මධ්‍යකාලීන යුගයෙන් පුනරුදයට

 

Lamentation by Giotto di Bondone

වැඩවසම් සමාජ-ආර්ථික පසුබිමත් ඒ මත ගොඩණැඟුණු මධ්‍යකාලීන යුගයේ චිත්‍ර කලාවේ පොදු ස්වරූපයත් පිළිබඳ සිදු කළ සංවාදයෙන් අනතුරුව මේ යුගයේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ කාර්යයන් වෙත පිවිසීමට දැන් අපට අවස්ථාව උදා වී ඇත. විශේෂයෙන් ම මෙතෙක් අපගේ අවධානයට ලක් වූ ආගමික චිත්‍රය, පුනරුද යුගයේ මානවවාදී දෘෂ්ටියක් සහිත කලා භාවිතයක් බවට පත් වූයේ කෙසේද, යන්න වටහා ගැනීමේ දී මෙම කලාකරුවන්ගේ නිර්මාණ භාවිතය විෂයෙහි ප්‍රවේශ වීම බෙහෙවින් වැදගත් ය.

මෙහි දී ඉතාලියේ 13 වන සහ 14 වන සියවස්වල වුසූ Cimabue, Duccio di Buoninsegna සහ Giotto di Bondone යන කලාකරුවන්ගේ නිර්මාණයන්ට ඉහළ වටිනාකමක් හිමි කර දිය යුතුය. ඔව්හු බයිසැන්තියානු සම්ප්‍රදායේ සංකේතාත්මක හා ආගමික රූපකරණයෙන් වඩාත් ස්වභාවික, මානුෂීය සහ අවකාශීය චිත්‍රකරණයකට මාරුවීමේ වැදගත් පියවරක් තැබූහ.

Giovanni Cimabue (ආසන්න වශයෙන් 1240–1302) මධ්‍යකාලීන ඉතාලි චිත්‍ර කලාවේ වැදගත් සංක්‍රාන්තික චරිතයකි. ඔහුගේ කෘති තුළ බයිසැන්ටයින් චිත්‍ර සම්ප්‍රදායේ ලක්ෂණ තවදුරටත් දක්නට ලැබුණ ද රූපවලට වැඩි සජීවී භාවයක් හා ප්‍රකාශන හැකියාවක් ලබාදීමට ඔහු උත්සාහ කළේය.

ඔහුට සම්බන්ධ ප්‍රධාන කෘති අතර Santa Trinita Maestà සහ Madonna Enthroned with the Child and Eight Angels and Four Prophets වැනි කෘති විශේෂ වේ. මෙම සිතුවම්වල මරියා සහ ක්‍රිස්තුස් වහන්සේගේ රූප ඉදිරිපසට මුහුණලා, ආගමික ගෞරවය අවධාරණය කරන අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු වගබලාගෙන ඇත.

එනමුත් Cimabueගේ කෘතිවල වැදගත්කම පවතින්නේ රේඛා, ඇඳුම්වල රැළි, ආලෝක-අඳුරු වෙනස්කම් (chiaroscuro) සහ අවකාශීය සංයෝජනය මඟින් රූපවල පරිමාව, ගැඹුර සහ භෞතිකත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දැරූ උත්සාහය තුළ ය.  කෙසේ වෙතත්, මෙම ස්වභාවිකත්වය තවමත් සම්පූර්ණ යථාර්ථවාදී ත්‍රිමාන නිරූපණයක් නොවූ අතර, බයිසන්තියානු සංකේතාත්මක රූපකරණය හා නව ස්වභාවිකවාදී ප්‍රවණතා අතර සංක්‍රාන්ති අවස්ථාවක් නිරූපණය කරයි.

- Kleiner, F. S. (2017). Gardner’s art through the ages: The Western perspective (16th ed.). Cengage Learning.

සියෙනා නගරයේ ප්‍රමුඛ කලාකරුවකු වූ Duccio di Buoninsegna (ආසන්න වශයෙන් 1255–1319) මධ්‍යකාලීන චිත්‍ර කලාවට මානවීය හා සංවේදී ප්‍රකාශනයක් වර්ධනය කළේය. ඔහුගේ කෘතිවල කැපීපෙනෙන ලක්ෂණ වනුයේ රේඛාවේ සුන්දරත්වය (මෘදු රේඛා), වර්ණවල මෘදුභාවය, මුහුණුවල සියුම් ප්‍රකාශන සහ රූප අතර සම්බන්ධතාවය යි.

ඔහුගේ විශිෂ්ටතම කෘතියක් ලෙස සැළකෙන සියෙනා ආසන දෙව්මැදුර සඳහා නිර්මාණය කළ Maestà මීට කදිම නිදසුනකි. වර්ණ හා රේඛාවන්ට අමතරව මෙහි රූප සංයෝජනය ද (composition) ඉතා වැදගත් ය. එසේ ම එම  සම්බන්ධ ආඛ්‍යාන පුවරු තුළ සිදුවීම් එකිනෙකට සම්බන්ධ කර දැක්වීමෙන් චිත්‍රය හුදෙක් ශුද්ධ රූපයක් නොව කතාවක් පවසන දෘශ්‍ය මාධ්‍යයක් බවට පත්වේ. මෙය පසුව වර්ධනය වන ආඛ්‍යාන චිත්‍ර කලාව සඳහා වැදගත් පියවරකි.

මෙම පරිවර්තනය වඩාත් ප්‍රබල ලෙස ඉදිරියට ගෙන ගියේ Giotto di Bondone (ආසන්න වශයෙන් 1267–1337) ය. බොහෝ විට ඔහු ඉතාලි චිත්‍ර කලාවේ ස්වභාවිකවාදයේ ප්‍රමුඛ පුරෝගාමියකු ලෙස සැලකේ.

Giottoගේ ප්‍රධාන නිර්මාණ අතර Padua හි Arena (Scrovegni) Chapel හි බිතුසිතුවම් මාලාව විශේෂ ස්ථානයක් ගනී. එහි ක්‍රිස්තුස් වහන්සේගේ සහ මරියාගේ ජීවිතය ඇතුළු බයිබලීය සිදුවීම් මාලාවක් දෘශ්‍යමය ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කර ඇත.

Giottoගේ විශේෂත්වය හඳුනාගත හැක්කේ මනුෂ්‍ය ශරීරය, අවකාශය සහ හැඟීම් නිරූපණය කරන ආකාරයෙනි. ඔහුගේ චරිත පැතලි සංකේත මෙන් නොව, බරක් සහ පරිමාවක් ඇති මිනිසුන් ලෙස පෙනේ. ශරීරයේ වක්‍රතාව, ඇඳුම්වල රැළි සහ ආලෝක-අඳුරු වෙනස්කම් මඟින් රූපවල ත්‍රිමාන ගුණය වැඩි කරයි.

-White, J. (1966). Art and architecture in Italy, 1250–1400. Penguin Books.

Giottoගේ කෘතිවල දී පසුබිම  මඟින් චරිත වටා දෘශ්‍ය අවකාශයක් නිර්මාණය කරයි. මෙය පසුකාලීන පුනරුදයේ අවකාශීය නිරූපණය සහ දෘශ්‍ය යථාර්ථවාදය සඳහා වැදගත් පූර්ව පියවරකි. 

Giotto සිදු කළ ප්‍රබලතම නවෝත්පාදනයක් වන්නේ මානව හැඟීම් දෘශ්‍යමාන කිරීම ය. Lamentation වැනි දර්ශනවල දී ශෝකය, වේදනාව, ආදරය සහ අනුකම්පාව වැනි භාවයන් ප්‍රකාශ කිරීම සඳහා චරිතවල මුහුණු, ශරීර භාවයන් සහ එකිනෙකා අතර ඇති සම්බන්ධතා යොදාගෙන ඇත. මෙහි දී රූපයේ භෞතික ස්වරූපය සහ චිත්තවේගීය ප්‍රකාශනය එකිනෙකට සම්බන්ධ වේ. එනම්, චරිතයක ශරීර භාෂාව (body language) හුදෙක් අලංකාර අංගයක් නොව, කතාවේ අර්ථය ගෙන යන දෘශ්‍ය භාෂාවක් බවට පත්වේ.

ඒ අනුව, මෙම කලාකරුවන්ගේ කලාත්මක දායකත්වය සරලව “මධ්‍යකාලීන චිත්‍ර ශිල්පීන්” යන සීමිත හැඳින්වීමකට පමණක් සීමා කළ නොහැක. ඔවුන්ගේ නිර්මාණ මඟින් සංකේතාත්මක නිරූපණයෙන් මානව අත්දැකීම වෙතත්, පැතලි රූපකරණයෙන් පරිමාමිතික හා අවකාශීය නිරූපණය වෙතත්, ආගමික උත්තරීතරත්වය අවධාරණය කිරීමෙන් මානවීය හැඟීම් හා අත්දැකීම් ප්‍රකාශ කිරීම වෙතත් වැදගත් කලාත්මක පරිවර්තනයක් සිදු විය. එබැවින්, ඔවුන් මධ්‍යකාලීන චිත්‍ර කලාව සහ පසුව වර්ධනය වූ පුනරුද කලා සම්ප්‍රදාය අතර ඇති වූ සංක්‍රාන්තියේ වැදගත් නියෝජිතයන් ලෙස හඳුනාගත හැක.

14 වන සියවසේ ඉතාලි චිත්‍ර කලාවේ සිදුවූ මෙම වෙනස්කම් පසුව ඇති පුනරුද චිත්‍ර කලාවට වැදගත් පදනමක් සපයන ලදී. 

පුනරුද කලාකරුවන් අවධානය යොමු කළ මනුෂ්‍යත්වය, ස්වභාවධර්මය, ශරීරයේ ව්‍යුහය, අවකාශය, අවකාශීය දෘෂ්ටි කෝණය සහ මානව හැඟීම් යන කරුණු සඳහා Giotto වැනි කලාකරුවන්ගේ අත්හදා බැලීම් පූර්ව අවස්ථාවක් විය. පසුව Masaccio, Fra Angelico, Piero della Francesca සහ Leonardo da Vinci වැනි කලාකරුවන් මෙම දෘශ්‍ය භාෂාව විද්‍යාත්මක හා කලාත්මක මට්ටමින් තවදුරටත් දියුණු කළහ.

එබැවින් පුනරුදය යනු මධ්‍යකාලීන කලාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර හදිසියේ ඇති වූ නව යුගයක් ලෙස පමණක් නොව, මධ්‍යකාලීන අවසාන අදියරේ සිදු වූ දෘශ්‍ය හා මානවීය අත්හදා බැලීම් මත ගොඩනැගුණු විශාල කලාත්මක පරිවර්තනයක් ලෙස ද අවබෝධ කරගත යුතුය.

Madonna Enthroned with the Child and Eight Angels and Four Prophets by Giovanni Cimabue


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම