කැන්වසයට පෙර කතාව: රෝම යුගය
මෙම ලිපි මාලාව යටතේ අප අවසාන වශයෙන් සාකච්ඡුා කළේ ග‍්‍රීක යුගයේ චිත‍්‍ර කලා ඉතිහාසය පිළිබඳව ය. එහි දී පුරාණෝක්තියට හා මිනිස් රූපයට හිමි වූ වැදගත්කම පිළිබඳවත් ඒ සඳහා බලපෑ දේශපාලන, සමාජ, ආර්ක සාධක හා දාර්ශනික පසුබිම පිළිබඳවත් පාඨකයාට ලබා දීමට අපි උත්සාහ කළෙමු. මෙවර අපගේ අවධානය රෝම යුගයෙහි ගොඩනැ`ගුණු චිත‍්‍ර කලාව වෙත යොමු කරමු.
රෝම යුගයේ චිත‍්‍ර කලාව බොහෝ විට මානව නිර්මාණශීලීත්වයේ උසස් ජයග‍්‍රහණයක් ලෙස අගය කෙරේ. බිත්ති සිතුවම්, මෝසෙයික් නිර්මාණ සහ අධිරාජ්‍ය නායකයන්ගේ රූපමය නිරූපණ, අද දක්වා ම කලා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන ලෙස සැලකීමට බලපා ඇති හේතු කිහිපයකි.
ග‍්‍රීක කලාවේ බලපෑම යටතේ වර්ධනය වූ රෝම චිත‍්‍ර ශිල්පය, ස්වභාවිකත්වය (Naturalism), අවකාශය පිළිබඳ හැ`ගීම (Spatial Illusion) සහ දෘශ්‍ය යථාර්ථවාදය (Realism) ප‍්‍රකාශ කිරීමට රේඛාව හා වර්ණය දක්ෂ ලෙස භාවිත කිරීම ඒ අතරින් ප‍්‍රධානතම සාධකයකි.
රෝම චිත‍්‍රවල රේඛාව බොහෝ විට දැඩි සීමාකාරී රේඛාවක් ලෙස නොව, ආකෘති ගොඩනැගීමට උපකාරී වන මෘදු සහ ස්වභාවික මාධ්‍යයක් ලෙස භාවිතා වී ඇත. විශේෂයෙන්ම පොම්පෙයි (Pompeii) සහ හර්කියුලේනියම් (Herculaneum) ප‍්‍රදේශවලින් හමුවූ බිත්ති සිතුවම්වල මිනිස් රූප, ගෘහ නිර්මාණාත්මක ආකෘති සහ ස්වභාවික දර්ශන නිරූපණය කිරීමේ දී රේඛාව වස්තුවේ පිටත සීමාව පමණක් නොව, එහි චලනය, පරිමාව සහ සජීවීත්වය පෙන්වීමට යොදාගෙන ඇත. චිත‍්‍ර කලා න්‍යායට අනුව මෙය ‘විස්තරාත්මක රේඛාව’ (Descriptive Line), ‘ජෛවීය රේඛාවල (Organic Line) සහ ‘ප‍්‍රකාශන රේඛාව’ (Expressive Line) යන ලක්ෂණ තුන ම එකට ගෙන එන භාවිතයකි. මීට කදිම නිදසුන් ලෙස Villa of the Mysteriesහි බිත්ති සිතුවම් හා Portrait of Terentius Neo and Wife නමැති නිර්මාණය දැක්විය හැකිය.
රෝම චිත‍්‍ර ශිල්පීන් වර්ණය හුදෙක් අලංකාරක අංගයක් ලෙස නොව, අවකාශය සහ ගැඹුර නිර්මාණය කරන දෘශ්‍ය උපක‍්‍රමයක් ලෙස යොදා ගෙන ඇත. රතු, කහ, නිල්, කොළ සහ කළු වැනි වර්ණ ප‍්‍රබල ලෙස භාවිතා වූ අතර, ඒවායේ තාපමය සහ ශීතමය ගුණාංග (Warm and Cool Colours) යොදාගෙන දුර සහ ආසන්න බව පිළිබඳ හැ`ගීමක් ඇති කරන ලදී. නිදසුනක් ලෙස, ඉදිරිපස ආකෘති සඳහා උණුසුම් වර්ණ භාවිතා කර, පසුබිම් දර්ශන සඳහා මෘදු හෝ අඳුරු වර්ණ යෙදීමෙන් දෘශ්‍ය ගැඹුරක් ගොඩනැගීය.
Villa of Livia උද්‍යාන දර්ශන සිතුවම් රෝම වර්ණ භාවිතයේ මෙම ගුණය වටහා ගැනීම සඳහා වන විශිෂ්ට නිදර්ශනයකි. මෙහි ඉදිරිපස කොළ සහ නිල් වර්ණ මගින් වඩාත් පැහැදිලි ස්වභාවික පරිසරයක් නිර්මාණය කර ඇති අතර පසුබිමේ වර්ණ මෘදු වේ. වර්ණ ඝනත්වයේ මෙම වෙනස්කම් මගින් දුර සහ ගැඹුර පෙන්වීමට ද එම ශිල්පීන් උත්සාහ දරා ඇත. මෙය ‘වායුගෝලීය දෘෂ්ටිකෝණය’ (Atmospheric Perspective) සහ වර්ණ දෘෂ්ටිකෝණය (Colour Perspective) භාවිත කළ මුල් අවස්ථාවක් ලෙස ද ඉතිහාසයට එක් වී ඇත.
චිත‍්‍ර කලා න්‍යායේ ‘ස්වර අගය’ (Tonal Value) යන සංකල්පය අනුව ද රෝම චිත‍්‍රවල වර්ණ භාවිතය වැදගත් වේ. ආලෝකය සහ සෙවනැල්ල අතර වෙනස පෙන්වීම සඳහා වර්ණයේ දීප්තිමත් හා අඳුරු බව භාවිතා කරමින් ත‍්‍රිමාණ හැ`ගීමක් ඇති කර ඇත. මෙය පසුකාලීන යුරෝපීය පුනරුද චිත‍්‍ර කලාවේ වර්ධනයට ද මූලික බලපෑමක් ලබා දුන් ලක්ෂණයකි. රෝම ඊජිප්තු මෘතදේහවල හමුවූ (Fayum mummy portraits) චිත‍්‍රවල මෙම ලක්ෂණ මනාව සටහන් වී ඇත. චිත‍්‍ර කලා න්‍යාය අනුව මෙය Chiaroscuro (ආලෝක-අඳුරු විරුද්ධතාව) භාවිතයේ මුල් ආකාරයක් ලෙස හඳුනාගත හැකිය.
එසේ ම වර්ණයේ මනෝවිද්‍යාත්මක බලපෑම ද රෝම චිත‍්‍රවල ප‍්‍රබල ලෙස දැකිය හැකිය. ගෘහ අභ්‍යන්තර බිත්තිවල භාවිතා කළ ගැඹුරු රතු (Pompeian Red) සහ කහ වර්ණ, සෞභාග්‍යය, උත්කර්ෂය හා රාජකීයත්වය නිරූපණය කළ අතර, නිල් සහ කොළ වර්ණ ස්වභාවිකත්වය හා සන්සුන් බව ප‍්‍රකාශ කළේය. මේ අනුව වර්ණය, දෘශ්‍ය යථාර්ථය පමණක් නොව, චිත්තවේගීය වාතාවරණයක් ගොඩනැ`ගීමේ මාධ්‍යයක් බවට ද පත්විය.
සමස්තයක් ලෙස, රෝම යුගයේ චිත‍්‍ර කලාවේ රේඛාව ආකෘති නිර්මාණය, චලනය සහ යථාර්ථවාදය ප‍්‍රකාශ කිරීමට භාවිත වූ අතර අවකාශය, ආලෝකය, ගැඹුර සහ හැ`ගීම් නිර්මාණය කිරීමට වර්ණය යොදා ගන්නා ලදී. චිත‍්‍ර කලා න්‍යායාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන විට, මෙම අංග දෙකේ සාර්ථක සංයෝජනය රෝම චිත‍්‍ර කලාවට එහි විශේෂ දෘශ්‍ය බලය සහ ඉතිහාසමය වැදගත්කම ලබා දී ඇත.
එහෙත් මෙහි දී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් වන්නේ රෝම චිත‍්‍ර කලාවේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වූයේ අධිරාජ්‍යයන්, ප‍්‍රභූ වංශිකයන් සහ ඉඩම් හිමියන් වන බව ය. එබැවින් බොහෝ නිර්මාණයන්හි දක්නට ලැබෙන්නේ සම්පත්, සුඛෝපභෝගීත්වය සහ බලය පිළිබඳ රූපකයන් ය. විශාල මන්දිරවල බිත්ති සිතුවම්වලින් ස්වභාවික දර්ශන, දේව කතා සහ උත්කෘෂ්ට ජීවන රටා නිරූපණය කළ ද, ඒවායේ පසුබිම තුළ පවතින වහළුන්ගේ ශ‍්‍රමය සහ සමාජ අසමානතාවය බොහෝ විට අතුරුදන් වී ඇත. මෙය ‘දෘෂ්ටිවාදී ආවරණයක්’ (ideological veil) ලෙස ක‍්‍රියාත්මක වෙමින් චිත‍්‍ර කලාව දේශපාලනික ප‍්‍රචාරණයක කොටසක් බවට පත්වීමකි. අධිරාජ්‍යයන් බොහෝ විට තරුණ, ශක්තිමත් සහ දේවමය ගුණ ඇති පුද්ගලයන් ලෙස නිරූපණය කෙරිණි. මෙහි අරමුණ වූයේ පාලනය සඳහා ජන අනුමැතිය ගොඩනැගීම සහ අධිරාජ්‍යයාගේ බලය ස්වභාවික හා නීත්‍යානුකූල දෙයක් ලෙස ප‍්‍රදර්ශනය කිරීම යි. එනම් පවතින සමාජ ක‍්‍රමය සමාන්‍ය, ස්ථාවර හා නියමිත යථාර්ථයක් ලෙස නිරූපණය වේ.
මින් පෙනීයන්නේ රෝම යුගයේ චිත‍්‍ර කලාව ද්විත්ව ස්වභාවයක් දරන බව යි. එක් අතකින් එය උසස් තාක්ෂණික හා සෞන්දර්යාත්මක ජයග‍්‍රහණයක් වන විට අනෙක් අතින් එය වහළුන්ගේ ශ‍්‍රමය මත ගොඩනැගුණු අධිරාජ්‍යයක දෘෂ්ටිවාදී මුහුණුවරක් ද වන බව වටහා ගැනීම අතිශයින් වැදගත් ය.

Comments
Post a Comment