කලාභවනේ චිත‍්‍ර 42ක් ජෝර්ජ් කිට්ගේ චිත‍්‍ර දෙකක් අතුරුදන්!


යම් රටක සංස්කෘතික ඉතිහාසයේ එම රටේ චිත‍්‍රවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. බොහෝ රටවල් සිය රටේ කලාකරුවන්ගේ පමණක් නොව විදේශීය කලාකරුවන්ගේ සිතුවම් පවා ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කරන්නේ එහෙයිනි. සිය රටට විදේශයකින් පැමිණියද, ලියනාඩෝ ඩාවින්චිගේ ‘මොනාලිසා’ සිතුවම ප‍්‍රංශය සලකන්නේ සිය රටේ ආඩම්බරය ලෙසිනි.  ඩාවින්චිගේම ‘අවසන් රාත‍්‍රී භෝජනය’ චිත‍්‍රය ඉතාලිය ආරක්ෂා කරන ආකාරය එය නැරඹු අය දනී. ලන්දේසි කලාකරු වින්සන්ට් වැන් ගෝ විසින් නිර්මිත ‘තරු පිරි අහස’ සිතුවම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නවීන කලා කෞතුකාගාරයේ තබා ඇත්තේ ඉහළම ගෞරවය ලබා දෙමිනි. නමුත් ලංකාවේ ජනතාවගේ සංස්කෘතික උරුමයන් බඳු චිත‍්‍ර සම්බන්ධයෙන් අප සමාජයක් ලෙස කෙතරම් නොසැලකිලිමත්දැයි  වටහා ගැනීමට කලාභවනේ සිතුවම් 42කට සහ ජෝර්ජ් කීට්ගේ සිතුවම් දෙකකට අත්වූ ඉරණම දෙස බැලීම පමණක් වුව ප‍්‍රමාණවත් වේ.

ලංකාවේ වටිනා ඓතිහාසික සිතුවම් ඇතුළු කලාකෘති ආරක්ෂා කරන කලාගාර  අතර ලංකාවේ ප‍්‍රථම, පැරණිතම සහ ප‍්‍රමුඛ කලාගාරය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ජාතික කලා භවනයි. එහි ඉතිහාසය සියවසක් පමණ ඈතට දිවයයි. ලංකාවේ ප‍්‍රමුඛ චිත‍්‍ර ශිල්පීන් එක්ව ‘කොළඹ ඇඳීමේ සමාජය’ පිහිටුවා ගන්නේ 1880 දශකයේ මුල් භාගයේදීය. පසුව 1887දී එය‘ලංකා කලා සංගමය’ ලෙස අලූ‍ත් නමකින් ප‍්‍රතිසංවිධානය විය. ලංකා කලා සංගමයේ ප‍්‍රථම චිත‍්‍ර ප‍්‍රදර්ශනය 1892දී පවත්වන ලද අතර ඒ සඳහා සුදුසු ශාලාවක් නොතිබූ බැවින් එය පවත්වන ලද්දේ තාවකාලික ශාලාවකය. චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීම සඳහාත් චිත‍්‍ර ආරක්ෂා කර ගැනීම සඳහාත් කලාගාරයක අවශ්‍යතාව පිලිබඳ සාකච්ඡුාව ආරම්භ වුයේ එම චිත‍්‍ර ප‍්‍රදර්ශනයත් සමගය. නමුත් ජාතික කලාභවන නමින් කලාගාරයක් ආරම්භ කිරීමේ යෝජනාව මුලින්ම සාකච්ඡුා වුයේ 1911 දීය. වත්මන් කලාභවන පිහිටි ඉඩම චිත‍්‍ර ශිල්පියෙකු වූ ටියුඩර් රාජපක්ෂ විසින් ඒ සඳහා පරිත්‍යාග කරන ලද අතර කලාභවනේ සැලසුම අඳින ලද්දේ තවත් ප‍්‍රමුඛ චිත‍්‍ර ශිල්පියෙකු වන ඒ. සී. එස් අමරසේකර විසිනි. 1919දී මුල්ගල තැබුවද පළමු ලෝක යුද්ධය නිසා ඉදිකිරීම් ප‍්‍රමාදවී පළමු ශාලාව විවෘත කරනු ලැබුවේ 1932දීය. පසුව අර්නස්ට් ප‍්‍රනාන්දුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 1953දී තවත් ශාලා දෙකක් ජාතික කලාභවනට එක්විය. ලංකා කලා සංගමය මුහුණදුන් පරිපාලන හා මූල්‍ය අර්බුද නිසා 1971දී ජාතික කලාභවන රජයට පවරන ලද අතර දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතික ක්ෂේත‍්‍රයට ප‍්‍රතිපාදන වෙන් නොවීම නිසා කලාභවන දිනෙන් දින පරිහානියට ලක්විය. එය අවසානයේ කලාගාරයක් ලෙස නොව මියගිය කලාකරුවන්ගේ දේහයන් තබන අවමංගල්‍ය ශාලාවක් බවට පත්විය. ඓතිහාසිකව වටිනා කලාත්මක චිත‍්‍ර විනාශයට බඳුන් විය. 

ප‍්‍රස්තූත ප‍්‍රශ්නය ආරම්භ වනුයේ 2012 දී ජෝන් ද සිල්වා රඟහල සහ ජාතික කලාභවන අලූ‍ත්වැඩියා කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමගිනි. එතැන් සිට දශක එකහමාරක් ගෙවී ගියද තවමත් සංවර්ධන කටයුතු අවසන් නැති අතර අපට ජෝන් ද සිල්වා ශාලාවේ නාට්‍ය නැරඹීමේ සහ කලාභවනේ චිත‍්‍ර රස විඳීමේ අවස්ථාව අහිමිව ගොස් ඇත. කලාභවන සංවර්ධන කටයුතු සඳහා වසා දමද්දී චිත‍්‍ර සංස්කෘතික අමාත්‍යංශයට අයත් වේයන්ගොඩ පිහිටි ගබඩාවකට රැුගෙන ගොස් ඇත. 2008 වසරේදී මුද්‍රණය කරන ලද ඇල්බමයකට අනුව කලාභවනේ චිත‍්‍ර 281ක් තිබී ඇත. නමුත් 2015දී කරන ලද සමීක්ෂණයේදී හෙළිදරව් වුයේ වේයන්ගොඩ ඇත්තේ චිත‍්‍ර 239ක් පමණක් බවය. එනම් චිත‍්‍ර 42ක් අස්ථානගත වී ඇත. ඒ සම්බන්ධයෙන් එම කාලයේම කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර ඇතත් පොලීසිය වසර 10ක් තිස්සේ කිසිවක් සොයාගෙන නැත. අවම වශයෙන් එම වටිනා කලාකෘති සොරාගනු ලැබුවේ කලාභවනේදීද, වේයන්ගොඩදීද, ගෙනයන අතරමගදීද යන්නවත් පොලීසිය සොයාගෙන නැත. පොලීසිය නාමික විමර්ශනයක් කර අත පිසදාගෙන ඇති අතර සංස්කෘතික අමාත්‍යාංශය සුපුරුදු පරිදි මර නින්දේ පසුවී ඇත. 

ප‍්‍රශ්නය, චිත‍්‍ර සොරකම් කිරීම පමණක් නොවේ. මේ ඓතිහාසික කලාකෘති ආරක්ෂා කිරීමේ කිසිදු උවමනාවක් ධනේශ්වර ආණ්ඩු වලට නැත. කලා භවනේ තිබූ චිත‍්‍ර 63ක් 1999 වසරේදී අබලි චිත‍්‍ර ලෙස නම්කර රුපියල් 1500කට යම් කිසිවෙකුට අලෙවි කර තිබේ. මේ කාලය තුළ විදෙස් රටක ප‍්‍රදර්ශනය සඳහා ගෙන ගිය චිත‍්‍ර  සෑහෙන ප‍්‍රමාණයක් නැවත ආපසු ලංකාවට එවා තිබූ නමුත් එම චිත‍්‍ර දීර්ඝ කාලයක් කොළඹ වරායේ තිබී බහාලූ‍ම්වලට වතුර කාන්දු වී විනාශ වී ඇත. කලාභවන ප‍්‍රතිසංස්කරණය සඳහා ඉවත් කරනු ලැබූ චිත‍්‍ර විශාල ප‍්‍රමාණයක් ට‍්‍රැක්ටරයක පටවා ගෙනගොස් කොළඹ නිදහස්  චතුරස‍්‍ර ගොඩනැගිල්ලේ පොළොව මට්ටමට පහතින් ඇති ගබඩාවක දමා ඇති අතර වැසි සමයේ එම ස්ථානය වතුරට යටවීම නිසා එහි තිබූ චිත‍්‍ර විශාල ප‍්‍රමාණයක් විනාශ විය. මුදළිඳු අමරසේකර, ඬේවිඞ් පේන්ටර්, ජී. එස්. ප‍්‍රනාන්දු  ජෝර්ජ් කීට් ආදී විශිෂ්ඨ ලාංකීය කලාකරුවන්ගේ නිර්මාණ මේ ආකාරයට වනසා දමා ඇත්තේ ධනේශ්වර රාජ්‍යයේ සංස්කෘතික වගකීම කොපමණදැයි විදහා දක්වමිනි. ඒ අතර ජෝර්ජ් කීට්ගේ චිත‍්‍රවල භාරකරු ලෙස රජය වගකීම භාර නොගෙන එම වගකීම කීල්ස් සමාගමට පවරනු ලැබීය. එම සමාගමේ කොළඹ, ගාලූ‍පාර ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය වෙනස් කිරීම සඳහා චිත‍්‍ර රැුගෙන යාමේදී 2013 ජුලි 12 සහ 19 අතර දිනෙක ජෝර්ජ් කීට්ගේ වටිනා චිත‍්‍ර දෙකක් සොරකම් කර ඇත. කීට් 1950දී අඳින ලද ‘වසන්ති’ සිතුවම සහ 1953දී අඳින ලද ‘මව සහ දරුවා’ නමැති කැන්වසය මත තෙල් සායමෙන් නිර්මිත මිල කළ නොහැකි වටිනා කලාකෘති දෙක අදටත් නැත. චිත‍්‍ර පමණක් නොව ඒ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසියට කරන ලද පැමිණිල්ලද අතුරුදන්ය. 

ලංකාවේ පසුගාමී ධනපති පන්තියට සහ ධනේශ්වර රාජ්‍යයට අපේ ජාතික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන්ට තරම්වත් උවමනාවක් නොතිබුණු බව පැහැදිලිය. 2022 ජුලි 9 වැනිදා ජන අරගලය මධ්‍යයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවෝ සහ සාමාන්‍ය ජනතාව මේ අගනා උරුමයන් සම්බන්ධයෙන් ධනපති පාලකයන්ට වඩා කොතරම් ඉදිරියෙන් සිටියේද යන්න පෙන්වුහ. ජනාධිපති මන්දිරයේ බිත්ති වල එල්ලා තිබුණු වටිනා චිත‍්‍ර අසළ ”මේ චිත‍්‍ර ගෝඨා අඳින ලද චිත‍්‍ර නොවේ. මේවා ඓතිහාසික උරුමයන්ය. මේ චිත‍්‍ර ආරක්ෂා කරන්න”‍ යැයි ලියන ලද පුවරු සවිකර තිබුණා මතකය. අරගලකරුවන් දින කිහිපයක් ඇතුලත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙන්වාගෙන එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර එම කලාකෘති ආරක්ෂා කිරීමට උත්සාහ කළ ආකාරයද අපට අමතක නැත. 

ජාතික කලාභවනේ ඉතිරිව තිබෙන වටිනා කලාකෘති ප‍්‍රමාණය හෝ අනාගත පරම්පරා වෙනුවෙන් රැුක ගැනීමට නම් ඒවායේ භාරකාරත්වය ධනේශ්වර පන්තියෙන් උදුරාගෙන සමාජයීය අයිතිය තහවුරු කළ යුතුය. අතුරුදන් වූ චිත‍්‍ර අපට කියන්නේ එයයි.


Comments

Popular posts from this blog

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!