රිවස්ටන් - ඝාතකයා, සෞන්දර්ය ලෝකයෙන් සැබෑ ලෝකයට!
මැලේසියාවේ අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘විශිෂ්ටතම රංගන ශිල්පියා’ට හිමි සම්මානය දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත් වූ අතර ප‍්‍රියන්ත සිරිකුමාර ‘වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා’ ලෙසින් සම්මානයට පාත‍්‍ර විය. 09 වන වරට පැවැත්වූ මැලේසියා සිනමා උළෙලේදී මෙම ප‍්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනාම සම්මානයට පාත‍්‍ර වූයේ ‘රිවස්ටන්’ (Riverstone) චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි. මේ සටහන් කෙරෙනුයේ එම චිත‍්‍රපටය පිළිබඳ විවරණයකි.
පාතාලය කුලියට මිනිසුන් ඝාතනය කරන අතර රාජ්‍ය සන්නද්ධ කල්ලි රාජ්‍යයේ අවශ්‍යතාවට විරුද්ධවාදී පුද්ගලයන් පැහැර ගැනීම හා ඝාතනය සිදු කරයි. මේ රිවස්ටන් චිත‍්‍රපටය ආරම්භක අවස්ථාව වන විට එහි ගලායාම සඳහා ප්‍රේක්ෂකයා තුළ අවධාරණය කරන අදහසයි. චිත‍්‍රපටයේ එක් අවස්ථාවක ‘නන්දිත’ (රන්දික රාජපක්ෂෙ) නමැති පාතාල සාමාජිකයා පොලිස් කණ්ඩායමේ නායකයාට ප‍්‍රකාශ කරන අදහසින් එය වඩා තහවුරු කෙරෙයි. චිත‍්‍රපටයේ ගලා යන්නේ කිසියම් නායකයකුගේ උපදෙස් මත පොලිස් නිලධාරින් තිදෙනෙක් විසින් පාතාල සාමාජිකයා ජීප් රථයක දමා මරා දමන්නට ඔහුගේ ගම් ප‍්‍රදේශය වූ රිවස්ටන් ප‍්‍රදේශයට රැගෙන යන අතරතුර සිදුවීම් පෙළක් ලෙසිනි.
රිවස්ටන් යනු, මේ ඝාතකයන්, අලූගෝසුවන් ගැන කියන කතාවක්ද? ඒ වෙනුවට සාමාන්‍ය පොලිස් නිලධාරින්ගේ චරිත යොදාගෙන ඝාතක යාන්ත‍්‍රණය වෙනුවට එම චරිත ආදේශ කරගත් චිත‍්‍රපටයක්ද? ලලිත් රත්නායක මේ සිනමා කෘතියට යොදාගන්නේ ඔහුගේම තිර රචනයකි. රිවස්ටන් කෘතියේ සිනමාත්මක අගයන් සියල්ල තිබියදී දුබලතාව පැන නගින්නේ තිරපිටපතේ සිට සිනමා අධ්‍යක්ෂණය දක්වා මේ කතා පුවතට අදාළ සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිම හොඳින් ස්පර්ශ නොකිරීමේ ගැටලූවකි. චිත‍්‍රපටයේ චරිතවලට අදාළ ජීවිතයේ ගැටලූ පවා පෙළ ගස්වමින් චිත‍්‍රපටය නිමවා තිබියදී එසේ කියන්නේ ඇයිදැයි ඔවුන් අසනු ඇත. කලා කෘතියක් විචාරයට ලක් කිරීමේදී එය කෘතියේ මතුවන ශක්‍යතා හා දුබලතා ඔස්සේ කියවිය යුතුය. රිවස්ටන් කණ්ඩායම විසින් නැරඹීය හැකි සිනමා නිර්මාණයක් අප වෙත ඉදිරිපත් කර ඇති අතර, දැන් අප කෘතිය නරඹා එහි බාහිර ස්වරූපය විනිවිද ඒ තුළ අඩංගු කුමක්දැයි කල්පනා කළ යුතුය. කෘතියේ ‘සම’ මතුපිට ලස්සන නරඹා ලස්සනයි කිසිවකුට කිව හැකි නමුත් සමට යටින් වන ව්‍යුහයේ ‘සම් මස් ලේ ඇටකටු’ විශ්ලේෂණයකින් වඩා හොඳ කියවීමක් කරන්නට අප සමත් විය යුතුය.
චිත‍්‍රපටය දිවෙන පැය දෙකකට ආසන්න කාලය තුළ පොලිස් නිලධාරීන් ඝාතක කල්ලියක් ලෙස ක‍්‍රියාත්මක වන බව අ`ගවමින්, එහෙත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ දුක් කම් කටොලූ සහිත සිදුවීම් පෙළක් ප‍්‍රතිනිර්මාණය කෙරෙයි. පොලිස් රියැදුරා ලෙස සේවය කරන සාජන්ට් උදයසිරි(මහේන්ද්‍ර පෙරේරා), උසස්වීම් නැතිව අසාධාරණයට ලක්ව සිටින සාමාන්‍ය පොලිස් නිලධාරියෙකි. ඔහු දීර්ඝ කාලයක් පොලිසියේ සාජන් නිලයට ඉහළ තත්වයක් කරා යන්නට සමත් වී නැත. ඝාතක මෙහෙයුම් රාජකාරියේ කොටසක් ලෙස සළකන ඔහු විනෝදාංශය ලෙස ගුවන්විදුලියේ වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් අසන්නන්ගේ ඉල්ලීම් ජීවිතයේ වින්දනයක් කොටගත්තකු ලෙස නිරූපණය වේ. පොලිස් කොස්තාපල් චන්ද්‍රපාල (ප‍්‍රියන්ත සිරිකුමාර), ගමනේ ආරම්භයේදීම සිය බිරිය හෘදයාබාධයකට ලක්ව ඇති බව දැනගැනීමෙන් පසුව ‘රාජකාරි ගමන’ පුරාම දැඩි පීඩාවක පසුවෙයි. මෙසේ පෞද්ගලික ජීවිතයේ දුෂ්කරතා හේතුවෙන් මේ ‘පොලිස් ඝාතකයන්’ ද පීඩා විඳින්නන් බවක් පෙන්නුම් කරන්නට රිවස්ටන් සිනමා චිත‍්‍රපටයේ උත්සාහ දරා ඇත.
පොලිස් පරීක්ෂක පින්නවල(ශ්‍යාම් ප‍්‍රනාන්දු), මෙම ඝාතන මෙහෙයුමට සම්බන්ධ වන්නේ පළපුරුද්දක් ඇත්තකු ලෙස වුවද ඔහු ගමන අතරවාරයේ මාතලේ නගරයේදී සිය පෙම්වතිය හමුවීමට කල්තියාම සැලසුම් කර තිබේ. ඔහු පොලිස් ඝාතන කණ්ඩායමක මෙහෙයවන්නකු ලෙස ‘රාජකාරි’ කළද ඔහුට සම්බන්ධ ‘මානුෂීය කතාවක්’ බවට පත් කරන්නට තිර පිටපතේ සිටම නැගෙන උත්සාහයක් චිත‍්‍රපටයෙන් නිරූපණය වේ. මේ අතර කුලියට මිනී මරන්නකු ලෙස කියැවෙන නන්දිතගේ චරිතය පෙළ ගැසෙන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් නමුත් අවසානයේ පාතාල ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමෙන් ජීවිකාව සොයාගත් ග‍්‍රාමීය සාමාන්‍ය තරුණයකුගේ පුවතක් ලෙසිනි.
මේ සියලූ පසුබිම් කතා පසෙක තබා රිවස්ටන් කතා පුවතේ හරය අවධානයට ගෙන බලමු. රජයේ ආරක්ෂක අංශ විවිධ නියෝග මත මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කළ ඉතිහාසයක් තුළ අප මේ සිනමා කෘතිය නරඹමු. එසේම සුදු වෑන් අත්දැකීම් ඇතුළුව ජනතා විරෝධය මර්දනයට පොලිසිය මෙන්ම රජයේ ඔත්තුකරුවන්, ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් විශේෂයෙන් යොදවා ගත් අත්දැකීම් අප කියවා හෝ එසේ නොමැති නම්, අසා දැන සිටිමු. රාජ්‍ය මර්දන කාර්ය වෙනුවෙන් රාජ්‍ය යාන්ත‍්‍රණය භාවිත කෙරෙන තත්වය සාමාන්‍ය යථාර්ථයයි. එහිදී නිල හා නිල නොවන වධකාගාර හා ඒවායේ රාජකාරි කරන වැටුප් හා වරප‍්‍රසාද ලබන වධක කාර්යයෙන් තෘප්තිය ලබන මිනීමැරීමෙන් විනෝදවන අලූගෝසුවන් සිටී. නමුත් අපට රිවස්ටන් චිත‍්‍රපටයේ හමුවන ඝාතකයන් එවැන්නන් නොවේ. ඔවුන්ගේ ජීවිත මේ යැයි කියන්නට උත්සාහයක් සිනමාකරුවා ගෙන ඇත.
රිවස්ටන් කෘතියෙහි එන්නේ පාතාල සාමාජිකයකු ඝාතනය කර නිහඬ කරවන්නට කිසියම් බලවතකුගේ අවශ්‍යතාව මත කෙරෙන ඝාතන මෙහෙයුමකි. සිනමාව කලා මාධ්‍යයක් ලෙස යොදාගනිද්දී හුදු සිනමා තිරයේ මැවෙන කතාවෙන් පමණක් එහි අර්ථය විමසා බැලිය නොහැකිය. පෙනෙන දර්ශනය විනිවිද කියවා ගන්නට කතාවක් ඇත.
රාජ්‍ය මර්දනය පවතින්නේ කෘර පුද්ගලයන් යොදාගැනීමෙන් පමණක් නොවේ. ඒ සඳහා වෙන් වූ යාන්ත‍්‍රණයක් වෘත්තියමය වශයෙන් සංවර්ධනය කළ ව්‍යුහාත්මක පද්ධතියක් ඇත. නීතියේ ආධිපත්‍ය වැනි වචනවලින් නියෝජනය කෙරෙන පොලිසිය හා නිල සන්නද්ධ හමුදා පමණක් නොව, ඉන් පරිබාහිරව ඊට වඩා ඉහළ බලයක්, වරප‍්‍රසාද සහිත මර්දක යාන්ත‍්‍රණයක විශේෂිත කණ්ඩායම්, නිල නාමයන් සහිතව ප‍්‍රසිද්ධියෙත් අප‍්‍රකටවත් පවත්වා ගෙන යනු ලබයි. පැරණි ලෝකයේ රජු වෙනුවෙන් සිය යටත්වැසියන් යටත්කර බියපත්කර අකර්මණ්‍යව තබාගන්නට විශේෂයෙන් අවිදරාගත් මුර භටයන් සිටියේ නම්, එවැනිම විශේෂයෙන් පුරුදු පුහුණු කර සුවිශේෂී අවි සහ වෙනත් නූතන මෙවලම් දරාගත්, මර්දකයන් රාජ්‍ය යන්ත‍්‍රණය විසින් පවත්වා ගෙන යයි.
මේ මර්දක-ඝාතක යාන්ත‍්‍රනයේ ඇණ මුරිච්චි, දැති රෝද බවට පත්වන්නේ අප අතර සිටින ඇතැම් විට අප හා සුහදව කතා බහ කරන, එකට කන බොන මිනිසුන් විය හැකිය. එහෙත් මේ මර්දක-ඝාතක යාන්ත‍්‍රණයේ සක‍්‍රිය දැති රෝද බවට පත් වීමෙන් ඔවුන් ස්වකීය සාමාන්‍ය මිනිස් චර්යාවෙන් ඔබ්බට ගමන් කළ විශේෂිතයන් බවට පත් වේ. කොස්තාපල් උදයසිරිලාට, සාජන් චන්ද්‍රපාලලාට, ඉන්ස්පෙක්ටර් පින්නවලලාට ආදරය කරන්නට වද වෙන්නට අඹුදරුවන්, පෙම්වතියන් සිටියද ඔවුහු තමන් කිසිදා නොදැන සිටි පුද්ගලයන් පවුල් පිටින් සංහාරය කරන්නට පවා නොපැකිළෙන කෘරතර යක්ෂයෝද වෙති. ඝාතක අලූගෝසුවන්ගේ එබඳු බිහිසුණු චරිත ලක්ෂණ වෙනුවට ‘රිවර්ස්ටන්’ චිත‍්‍රපටයේ චරිතවලට මනුෂ්‍යත්වය ආරෝපණය කිරීමේ කෘත‍්‍රිම උත්සාහයක් ඇත. මේ සංකීර්ණත්වය තේරුම් ගන්නට හැකි වන්නේ සමාජයක රාජ්‍ය යාන්ත‍්‍රණය පිළිබඳ වැටහීමක් තුළය. උපතේ සිට මරණය දක්වා අප සමාජය තුළ මිනිස් චර්යාව ශික්ෂණය කරනු ලබන්නේ පවතින පාලනයට යටත්වය. අප ජීවත්වන සමාජයේ ක‍්‍රියාත්මක නීතිය, අධිකරණ පද්ධතිය යුක්තිය ලෙස පිළිගන්නේ බලවත් පාර්ශ්වය ආරක්ෂා වෙන ඒ කොන්දේසිය යටතේ, එම කොන්දේසියට යටත් නම් පමණක්, දුබලයන්ට නොමැරී පණ ගැට ගසාගෙන පැවතිය හැකි පැවැත්මකි. මේවා මේ වනවිට පාතාලය මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම් නැවතීම වැනි නාමකරණයන් යටතේ සිදුවන වින්දිතයන් දඩයමෙන් හොඳින්ම සනාථ වේ. පාතාලය වනු නන්දිත වැනි ඝාතකයන් පමණක් නොව, ඔවුන් මෙහෙයවන ‘ගෝඩ්ෆාදර්ලා’ සහ සිය බල දේශපාලන අරමුණු මත ඒ යාන්ත‍්‍රනයට අනුග‍්‍රහය දක්වන දේශපාලන නායකත්වයද වේ. නමුත් හැම විටම දඩයමට ලක් වන්නේ පහළ පරිවාරයේ පාතාල සාමාජිකයන්ය. නන්දිත ඝාතනයට නියෝග කර ඔහු මරා දමන තුරු ඉන්ස්පෙක්ටර් පින්නවල සමග සන්නිවේදනය පවත්වා ගෙන යන්නේ එවැන්නෙකි. ඔහු පොලිසියේ ඉහළ පුටුවක අයකු විය හැකි අතර ආණ්ඩුවේ බලවතෙකුද විය හැකිය.
අතිශය මානුෂීය අත්දැකීම් ලෙස පෙනෙන සිදුවීම් පෙළක් හා චරිත කිහිපයක් යොදාගෙන අපරාධකාරී පාතාලය, රාජ්‍ය ඝාතක කන්ඩායම් ගැන සාමාන්‍ය සමාජයේ දැනුමට පවා පිටුපා කාල්පනික කතා පුවතක් තිරයට ගෙන එයි. සිනමාකරුවාගේ ප‍්‍රයත්නය තුළ ඔහු මේ මානුෂිකත්වය නිරූපණය කරමින්, රිවස්ටන් පරිසරයද එක් කරමින්, මිනිස් ඝාතනයකට සෞන්දර්යමය ස්වරූපයක් තැවරීමේදී ඔහුට මග හැරෙන්නේ අපද අත්විඳින සත්‍ය සමාජ අත්දැකීම් තුළ මර්දන යාන්ත‍්‍රනයේ කෘරත්වයයි. එහිදී ‘බුල්ස්අයි බත්’ පිරිනැමීමක් හෝ වින්දිතයාගේ හඬට සවන්දීමක් සිදු නොවේ. ගුවන්විදුලි ශ‍්‍රාවකයකුගේ භූමිකාවට වඩා ආවේගශීලී නරුමයකු ඝාතකයාගේ චරිතය නිරූපණය කරයි. කෘර මර්දන යාන්ත‍්‍රනයක වේවා සංවිධානාත්මක අපරාධ කල්ලියක වේවා සාමාජිකයන් අප අතර ජීවත්වන මිනිසුන් බවත් ඔවුන්ටද ඔවුන්ගේ පෞද්ගලික ගැටලූ, හැ`ගීම් දැනීම් ඇති බව සැබෑවකි. නමුත් ඔවුන් ඈඳා ගනු ලබන එකී ව්‍යුහාත්මක, සංස්ථාපිත කෘර යාන්ත‍්‍රණය තුළ නියැලීම විසින් ඔවුන් වෙනස් කරනු ලබයි. එය සරල නැත, දෙබස් ලෙස වචනවලට හෝ කැමරාවේ රූප රාමුවලට හසු නොවන ඒ සංකීර්ණත්වය හසුකර ගැනීම සිනමාකරුවා මුහුණ දෙන අභියෝගයයි. අවධානයට ගත යුත්තේ ව්‍යුහාත්මක වශයෙන් මර්දනය පිණිස ගොඩනැංවූ රාජ්‍ය යන්ත‍්‍රයේ සත්‍ය ස්වරූපය හා එහි චරිත නිරූපණය කරන අලූගෝසුවන්ගේත් වින්දිතයන්ගේත් නොවැදගත්භාවය කෘතියට හසුකර ගැනීමේ මෙම අභියෝගය ගැනය.
මෙහිදී කූලී ඝාතකයන් ගැන නිරූපිත බටහිර සිනමා කෘති නිදසුන් ලෙස දැක්විය හැකිය. ක‍්‍රියාදාම චිත‍්‍රපටවල කෙසේවෙතත් බොහෝ යුරෝපා, හොලිවුඞ් චිත‍්‍රපටවල පවා මර්දන යන්ත‍්‍රයේ ඇත්ත ස්වභාවය එහි මිනිස් ගතිකයන්, මනෝභාවයන් සහිතව නිරූපණය කළ අවස්ථා සුලභය. රිවස්ටන් කෘතියේ දෙබස්වල සිට සිනමාරූපි කැමරා කෝණ, වර්ණ, දර්ශන තල භාවිතයේ සුවිශේෂත්වය, සංගීත නිර්මාණය ආදිය සියල්ල විශේෂ අත්දැකීම් ලෙස ගෙන හැර දැක්විය හැකිය. නමුත් අප මෙහිදී වඩා සැලකිලිමත් වන්නේ කෘතියේ ආත්මයට, එහි හරයට හානිදායක ව්‍යාජ සෞන්දර්යවේදයක් දරා සිටීම පිළිබඳවය. අප කියන මේ අවධාරණය වැදගත් වන්නේ, ලලිත් රත්නායක ඇතුළු සිනමා කණ්ඩායමේ අවධානය සිය ඉදිරි නිර්මාණවලදී මේ දුබලතා හඳුනාගැනීම අදාළ වන්නේ නම්ය.
රිවස්ටන් චිත‍්‍රපටය අවසානයේදී ආනන්ද කුමාර උන්නැහේ රංගනයට එක් වෙමින් ප‍්‍රකාශ කරන දීර්ඝ කතන්දරය චිත‍්‍රපටයේ සමස්තයට බාහිර ලෙස එල්වූවක් ලෙස දැනේ. එවැන්නක් එකතු කරන ලද්දේ දෙපැයක් ගලා ගිය චිත‍්‍රපට නිර්මාණය තුළ ප‍්‍රකාශයට පත් කරන්න නොහැකි වූ යමක් එකතු කිරීමේ අරමුණකින් යැයි හැඟේ.


Comments
Post a Comment