දුර්ගයක ප්‍රේමය හෙවත් The Gorge


ජනාකීර්ණ නගරයක කාර්ය බහුල වීදියක රැකියාවකට හෝ වෙනත් අවශ්‍යතාවයකට දුවන අතර අපට නිකමට වගේ හිතෙනව කවුරුත් නැති හුදෙකලා කඳු මුදුනක, මිනිස් කටහඩක්වත් නැති තැනක ජීවත් වෙන්න තිබුණා නම් මොන තරම් වාසනාවක්ද කියල. ඒත් ඇත්තටම කිසිදු මනුස්සයෙක් එක්ක ගණුදෙනුවක් නැති කඳු මුදුනක් වගේ තැනක හුදෙකලා වෙන්න ලැබුනොත් ඒ හුදෙකලාව අපි හිතන සැහැල්ලුව අපිට ලබාදෙයිද? නැත්තන් අපි හුදෙකලා කඳු මුදුන අතහැර මානව සබදතාවයක් සොයාගෙන කඳු පාමුල දුර්ගය (gorge) තරණය කරාවිද?

කුලී ඝාතකයෙක් කියූ පමණින් අපට මැවෙන්නේ කිසිදු මනුෂ්‍යත්වයක් හෝ හැගීම් දැනීම් නැති කලු ගලක් වැනි අයෙක්. නමුත් 'The Gorge' කුළී ඝාතකයන් දෙදෙනෙකුගේ රෝමාන්තික ආදර කතාවක්. Levi Kane ඇමරිකානු හමුදාවෙන් අඩු වයසින් විශ්‍රාම ගොස් හුදෙකලා ජීවිතයක් ගත කරන්නෙකි. රජයෙන් සහ පුද්ගලික පාර්ශවයන් වෙතින් ලැබෙන රහසිගත කොන්ත්‍රාත් මත ඝාතනයන් සිදුකරන්නෙකි. Drasa රුසියාවේ සිටින එබඳුම කුලී ඝාතකයෙකු වන අතර එරට රජයද රහසිගත කාර්යන් සඳහා ඇයව යොදා ගනී.

Levi Kane ට හදිසියේම එරට රජයෙන් අත්භූත කොන්ත්‍රාත්තුවක් ලැබෙයි, ලෝකයේ නොදන්නා කොනක ඇති දුර්ගයක (උස්බිම් දෙකක් අතර පහත් බිමක්) එක් පසක ආරක්ෂාව බලා ගැනීම ඔහුගේ වගකීමයි. වසරක කාලයක් ඔහු එය සිදු කල යුතු අතර එම වසර තුළ කිසිදු ලෙසකට බාහිර ලෝකය සමග සබදතාවයක් පවත්වා ගැනීමට හැකියාවක් නැත. මසකට වරක් මූලස්ථානයකින් සම්බන්ධවී මෙහි තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ගැනීමක් පමණක් සිදුවෙයි. Levi Kane ගේ පැමිණීමත් සමග එතෙක් රාජකාරි කළ නිළධාරියාට රාජකාරි අවසන් වන අතර ඔහුට පිටවීමට ඉඩ ලැබෙයි. නමුත් සත්‍ය වන්නේ 2 වන ලෝක යුද්ධ සමයේ පමණ සිට මේ ආකාරයට ආරක්ෂාවට යොදවන ලද නිළධාරීන් කිසිවෙක් තම රාජකාරි අවසන් කිරීමෙන් පසු මෙම හුදෙකලා දුර්ගයෙන් පිටවී නොමැති බවයි. මෙම දුර්ගය පිළිබඳ ඔවුන් දැනගන්නා දේ පිටත සමාජයට යාම වළක්වා ඇත, එමෙන්ම චන්ද්‍රිකා ඡායාරූප ආදියෙන්ද මෙම දුර්ගය සගවා ඇත. එහි ඇත්තේ කුමක්ද යන්න ඔබ චිත්‍රපටය නරඹා දැන ගැනීම ඔබගේ රසවින්දනය සුරකිනු ඇත. අපට මෙහි වැදගත් වෙන්නේ Levi ගේ සහ Drasa ගේ මෙම අද්භූත දුර්ගය දෙපස ගොඩනැගෙන ආදර කතාවයි.

දුර්ගයේ එක් පසක් ලෝක යුද්ධ සමයේ සිට ඇමරිකානු පාර්ශවය ආරක්ෂා කරන අතර අනෙක් පස රුසියාව විසින් ආරක්ෂා කරයි. දෙපසම එකම ආකාරයකට සකස් වුණ ආරක්ෂක කුළුණක් සහ ආරක්ෂක පද්ධතියක් වේ. දෙපාර්ශවයේ ආරක්ෂකයන් දෙදෙනාට  කිසිදු ආකරයකින් එකිනෙකා අතර සන්නිවේදනයන් සිදුකිරීම තහනම් වෙයි. නමුත් මාස කිහිපයකට පසු මෙම හුදෙකලාව දරාගත නොහැකිවූ Drasa  තම උපන්දිනය දා මෙම රීතීන් කඩමින් Levi සමග තම සතුට (හෝ හුදෙකලාව) බෙදා ගැනීමට උත්සහ කරයි. ඔවුන්ගේ සබඳතාව ගොඩනැගෙන්නේ අපූරු ආකාරයකටය. එක් අයෙක් තම පණිවිඩය පුවරුවක ලියා ප්‍රදර්ශනය කරන අතර අනෙක් තැනැත්තා එය දුරදක්නයෙන් කියවා පිළිතුරද ඒ ආකාරයට ප්‍රදර්ශනය කරයි. ලෝකයෙන් හුදෙකලාව එකිනෙකට වෙන්ව ඇති කඳු මුදුන් දෙකක සිටින පිරිමියෙක් සහ ගැහැණියෙක් මේ ආකාරයට පෙම්වතුන් බවට පත්වෙයි.

අපට මෙහි හමුවෙන Levi Kane නම් කුළී ඝාතකයා කිසිදු රසිකයෙකු නොමැති කවියෙකි. කවි ලිවීම හා කියවීම ඔහුගේ විනෝදාංශයයි. කවියක් ලියන්නට කියවන්නට විවේකයක් උවමනාවක් නැති සමාජයක අපට කවි ලියන කුලී ඝාතකයෙකු හමුවෙයි. එසේම මීට පෙර Levi මෙන් මෙහි පැමිණි ආරක්ෂකයන් සිය අදහස් ලියූ බිත්තියක්ද මෙහිදී අපට හමුවෙයි. මෙහි කථා නායකයා සිය සිත් ගත් සතුරු කඳවුරේ යුවතියට කවියක් ලියයි, එහි මාතෘකාව She collapsed the night (ඇය රාත්‍රිය බිඳ දැමුවා) වන අතර සැබෑ ලෙසම ඇය (ප්‍රේමය) Levi ජීවිතය මෙන්ම මුලු කතාවේම පවතින්නාවූ ස්වරූපය බිඳ දමයි. අවසන මෙම පෙම්වතුන් දෙදෙනා මෙතෙක් ඔවුන් ජීවත්වූ ලොව සම්පූර්ණයෙන්ම හැර දමා ප්‍රංශයේ හුදෙකලා වෙරළබඩ නගරයක් වෙත පලායන්නට සැරසෙයි.

එලෙසම මෙම චිත්‍රපටය තවත් කලාපයක් අපගේ සංවාදයට විවර කරයි. ලොව අවි ආයුධ වෙළඳාම හා බැඳුණු කෘරත්වය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් පිළිබඳ අපි නිරන්තරයෙන් කථා කරන්නෙමු. අවි ආයුධ අලෙවිය වැඩි කරගැනීමටත්, එවා ප්‍රචාරණය වෙනුවෙනුත් ඇති කරන ලද යුද්ධයන් පිළිබඳ අපට අසන්නට ලැබෙයි. මේ මොහොතේ ලොව ඇති යුධ උණුසුම පිටුපස අනෙකුත් කරුණු අතර පවතින එබදු කාරණා පිළිබඳවද ලෝකයේ අවධානය යොමුවී ඇත.

සැබෑ ලෙසම Levi වෙත මෙම කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ රජයෙන්ද නැතිනම් අවිආයුධ සමාගමකින්ද? චිත්‍රපටය තුල අපට හමුවන ජීවිත කැපකිරීම්, අහිමිවීම් සහ අසීමාන්තික විදවීම් ආදී සියල්ල ධනවත් සමාගමක ජෛව විද්‍යාත්මක අවි සම්බන්ධ පරීක්ෂණයන් වෙනුවෙන් නිර්මාණය වූ ව්‍යාජයක් බව අනාවරණය වෙයි. මෙහිදී Levi ගේ සහ Drasa ගේ ජීවිත වලට ඇත්තේ එම සමාගම් වල ගිණුම් ප්‍රකාශවල සඳහන්ව ඇති මිළක් පමණි. වෙනයම්වූ කිසිවක් නොමැත. සියල්ලට වඩා වැදගත් වන්නේ  සමාගමේ ලාභයයි.

චිත්‍රපටයේ Kevi ගේ සහ Drasa ගේ ප්‍රේමය වික්‍රමයක් වන්නේ එවන් තත්වයක් තුලය. සැබෑ ලෙසම Kevi ගේ කවියේ අර්ථය අපට හමුවන්නේ ඒ තුලය “She collapsed the Night”.




Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම