රෝමානෙස්ක් සහ ගොතික් චිත‍්‍ර කලාව මධ්‍යකාලීන යුරෝපයේ දෘශ්‍ය භාෂාවේ විකාශය


මධ්‍යකාලීන යුගයට අදාළව පසුගිය කලාපයෙන් අප ‘මුල් මධ්‍යකාලයේ’ චිත‍්‍ර කලාවේ ලක්ෂණ පිළිබඳ  සෑහෙන තරමේ අවධානයක් ලබා ගත් බැවින් මෙවර අපගේ අවධානය ‘උසස් මධ්‍යකාලය’ වෙත යොමු කරමු.

11-13 සියවස්වලට අයත් උසස් මධ්‍ය කාලයේ දී යුරෝපයේ ඇති වූ කෘෂි ආර්ථිකයේ වර්ධනය, අතිරික්ත නිෂ්පාදනයකට ඉඩ සැලසූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත නගර සංවර්ධනය වීම ඇරඹුණු අතර විශාල දේවස්ථාන ගොඩනැෙඟන්නට විය. මධ්‍යකාලීන යුරෝපීය චිත‍්‍ර කලාවේ වැදගත් ප‍්‍රවණතා ලෙස සැලකෙන රෝමානෙස්ක් (Romanesque)  සහ ගොතික් (Gothic) යන කලා ශෛලීන් බිහි වනුයේ මෙම ඓතිහාසික පසුබිමෙහි ය. 

මේවා හුදෙක් ශෛලීන් පමණක් නොව, සමාජයේ ආගමික විශ්වාස, දාර්ශනික අදහස්, දේශපාලන බලය සහ මනුෂ්‍යයා පිළිබඳ වූ අවබෝධය පිළිබිඹු කළ දෘශ්‍ය සංස්කෘතික පද්ධති ලෙස ද සැලකිය හැකිය.

ක‍්‍රි.ව. 1000-1150 කාලයේ ප‍්‍රමුඛ වූ රෝමානෙස්ක් කලාව රෝම අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ සම්ප‍්‍රදාය හා ක‍්‍රිස්තියානි ආගමික සංකල්ප එක්ව ගොඩනැගුණු කලා ශෛලියකි. එහි ප‍්‍රධාන අරමුණ වූයේ සෞන්දර්යය පමණක් නොව, ආගමික ඉගැන්වීම් දෘශ්‍යමය වශයෙන් ජනතාව වෙත ගෙන යාම යි.

ස්වාභාවික යථාර්ථයට වඩා සංකේතාත්මක නිරූපණයට ප‍්‍රමුඛත්වය ලබා දුන් මෙම සම්ප‍්‍රදාය යටතේ දේව චරිත මිනිස් රූපයන්ට වඩා විශාල ලෙස නිරූපණය කර තිබිණි. (Hieratic Scale). එහෙත් එම රූපයන්ගේ මුහුණුවල චිත්තවේගීය ලක්ෂණ නිරූපණය වී තිබුණේ අවම වශයෙනි. රන් පැහැති හෝ තනි වර්ණ පසුබිමෙහි පැතලි (Flat) රූප සංයෝජනයත් තද හා පැහැදිලි බාහිර රේඛාත් භාවිත කිරීම ඉහළින් දක්නට ලැබුණු රොමානෙස්ක් චිත‍්‍ර කලාවේ ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

ආකෘතිකවාදී (Formalist) න්‍යායට අනුව මෙම නිර්මාණවල වටිනාකම රදාපවතින්නේ රේඛාව, හැඩය, වර්ණය හා සංයුතිය මත ය. රෝමානෙස්ක් චිත‍්‍රවල දක්නට ලැබෙන ශක්තිමත් රේඛා, සමමිතික සංයුතිය හා වර්ණ සංයමය මඟින් සිදු කරනුයේ ආගමික ගාම්භීරත්වය තහවුරු කිරීම යි. එසේ ම රෝමානෙස්ක් චිත‍්‍රවල රන් වර්ණය දෙවියන්ගේ සදාකාලික ආලෝකය නිරූපණය කරන අතර නිල් වර්ණය ස්වර්ගීය ලෝකය හා පාරිශුද්ධත්වය සංකේතවත් කිරීම සඳහා යොදා ගෙන ඇති බව සංකේත රූපවාදීන්ගේ (ෂජදබදකදටහ* කියවීම වේ.

ප‍්‍රංශයේ Saint Savin sur Gartempe දේවස්ථානයේ සිවිලිම් බිතු සිතුවම් රෝමානෙස්ක් කලාවේ විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකේ. එහි පැරණි ගිවිසුමේ කථා, විශාල රූප හා පැහැදිලි සංයුතියක් මගින් ඉදිරිපත් කර ඇති අතර, නරඹන්නා වෙත ආගමික පණිවිඩය ඉතා සෘජුව සන්නිවේදනය කිරීම එහි අරමුණ වී ඇති බව පෙනේ.

12 වැනි සියවසේ මැද භාගයේ උතුරු ප‍්‍රංශයේ ආරම්භ වූ ගොතික් කලාව, රෝමානෙස්ක් කලාවේ ව්‍යුහාත්මක හා සෞන්දර්යාත්මක ලක්ෂණවලින් ක‍්‍රමයෙන් විකාශනය වූ, නව කලාත්මක හා වාස්තු විද්‍යාත්මක සම්ප‍්‍රදායක් ලෙස සැලකේ. Kleiner, F. S. (2021) Gardner’s art through the ages. The Western perspective (16th ed. Vol. 1&. Cengage Learning'

විශාල ජනෙල්, ඉහළ වාස්තු විද්‍යාත්මක අවකාශ, ස්වාභාවික ආලෝකය සහ මිනිස් මුහුණුවල මිනිස් හැඟීම් නිරූපණය කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම එහි විශේෂත්වය යි. එසේ ම මිනිස් සිරුරේ අනුපාතය වඩා ස්වාභාවික වූ අතර චලනය හා අවකාශය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ශිල්පීන් උනන්දු වී තිබිණ.

ඉතාලි චිත‍්‍ර ශිල්පී Giotto di Bondone (ක‍්‍රි.ව. 1267-1337) ගේ නිර්මාණ ගොතික් කලාවේ සිට ඉතාලි පුනරුද කලාව වෙත සිදු වූ සංක‍්‍රාන්ති අවධිය නියෝජනය කරන වැදගත් නිදසුන් ලෙස සැලකේ. විශේෂයෙන්ම පාඩුවාහි Arena (Scrovegni) Chapel හි බිතු සිතුවම් මාලාවේ ඔහු ආගමික විෂයයන් නිරූපණය කළේ චරිතවල මනුෂ්‍ය හැඟීම්, ස්වාභාවික ශරීර භාෂාව සහ අවකාශය පිළිබඳ නව අවබෝධයක් ප‍්‍රදර්ශනය කරමිනි. ශෝකය, ප‍්‍රීතිය, ආදරය සහ වේදනාව වැනි මනුෂ්‍ය හැඟීම් සජීවී හා යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම හේතුවෙන් Giotto මධ්‍යකාලීන බයිසන්ටියානු සම්ප‍්‍රදායෙන් බැහැරව බටහිර චිත‍්‍ර කලාවේ නව දිශානතියකට පදනම සකස් කළ කලාකරුවකු ලෙස බොහෝ කලා ඉතිහාසඥයන් විසින් ඇගයීමට ලක් කරනු ලැබේ. Gombrich. E. H. (1995). The story of art (16th ed.) Phaidon Press

ගොතික් දේවස්ථානවල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ වර්ණිත වීදුරු ජනෙල් ය (Stained Glass). මේවා අලංකාරය සඳහා පමණක් නොව, ‘දෘශ්‍ය බයිබලයක්’ ලෙස ද භාවිත විය. කියවීමට නොහැකි ජනතාවට බයිබලීය කථා, රූප මගින් ඉගැන්වීම එහි ප‍්‍රධාන අරමුණ විය. ඒවායෙහි භාවිත වූ රතු වර්ණය, ක‍්‍රිස්තුස් වහන්සේගේ පූජාව හා ආදරය සංකේතවත් කළ අතර නිල් වර්ණය, ස්වර්ගය හා පාරිශුද්ධත්වය නිරූපණය කළේය. ජනෙල් හරහා ඇතුළු වන ආලෝකය සැලකුණේ දේව අනුග‍්‍රහයේ දෘශ්‍ය ප‍්‍රකාශනයක් ලෙස ය. ප‍්‍රංශයේ Chartres Cathedralහි වර්ණිත වීදුරු ජනෙල් අදටත් මෙම කලා ශිල්පයේ උසස් ම නිදසුන් අතරට අයත් වේ.

මධ්‍යකාලීන චිත‍්‍ර කලාවේ සෑම රූපයකට ම පාහේ සංකේතාත්මක අර්ථයක් තිබුණි. කලාකරුවාගේ අරමුණ වූයේ යථාර්ථය පිටපත් කිරීම නොව, ආගමික සත්‍යයන් දෘශ්‍යමය වශයෙන් ප‍්‍රකාශ කිරීම වීම ඊට හේතු විය.

නිදසුනක් ලෙස, බැටළුවා, පරෙවියා, වෘත්තය, රන් වළල්ල (Halo), මිදි වැල මඟින් පිළිවෙළින් ක‍්‍රිස්තුස් වහන්සේ, ශුද්ධෝත්මයාණන්, සදාකාලිකත්වය, ශුද්ධත්වය හා ආත්මීය ජීවිතය සංකේතවත් විය. මෙවැනි සංකේත දෘශ්‍ය භාෂාවක් ලෙස ක‍්‍රියා කළ අතර, එය මධ්‍යකාලීන සමාජයේ බහුතරයකට පහසුවෙන් අවබෝධ වූ සන්නිවේදන ක‍්‍රමයක් ද විය.

මින් පෙනී යන්නේ රෝමානෙස්ක් සිට ගොතික් කලාවට සංක‍්‍රමණය වීමේ දී බටහිර චිත‍්‍ර කලාවේ මූලික වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන බව යි. එනම්, සංකේතාත්මක රූපවලින් ස්වාභාවික රූප නිරූපණය වෙත ගමන් කිරීම, පැතලි සංයුතියෙන් ගැඹුර හා අවකාශය පිළිබඳ හැඟීමක් ඇති සංයුතියක් වෙත පරිවර්තනය වීම, චිත්තවේග රහිත මුහුණුවලින් ජීවමාන මිනිස් හැඟීම් වෙත සංක‍්‍රමණය වීම හා දැඩි සමමිතික සංයුතියෙන් ස්වභාවික චලනය සහිත සංයුතිය වෙත යොමු වීම යි.

මධ්‍යකාලීන යුගයේ චිත‍්‍ර කලාවේ සිදු වූ මෙම වෙනස්කම්, පසුකාලීන පුනරුද කලාවේ විද්‍යාත්මක නිරීක්ෂණය, දෘෂ්ටිමය ගැඹුර (දෘෂ්ටි ප‍්‍රක්ෂේපණය (Perspective), ශරීර ව්‍යුහය සහ යථාර්ථවාදී නිරූපණය සඳහා ශක්තිමත් පදනමක් සැපයීමට හේතු වූ බව මින් අවබෝධ කර ගත හැකිය.



Comments

Popular posts from this blog

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම