දිට්වා සහ ඩිකැප්‍රියෝ
නොවැම්බර් මස අවසන් සතිය ලංකාව කඳුලින් නැහැවුණු සතියක්. ඒ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාපතනයත්, එමගින් කඳුකරය නාය යෑම සහ පහත්බිම් ගංවතුරට හසුවීම යන ආපදා දෙක නිසා. සුළිකුණාටු ඇතිවීමට හේතුව වන්නේ නිවර්තන කලාපය අධිකව රත්වීමට ලක්වීම. මේ නිසා සාගරය උණුසුම්වීම මෙවැනි සුළිකුණාටු ඇති කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. සුළිකුණාටු සෘජුවම දේශගුණ විපර්යාස සමග සම්බන්ධයි. දේශගුණ විපර්යාස ගෝලීය උණුසුම ඉහළ යාම සමග සම්බන්ධයි. ගෝලීය උණුසුම ඉහළ යාම වායුගෝලයට අධික ලෙස හරිතාගාර වායු මුදාහැරීම සමග සම්බන්ධයි. හරිතාගාර වායු ධනේශ්වර නිෂ්පාදනය සහ ධනේශ්වර අධි පරිභෝජන ජීවන දර්ශනය සමග සම්බන්ධයි.
‘ටයිටැනික්’ චිත‍්‍රපටයේ ජැක්ගේ චරිතය රඟපෑම නිසා අප කවුරුත් හඳුනන ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ ධනවාදයේ මේ ව්‍යසනයට එරෙහිව හඬ නගන කලාකරුවෙක්. ලොව පුරා ප‍්‍රගතිශීලී කලාකරුවන් විශාල ප‍්‍රමාණයක් මේ ව්‍යසනයට එරෙහිව නගන හඬට සංකේතයක්.
ලියනාඩෝට The Revenant චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 2015 වසරේ හොඳම නළුවාට හිමි ‘ඇකඩමි’ සම්මානය හිමිවුණා. 2016 පෙබරවාරි 28 වැනිදා පැවැත්වුණු සම්මාන උළෙලේ සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අදහස් දක්වද්දී කතා කළේ දේශගුණ විපර්යාස සහ අපේ ග‍්‍රහලෝකයේ අනාගත ඉරණම ගැන.
ඔහු මූලික කරුණු හතරක් මතු කළා.
1. මේ චිත‍්‍රපටයේ තේමාව ‘මිනිසා සහ සොබාදහම අතර සම්බන්ධය’. මම නිරූපණය කළේ එය, සම්මානය ලැබුණේ එම සම්බන්ධයට.
2. දේශගුණ විපර්යාස තවදුරටත් හිතලූවක් නෙවෙයි, එය යථාර්ථයක්. එය විසඳීම අපගේ හදිසිතම කර්තව්‍යයයි.
3. ඒකාධිකාර සංගතවලට, ධනපතියන්ට ආයාචනා කර පලක් නෑ, අපි ප‍්‍රජා නායකයන් සමග සහයෝගීතාවක් ගොඩනගා ගමු.
4. පවතින ‘කෑදර දේශපාලනය’ අප ප‍්‍රතික්ෂේප කළ යුතුයි. විකල්පයක් ගොඩනගා ගත යුතුයි.
පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය වීම සඳහා ඔහු ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ පදනම (දැන් Re-Wild) ආරම්භ කරන ලද අතර මේ ව්‍යසනයට එරෙහිව එමගින් වාර්තා චිත‍්‍රපට තුනක් නිර්මාණය කළා. ඒ The 11th Hour (2007), Before the Flood (2016), Ice on Fire (2019) යන චිත‍්‍රපට තුන. ඊට අමතරව ඔහු Don't Look Up(2021) චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපාමින් ගෝලීය උණුසුමට එරෙහි මතවාදී ප‍්‍රහාරයකට එම නිර්මාණය භාවිතා කළා.
ආණ්ඩුවට පක්ෂපාත කලාකරුවන් 76 වසරක පාලනයේ දූෂිත බවටත්, විපක්ෂයට පක්ෂපාත කලාකරුවන් සුළි කුණාටුවේ අනතුරු ඇඟවීම් නොතකා හැරීමට සහ ආණ්ඩුවේ කළමනාකරණ දුබලතාවලටත් ලඝු කරන ‘දිට්වා’ ආපදාව සම්බන්ධයෙන් නැවත සිතා බැලීමක් සඳහා ලියනාඩෝ ඩිකැප‍්‍රියෝ නිරත කලාවේ අරගලය වෙත අවධානය යොමු කිරීම වැදගත්. මේ විනාශය ධනවාදය සමග සම්බන්ධ වන්නේ කෙසේදැයි අපට එවිට ගැඹුරින් විමසිය හැකියි.
2014දී එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ලියනාඩෝ මෙසේ පැවසුවා.
"දැන් සිතන්න, අපට මෙම විනාශය නැවැත්වීමට හැකියාවක් තිබියදීත්, එසේ කිරීමට දේශපාලන ශක්තියක් නොතිබූ බව අපේ දරුවන්ට සහ මුණුබුරන්ට පවසන විට අප සෑම කෙනෙකුම මුහුණදෙන ලැජ්ජාව ගැන සිතන්න.
අප පොසිල ඉන්ධන පස යට, ඒවා අයත් ස්ථානයේම, තැබිය යුතුමයි. එසේ නොමැතිව අපගේ ග‍්‍රහලෝකය බේරා ගත නොහැකියි. දැවැන්ත වෙනසක් අවශ්‍යයි, දැන් එය නව සමූහ පරිකල්පනයකට මඟ පාදනවා. දේශගුණික විපර්යාසවල ගමන් මග ආපසු හැරවීම පහසු නොවන බව අපි කවුරුත් දන්නවා. නමුත් අපට මෙවලම් තිබෙනවා - අප ප‍්‍රමාද නොවී ඒවා භාවිතා කළහොත්. වීරෝදාර, පෙර නොවූ විරූ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කාලයයි මේ.
ඔබ ඉතිහාසයේ කුමන පැත්තේ සිටිනවාද කියා අප එකිනෙකාගෙන් ඇසීමට කාලයයි මේ. අපේ ග‍්‍රහලෝකයේ පුරවැසියෙකු ලෙස, තවදුරටත් කතා කරමින් සිටීම අවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කිරීමට කාලයයි මේ.
තවදුරටත් නිදහසට කරුණු අවශ්‍ය නැහැ. තවදුරටත් වසර දහයක අධ්‍යයන අවශ්‍ය නැහැ. අපගේ අනාගතයට බලපාන ප‍්‍රතිපත්ති හැසිරවීමට සහ නියම කිරීමට සමාගම්වලට තවදුරටත් ඉඩ දීම අවශ්‍ය නැහැ. එය දැන් අපගේ වගකීම - ඔබ පෘථිවියේ අවසාන හොඳම බලාපොරොත්තුව. එය ආරක්ෂා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. නැතහොත් - අප සහ අප අගය කරන සියලුම ජීවීන් - විනාශ වී හුදු ඉතිහාසය බවට පත් වේවි."

Comments
Post a Comment