා කතුවරයාගේ, පිටපත් රචකයාගේ මැදිහත් වීමක්ලෙස පෙනීයයි. මන්ද කාලයක් හිර දඩුවම් විඳීමෙන් පසු කුසුම්ගේ සිතෙහි යළිත් පලිගැනීමේ අදහසක් තීබීම සාධාරණ වුවද, එහිදී මීට වඩා සූක්ෂමාන්විතභාවයත් කෘතිය විසින් ඉල්ලා සිටියි. මන්ද තමා සිරගත වූ දින සිට ආගිය අතක් නොදත් දරුවන් සොයා ගැනීම කියාන කාරණය අත්‍යවශ්‍යතාවක් ලෙස කුසුම්ට හා කතාවට බද්ධවී තිබෙන බැවිණි. ඉතින් මේ සියල්ල පසෙක තබා තම ස්වාමියාගේ ”බිල්ලා” බවට පත්වූ මුල් ගුරුවරයා මරා දැමීම චිත‍්‍රපටයේ ගලා යාම සමග නොපැහේ.

සිය ස්වාමියා මරා දැමූ අතුරු හමුදා කණ්ඩායමේ සාමාජිකයා ඉදිරියේ, සම්බාහන ආයතනයක් තුළදී කුසුම්ට ඇඳුම් උණා දැමීමට සිදුවීම, අප කලින් සඳහන් කළ පරිදි කැරල්ලෙන් මිය ගිය දහස් ගණනකගේ පවුල් මුහුණ දුන් දුෂ්කර ජීවන තත්වය සංකේතවත් කිරීමකි. හැබැයි චිත‍්‍රපටයේදී කුසුම්, සිය ස්වාමියාව සමූහ මිනීවලකට යැවීමට තොරතුරු සැපයූ ගුරුවරයාව මන්න පිහියකින් කපා දැමීම හුදු ත‍්‍රාසජනක ලෙස කතාවේ පෙර අපර සන්ධි ගැලපීමකට එහා නොයයි.

කෙසේ වුවද කුසුම්ගේ දියණියගේ පාසල් යෙහෙලියන්, සිය දෙමාපියන්ගේ බසට අවනතව සදාචාරවාදී ආකල්පයකින් ඇය කොන් කරන විට, ඇයට එරෙහිව කැලෑ පත්තර ගසන විට, ගෙට ගල් ගසන විට චිත‍්‍රපටකරුවා අපට කියන්නේ ‘සටන්කරුවා, අරගලකරුවා ස්වකීය කි‍්‍රයාව හරහා ගන්නා වූ සමාජ අවදානම’යි. ඒ අවදානම කොතෙත් ද යත් එය සිය නෑදෑ හිතමිත‍්‍රාදින් සියල්ල වෙලා ගන්නා අවදානමක් බවයි.

චිත‍්‍රපටයේ ආරම්භයේ සහ අවසානයේ පසුබිමෙන් ශ‍්‍රවණය වන පිරිත් හඬ සමාජයේ සමහන් කළ නොහැකි දෙබිඩි බව සංකේතවත් කිරීමක් ලෙස අපට වටහා ගත හැක. සමාජයක් වැඩිවැඩියෙන් අනාරාක්ෂිත භාවයේ ගිලීයන විට වැඩිවැඩියෙන් පිරිත් හඬ ඇසෙනු ඇත.

අනෝමා ජිනාදරී, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු බෝහෝ නළු නිලියන්ගේ රංගනය ප‍්‍රශස්ත මට්ටමක ඇත. චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වැනි විෂයකදී ‘පත්තුකරනා මඳුරු දඟරයේ  සිට රථවාහනය’ දක්වා තවදුරත් සැලකිලිමත් වූවා නම් හොඳයැයි සිතනුයේ චිත‍්‍රපටයේ තාත්විකවාදී රීතිය  විසින් ඒවායේ තත්කාලීනභාවයක් ඉල්ලා සිටින බැවිනි. මෙම තත්කාලීනභාවය මුළු මහත් කැමරා රූපය පුරාම පවත්වා ගැනීමට චිත‍්‍රපටකරුවා අසමත්වී ඇත. විශේෂයෙන්ම දර්ශන තලයන්හි භාවිතා වන යානවාහන පාරිභෝගික භාණ්ඩ 80 දශකයේ අග භාගයේ ලංකවේ තත්වයන්ට කොයිතරම් අනුරූපද? කොයිතරම් විශ්වසනීයද? යන්න පිළිබඳ අධ්‍යක්ෂකවරයා විසින් තවදුරටත් කල්පනා කළ යුතුව තිබුණි.

කෙසේ වුවද සංජීවගේ චිත‍්‍රපටය වෙළඳපොළ හුවමාරු භාණ්ඩමය අර්ථයෙන් මතු කොටගෙන ඇති ප‍්‍රශ්න පැටලිලි සම්බන්ධයෙන් (ස්වකීය නළු නිලි කණ්ඩායම සමග) අපගේ මේ විචාරයේදී අවධානය යොමු නොකළ බව සහෘදයන්ට දැනුම් දෙමු. එසේ කලා කෘතිය හුවමාරු භාණ්ඩමය අර්ථයෙන් කියවා ගැනීමට ඇති අයිතිය අප  එකලාව පිළිගනිමු.

Comments

Popular posts from this blog

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම