ඒ අපේ ශක්තියයි වන්දනා ලබන්නේ
ලාංකීය ගීත සාහිත්‍ය තුළ අමරණීය සටහන් තැබූ කලාකරුවෙක් සහ කලාකාරිනියක් පසුගිය අගෝස්තුවේ අප අතරින් වියෝ වුණා. ඒ නන්දා මාලිනිය සහ රඹුකන සිද්ධාර්ථ හිමි. මේ දෙදෙනාගේම විශේෂත්වය තමයි සමාජයේ පාතමාලයේ මිනිස්සුන්ගෙ හඬ ගීතයට නැගීම.
බෞද්ධ භික්ෂුවක් විදිහට රඹුකන
හිමියන්ගෙ කලා භාවිතාව විශේෂයි. නච්ච ගීත වාදිත තහනම් වෙච්ච සංස්කෘතික හිර ගෙදරක
ඉඳන් ගී පද ලියපු අතලොස්සක් භික්ෂූන්ට රඹුකන හිමි පුරෝගාමී වුණා. සාම්ප‍්‍රදායික
බෞද්ධ සමාජයෙන් එල්ල වූ විරෝධය නොතකා ගීත ලියපු රඹුකන හිමි සමාජය ඉදිරියේ ‘සිංදු
ලියන හාමුදුරුවෝ’ වුණා.
ඒ ගීතවල වචන භාවිතය සරලයි. ඒ වගේම
සාහිත්‍යයික ගැඹුරක් සහිතයි. විශේෂයෙන්ම දේශපාලනිකයි. නමුත් අභාවයෙන් පසු රඹුකන
හිමියන්ගෙ පද රචනා ගැන විද්‍යුත්, මුද‍්‍රිත
මාධ්‍යවල වගේම සමාජ මාධ්‍ය තුළත් ඇති වූ සංවාදය ඇතුළෙ හිතාමතාම ඒ දේශපාලනය
යටගැහුවා. බොහෝ මාධ්‍ය වැඩසටහන්වල රඹුකන හිමි නිකම්ම බොදු බැති ගී ලියපු හිමිනමක්
බවට පත් වුණා.
රඹුකන හිමි මුල් කාලෙ හිටියෙ ගංගාරාමේ.
ගංගාරාමය UNP තිප්පොලක්. දේශපාලනික, ප‍්‍රභූ
භික්ෂු පරම්පරාවක නියෝජිතයෙක් වුණත් රඹුකන හිමිගෙ සහයෝගය ලැබුණෙ වාම ධාරාවට. භීෂණ
යුගයේ විරුද්ධ අදහස් දැරීම නිසා ත‍්‍රස්තවාදීන් කියලා මරණයට නියම කරපු විශාල
පිරිසකට රැුකවරණය දෙන්නත් රඹුකන හිමි ඉදිරිපත් වුණා.
දාර්ශනිකව ගත්තම රඹුකන හිමි
භෞතිකවාදියෙක් නෙමෙයි. ඔහු හිටියෙ බෞද්ධ වටිනාකම් පද්ධතිය ඇතුළෙ. නමුත් දේශපාලන
චින්තාව වමට නැඹුරු වුණා. වැඩ කරන, දුක්
විඳින සමාජ පන්තිය ගැන සදය අනුකම්පාවක් ඔහු තුළ තිබුණා. ශ‍්‍රමය හෙළන මිනිස්සුන්ට
කිසිවක් ඉතිරි නොකර සියල්ල සූරාකන ධනපති ආර්ථිකය ඔහුගේ ගීතවලින් ප‍්‍රශ්න කෙරුණා.
”පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ
ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ”
මේ ගීතය හොඳ උදාහරණයක්. ගීතය
ලියැවෙන්නෙත් සමසමාජයේ ගීතයේ තනුවට.
”සා දුකින් පෙළෙන උන්
දැන් ඉතිං නැගිටියව්
අන්තිම සටනට සැරසියව්...”
පංසල් පල්ලිවල මහා පිළිම දාගැබ් හදලා
තියෙන්නෙ මිනිස්සු. ඒ ප‍්‍රතාපවත් ව වැජඹෙන්නෙ මිනිස් ශ‍්‍රමය. අපි වඳින්නෙ ඒ
පිළිම දාගැබ්වලට පමණක් නෙමෙයි, අපේම ශ‍්‍රමයට. අපට අහිමි වූ අපේ ශ‍්‍රමයට
අපිම පරාරෝපණය වූ හැටි රඹුකන හිමි සරල පදවැලකින් ලියනවා.
”මේ බවක් තේරුනේ නැති කමින් ලෝකයේ
නැතිකමයි රජ වුණේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුණත් නෑ පමා පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ”
තමන්ගෙ ශ‍්‍රමයේ මහිමය තමන්ගෙන් වියෝ
වෙලා තමන්ගෙන් පිටත ප‍්‍රතාපවත්ව නැගී සිටින බව නොදන්න නිසා තමයි මිනිස්සු
දුප්පත්කමට ඇද වැටුණෙ. ඒ ගැන අපේ කරුමෙ කියලා දුක් වෙවී ඉඳලා වැඩක් නෑ. මේ
සූරාකෑමට විරුද්ධ වෙන්න ඕනි. රළ පෙළක් වගේ
කඩාවදින්න ඕනි.
”කාසිවලට ගන්නත් බෑ,
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ ”
ගීතයෙන් රඹුකන හිමි මනුස්සකම මුදලට
ගන්න බැරි බව කියනවා.
”දිඹුල් ගහක් ළගට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා,
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා ”
යන පදවලින් ධනපති පංතියෙන් මනුස්සකම
බලාපොරොත්තු වීමේ නිෂ්ඵලත්වය පෙන්වනවා.
රඹුකන හිමි තමන්ගෙ ලියමන් තුළින්
හැමවිටම මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැගුවා. සියල්ලට ඉහළින් මිනිස් ශ‍්‍රමය තියෙන බව
කිව්වා. ඒ ශ‍්‍රමය හෙළන පංතියේ මිනිස්සුන්ට ගීත තුළින් ආමන්ත‍්‍රණය කළා.
”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ” ගීතයත්
ඒ වගේම එකක්.
බෞද්ධ පරමාදර්ශයන් ඇතුළෙ හිඳිමින්,
ඒ පරමාදර්ශයන් සමාජයේදී පරාජය වුණේ ඇයි කියලා
රඹුකන හිමි ප‍්‍රශ්න කළා.
”බණ කියන රටක් බණ අහන රටක් යුධ බිමක් වුණේ කෙලෙසා ”
”බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ ”
වැනි ගීත ඒ සංවේදී බව පෙන්වනවා.
රඹුකන සිද්ධාර්ථ හිමි සමාජයේ පංති
බෙදීම දැකපු, ඒ ගැන සංවේදී වුණු ගීත රචකයෙක්.
ඇති-නැති පරතරය නැති, සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගැන
බලාපොරොත්තු තැබූ ගීත රචකයෙක්. අභාවයෙන් පසු රඹුකන හිමියන්ගෙ ගීතමය භාවිතාව
හුදු බොදු බැති ගීවලට පමණක් සීමා කරන සංවාද රඹුකන හිමිට කරන අපහාසයක්. ඒ බොදු බැති
ගී ලෙස තහවුරු වූ ගීතවල පවා රඹුකන හිමි තබා ඇත්තේ මනුෂ්‍යත්වයේ සලකුණු. මනුෂ්‍ය
සමාජයේ පිරිහීම ගැන සංවේදී වූ සටහන්. ධනවාදයට එරෙහි විවේචනයන්.

Comments
Post a Comment