‘සාහිත්‍ය කන්නද?’ අහපු රටක බදු නැතිව කොහොමද?

 

AI Image

”උදාර සංස්කෘතික ජීවිතයක් - සහකම්පනීය ජනතාවක්”

ඒ වත්මන් ආණ්ඩුව බලයට පත් කරගැනීමේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයට අදාළ කොටසේ තේමා පාඨයයි.

සංස්කෘතික මිනිසකු බිහි කිරීම ගැනත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන්ය. මේ වනවිට ඒ අරමුණු කරා යාම සඳහා ආණ්ඩුව තබා ඇති විවිධ පියවර ගැන පමිපෝරි 2ඬ?හන ප‍්‍රචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වේ.

අපගේ අවධානය මේ වනවිට ඉතා අධික පිරිවැයක් දරන්නට සිදුව පොත් ප‍්‍රකාශන කර්මාන්තය පිළිබඳවය. පොත් ප‍්‍රකාශනයට අදාළ කඩදාසි ආනයනය කිරීමට සිදුව ඇති තත්වය තුළ එම කඩදාසිවලට අධික බදු අය කිරීම පොත් ප‍්‍රකාශන කර්මාන්තය පිරිහීමට හේතුවන කරුණකි. අධික මිලක් ඇති පොත් මිලදී ගැනීමට පොදු ජනතාවට ආර්ථික හැකියාවක් නොමැති අතර පාසල් ලිපි ද්‍රව්‍ය පවා අධික මිලකින් යුක්ත නිසා පාසල් අධ්‍යාපනයට ද එය දැඩිව බලපායි.

මේ වනවිට රේගුවෙන් නිදහස්වන මුද්‍රණ කඩදාසිවලට 52.4%ක පමණ බදු පැනවෙන අතර ඊට අමතරව පොත් මුද්‍රණය හා බෙදාහැරීම සඳහා වන පිරිවැය හා බදු එක් වූ විට පොත් කියවන්නෙකුට, පාසල් දරුවෙකුට පොතක් මිලයට ගැනීමේ හැකියාව අවම කරයි. කෙටියෙන් කිවහොත් මිලදී ගන්නා සෑම පොතකම සටහන්වන මිලෙන් 30%ක් රේගු බදුය. දැනට මුද්‍රණ කඩදාසි වෙළඳපොළට පැමිණීමේදී 18%ක වැට් බදු අය කෙරෙන අතර එය කෙළින්ම අදාළ වන්නේ 2024 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව නව බදු පැනවීමටය. ඒ නිසා ආණ්ඩුවේ බදු සහන ලබාදීමේ පොරොන්දු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අඩංගු තවත් බේගලයක් බවට පත්ව ඇත.

මෙහි බරපතළ තත්වය නිදසුනක් ලෙස දැකිය හැක්කේ රුපියල් ලක්ෂ දහයක් වටිනා මුද්‍රණ කඩාදාසි ආනයනය කිරීමේදී රේගුවෙන් නිදහස් කරගන්නා විට රුපියල් පන්ලක්ෂ විසිහතරදහසක පමණ බදු ඊට එකතු වන තත්වයක් තිබෙන නිසාය. එයින් දෙලක්ෂ හතළිස් තුන්දහසක්ම වැට් බදු වේ. 

මේ වනවිට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය හා පොත් ආනයනකරුවන්ගේ සංගමය විසින් ආණ්ඩුව වෙත බලපෑම් කරමින් කඩදාසි මිලට හා පොත් ආනයනයට බදු සහන ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සළකා බැලීමටවත් ආණ්ඩුව සූදානම් නැති බව පැහැදිලිය. පසුගිය නොවැම්බර්යේ අප විසින් ‘රළ’ අතිරේකයේ පළ කළ සටහනේ මේ සම්බන්ධ ප‍්‍රශ්න කරමින් බදු නිදහස් කිරීමක් සම්බන්ධ ආණ්ඩුවේ බලධාරින්ගේ අවධානය යොමු කරන ලදී. විශේෂයෙන් පොත් ප‍්‍රකාශනයට අදාළව බදු සහන නෙ බවට දුන් පොරොන්දුව 2026 අයවැයේදී ඉටු කරන ලෙස අපි එහිදී ආණ්ඩුවට සිහිපත් කළෙමු. 

ඒ කිසිවක් ආණ්ඩුවට අදාළ නොවන්නේ බදු සහන ලබාදීම ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ’ කොන්දේසිවලට පටහැනි වීම නිසාය. එ් සාහිත්‍ය කන්නදැයි ඇසූ දේශපාලනයේ කූටප‍්‍රාප්තියකි. සමාජයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අත්‍යවශ්‍ය අධ්‍යාපන හා සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අදාළ පොත් ප‍්‍රකාශන කර්මාන්තය වෙනුවෙන් අප දිගින් දිගටම හඬ නගන්නේ ආණ්ඩුවේ බීරි අලින්ට නොව, 2022 මහජන අරගලයෙන් ඉදිරිපත් වූ ජනතා අරමුණු වෙනුවෙන් ජාතික ජනබලවේගය ආණ්ඩුව පත් කිරීමට පෙරට ආ සමාජ බලවේග සහ ඒ වෙනුවෙන් වෙහෙසුණු සාහිත්‍ය කලා ආදී ක්ෂේත‍්‍රවල සහෘදයන් රසිකයන් මේ පිළිබඳ පෙරමුණු බලඇණියක්ව කටයුතු කළ යුතු බව අප කල්පනා කරන නිසාය. 

හුදු යාතිකා, යාඥා කරමින් මහජන අයිතීන් දිනාගන්නට නොහැකිය. ඒ වෙනුවෙන් සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ අරගලයක් ආරම්භ කළ යුතුව ඇත. ආණ්ඩු බලය දරා සිටින්නේ කුමන පාර්ශ්වයද යන්න නොසළකා සමාජයක් ලෙස අපගේ ඉදිරි වර්ධනයන් උදෙසා ඒ අරගලයට දායක වෙමු යැයි අප සියලූ දෙනාට ආරාධනය කරමු.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!