හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරය කොයිබටද? - අලුත්වන කලාවක් වෙනුවෙන්


මේ සටහන, අගෝස්තු රළ කලාපයේ පළ කෙරෙනුයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විවෘත කෙරුනු 'හේවුඩ් චිත්‍ර කලා කෞතුකාගාරයට අදාළව මතුව ඇති විවාදය සම්බන්ධයෙනි.

අද වන විට, කොළඹ, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත‍්‍ර කලා කෞතුකාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධ ඇතිව තිබෙන්නේ වියවුල් සහගත තත්වයකි. 

මේ ආකාරයේ ගැටලුවක් සම්බන්ධ සාකච්ඡාවකදී නිරායාසයෙන් අවධානය යොමුවන ගැටලුවක්ද එහිදී සාකච්ඡාවට ගැනේ. කොළඹ අගනගරයේ කලා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස පැවති, ජාතික කලා භවන සහ ජෝන් ද සිල්වා රඟහල විධිමත් ලෙස විවෘත කර ජනතා අයිතියට නොපැවරීම සම්බන්ධ පැවති ආණ්ඩුවලට චෝදනා නැඟුණු අතර වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා පසුගිය වසරේ ප්‍රකාශ කළේ මෙම ආයතන ඉක්මනින් විවෘත කරන්නට තමන් වැඩ කරමින් සිටිනා බවය.  මේ වන විට ජාතික කලා භවන විවාත කෙරෙන නමුත් ජෝන් ද සිල්වා රඟහල විවාත කරන්නට නොහැකි බවට ආණ්ඩුවේ අදාළ බලධාරින්ගේ නවතම ප්‍රකාශවලින් හෙළි වේ. 

ලෝකයේ කලා නිර්මාණ සංරක්ෂණය සලකා බලන විට ඒ ඒ රටවල රාජ්‍ය මැදිහත්වීමෙන් ජාතික මට්ටමේ ආයතනවලින් මෙන්ම වෙනත් ආයතනික මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් සිදුකරන බව දක්නට ලැබේ. ලංකාවේද චිත‍්‍ර කලා ඉතිහාසයේ විශේෂ වැදගත්කමක් සහිත සන්ධිස්ථානමය අවස්ථාවල නිර්මාණ ආයතනගතව හෝ පෞද්ගලික මට්ටමෙන් පවත්වා ගෙන එනු ලැබීය. එයිනුත් ජාතික කලා භවනේ පැවති මහනුවර යුගයට හා යටත් විජිත සමයට අයත් චිත‍්‍ර කලා නිර්මාණ, මෙරට චිත‍්‍ර කලා ඉතිහාසයේ ඓතිහාසික මං සලකුණු අනාගත පරපුරට ආරක්ෂා කරගත යුතු වගකීමක් මෙරට පාලකයන්ට මෙන්ම සමාජයටද පවතී. 

අප පෙරද සඳහන් කළ ආකාරයට අගනා ඓතිහාසික කලා කෘති 42ක් අතුරුදන්ව ඇති අතර ජාතික කලා භවන සංවර්ධනය කරන බවට ගෙන ආ සැලසුම යටතේ එහි පැවති නිර්මාණ විශාල ප‍්‍රමාණයක් නිදහස් චතුරශ‍්‍රයේ බිම් ගෙයක ගොඩ ගැසීමෙන් වැසි දියට ගොදුරුව විනාශයට පත්ව ඇත. අවුරුදු 16ක් තිස්සේ ජාතික කලා භවන වසා දමා ඇත්තේ එය සංවර්ධනය කරනවා යැයි කියු පොරොන්දුවක් යටතේ වුවද සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත‍්‍ර කලා කෞතුකාගාරයක් ආරම්භ කිරීමේ කඩිකුලප්පුව ඊට සම්බන්ධ දැයි සැකයක් මතු වේ. අවුරුදු ගණනාවක්, ජාතික කලා භවන නැවත ජනතාව අතට පත් නොකර තිබියදී වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ ඊට කිසිදු ප‍්‍රමුඛතාවක් තබා දී නැත.

සාමාන්‍යයෙන් මෙරට දෘෂ්‍ය කලා අනු මණ්ඩලයේ සාමාජිකත්වය හිමිකර ගන්නේ එක දෘෂ්‍ය කලා ගුරුකුලයක පිරිසක් බවට චෝදනාවක්ද ඇත. කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු පාලනයට හිතෛශිවන්ත වෙමින් ඔවුන් සිය පැවැත්ම සකසා ගෙන ඇත. ජාතික කලා භවනේ චිත‍්‍ර නැතිවීම, අනාගත පරපුරට රැක ගත යුතු ඉතා වටිනා කලා වස්තූන් විනාශයට පත් කිරීම හා අත්තනෝමතික ආකාරයෙන් තෝරාගත් නිර්මාණ දෘෂ්‍ය කලා කෞතුකාගාරයක් ආරම්භ කිරීම පසුපස මේ ගුරුකුලයේ සෙවනැල්ල වැටී ඇති බව ප‍්‍රකටය. 

සෞන්දර්ය විශ්ව විද්‍යාලය වැනි ආයතනයක් ආයතනික මට්ටමෙන් කලා කෘති සංරක්ෂණයට කෞතුකාගාරයක් පවත්වා ගෙන යන්නේ නම්, එය එම ආයතනයේ බිහි කළ කලා සම්ප‍්‍රදායේ පැහැදිලි උරුමය් ආරක්ෂා කරන, ආයතනික කලාකරුවන්ගේ සුවිශේෂී සන්ධිස්තානමය කලා කෘති නියෝජනය කෙරෙන ස්ථානයක් විය යුතුය. සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින් ස්වකීය ආයතනයේ පැරණි නාමය වූ ‘හේවුඩ්’ නමින් කලා කෞතුකාගාරයක් ආරම්භ කරන්නේ නම් එම ඓතිහාසික අවස්ථාවේ සිට බිහි කළ නිර්මාණකරුවන් එකී ආයතනික ව්‍යුහය තුළ කළ නිර්මාණාත්මක සමත්කම් නියෝජනය කරන්නක් විය යුතුය. නමුත් දැන් චෝදනාව මතු වෙන්නේ කිසියම් පටු නිර්ණායක ඔස්සේ ඇතැම් නිර්මාණ නොසළකා හැර, සමීපතමයන්ගේ කෘති එහි ප‍්‍රදර්ශනයට ගෙන ඇති බවය. 

හේවුඩ් ආයතනයේ ආරම්භක අවධියේදී එහි ආයතනික පූර්ණකාලීන පාඨමාලා මෙන්ම රාත‍්‍රි පන්ති පැවැත්වීමද සිදුව ඇත. චිත‍්‍ර කලා කෞතුකාගාරයට තෝරාගත් නිර්මාණ අතර පූර්ණකාලීන පාඨමාලාවලට සහභාගි වූ හා එම පාඨමාලාව සම්පූර්ණ කළ ප‍්‍රවීණත්වය පරිචය හිමිකරගත් කලා ශිල්පීන්ගේ කෘති ඇතුළත් කර නොගෙන රාත‍්‍රි පන්තිවලට පැමිණි නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කරගෙන ඇති බවට චෝදනාවක් ඇත. එසේ චෝදනා නගනවුන් පවසන්නේ නිර්මාණ තෝරා ගැනීමේදී කිසියම් විශේෂත්වයක් ප‍්‍රකට කළ කෘති හා නිර්මාණකරුවන් බැහැර කිරීමේ ප‍්‍රවණතාවක් ඇතිබවය. 

එපමණක් නොව, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙත දුන් පැවරුම් මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් භාර දුන් කෘති මෙම තෝරාගැනීම් අතර තිබීමෙන් ගැටලූවක් මතු වේ. මන්ද යත් එවැනි පැවරුම්වලට ඔවුන් කරන නිර්මාණවල ස්වීයත්වය නිශ්චය කළ නොහැකි බැවිනි. හේවුඞ් කලා නිර්මාණ එකතුවේ ඇති කෘති චිත‍්‍ර කලා විෂයේ නිර්ණායක අනුවද ප‍්‍රමිතියෙන් තොර බවටත් එවැනි කෘති හිතවත්කම් මත තෝරාගෙන ඇති බවටත් විෂය ප‍්‍රවීණයන්ගෙන් නැගෙන චෝදනා බැහැර කළ නොහැකිය.

එනිසා හේවුඞ් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට කෘතීන් තෝරාගත්තේ කුමන නිර්ණායක ඔස්සේද යනන මෙන්ම එය සිදුකළේ කුමන පිරිසක්ද යන්න අනාවරණය කළ යුතුය. එසේම එම නිර්මාණ මහජන ප‍්‍රදර්ශනයට විවෘත විය යුතුව තිබේ. 

මෙම ‘හේවුඩ් චිත‍්‍ර කලා කෞතුකාගාරයේ’ විවාද සම්පන්න කාරණය තුළ නැවතත් අවධාරනය කළ යුතු වන්නේ මෙරට දෘෂ්‍ය කලා ක්ෂේත‍්‍රයට වගකිව යුතු දෘෂ්‍ය කලා අනු මණ්ඩලයේ හා සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳවයි. හුදු ප‍්‍රදර්ශනකාමීත්වයකට වඩා ගැඹුරක්, පවතින යමක්, ආරක්ෂා කළ යුතු දේ වෙනුවෙන් මැදිහත්වීමක් විය යුතුය.

විශේෂයෙන්ම ජාතික කලා භවන සහ ජෝන් ද සිල්වා රඟහල වසා දමා වසර 16ක් ගෙවී ගිය පසුවද කඩා බිඳ ලූ එය ජනතාවට පැවරීම තවමත් සාකච්ඡුාවලදී කියන වචනවලට, දේශපාලන පොරොන්දුවලට පමණක් සීමා වී ඇති තත්වයක් තුළ මෙරට ඓතිහාසික කලා උරුමයන් වූ නිර්මාණ රාශියක් අඳුරු අතීතයේ සදහටම වළලා දමා පෙර කී කිසියම් ගුරුකුලයක පැවැතිම සහතික කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වේද? අප එසේ කියන්නේ ජාතක කලා භවනේ විනාශයට පත් කෙරෙන, අතුරුදන් කළ කෘති මෙන්ම හේවුඩ් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයෙන් බැහැර කළ නිර්මාණ සම්බන්ධ නිරීක්ෂණ ඔස්සේ පැමිණිය හැකි නිගමනයක් ලෙසය.

එක්තරා කණ්ඩායමකට දෘෂ්‍ය කලා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් තමන් යැයිද පූර්ව මැදිහත්වීම් කිසිවක් නොමැතිව තමන් කළ අසහාය කාර්යයක් බවටද තහවුරු කිරීමට ඉතිහාසය වළලා දැමීමක් හා පටු නිර්ණායක ඔස්සේ කලා කෘති වර්ගීකරණයක් අවශ්‍ය වන්නට පුළුවන.

මෙම ප‍්‍රශ්න කිරීම අවශ්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව බිහි කිරීමේදී විවිධ ක්ෂේත‍්‍රවල කලාකරුවන් සහ විශේෂයෙන් දෘශ්‍ය කලා ක්ෂේත‍්‍රයේ නිර්මාණකරුවන් එක්ව ගොඩනැගූ කලා සංස්කෘතික ප‍්‍රතිපත්තියක්, සංස්කෘතික මිනිසකු බිහි කිරීම පිළිබඳ අරමුණක් ප‍්‍රකාශයට පත් කර ඇති හෙයිනි. සාහිත්‍ය කන්නදැයි ඇසූ පාලකයන්ට වඩා මෙම ක්ෂේත‍්‍රයේ සමාජ වගකීම ප‍්‍රකාශ කළ දේශපාලන නියෝජනයක් විසින් බලය ලබා ගත් පසුවද සිදුවන්නේ පැරණි දෙයම පවත්වා ගෙන යාම නම් එය බරපතළය. 



Comments

Popular posts from this blog

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම