නටත් අයෙක් සුරා මතින් - නරුමවාදී බැහැර කිරීම වෙනුවට මනුෂ්‍යත්වය ඉල්ලන ලෝකයක්!
නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නාට්‍යයේ භූමිකා අතර මතුවන ගැටුම් අරභයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංවාදය සුරාලෝලත්වය හෝ ස්ත‍්‍රී පුරුෂ සබඳතා (බොහෝ දෙනා කියන ‘අනියම් සම්බන්ධතා) පිළිබඳ ප‍්‍රශ්න ලෙස ඌනනය කෙරෙන තත්වයක් තිබේ.
‘සබ්බේ නදී වංක ගතා’ වැනි ස්ත‍්‍රිය පීඩාවට පත් කෙරෙන ගතානුගතික පුරුෂමූලික සංවාද මෙන්ම සුරාසොඬභාවයෙන් පවුල් අවුල් වෙනවා වැනි අව්‍යක්ත සංවාදවලින් වෙන්ව මේ කතාව අපට කියවන්න නොහැකිද? ලද්දු නමැති පිරිමියා සිය බිරිය සම්බන්ධයෙන් දක්වන අධිපතිවාදී දැක්ම මෙන්ම නන්දිසාලා ඔහු වෙත දක්වන බැහැරකිරීම්වාදී දැක්ම මෙහි සැ`ගව ඇති කලාපයකි. නන්දි ලද්දු කෙරෙහි දක්වන බැහැරකිරීම විසින් ඔහු තවදුරටත් හුදෙකලාභාවයට ඇද දමයි. සහකරුවාගේ ජීවිතය පිළිබඳ වගකීමක් ඇයට තිබිය යුතු නැද්ද? සාම්ප‍්‍රදායික මවකගේ පුරුද්දෙන් දරුවා වෙනුවෙන් කටයුතු කරන ඇය, විවාහය, පවුලේ සබඳතාව ගැන මිස මනුෂ්‍ය සබඳතාවක් පිළිබඳ විශ්වාසය දුරු කරගෙන ඇත. එය ඇගේ පාර්ශ්වයෙන් සාධාරණ යැයි කිවහැක්කේ ලද්දු අන්ත සුරාසොඬෙකුගේ භූමිකාවකින් සිය ඇත්ත ජීවිතය වසා දමා ඇති බැවිනි. ඒ වසා ගැනීමේ හේතුව කිසියම් ආත්මීය ගැටලූවක් ලෙස පේ‍්‍රක්ෂකයා වෙත අනාවරණය වන නමුත් සරලමතිකව ඔහු වගකීමක් නැති බේබද්දකු ලෙස ගර්හාවට ලක් කරමින් පේ‍්‍රක්ෂකයා ඔහු බැහැර කරන්නේ නන්දි කරන ආකාරයටමය.
අනෙක් පැත්තෛන් සිය ජීවන සහකාරිය, අන් පිරිමියකු සමග ඇතිකර ගෙන ඇති සබඳතාව කෙරෙහි ද්වේශයෙන් කටයුතු කරමින් ලද්දු, ඇයගේ ජීවිතය, තවදුරටත් තමන් වෙතින් දුරස් කරවයි. ගැහැනු හා පිරිමි අතර ඇතිවන සබඳතා යනු ලිංගික සබඳතා පමණක් යැයි නිශ්චය කරගත් කතිකාවකින් ලද්දු, ශානිකා සහ නන්දි, නිශ්ශංක සබඳතා අරභයා මනුෂ්‍ය ඇස වසා තබයි. ඒ වෙනුවට ද්වේශ සහගත ග‍්‍රාම්‍ය ඇසකින් ඔවුන් හෙළා දකින ප්‍රේක්ෂාගාරයක් ඇත.
නමුත් ඒ වෙනුවට යෝජනා කළ හැකි මනුෂ්‍ය ජීවන සබඳතා පිළිබඳ කතිකාවක් අවශ්‍යය. දේපළ ආරක්ෂා කිරීම ප‍්‍රමුඛ කරගත් යුගලන පවුල නමැති පන්ති සමාජ උපකරණය තුළ මනුෂ්‍යයන් ගැට ගසා ඇත. අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවට සැකය හා ඊර්ෂ්‍යාව රජකරන, නිදහස, සාමකාමී මිනිස් හැඟීම් වෙනුවට ප‍්‍රචණ්ඩත්වය, ප‍්‍රකෝපකාරිත්වය හා පරපීඩකත්වය පවත්වා ගෙන යන මනුෂ්‍ය නීතියක් වෙනුවට මනුෂ්‍ය සබඳතා වෙනුවෙන් පවතින මිනිස් ලෝකයක් අපි ප‍්‍රාර්ථනා කරමු. යාන්ත‍්‍රිකව නිදහස් ලිංගික සබඳතා ලෙස හඳුන්වන උමතුවක් නොව, සැබෑ මනුෂ්‍ය ජයග‍්‍රහන වෙනුවෙන් සාමුහිකත්වය, සහෝදරත්වය සහිත මිනිස් සමාජයක ඒ ඔස්සේ පවතින මනුෂ්‍ය බැඳීම්, පෞද්ගලික ජීවන සබඳතා වෙනුවෙන් වැඩ කරමු.
‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලිනාට්‍ය ඔස්සේ සමාජ සංවාදය අවුළුවන්නේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් පරිහානියට පත් මිනිස් ලෝකයේ ප‍්‍රතිවිරෝධතාවල බිහිසුණු, ඛේදවාචකයයි. පෞද්ගලික රුචිකත්වය, ලිංගික සබඳතා, සුරාව, ආගම වැනිම වූ මනුෂ්‍යයාගේ පෞද්ගලික අවශ්‍යතා උත්කර්ෂයට නැංවීම හෝ නරුම ලෙස බැහැර කිරීම ග‍්‍රාම්‍ය මිනිස් විනයකි. එය නීතියෙන් ඉල්ලා සිටින ශික්ෂණය සඳහා ප‍්‍රචණ්ඩත්වය යොදවන පැරණි සමාජයට අයත් වූවකි.

Comments
Post a Comment