පුලූන් වලින් ජීවිතේ හොයන යකඩ ගැහැණිය - 'චන්දරේගේ Wife'

 


අපට ඉතිහාසයේ පිටු පුරා බොහෝ වීරයන්ගේ කතා් කියවන්නට ලැබෙයි. නමුත් වීරවරියන් හමුවන්නේ ඉතාම කලාතුරකිනි. ඊට හේතුව කාන්තාව තුළ වීරත්වය නොතිබීමද? ඉතිහාස පිටු තුළ ඇයට ඉඩක් නොතිබීමද? නැතිනම් සමාජ සැකැස්ම තුළ කුඩා කාලයේ සිටම ඇය තුළ ඇති වීරත්වය මතුවීමට අවකාශ නැතිකිරීමද? එසේත් නැතිනම් ඇගේ වීරත්වය ඉතිහාසය ලියන පිරිමි ඇස්වලට නොතේරීමද? ඇතැම් සිනමා නිර්මාණ බොහෝ දුරට එක් මාතෘකාවකට සීමාවන අතර ඇතැම් නිර්මාණ තුළ අපට විවිධ මාතෘතාවන් සඳහා දොරටු විවර කරන අතර කැමති දොරටුවක් විවර කොටගෙන අපට එහි කැමති දුරක් ඇවිද යා හැක.

‘චන්දරේගේ Wife’ චිත‍්‍රපටයේ නම තුළින්ම අපූර්ත්වයක් ගෙන එයි. චන්දරේ යන්නෙන් ග‍්‍රාමීය බවක් හැ`ගවෙන අතර Wife යන්නෙන් යම් විදිහක නාගරික හෝ මැදපාන්තික බවක් අඟවයි. ග‍්‍රාමීය හුරුවටම මෙහි ‘චන්දරේගේ ගෑණි’ වැනි නමක් භාවිත වූයේ නම් මෙහි ඇඟවෙන අර්ථය වෙනස් වෙයි. යම් ආකාරයකට චන්දරේගේ ගෑණි යන්න තුළ චන්දරේට යටත්වූ ඔහුගෙන් තොර අනන්‍යතාවයක් නොමැති ගැහැණියක් ඇඟවෙන අතර චන්දරේගේ උසෙැ තුළ යම් ලෙසක ස්වාධීන පැවැත්මක් ගැන ඇඟවීමක් ගෙන දෙයි.

පවුලේ ආදායම් උපයන්නාවූ චන්දරේ නොකළ වරදකට බන්ධනාගාර ගතවීමත් සමග දියණියන් තිදෙනෙකු සමග තනිවෙන ගංගා, එතැන් පටන් චන්දරේ සිරෙන් නිදහස්වී පැමිණෙන තුරු ජීවිතයට මුහුණ දෙන ආකාරය චිත‍්‍රපටය පුරා දිව යයි. අදායම් මාර්ගය අහිමි වන මොහොතක කිසිදු සුභසාධනයක් නොමැතිව ගංගා අසරණ වන අතර ඇයට උපකාර කිරීමට ළංවෙන සියලූ දෙනා ඇයට සමීප වන්නේ හුදෙකලා වූ ගැහැණියකගෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගැනීමේ අරමුණිනි.

ලංකාවේ අපට පුරුදු සිනමා භාවිතාව තුළ මෙවැනි මාතෘකාවක් මුල්කොටගෙන නිර්මාණය වන චිත‍්‍රපටයක පොදු ලක්ෂණ වන්නේ වියළි කාලාපයේ දුෂ්කර බව දැක්වෙන රූප රාමු සහ කහ වර්ණයට හුරු චිත‍්‍රපටය පුරා දකින්නට ලැබෙන කාන්තාරමය ගුෂ්ක ස්වාභාවයයි. නමුත් මලයාලම් වැනි සිනමා ශානරයන් තුල මීට වෙනස්ව පරිසරයේ සුන්දරත්වය වැනිදෑ රූප රාමු තුළ අපට මුණ ගස්වයි. දාම ඝාතකයෙකු ගැන හෝ වෙනත් කුමන හෝ ඛේදාන්තයක් ගැන චිත‍්‍රපටය නිර්මාණය වුවද සොබාව සෞන්දර්ය නිරූපණය වන පසුබිමක් මග නොහරවයි. මෙම නිර්මාණය තුළද අපට හමුවෙන වෙනස්ම දෙය නම් සෑම රූප රාමුවකම පසුබිමෙහි වන කොළ පැහැයයි. වර්ණ භාවිතය සිනමා නිර්මාණයක අවසන් ප‍්‍රතිඵලය කෙරෙහි බලපාන ආකරය මෙම නිර්මාණය තුළ අපට හොඳින් වටහා ගත හැක.

මුහුදින් වටවූ දූපතක් බඳු උක් වගාව මැද පිහිටි ගංගාගේ කුඩා නිවස, ඈතින් විශාල කන්දක් මෙන් දිස්වන උක් කර්මාන්ත ශාලාව, ගංගාගේ නිවස ළග පිහිටි දැවැන්ත පුළුන් ගස චිත‍්‍රපටය පුරාම අපූර්ත්වයක් ගෙන දෙයි. ඉතා මිහිරි පැණිරස උක් වගාව මැද ජීවත්වෙන මිනිසුන්ගේ ජීවිතවල තිත්ත රසය චිත‍්‍රපටයෙන් නිරූපිතය. සුදු මහත්තයා නමින් හැ`දින්වෙන කුඩා පිරිමි දරුවා ගංගාගේ නිවසට පැමිණීම කතාවේ දිශානතිය වෙනස් කරන අතර එතැන් පටන් චිත‍්‍රපටය දිවයන්නේ මෙම කුඩා පිරිමි දරුවා සහ ගංගා අතර ගොඩනැගෙන මාතෘ-දාරක සම්බන්ධතාව වටාය. චන්දරේගේ ‘අවජාතක’ දරුවෙකු ලෙස පවසමින් සුදු මහත්තයාගේ ආච්චි විසින් ඔහුව ගංගලාගේ ගෙදරට රැුගෙන විත් අතහැර යයි. තම සැමියා බන්ධනාගාරගතව ජීවිකාව සොයා ගැනීමට නොහැකිව ගැහැණු දරුවන් තිදෙනෙකු සමග අරගල කරන මවක් තම සැමියාගේ ‘අනියම්’ යැයි කියන සබඳතාවකින් උපන් දරුවෙකු භාර ගනී. චිත‍්‍රපටයෙන් හසුකරන මානව පේ‍්‍රමයේ සුන්දරත්වය අපට හමුවන්නේ මෙහිදීය. තම සැමියාගේ වෙනත් සබඳතාවකින් උපන් බව කියූ දරුවා තමන්ගේ කුසේ වැදූ දරුවෙකුගේ සම තැන් දීමට ඇය කටයුතු කරන අතර කුඩා දරුවාද ඇය තම මව ලෙසින් භාරගනී. චිත‍්‍රපටය අවසානයේ සුදු මහත්තයා චන්දරේගේ දරුවකු නොවන බව අනාවරණය වන අතර එය ගංගාව සතුටට පත්කරන පුවතක් විය යුුතුවුවද මෙහිදී ඇයට ලැබෙන්නේ තම දරුවකු අහිමිවීමේ වේදනාවයි.

එමෙන්ම චන්දරේගේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනයක්ද යම් ආකාරයකට රූප රාමු කිහිපයක් හරහා අපට හමුවෙයි. වෘත්තීය සමිති නායකයකු වන චන්දරේ ඒ හේතුවෙන් අභූත චෝදනා මත සිරගතවූ පසු ඔහුගේ පවුල අසරණ වන ආකරයත් බිරිඳ හා දරුවන් හුදෙකලාව එම දුෂ්කරතා දරාගන්නා ආකාරයත් දැකගත හැකිය. ගංගා දරුවන් සමග චන්දරේ බලන්නට බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ චන්දරේ ඉතා අසරණ ලෙස ‘සමිතියෙන් බලන් නැද්ද?’ යනුවෙන් ගංගාගෙන් විමසන ජවනිකාව තුළ බොහෝ දේ ඇතුලත්ය. වෘත්තීය සමිතියේ කටයුතුවලට ගෙනැවිත් තිබූ රතු රෙදිවලින් ගංගා අලූත් අවුරුද්දට දරුවන්ට ඇඳුම් මැසීමද සංකේතාත්මකය.

සුදු මහත්තයාගේ සැබෑ මව වන චන්දරේට පෙම් බැදි මරියාගේ ජීවන ඛේදවාචකය කතාවේ පසුබිමින් විටින් විට හමුවන නමුත් ඇගේ ජීවිතය වෙත එබී බැලීමක් මෙම නිර්මාණය තුළ නොකරයි.

මෙහි අධ්‍යක්ෂකවරයා සියලූම රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් නිසි දායකත්වය ලබා ගෙන ඇති බව චිත‍්‍රපටය නැරඹීමේදී පැහැදිලි වේ. මෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන නදීශා හේමමාලිගේ රංගනය ඉතා ඉහළ තලයක පවතී. තමන්ට සිනමාව තුළ තව බොහෝ දේ කළ හැකි නිළියක බවට සංඥාවක් ඇය එම රංගනය තුළින් ලබාදෙයි.

සාමාන්‍යයෙන් අපට හමුවන කතාවල වීරයා වන්නේ සෙසු මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින, ඒ හේතුවෙන් සිරබත් කන චන්දරේය. නමුත් මෙම කතාවේ වීරයා වන්නේ ගෘහණියක් ලෙස තමන්ගේ දරුවන් බලා කියාගෙන සිටින ගංගාය. ඒ බොහෝ වීරයන්ගේ සෙවණැලි පිටුපස සැඟව යන වීරත්වයේ කතාවකි.


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!