නැතිවුන බස් රථයක් තුළ හමුවන මනුෂ්‍යත්වය - The Lost Bus
ආපදා සහ අභියෝග මිනිස් ශිෂ්ඨාචාරය පුරාම අපට හුරු පුරුදුය. මානව ඉතිහාසය පුරාම මිනිසුන් තමන් වෙත එල්ලවූ විවිධ අභියෝගයන් සමගින් ගැටුණි.
සොබා දහමෙන් එල්ලවූ මෙම අභියෝග රැස සමග මානව වර්ගයාගේ අරගලය මානව ශිෂ්ඨාචාරයේ ඉදිරි ගමනේ පදනම බවට පත්කර ගැනීමට මිනිසුන්ට හැකියාව ලැබුණි. ගිණිකඳු භූමිකම්පා වැනි අනපේක්ෂිත ස්වාභාවිකආපදාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙන ප‍්‍රදේශවල ජනතාව පවා එම උවදුරුවලට මුහුණ දීමට අනුවර්තනය වූහ. වැදගත්ම දෙය ඔවුන් කිසිදු විටෙක එම අරගලයෙන් පරාජය භාර නොගෙන ඒ සමග නිරන්තරයෙන් පොරබැදීමයි.
අභියෝගයන් නව මිනිසුන් බිහිකරන අතර ඇතැම් විටෙක ආපදාව ජයගන්නා විට පෙර සිටියාට වඩා ජයග‍්‍රහණයන් රැසක් මිනිසුන් අත්කර ගනී. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස එබඳු ආපදාවන් හමුවේ අසමත් වන්නේ නම් එය ඉතිහාසයේ ඛේදාන්තයන්ගෙන් කෙළවර වේ. මෙබඳු ආපාදාවන්ට සහඋවදුරුවලට සමාජය තුළ ‘ඉරණම’ හෝ වෙනයම් කුමනාකාර හෝ අර්ථකථන ලබා දුන්නද අනිවාර්ය යථාර්ථය නම් කුමන හෝ තත්වයන් යටතේ අපට එම ආපදාවන්ට මුහුණ දීමට සිදුවීමත් එම අභියෝගයන් අභිබවනය කිරීමට සිදුවීමත්ය.
මින්පෙර සුනාමි ව්‍යසන අවස්ථාවේ හෝ 2016 ගංවතුර අවස්ථාව සළකා බැලුවත් මේ මොහොතේ අප මුහුණ දෙන ආපදා තත්වය සළකා බැලුවත් අපට මේ සෑම විටකම මෙම ඛේදවාචකයන් මැද මනුෂ්‍යත්වයේ සැබෑ ස්වරූපය පිළිබඳ අපගේ සිහිනයේ හැඩහුරුකම් අත්විදින්නට ලැබෙයි. මෙම ඛේදවාචකයන් කුමන අයුරින් හෝ යහපත් යැයි පැවසිය නොහැකිවුවද සාමාන්‍ය වාතාවරණයන් තුළ කිසිදු විටෙක අපට මතුකර ගැනීමට අපොහොසත්වන මනුෂ්‍යත්වයේ හරයන් මෙම අදුරුතම නිමේෂයන් තුළ ඈත ක්ෂිතජයක පහන් තාරකාවක් සේ එම ඝනදුරු අන්ධකාරය මැද අනාගතය පිළිබඳ අපට බලාපොරොත්තු දල්වයි.
තමන්ගේ පුද්ගලික ජීවිතවල ඉලක්කයන් පසුපස ඉවක් බවක් නොමැතිව දිවයමින් සිටි මිනිසුන් මෙම ව්‍යසනයත් සමග මොහොතකට නතරවිය. තමන්ගේ ජීවිත තුළ පැසවන දහසක් ප‍්‍රශ්න ගැටලූ පැවතියදීම මිනිස්සු තම සහෝදර ප‍්‍රජාවන් වෙනුවෙන් එක් වූහ.
ප‍්‍රජා මුලූතැන් ගෙවල් වැනි උත්සාහයන් තුළ සියගණන් මිනිස්සු දිවා රෑ නොතකා ව්‍යසනය හමුවේ එකදු මිනිසෙකු හෝ කුසගින්නේ නොතැබීමේ අරමුණින් කටයුතු කළහ. ගමේ ළමා සමිතියේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය දක්වා මිනිසුන් විසින් ගොඩනගාගෙන තිබුණු සෑම සියලු ආයතන ව්‍යුහයක්ම තම සංවිධාන අරමුණු පසක තබමින් සමාජ සේවා සංවිධාන ඒකක බවට පත්විය. විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ආරක්ෂක අංශ ආදී ආයතන සහ ඒවායේ සේවකයන් ව්‍යසන තත්වය අවම කරගැනීමට තම උපරිම කැපවීමෙන් කටයුතු කළ අතර සහන සේවා කටයුතු අතර තම ජීවිතය පවා අහිමිවූ එබඳු මිනිසුන් පිළිබඳ කණගාටුදායක, නමුත් වීරත්වයේ කතා රාශියක් මෙම සමය තුල අපට අසන්නට දකින්නට ලැබුණි. අතිකාල හෝ අවදානම් දීමනා අදී කිසිවක් පිළිබඳ වචනයකුදු අසන්නට නොලැබුණි.
පෙර සඳහන් කර ඇති ලෙසම අභියෝගයන් මිනිසුන් වීරත්වය කරා ඔසවා තබයි.
2018 වසරේ ඇමරිකාවේ පැරඩයිස් නගරය ආශ‍්‍රිතව ඇතිවූ The Camp Fire ලෙස නම් ලද ලැව්ගිණ්න කැලිෆෝනියා ප‍්‍රාන්ත ඉතිහාසයේ විශාලතම සහ විනාශකාරීම ලැව් ගින්න ලෙස ඉතිහාස වාර්තා අතරට එක්වෙයි.
ජීවිත විශාල ගණනක් බිලිගන්නා මෙම ව්‍යසනය විසින් පැරඩයිස් නගරය තුළ පමණක් තක්සේරු කළා වූ මූල්‍ය හානිය ඩොලර් බිලියන 16.5ක් පමණ වීමෙන් එම ව්‍යසනයේ තරම තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි. මෙම ව්‍යසනය මැද කුඩා දරුවන් 22 දෙනෙකු හා ඔවුන්ගේ ගුරුවරිය සමග අංක 963 දරණ පාසල් බස්රථය ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න මැද අතුරුදන් වෙයි. එම අතුරුදන් වූ බස් රථයේ කතාව, The Lost Bus නම් වේ.
Kevin MacKay යනු සිය යොවුන් වියේදී නිවසින් පලායාමින් පසු පසු පියා අසාධ්‍යවීමත් සමග පළමු වරට තම උපන් නගරයට පැමිණෙන මැදිවියේ තැනැත්තෙකි. සිය බිරිඳගෙන් වෙන්වීමත් සමග සිය පුත‍්‍රයා සමග මෙලෙස තම උපන් නගරයට පැමිණෙන Kevinට සිය පවුලේ අර්බුද සමග ආර්ථිකමය වශයෙන්ද අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අතර පාසල් බස්රථ රියදුරෙකු ලෙස රැුකියාවේ නිරතවන ඔහුගේ ජීවිතයේ අර්බුදය චිත‍්‍රපටයේ මුල් කොටස පුරා දිවයයි. අමතර ආදායමක් ලබාගැනීමට අමතර ගමන් වාර සොයමින් සිටින ඔහුට ලැව්ගිණි අනතුරු ඇගවීමත් සමග Ponderosa ප‍්‍රාථමික පාසලේ දරුවන් ආරක්ෂිත ස්ථානයක් වවු ද ගැනමී ට සදුි වන සමහර තරී ණ අපගේ කරා ගෙන යාමේ වගකීම පැවරෙයි.
ජීවිතේ ඇතැම් අවස්ථාවල අපටකැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජීවිත අප සිහිනෙන් හෝ නොසිතන ගමනාන්තයන් වෙත රැගෙන යයි.
පැවති වියළි කාලගුණයත් දැඩි සුළගත් නිසා බලධාරීන් හෝ කිසිවෙකු නොසිතූ වේගයෙන් සහ නොසිතූ ප‍්‍රදේශයන් පුරා ලැව්ගින්න පැතිර යන අතර අංක 963 පාසල් බස්රථය ලැව්ගින්න තුළ සිරවෙයි.
ජීවිතේ බොහෝ දේ අසමත් කරගත් වගකීම් විරහිත පියෙකුවූ Kevinට කුඩා දරුවන් 22 නෙකුගේ ජීවිත බේරාගැනීමට සටන් වදින වීරයෙකු බවට නිමේෂයකින් පරිවර්තනය වන්නට සිදුවෙයි. චිත‍්‍රපටයේ ඉතිරි අර්ධය පුරා දිවයන්නේ තෙරක් නොපෙනෙන ගිණිජාලාවල් මැද කුඩා දරුවන් රැගත් බස්රථයක් රැගෙන Kevin සිදුකරන මාරක ධාවනයයි. තමන්ගේ අත්දැකීම් අනුව ගමන් කළ හැකි සියලූම විකල්ප මාර්ගයන් මගින් ලැව්ගිණි කලාපයෙන් එළියට යාමට උත්සහ දරා සියල්ල අසාර්ථක වන නිමේෂයක ඔවුන් ගතකරන බලාපොරොත්තු රහිත නිමේෂයන් පවා චිත‍්‍රපටය තුළ අපට හමුවෙයි. තමන්ට ජීවිතයේ මුහුණ දෙන්නට වෙන අසීරුතම සහ ආතතිකාරීම නිමේෂයේ Kevinට සහ ගුරුවරිය වන Marry Ludwig ට නැවත තම ජීවිත දෙස හැරී බැලීමට ඉඩක් ලැබෙන අතරම ජීවිතය අහිමිවීමේ ආතතිය මැද ජීවිතේ මගහැරුණු තැන් සිහිවෙයි.
චිත‍්‍රපටය තුළ අප කුඩා දරුවන් සමග අංක 963 දරණ බස්රථය තුළ ජීවත්වන අතරතුර විටින් විට මෙම අනතුරින් පීඩාවට පත්ව ඇති පිරිස් ගළවා ගැනීමටත් ලැව්ගින්න නිවා දැමීමටත් උත්සාහ දරණ නිලධාරීන්ගේ කැපවීමමෙන්ම ක‍්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය ආදියද නිරූපිතය.
සියලූ සන්නිවේදන පහසුකම් අවහිරව ඇති වටපිටාවක අවසානයේ අංක 963 දරණ බස්රථය අනතුරු සහිතකලාපයෙන් ඉවත්ව නියමිත ගමනාන්තය කරා ගමන් කරයි. Kevin සහ Marry තම පවුලේ සාමාජිකයන් ආරක්ෂිතද යන කාරණය පිළිබඳ හෝ කිසිදු පණිවිඩයක් නොතිබුණ වටපිටාවක ඒ සියලු පීඩාවන් සහ ආතතීන් දරා ගනිමින් මෙම දරුවන් පිරිස බේරාගැනීමට කැප වූහ.
ලැව්ගින්නක් නොවුණද අප පසුගිය දින කිහිපයක කාලය තුල මෙම චිත‍්‍රපටයේ සිදුවූ සියලූ දෑ ඒ ලෙසටම වෙනත් අකාරයකට අත් වින්දෙමු. Kevin ලා Marry ලා සියගණනක් අප මුහුණ දුන් ව්‍යසනය සමග පොර බදනවා අපි දුටුවෙමු. අනතුරට පත් පිරිස් බේරාගැනීමට ගොස් මිය ගිය බොහෝ දෙනෙකු පිළිබඳ සංවේගජනක වීර කතා අපට සැබෑ ලෙස අසන්නට ලැබුණි.
ගංවතුරේ ගසාගෙන යන අයට ටියුබ් විකිණීමට මෙය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් යයි සිතන වෙළඳපොළ ධනවාදයේ සිතීම් රාමුවේ සීමාවන් අභිබවමින් මෙම ව්‍යසනයන් තුළ මිනිසුන් නැවත සාමූහිකත්වය අත්හදා බලයි. ආණ්ඩුව විසින් පසුගිය ආපදා කාලසීමාවන් තුළ එම තත්වයන් පවා තම ලාභ කන්ද උස් කරගන්නට අපුලකින් තොරව භාවිත කළ ව්‍යසායකයන් යැයි කියන ධනකුවේරයන් මෙරට නැවත ගොඩනැගීමේ මූල්‍ය කටයුතු පාලනයට පත්කරන අතර සාමාන්‍ය මිනිසුන් තමන්ට එදාවේල කන්නට තිබෙන දේ පවා විපතට පත්වූවන් වෙත ලබාදෙමින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සාමූහික ප‍්‍රයත්නයක නිරතවෙයි.
ලැව්ගිණි මැද අපිට හමුවූ Kevin ලා Marryලා එදිනෙදා ජීවිත තුළද අපට හමුවන දිනෙක මෙම සමාජය අප සිහින දකින ගමනාන්තයක් දක්වා රැගෙන යාමට අපට හැකිවනු ඇත. එතෙක් අපට අපගේ සියලු හරයන් දවා අළුකරනා මෙම සමාජ ක‍්‍රමය නැමැති ලැව්ගින්න සමග විවේක රහිතව පොරබදන්නට සිදුවනු ඇත.

Comments
Post a Comment