මධ්‍යකාලීන යුගයෙන් පුනරුදයට
Lamentation by Giotto di Bondone වැඩවසම් සමාජ-ආර්ථික පසුබිමත් ඒ මත ගොඩණැඟුණු මධ්‍යකාලීන යුගයේ චිත්‍ර කලාවේ පොදු ස්වරූපයත් පිළිබඳ සිදු කළ සංවාදයෙන් අනතුරුව මේ යුගයේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ කාර්යයන් වෙත පිවිසීමට දැන් අපට අවස්ථාව උදා වී ඇත. විශේෂයෙන් ම මෙතෙක් අපගේ අවධානයට ලක් වූ ආගමික චිත්‍රය, පුනරුද යුගයේ මානවවාදී දෘෂ්ටියක් සහිත කලා භාවිතයක් බවට පත් වූයේ කෙසේද, යන්න වටහා ගැනීමේ දී මෙම කලාකරුවන්ගේ නිර්මාණ භාවිතය විෂයෙහි ප්‍රවේශ වීම බෙහෙවින් වැදගත් ය. මෙහි දී ඉතාලියේ 13 වන සහ 14 වන සියවස්වල වුසූ Cimabue, Duccio di Buoninsegna සහ Giotto di Bondone යන කලාකරුවන්ගේ නිර්මාණයන්ට ඉහළ වටිනාකමක් හිමි කර දිය යුතුය. ඔව්හු බයිසැන්තියානු සම්ප්‍රදායේ සංකේතාත්මක හා ආගමික රූපකරණයෙන් වඩාත් ස්වභාවික, මානුෂීය සහ අවකාශීය චිත්‍රකරණයකට මාරුවීමේ වැදගත් පියවරක් තැබූහ. Giovanni Cimabue (ආසන්න වශයෙන් 1240–1302) මධ්‍යකාලීන ඉතාලි චිත්‍ර කලාවේ වැදගත් සංක්‍රාන්තික චරිතයකි. ඔහුගේ කෘති තුළ බයිසැන්ටයින් චිත්‍ර සම්ප්‍රදායේ ලක්ෂණ තවදුරටත් දක්නට ලැබුණ ද රූපවලට වැඩි සජීවී භාවයක් හා ප්‍රකාශන හැකියාවක් ලබාදීමට ඔ...