පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම

 


කසුන් සමරතුංගගේ 'කරුවලට බය කාමරේ ඇතුළෙ' කෙටිකතා සංග්‍රහය පිළිබඳ විමසුමක්

මගේ අතේ දැන් තියෙන්නෙ කසුන් සමරතුංග කියන අපූරු කෙටිකතාකරුවාගේ පළමු කෙටිකතා සංග‍්‍රහය, ‘කළුවරට බයේ කාමරේ ඇතුළේ’. ඉතාම කෙටියි කියලා හඳුන්වන්න පුළුවන් කෙටි කතා 8ක් මේ පොතේ තියෙනවා. මේ කෙටිකතා අටෙන් එකක් ඇරුණම අන් සියල්ලෙම අන්තර්ගතමය වශයෙන් දක්නට ලැබෙන සමානතාවයක් තියෙනවා. 

‘ඉතින් හාවට නින්ද ගියා’ කියන කෙටිකතාව හැරුණම අනෙක් සියල්ලම ඍජුව හෝ වක‍්‍රව ස්ත‍්‍රී-පුරුෂ සම්බන්ධතාවයේ විවිධ පැතිමාන ගැන කතාකරන කෙටිකතා. පෘථිවියට කෝවිඞ් වසංගතය පැමිණි ආකාරය පරිකල්පනය කරන ‘දහනවය’ වගේ කෙටිකතාවක් වුණත් නතර වෙන්නෙ පිටසක්වල ජීවි පෙම්වතකු සිය පෙම්වතියගේ ඉල්ලීමක් ඉටු කරන්න පෘථිවියට ආව වෙලාවක පිට වුණ කිවිසුමකින් පැතිරිච්ච විෂබීජයකින් තමයි කෝවිඞ් 19 ආරම්භ වෙන්නෙ.

අන්තර්ගතමය වශයෙන් තියෙන මේ ස්වභාවය පාඨකයාට දරාගන්න බැරි තරම් එකක් නෙවෙයි. ඒකට බලපාන ප‍්‍රධාන සාධක දෙකක් තියෙනවා.

1 ස්වරූපමය (forrm) වශයෙන් පවත්වාගෙන යන විචිත‍්‍රතාව

2 කියවීම් කාලයෙහි වන කෙටි බව

ස්වරූපමය වශයෙන් පවත්වාගෙන යන විචිත‍්‍රතාව

මෙහි එන ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතාවට අදාළ අන්තර්ගතයන් සහිත කෙටි කතා සියල්ලෙහිම තේමාත්මක වශයෙන් සිංහල පාඨකයා පුදුමයට පත් කළ හැකි තරමේ දෑ අඩංගු නොවේ.  ‘චැට් එකක ස්ක‍්‍රීන් ෂොට්’ බඳු කතාවක හැරෙන්නට අනෙක් සියලූ ඒ ගණයේ කෙටිකතාවන්හි හමු වන්නේ සාපේක්ෂ වහයෙන් නාගරික පහළ මධ්‍යම පාන්තික ගැහැනු හා පිරිමින්ය. මානව සබඳතාවන්ට අදාළව ඔවුන් මුහුණ දෙන ගැටලු ඉදිරියේ සාපේක්ෂ ස්වාධීනත්වයක් පවත්වා ගෙන යාමට ඔවුන් සමත්ය. හමුවීම් සම්බන්ධයෙන් මෙන්ම වෙන්වීම් සම්බන්ධයෙන් ද මෙහි එන පොදු කථකයා එතරම් බරපතළ නැත. ඔහුට හමුවන ස්ත‍්‍රියගේ ස්වභාවයද එය ම ය.

"භාග්‍යා එක්ක සියලූ සම්බන්ධකම් ඇණ හිටියෙ මීට අවුරුදු අටකට කලින්. දැන් එයා කොහෙද ඉන්නෙ, මොනවද කරන්නෙ කියලා මං දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. සමහරවිට කුරුණෑගලට ම වෙලා ඇති. මං දැන් මාතර ඉන්නවා වගේ. කොහෙ හිටියත් එයාටත් දැන් මං ගැන කිසිම දෙයක් දැනගන්න උවමනාවක් නැති බව විතරක් මට හොඳටම විශ්වාසයි.”

- ඉස්සර ගියපු පස්සෙ සීට් එක

"එයා දේදුන්න උඩ තමන් කැමති මුද්‍රාවෙන් ඉන්නවා. ආපහු මං දිහා බලන එකක් නෑ. හීං පොද වැස්සක් පටන් ගත්ත. කොහේ හරි ඉඳන් බල්ලෙක් හෙමින් බිරුව. මං කොන්ක‍්‍රීට් බැම්මෙ පිටිපස්සට ම හේත්තු වෙලා හෙමින් ඇස් දෙක පියා ගත්තා.”

- බැම්ම උඩ දේදුන්න

‘ස්ක‍්‍රීන් ෂොට්’ කතාව හැරුණු විට අනෙක් මේ ගණයේ කෙටිකතාවල මේ වර්ගයේ උදාහරණ අවශ්‍ය තරම් පෙන්විය හැකිය. නාගරික පහළ මධ්‍යම පන්තිය සම්බන්ධයෙන් කෙටිකතාකරුවා සිදුකරන මේ විවරණය අසත්‍යයක් නොවේ. එහෙත් එය මේ වන විට සබුද්ධික සිංහල පාඨකයා නො දන්නා කළාපයක් නො වන බව අපගේ   හැ`ගීම ය.

එහෙත් මේ දන්නා හඳුනන සුලභ තේමාත්මකයන් පාඨකයා වෙත ගෙන ඒමේ දී කසුන් ඒ සඳහා යොදා ගෙන ඇති ආඛ්‍යාන උපක‍්‍රම පුහුණු පාඨකයකු පවා ග‍්‍රහණය කර ගැනීමට තරම් විචිත‍්‍රත්වයකින් යුක්ත ය. ඒ සඳහා කෙටිකතාකරුවා යථාර්ථවාදයේ සීමාව අභිභවා යයි. අපාය, දිව්‍ය ලෝකය, කළුවර බය නිසා කසාද බඳින පිරිමි, කළු සුදු දේදුණු උඩ දිවි ගෙවන වර්ණවත් ගැහැනු අපට මෙහිදී මුණ ගැසෙන්නේ එබැවිනි. ‘චැට් එකක ස්ක‍්‍රීන් ෂොට් එකක්’ බඳු කෙටිකතාවකදී පාඨකයාට කියවීමට සිදුවනුයේ අතථ්‍ය (virtual) ලෝකයේ සටහන් වී ඇති රහසිගත කෙටි පණිවිඩ මාලාවකි. සැබැවින්ම තථ්‍ය ලෝකයේ සැබෑ සබඳකම් ගෙවී අවසන් වූ යුගයක තාත්වික යථාර්ථවාදී රීතිය තවදුරටත් කෙතරම් වලංගු වන්නේද, යන ප‍්‍රශ්නය කසුන් සිය කෙටිකතා ම`ගින් අප වෙත ඉදිරිපත් කරයි. 

ප‍්‍රතිනිර්මාණාත්මක විධි ක‍්‍රම සම්බන්ධයෙන් කෙටිකතාකරුවා තබා ඇති මේ කැපවීම අන්තර්ගතමය (content) වශයෙන්ද පවත්වා ගෙන යෑමට තදුරටත් උනන්දු වූයේ නම් මේ කෙටිකතා සංග‍්‍රහයෙන් ම ඔහුට සිංහලෙන් කෙටිකතා ලියන විශිෂ්ටයන් කිහිප දෙනා අතරට එක්වීමට හැකියාව තිබුණි. පාඨකයා විස්මයට පත් කළ යුත්තේ ආකෘතිමය මෝස්තර හෝ පඨිතමය ක‍්‍රීඩාවන්ගෙන් පමණක් නොවන බව වොෂින්ටන් අර්වින්, විලියම් ඔස්ටින්, නිකොලායි ගොගොල්, පියදෝර් දොස්තොව්ස්කි මෙන්ම ලංකාවේ අජිත් තිලකසේන, එරික් ඉලයප්ආරච්චි හා පියල් කාරියවසම් බඳු කෙටිකතාකරුවන්ගේ කෙටිකතා ඇසුරින් අපට වුවමනාවටත් වඩා පාඩම් උගත හැකිය.  

ඒ අර්ථයෙන් මේ කෙටිකතා සංග‍්‍රහයේ අන්තර්ගතමය විචිත‍්‍රතාව සඳහා මුඛ්‍ය ලෙසම බලපෑම් කරන කෙටිකතාව වන්නේ ‘ඉතින් හාවට නින්ද ගියා’ නමැති කෙටිකතාවයි. කෙටිකතා සංග‍්‍රහය මුල සිට කියවා කසුන්ගේ කෙටිකතාවට හුරු පුරුදු පාඨකයා අපේක්ෂා නො කරන්නක් ඒ කෙටිකතාවෙහි දී සිදු වේ.

මෙහිදී කසුන් සිංහල කෙටිකතා පාඨකයා ඉදිරියට ගෙන එනුයේ ඔහු හොඳින් අසා මතකයේ තබා ගෙන ඇති හාවා සහ ඉබ්බා අතර ඇති වූ බව කියන තරගය පිළිබඳ ජන කතාව යි. කෙටිකතා සංග‍්‍රහයේ අනෙක් කතාවස්තූන්ට(plots) අනුව, මෙහිදී ද අපේක්ෂා කළ හැකි වන්නේ හාවාගේ හෝ ඉබ්බාගේ පෙම්වතියගේ හෝ පෙම්වතියන්ගේ මැදිහත්වීමෙන් සිදු විය හැකි විපරිවර්තනයකි. එහෙත් සැබවින්ම මේ කෙටිකතාවෙහිදී ඒ දෙදෙනා මැදට පැමිණෙනුයේ ප‍්‍රාග්ධනයේ නග්න ස්වභාවය යි. එය මේ කෙටිකතා සංග‍්‍රහයේ දී මෙතෙක් හමු නොවූ ගණයේ ගැටුමකට මැදි වෙන චරිත කිහිපයක් නිම වීමට හේතු වේ.

කෙටිකතාකරුවා මේ කෙටිකතාව සිය කෙටිකතා සංග‍්‍රහයේ අවසාන කෙටිකතාව ලෙස යෙදූයේ මේ විෂමතත්වය හා විශේෂත්වය සම්බන්ධයෙන් වන සවිඤ්ඤාණක භාවයකින් යුතුව විය යුතුය. එය ම කසුන්ගේ ඉදිරි කෙටිකතා ගමන් මග දෙස අපේක්ෂාවෙන් යුතුව බලා සිටීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂියකි.

කියවීම් කාලයෙහි වන කෙටි බව

‘කතාවෙහි කාලය’ හා ‘කියවීමෙහි කාලය’ යනු දෙකකි. කතාවෙහි කාලය මෙන් නොව, කියවීමෙහි කාලය පාඨකයාට අනුව වෙනස් විය හැකිය. කතාවෙහි කාල ඉතා ම කෙටි විය හැකි අතර කියවීමෙහි කාලය ඊට සාපේක්ෂව දීර්ඝ විය හැකි ය. එසේ ම ඉතා ම කෙටි කාලයකින් කියවා අවසන් කළ හැකි දිගු කතා කාල පැවතිය හැකිය.  අර කතා කාලය හා කියවීම් කාලය යන දෙක ම කෙටි හෝ දීර්ඝ විය හැකි අවස්ථා ද තිබිය හැකි ය. කෙසේ නමුත් මේ කාල අවකාශ දෙකෙහි ම කෙටි බව හෝ දීර්ඝ බව තීරණය විය යුත්තේ අදාළ ප‍්‍රබන්ධ කතාවේ අන්තර්ගතමය ධාරිතාවන්ට අනුව විය යුතු ය.  

කසුන්ගේ කෙටිකතා සංග‍්‍රහයෙහි එන කතා සියල්ලම ඉතා කෙටි කියවීම් කාලයකින් යුක්ත වේ. අන්තර්ගතමය විචිත‍්‍රත්වයෙන් අඩු වුවද කසුන්ගේ කෙටිකතා නූතන පාඨකයා ආකර්ෂනය කර ගැනීමට සමත් වන එක් හේතුවක් ලෙස මෙය දැක්විය හැකිය. කියවීම හා බැලීම බඳු මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් අතරට ‘ඬේටා’ පැමිණ ඇති අතිශය වේගවත් ජීවිතයක් ගත කරන නූතන මිනිසාට කසුන්ගේ කතා වෙතට ඒ වේගයෙන්ම පැමිණ ආපසු යා හැකිය.

"සංක්ෂිප්තතාවෙන් හා සංකෝචිත භාවයෙන් යුත් කෙටිකතාව අපගේ යුගයට වඩාත් ගැළපෙයි. නූතන පාඨකයාගේ අවධාන කාලයට උචිත නූතන විඤ්ඤාණයේ හිස් තැන් සහ ඛණ්ඩිත භාවය සම`ග කෙටිකතාව ගැලපී සිටී.” - මිචෙල් රොබර්ට්ස්

එහෙත් මේ කෙටිකතා ඉතාම කෙටි කෙටිකතා ලෙස හැඳින්විය හැකි උප ශානරයට අයත් flsh fiction හෝ sudden fiction ලෙස හැඳින්විය හැකි ප‍්‍රබන්ධ රචනා ලෙස සැළකිය නොහැකිය. ඊට ආසන්යට හෝ පැමිණෙනුයේ කසුන්ගේ ‘බැම්ම උඩ දේදුන්න’ බඳු රචනයක් පමණි. අප එසේ පවසනුයේ එය මේ කෙටිකතා සංග‍්‍රහයේ වන ප‍්‍රමාණයෙන් කුඩා ම කෙටිකතාව වන නිසා නොව එහි වන ශානරීය සංරචකත්වයේ ස්වභාවය සලකා ය. එහෙත් එය පවා ක්ෂුද්‍ර ප‍්‍රබන්ධ ලෙස හැඳින්විය හැකි මේ උප ශානරීය ලක්ෂණ හා සම්පූර්ණයෙන් සැසෙ`දන්නේ නැත.

අපගේ තර්කය වනුයේ කසුන්ගේ මේ කුඩා කෙටිකතාවක් මෙතරම් අඩු කියවීම් කාලයක් අත්පත් කර ගන්නා නමුදු ඊට සාපේක්ෂව අර්ථමය බහුවිධතාව පිළිබඳ සාවධාන වීමකින් තොර වන බව යි. හෙන්රි ජේම්සියානු අර්ථයෙන් කෙටිකතාව යනු ප‍්‍රමාණයෙන් කෙටි නිසා ම අර්ථමය සංකීර්ණත්වය හා පොහොසත් බව අත් කර ගන්නා ශානරයක් වන්නේය යන්න සම්බන්ධයෙන් අපගේ කෙටිකතාකරුවාගේ අවධානය මඳ ය. 

අධිවේගී නූතන සමාජයට ඇමතිය හැකි ප‍්‍රබන්ධ කාව්‍යමය අත්හදා බැලීම් සිදු කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නැත. එහෙත්, ඉන් අදහස් වන්නේ ප‍්‍රබන්ධ කතා රචකයාද එම වේගයට ම ඇද වැටිය යුතු බව නොවේ. කියවීමේ කාලය කෙටි වුවද කෙටි කාලය තුළ පාඨකයා වෙත ගෙන යෑම සඳහා රචකයාට බෙහෙවින් දිගු කාලයක් කැප කිරීමට සිදු වීම අනිවාර්යයකි. 

‘කළුවරට බය කාමරේ ඇතුළේ’ කෙටිකතා සංග‍්‍රහය සම්බන්ධයෙන් අපගේ අවංක අදහස් මෙසේ සටහන් කරනුයේ සිංහල කෙටිකතා වැඩබිමට තව තවත් සංකීර්ණ ලියන්නන් අවශ්‍ය බව අප කල්පනා කරන නිසා ය. සහෘද ලේඛකයකු ලෙස ඔහු සම්බන්ධයෙන් අප තුළ වන ආදරය සේ ම කෙටිකතාව නම් ප‍්‍රබන්ධ කථාමය ශානරය සම්බන්ධයෙන් අප තුළ වන ආදරය ද තුළනය නො වන්නේ නම් මෙබඳු විචාරයයන්ගෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති බව අපගේ විශ්වාසය යි. මනසින් ‘කළුවරට බය නැති’ කෙටිකතාකරුවන් හා කෙටිකතා කලාවක් බිහිකර ගැනීම සඳහා එබඳු විචාර සම්ප‍්‍රදායක් අන් කවරදාටත් වඩා අවැසි යුගයක අප ජීවත් වන බව නම් කසුන් සමරතුංග නම් මේ තරුණ කෙටිකතාකරුවාට අමුතුවෙන් පහදා දිය යුතු නො වන බව අපි තරයේ විශ්වාස කරමු.


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )