Money Heist: මහා සැලැස්මක කොටස්කරුවන්වීම


(Money Heist ටෙලි මාලා නාටකය පිළිබඳ විමසුමක්)

2018 වසරේ ලොව පුරා වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ ඉංග‍්‍රීසි නොවන (ස්පාඤ්ඤ බසින්) ටෙලි වෘත්තාන්ත මාලාව ලෙස සැලකෙන Money Heist: La Casa de Papel (කඩදාසි නිවස) Alen Pinaගේ නිර්මාණයකි. තවමත් සම්පූර්ණයෙන් අවසන්ව නැති මෙහි 5 වන කතා මාලාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ 2021 අපේ‍්‍රල් මාසයේය. මේ සඳහා නිමිති කරගෙන ඇත්තේ Royal Mint of Spain සහ Bank of Spain නමැති මූල්‍ය ආයතන දෙක මංකොල්ල කෑම සම්බන්ධ ලොමු දැහැගන්වන සිද්ධි මාලාවකි.

haaretz.com වෙබ් අඩවිය වෙත ලිපියක් සම්පාදනය කරන Adrian Hennigan මෙසේ පවසයි.

"If you make only one viewing choice among all your food decisions today" add, La Casa de Papel~ to your Netfilm list. It will steal your heart guaranteed". 

'La Casa de Papel ඔබගේ හදවත සහ සතිඅන්තය සොරාගනු ඇත.’ ඒ ඔහු ලිපිය සඳහා යෙදූ සිරස්තලයයි. මෙතරම් ආකර්ෂණයක් දිනාගන්නට මේ  ක්‍රසපැ ගණයේ කතා මාලාව සමත් වූයේ ඇයි? ඒ් පිටුපස පවතින සමාජ, ආර්ථික, දේශපාලනික හේතු මෙන්ම මනෝවිද්‍යාත්මක සාධක හඳුනා ගැනීමට උත්සාහ දැරීම සමාජ විමුක්තිය පිළිබඳ කතිකාව මෙන්ම භාවිතාවද පෝෂණය කිරීමට හේතු වනු ඇති බව අපගේ විශ්වාසයයි.

මෙහිදී අවධානය යොමුකළ යුතු ප‍්‍රධාන කරුණක් වනුයේ මේ කොල්ලකෑම් දෙකම පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ දිගහැරෙනුයේ ‘වියනොහැකියාව’ මත පදනම්ව වීමය. එනම් යථාර්ථවාදය මතු නොව යථාර්ථවාදයටද එරෙහි වීමය. මෙබඳු කොල්ලකෑම් පිළිබඳ නිර්මාණය වූ බොහොමයක් මෙබඳු මාලා නාටක මෙන්ම සිනමා පටද පදනම් වනුයේ යථාර්ථය මතය. ඇතැම්විට යථාර්ථමය තලයේ සැබැවින්ම සිදු වූ කොල්ලකෑමේ පුවත් මේ සඳහා විෂය වේ. පරිකල්පනාත්මක සිදුවීම් නිර්මාණය සඳහා ඈඳාගත්තද ඒ්වා වුව යථාර්ථමය තලයේ පවා සිදුවිය නොහැකි බව මත පදනම් වේ. ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කළ ‘හාරලක්ෂය’ (1971) බඳු සිනමාපට මීට නිදසුනක් ලෙස ගත හැක. 

ඊට සාපේක්ෂව මේ කොල්ලකෑම් දෙක කාලයක් තිස්සේ විශ්වාස කළ නොහැකි තරම් සූක්ෂ්මාත්මතාවකින් යුතුව සැලසුම් කරන ලද වැඩපිළිවෙළකින් යුක්තය. යථාර්ථයට අනුව, ඒ් සා සැලසුමක් ගැන විශ්වාසය තැබිය නොහැකිය. එබඳු තත්වයක් යටතේ මේ කෘතියට ලොව පුරා පේ‍්‍රක්ෂකයන්ගේ මෙතරම් ආකර්ෂණයක් හිමිවීමෙන් පසක් වන්නේ කුමක්ද? ඒ් අනෙකක් නොව, ආත්මීය වශයෙන් මේ අතිශය විශ්වසනීය යථාර්ථය තමන්ට මේ වනවිට විශ්වාස කළ නොහැකි ක‍්‍රියාවක් (Action) මගින් විස්ථාපනය වනු නැරඹීමට ඔවුන් තුළ ආශාවක් (Desire) පවතින බවය. 

මේ මොහොතේ යථාර්ථය යනු සුවිශාල පීඩිත ජනකායකගේ සාරය ලොව පුරාම මූල්‍ය ප‍්‍රාග්ධන අධිකාරීත්වයන් විසින් සූරාකෑමට ලක් වීමය. සැලසුම (Professor) සහ ක‍්‍රියාව (Crew) මගින් මෙහිදී අභියෝගයට ලක් වනුයේ උක්ත සඳහන් පීඩිත සංස්ථා හා භාවිතයන්ය. මංකොල්ලයක් යනු සමාජ විප්ලවයක් නොවන බව ඇත්තය. එහෙත් මේ කොල්ලකරුවන් ලවා නිර්මාණකරුවා පෙන්වා දෙන්නේ යථාර්ථය ගුණාත්මක ලෙස වෙනස් කිරීම හෙවත් විප්ලවයේ කාර්ය කොතරම්  දුෂ්කර වෙහෙසකර ක‍්‍රියාවක් ද යන්නය. යථාර්ථය පිළිගෙන ඒ් අනුව, සිතන පතන ක‍්‍රියාත්මක වන වාමාංශික සමාජ ව්‍යාපාරයන්ට විප්ලවයක් තබා මංකොල්ලයක් කළ නොහැකි බව මේ වෘත්තාන්ත මාලාවේ අන්තර්දෘෂ්ටිමය කතිකාවකි.

පවත්නා යථාර්ථය වෙනස් කිරීමට යමකුට අවශ්‍ය නම් ඒ් සඳහා පැවතිය යුතු අනිවාර්ය සුදුසුකම වන්නේ ඒ් සඳහා වන තථ්‍ය අවශ්‍යතාවයි. යමෙකුට එය සිදුකිරීමට අභ්‍යන්තරිකව වුවමනා නම්,  ඔහු එය කෙසේ හෝ සිදුකරන බව Money Heist කතා මාලාවේ මහාචාර්යවරයාගේ චරිතය (Alvaro Morte)මගින් නිරූපණය වේ. යථාර්ථය වෙනස් කිරීම සඳහා සැබෑ ලෝකය තුළ, සැබැවින්ම මැදිහත් වූ මිනිසුන්ගේ ව්‍යවහාරයන් නිරීක්ෂණය කළද මෙහි පවත්නා අදාළත්වය වටහාගත හැකිය.

ආරම්භයේදී අපට දිස්වනුයේ කිසිසේත්ම පුපුරුවා හැරිය නොහැකි යථාර්ථයයි. එහෙත් මහාචාර්යවරයා තුළ පැසවන විස විසින් එම යථාර්ථය බිඳවැටෙනු ලැබේ. කොල්ලකෑම් ක‍්‍රියාදාමයට අදාළ බොහෝ අහම්බයන් සේ පෙනී යන කරුණු මහාචාර්යවරයා විසින් කලින් සැලසුම් කරන ලද මහා සැලැස්මේ (Master Plan)අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය. මේ අනුව, සංවිධිත යථාර්ථය වෙනස් කිරීම සඳහා යථාර්ථයට එරෙහි විසකින් යුතුව කටයුතු කරන මිනිස් සැලැස්මක (පක්ෂය?) අවශ්‍යතාව අවධාරණය වේ. එසේම එම සැලැස්ම (න්‍යාය) වෙනුවෙන් ජීවිතය වුව කැපකිරීමට සූදානම් මිනිසුන් පිරිසක් (භාවිතය) මේ සඳහා අවශ්‍ය වේ. ඒ් අනුව, සැලැස්ම (න්‍යාය) හා පිරිස (භාවිතය) යනු දෙකක් සේ සංකේතවත් වන ඒ්කීය ක‍්‍රියාවලියකි. විප්ලවකාරී ක‍්‍රියාව යනු, එයයි. 

මහාචාර්යවරයා තුළ මෙන්ම ඔහුගේ කණ්ඩායම තුළ වන විස ඔවුන් ඔවුන් තුළ ඇති වූයේ කෙසේද? එය නිශ්චිතවම ඔවුන්ගේ පෞද්ගලික ආත්මයන් තුළින්ම මතුවූවකි. නිදසුන් ලෙස Royal Mint කොල්ලය සඳහා මාහචාර්යවරයා මෙහෙයවනුයේ සිය පියා බැංකු කොල්ලයකදී ඝාතනය වීමට පළිගැනීමක් ලෙසය. ස්පාඤ්ඥ බැංකුවේ කොල්ලය සිදුවනුයේ සිය කණ්ඩායමේ සාමාජිකයකු(Rio) රජයෙන් බේරාගැනීම පිණිසය. ඒ් අනුව, අදාළ ක‍්‍රියාවෙහි නිමග්න වීමේ අවශ්‍යතාව ඇති වීමට හේතු ඔවුන්ගේ පුද්ගලාභ්‍යන්තරයෙන්ම ගලා ආ ඒ්වාය. එහෙත් ඒවා ඉබේම ගලා ආ ගුප්ත ආලෝක ධාරා බඳු වර්ගයක් නොව, භෞතිකයෙහිම ප‍්‍රතිඵලයක් ලෙස පැනනැගුණු ඒ්වාය. නොඒසේ නම් විෂයමූලිකත්වය මනෝමූලිකත්වයක් බවට පරාවර්තනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පැනනැගුණු ඒවාය. මහාචාර්යවරයා(පක්ෂය?)  සිය සාමාජිකයන් සොයා ගන්නා ආකාරයෙන් ඔවුන් ඒ් සඳහා පොලඹවා ගන්නා ආකාරය කියවා ගතයුතු වන ගැඹුරු පාඩමක් ලෙස දැක්විය හැකිය. 

පළමු මංකොල්ලයට අදාළ ප‍්‍රධාන වශයෙන් මහාචාර්යවරයා විසින් සිය කණ්ඩායම බැඳ තබන මූලික කොන්දේසි 3කි.

1. මංකොල්ලය තුළ මිනිසුන්ට හානි නොවිය යුතුය.

2. සාමාජිකයන් වෙනුවෙන් කළ යුතු  ඕනෑම දෙයක් කළ යුතුය.

3. මංකොල්ලය සිදුවන කාලය ඇතුළත කණ්ඩායමේ සාමාජිකයන් අතර පේ‍්‍රම සම්බන්ධතා ඇති නොවිය යුතුය.

මේ කොන්දේසි 3 අන්‍යෝන්‍ය වශයෙන් විරුද්ධාභාසයක් (Paradox) පෙන්නුම් කරනු ලැබුවද මහාචාර්යවරයා සිය කණ්ඩායම ඉදිරියේ තබනුයේ පරමාදර්ශී තත්වයකි. බොහෝ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ පරමාදර්ශ වෙත ගමන් කිරීමේ මාවත වැටී ඇත්තේ මෙබඳු ප‍්‍රතිවිරෝධාත්මක ආභාසයන් මධ්‍යයෙනි. එය අනාගත කොමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් පවතින මාර්ගයටද එලෙසින් ම අදාළය. 

සැලැසුම(න්‍යාය) කොතරම් පරමෝත්තම වුවද එය ක‍්‍රියාවට(භාවිතයට) සාපේක්ෂව අජීවිය. එනයින් කවර සැලැසුමක් වුව ක‍්‍රියාවට නගන්නේ මිනිසා නම් එම සැලැස්ම 110% ක ප‍්‍රතිශතයකින් සම්පූර්ණවීමට ඉඩ නැත. මංකොල්ලය ආරම්භයේදී පැනවූ උක්ත සියලූ කොන්දේසි මංකොල්ලය සිදුවන කාලය තුළදී උල්ලංඝනය වේ. ඒ් උල්ලංඝනය වන සෑම තැනකදීම සැලැස්ම අර්බුදයට ලක් වේ. Money Hiest කතා මාලාව පේ‍්‍රක්ෂිකයන් ඉදිරියට යථාර්ථය ගෙන එනුයේ එබඳු දාර්ශනික තලයකිනි. මිනිසත් බවට අදාළ මේ දුර්වලත්වය නොදැන විප්ලවය නොව කිසිදු ක‍්‍රියාවක් නොකළ යුතු බව මේ වෘත්තාන්තය අපට කියා දෙයි. 

දේශපාලන පක්ෂයකට ෆැසිස්ට් පන්නයේ ආකෘතියක් මගින් පවා යටපත් කළ නොහැකි මානව ලක්ෂණයක් ලෙස ආශාව(Desire) දැක්විය හැකිය. එය අවශ්‍යතාවක් මෙන්ම සංතෘප්ත කළ නොහැකිය. එය අවශ්‍යතාව ඉටුකළ පසුද ඉතිරිව පවතින දෙයකි. එය මුළුමනින්ම     ලිංගිකය. එනිසාම එය අවිඥානකය. බැංකුව තුළට කඩාවදින නමුදු පියවරෙන් පියවර තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නා නමුදු ආදරය සඳහා වන තෘෂ්ණාව මංකොල්ලකරුවන් සියලූදෙනා තුළ ඉතිරිව පවතී. අවම වශයෙන් මහාචාර්යවරයාට පවා තුන්වන කොන්දේසිය ආරක්ෂා කරගැනීමට හැකි වන්නේ නැත. නූතන වාම ව්‍යාපාර මනෝවිශ්ලේෂණය වෙත නැඹුරු විය යුත්තේ මන්ද යන්නට පිළිතුරක් මෙයින් සම්පාදනය කරගත හැකිය.

අධික පේ‍්‍රක්ෂක පිරිසක් මේ වෘත්තාන්තය නැරඹීමට හා ඇබ්බැහි වීමට හේතුව ඔස්සේ සිතුවද මේ කරුණ අමතක කළ නොහැක. මංකොල්ලය අතරතුර එහි චරිත අතර හටගන්නා සබඳතා සඳහා සෑම කොටසකින්ම නිශ්චිත කාලයක් වැයකිරීම පිටුපස පේ‍්‍රක්ෂකයාගේ අවිඥානක ආශාව පිළිබඳ අවබෝධයෙන් යුතු නිර්මාණකරුවකු හා වෙළෙන්දකු සිටින බවද මෙහිදී අප අමතක නොකළ යුතුය.

කෘතියේ අන්තර්ගතය (Content) පේ‍්‍රක්ෂිකයා වෙත ගෙන එන ස්වරූපයද (Form) මේ කෘතියේ ජනකාන්ත බවට බලපා ඇති ප‍්‍රධාන හේතුවකි. විශේෂයෙන්ම නළුවරණය, රංගනය, සංගීතය හා ඇඳුම් නිර්මාණය කෘතියේ අන්තර්ගතයෙහි වන ‘විය නොහැකියාව’ සමග මැනවින් සම්බන්ධ වෙයි. සමස්ත ස්වරූපයෙහි දක්නට ලැබෙන නාට්‍යරූපී බව (Dramatical) මෙකී ‘විය නොහැකියාව‘ සමග මනාව සැසඳෙයි. කොල්ලකෑම් සඳහා භාවිතකරන වෙස් මුහුණු සඳහා ස්පාඤ්ඥ ජාතික අධිතාත්විකවාදී චිත‍්‍ර ශිල්පියකුවන සැල්වදොර් ඩාලිගේ රුව යොදා ගැනීමෙන්ම නිර්මාණකරුවා සිය කෘතියේ අන්තර්ගතය පිළිබඳ කොතරම් බරපතළ වී ඇත්ද යන්න පැහැදිලි වේ. ඩාලි අධිතාත්විකවාදියකු වීම පමණක් නොව, ඔහුගේ විකේන්ද්‍රීය චරිත ලක්ෂණද මේ කොල්ලකෑම හා මැනවින් ගැළපේ.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මෙකී වෘත්තාන්තයේ ‘අවිශ්වසනීය’ බව හුවා දැක්වීමට ඇතැම් විවේචකයන් ගෙන එන තර්ක හාස්‍යජනක බවය. මන්ද යත් මෙය නිර්මාණය වී ඇත්තේ ම මේ මොහොතේම විශ්වාස කළ නොහැකි යථාර්ථයක් වෙත ළඟාවීම සඳහා භාවිත ක‍්‍රියාවලියක් මත පදනම්වය. ප‍්‍රතිඵලය විස්මයජනක වීමට නම් ක‍්‍රියාව අදහාගත නොහැකි විය යුතුය. දිව්‍යලෝකයට අතු විහිදන්න නම් අපාය දක්වා මුල් විහිදිය යුතුය. නිව්ටන්ගේ නියමය එසේ දේශපාලනිකව ප‍්‍රතිකියවීම අවශ්‍යය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?