සීලවතී සින්ඩ්‍රෝමයට ප‍්‍රතිකාරය කුමක්ද?

 


චන්ද්‍රරත්න බණ්ඩාරගේ ‘සීලවතී සින්ඩ්‍රෝමය’ කෙටිකතා සංග‍්‍රහය 2026 හොඳම කෙටිකතා සංග‍්‍රහය සඳහා වන රජත පුස්තක අවසන් වටයට තෝරාගෙන ඇත. සීලවතී සින්ඩ්‍රෝමය ගැන ලියන්නට අප පෙලඹවූයේ එය සම්මානයකට නිර්දේශ වීම නොවේ. කෘතිය කියැවූ 2025 නොවැම්බරයේ රළ සාමුහිකයේ අප අතර ඒ ගැන සාකච්ඡුාවක් මතු වුවද දිනෙන් දින ඒ ලිවීම ප‍්‍රමාද විය. මෙම ලිපියේදී අපි කෙටිකතා දෙක තුනක් වෙත පමණක් අවධානය යොමු කරමු. මෙහි එන එක කෙටිකතාවක් ගත්තද ඒ පිළිබඳව ලිවිය හැකි දේ බොහෝය. අපි සීලවතී සින්ඩ්‍රෝමය නම් කෙටිකතාව, කෘතියේ නමට භාවිතා වූ කෙටිකතාව වෙත ඒ පිළිබඳව ලියන ලද විචාරයකින් ප‍්‍රවේශ වෙමු.

සුමනා විජේරත්න ලේඛිකාව මේ කෘතිය තුළ අන්තර්ගත එනමින්ම යුතු කෙටිකතාව ගැන තැබූ සටහනක ලංකාව අර්ධ වැඩවසම් - අර්ධ ධනේශ්වර - නව යටත්විජිත රාජ්‍යයකි යන මා ඕවාදී න්‍යායික එළඹුම හරහා ආරම්භයක් ගෙන තිබිණි. එහිදී ඇයගේ අවධානය යොමුවී තිබුණේ සීලවතී සහ කතා නායකයා අතර මානව සම්බන්ධයට කුල සාධකය විසින් පනවනු ලබන බාධාවට සහ තවමත් කුල බෙදීම ලංකාවේ ශේෂ වී තිබීමටය. ඇය සිය සටහනේ මෙසේ කියයි. 

”මේ කෘතියේ මම කැමතිම කතාව, ඒ කියන්නේ සීලවතී සින්ඩ්‍රෝමය කියන කතාවෙ තියෙන්නෙම මේ අර්ධ යටත්විජිතවාදී සහ අර්ධ වැඩවසම් සමාජ සංදර්භය ඇතුළෙ කොහොමද ලාංකික චෛතසික වැඩ කරන්නෙ කියන එකයි..... 

..... සීලවතී සහ කතා නායකයා අතර තිබුණු පේ‍්‍රමය ස්මරණය කරන්නේ කියුබාවේ ඉඳගෙන, ඒ කියන්නේ ඒ සංචාරයට යන චරිතය ජීවත් වෙන්නෙ කැනඩාවේ. විදේශගතවුණු පුද්ගලයෙක් තම අතීතය ආවර්ජනය කරනවා. තම පියා පැරණි වමේ ක‍්‍රියාකාරිකයෙක්, සමාන සමාජ දේහයක් වෙනුවෙන් දේශපාලනයේ නියුතු චරිතයක්. හැබැයි මේ සමාජය කුල සාධකය තදින්ම ක‍්‍රියාත්මක වුණු කාලයක්, කිසිම චකිතයක් නැතිව හේනෙමාමා ට වෙනම භාජනයක තේ වතුර දෙන, ඔහු බිම ඉඳගෙන සමාජවාදය ගැන කතා කරන අර්ධ වැඩ වසම් සමාජයක්. විහිළු නොවෙයි ඇත්ත....

....මෙන්න මේ ධර්මතාවයට නේද අපි අර්ධ වැඩවසම් සහ අර්ධ යටත්විජිතවාදී කියන එක නම් කරන්නෙ. එකට හේතුව අපට බෑ අපේ සමාජ සම්ප‍්‍රදාය කියන අටමගලය විසින් අප මතට පටවන කුප්ප ලෝකයෙන් මිදෙන්න. කුලය, පට්ටම, පංතිය කියන හැම දෙයක්ම අප පසුපස එනවා හෙවනැල්ල වගේ. මම හිතන්නේ අද වනතුරුත් ඉහළ සහ පහළ මධ්‍යම පන්තිය තව දුරටත් ආදරයෙන් මේ සම්ප‍්‍රදාය වැළඳ ගෙන උඩට යන්න හදන්නේ හරියට හම්බාවො ගස් බදාගෙන ඉගිල්ලෙන්න හදනවා වගේ.”‍ 

ඇයගේ එක නිරීක්ෂණයක් වන සමාජමය ව්‍යුහයන් විසින් මානව සම්බන්ධතා වලට සිදුකරන බාධාව සහ අව්‍යාජ මිනිස් හැඟීම් පන්ති සමාජයේ ආකෘති තුළ අඩස්සිගත වන ආකාරය පිලිබඳ නිරීක්ෂණ නිවැරදිය. එහෙත් ඇය ඒ ඇසුරින් එන නිගමනය නිවැරදිද? ලංකාව විග‍්‍රහ කරගත යුත්තේ අර්ධ වැඩවසම් - අර්ධ ධනේශ්වර රටක් ලෙසද, නැතිනම් පසුගාමී ධනේශ්වර රටක් ලෙසද? සීලවතී සින්ඩ්‍රෝමය කෙටිකතාවේ මැනවින් චිත‍්‍රණය වන ආකාරයට ලංකාව ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා සහ ධනේශ්වර රාජ්‍ය ව්‍යුහයක් ස්ථාපිත වූ රටකි. එම පදනම් බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් උත්තරාරෝපණය කරනු ලැබුවද සමාජ විඥානය, උත්තර් නිර්මිතය එලෙස උත්තරාරෝපණය නොවේ. එනිසා සිදුවුයේ සමාජ විඥානයේ ආසියාතික නිෂ්පාදන රටාවේ තිබු ලක්ෂණ ධනේශ්වර ලක්ෂණ විසින් ආදේශ වීමක් හෝ සමතික‍්‍රමණය කිරීමක් නොව ආසියාතික ලක්ෂණ සහ ධනේශ්වර ලක්ෂණ සමාජ විඥානය තුළ සහවාසයේ යෙදීමකි. කතා නායකයාගේ පියා ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාධරයෙකු වන අතර හේනේ මාමා සම්බන්ධයෙන් ඔහුගේ ප‍්‍රවෙශයත්, කතා නායකයා ලංකාවේ - කැනඩාවේ - කියුබාවේ ආදී හැම තැනම කරක්ගසා අවසානයේදී ටිබෙටයට ගොස් අධ්‍යාත්මික විමුක්තියක් සොයන්නේත්, ‘මිලරෝපාතුමනි, මටත් ප‍්‍රාර්ථනාවක් දෙන්න’ කියා දණින් වැටෙන්නෙත් මෙම පසුගාමීත්වයේ සහ ධනවාදය තුළ අපේක්ෂා භංගත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසය. 

මෙම සාකච්ඡුාවේ අපගේ වැඩි අවධානයක් යොමුවිය යුත්තේ ලංකාව අර්ධ වැඩවසම් - අර්ධ ධනේශ්වර රටක් ලෙස හඳුනා ගැනීමේ සහ පසුගාමී ධනේශ්වර රටක් ලෙස හඳුනා ගැනීමේ න්‍යායික විභේදනයට පමණක් නොවේ. එම නිගමන දෙක මත පිහිටා නිර්මාණය වන දේශපාලන වැඩපිළිවෙල දෙකේ වෙනසටය. ලංකාව අර්ධ වැඩවසම් - අර්ධ ධනේශ්වර රටක් ලෙස විග‍්‍රහ කරගෙන මුලින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් අවසන් කිරීමට සහ ඒ සඳහා ධනපති පන්තිය සමහ සහයෝගීතාවයට යාමටද, ඉන් අනතුරුව සමාජවාදයට ඒ හරහා පාරක් කපා ගැනීමටද පැරණි වම දරන ලද උත්සාහය චන්ද්‍රරත්න බණ්ඩාර ලේඛකයාගේ උපහාසයට බඳුන් වේ. සමගි පෙරමුණු ආණ්ඩුව හරහා සමාජවාදයට යාම ගැන අඩ සියවසකට පෙර කෙරුණු මෙම සංවාදය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හරහා සමාජවාදයට යාමේ වත්මන් අපේක්ෂාවන් විචාරවත් කිරීමේදීද වැදගත් වේ. කෙටිකතාව කියවන මොහොතක් පාසා තහවුරු වන්නේ විචාරිකාව සිටින දේශපාලන ස්ථාවරයට වඩා වෙනස් ස්ථාවරයක ලේඛකයා සිටින බවයි. නැතිනම් අවම වශයෙන් ලංකාවේ සමකාලීන සමාජ සම්බන්ධතා වල දේශපාලනය නම් විෂය සමග වෙහෙසකර, අව්‍යාජ, අඛණ්ඩ පොර බැදීමක නිරත වීම නිසා ලේඛකයා නව ඥානයක් උත්පාදනය කර ඇති බවය. 

”අලූ‍ත් ආණ්ඩුවෙන් අපට යහපතක් වේයැ?”‍ 

හේනෙ මාමා තාත්තාගේ මුහුණ බලමින් ඇසුවේ, තම පළමු වඩිය අඬුකෝප්පෙට වක්කරගන්න ගමන්. 

‘නොවී කොහොමැයි? තිස්පහේ සමසමාජ පක්ෂෙ පිහිටවූ දා ඉඳන් වැලි කෑවේ ඔය ටිකටනේ. දැන් ඒ අවස්ථාව හම්බෙලා. බොලා වගේ වැඩකරන පන්තියට කලක් යයි මයෙ හිතේ.”‍ 

ඒ අතර කතා නායකයාගේ පියා මෙසේද විශ්වාස කරයි. 

”පනස්හය බල්ලට දානවා. ඔය වෙද්දුයි, හාමුදුරුවරුයි කරපු අටමගලක් නෑ. කවුරු නැතත් මට විශ්වාසයි ඇන්. ඇම්. සහෝදරයා මැතිණියවත් පොළඹවාගෙන මේ රටේ සමාජවාදය හදනවා කියලා”‍ 

නමුත් ඔහු බල්ලට දාන ලෙස කියූ සමාජ බලවේග කෙතරම් බලසම්පන්නද, එම බලවේග වමෙන් හසුරුවනවා වෙනුවට ඒවා විසින් වමේ නායකත්වය හැසිරවුයේ කෙසේද, මැතිණියගෙන් සංකේතවත් වන ධනපති පන්තිය සහයෝගීතාවක් හරහා සමාජවාදී මාවතට ගැනීමේ උපායමාර්ගය කෙතරම් මනෝරාජිකද, නායකයන්ගේ ශක්‍යතාවයන් වෙනුවට පන්ති බලවේගයන්ගේ සංවිධිත දේශපාලන ක‍්‍රියාකාරීත්වය ඉතිහාසයේ ගාමකය වන්නේ කෙසේද  යන්න ඉතිහාසය ඔප්පු කර ඇති අතර උක්ත කෙටිකතාව ඒ පිලිබඳ ඉඟි ගණනාවක් සපයයි. 

මේ සමාජමය බාධක සියල්ල මැද මානව සබඳතා වල අසිරිය කෙටිකතාවේ ඇති ප‍්‍රහර්ෂයයි. අවසානයේදී සිය කන්‍යාභාවය සිය අහිමි පෙම්වතාට පූජා කරන සීලවතී දෙස බලමු. 

”මාව ඉඳුල්  කරන්න.ඊට පස්සෙ මට පුළුවන් දෙවි කෙනෙකුට මාව පූජා වුණා කියලා හිතලා මිනිහා විදියට මට හම්බවෙන  ඕනෑ එකෙක්ට කකුල් පළල් කරන්න”‍

ඇය නොමේරූ හා ජීවන අත්දැකීම් අඩු තරුණ ගැහැණු ළමයෙකුගේ බොළඳ ක‍්‍රියාවක සංකේතයක්ද? නැතිනම් සිය ඉරණම තීරණය කිරීමේ අයිතිය සියතට ගැනීමට උත්සාහ කරන, තම ශරීරය පාලනය කරන පුරුෂ මූලික සමාජ ගොඩනැගීම් වලට එරෙහිවන කැරලිකාරීත්වයක සංකේතයක්ද? මෙම කෘතියේ එකම කෙටිකතාවක් වුව එතරම් විශාල පරාසයක සංවාදයක් අවුලූ‍වයි. 

කෘතියේ එන ‘පාන්කිරිත්තෝ’ කෙටිකතාවද එක්තරා ආකාරයකින් එම මාතෘකාවම ඉදිරියට ගෙන යාමකි. කතාව ආරම්භයේදී කියන ආකාරයට ‘තිස්සමහාරාමෙනුත් සැතපුම් ගාණක් ඈත, ටිකක් ලොකු ටවුමකින් හැරිහැරී ගිහින්, ගම්සභා පාරකටත් වැටිලා, අතුරු පාරවල් දෙකකිනුත් ගිහින් මුණගැහෙන ගමක’‍ රිද්මා නම් තරුණිය සහ කොළඹ හතේ ප‍්‍රභූ පවුලක හංසනී නම් තරුණිය අතර ඇතිවන පේ‍්‍රම සම්බන්ධතාවයට ආසියාතික සංස්කෘතිය සහ ධනේශ්වර සංස්කෘතිය යැයි වෙනසක් නැතිව පන්ති සමාජයේ පුරුෂ මූලික සමාජ ව්‍යුහයන් විසින් සිදුකරන බාධාව එහි මැනවින් චිත‍්‍රණය වේ. නමුත් පේ‍්‍රම සබඳතා සම්බන්ධයෙන් කේන්ද්‍රයේ රටවල තහවුරුව ඇති සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලංකාවේ ඇති සීමාවන් මුණගස්වන තැන ලෙස කතුවරයා තෝරාගෙන ඇත්තේ රිද්මා සහ හංසනී ජීවත් වන කාමරයේ බිත්තියයි. 

”ඇනෙක්සියේ එල්ලා ඇති ඡුායාරූපවල සිටින ලිලී ටොම්ලින් හා ජේන් වාග්නර් යුවල, රොබෙල් විල්සන් හා රොමෝනා අග්රුමා යුවල, ජෙසිකා බෙට්ස් හා නැන්සි හෑන්ස් ආදීන්ගේ අනේක ඉරියව් දෙස අම්මා බලා සිටියේ සිහි විසඥ වන තරම් වූ විමතියකින්. එහෙම ලෝකයක් ඇතැයි ලොකු මාමාද මෙතෙක් දැන සිටියේ නෑ”‍ 

ධනේශ්වර ආර්ථික පදනමක් ස්ථාපිත වුවද ලංකාවේ උත්තර් නිර්මිතයේ ඇති ‘‍යා දෙක නොරත රත’ ගතිය හොඳින්ම පෙනෙන්නේ ගැහැණු ළමයින් දෙදෙනෙකු අතර පේ‍්‍රමයට පොලීසිය, නීතිය ආදී රාජ්‍ය ව්‍යුහයන් මැදිහත් වන ආකාරය තුළය. 

”උඹ මේ ගමන ගිහිං පොලීසියෙදි, අපි අල්ලපු පෙරකදෝරු මහත්තයත් එක්ක කියන්න  ඕනෑ උඹ ඒ නෝනත් එක්ක තියෙන පයුරුපාසානෙ ඉවරයක් කරනවා කියලා.”‍ 

ඔවුන් දෙදෙනා සමාජය ඉදිරියේ වෙන් කරනු ලැබුවද, ඔවුන් දෙදෙනා අතර ඇති මනුෂ්‍ය බැඳීම් අවසන් වීද යන්න අවිනිශ්චිතව තැබීමට කතුවරයා කටයුතු කර ඇත්තේ මනුෂ්‍ය සබඳතා සහ සමාජමය ව්‍යුහයන් අතර ඇති ප‍්‍රතිවිරෝධයේ සංකීර්ණත්වය පාඨකයාට වඩාත් දැනවීම උදෙසා විය යුතුය. 

”හංසනී තාත්තා වෙත හෙමින් ඇවිද ගියේ දුරකථනය වෙත තවත් හාට් ඉමෝජියක් පැමිණේ යැයි බලාපොරොත්තුවෙනි. ‘මං අකමැති බව දැන දැනම හෙයාස්ටයිල් එක වෙනස් කළේ ඇයි?‘ රිද්මා එවූ පණිවිඩය කෙලවරට අමුණා තිබුණේ හාට් ඉමෝජිය නොව, නිල් පාට කඳුළු බිංදුව සහිත, රවුම්, කහපාට අඬන ඉමෝජියය.”‍ 

හාට් ඉමෝජිය අපේක්ෂා කරන රිද්මාට සහ හංසනීට අඬන ඉමෝජියක් හිමිවීම සහ අප මෙතෙක් කතා කළ දේශපාලන ප‍්‍රශ්නය අතර සම්බන්ධයක් තිබේද? ‘පාන්කිරිත්තෝ’ එම සංවාදය සඳහා සුදුසුම නිමිත්තකි.

‘මකුළු දැල්’ කෙටිකතාව පැති ගණනාවක් වෙත ආලෝකය විහිදුවන තවත් කෙටිකතාවකි. භෞතිකවාදීයෙකු වන වාමාංශික දේශපාලන ක‍්‍රියාධරයෙකු සහ දැඩි ආගමික භක්තියෙන් යුතු ඔහුගේ බිරිඳ අතර ඇති ප‍්‍රතිවිරෝධය කේන්ද්‍ර කර ගනිමින් ලියැවී ඇති එම කෙටිකතාව ආදරය හා විවාහය පිලිබඳ සමාජයේ ස්ථාපිත අදහස් සහ පවුල නම් ව්‍යුහයේ සීමාකාරීත්වය ප‍්‍රශ්න කරයි. දෙදෙනෙකුට එකට ජීවත්වීම සඳහා බව කියමින් නිර්මාණය කර ඇති පවුල නම් සමාජයීය ව්‍යුහය දෙදෙනෙකුට එකට ජීවත්වීමට කෙතරම් බාධා පමුණුවන්නේද යන කරුණ එම කෙටිකතාව කියවන පාඨකයා වෙත විදුලි සැරයක් මෙන් පැමිණෙයි. ලූ‍වී අල්තුෂර් නම් චින්තකයාට අනුව පවුල සහ ආගම යන ව්‍යුහයන් දෙකම දෘෂ්ටිවාදී රාජ්‍ය මෙවලම් වේ. නමුත් ආගම ඊට අමතරව සැමියා සහ බිරිඳ අතර පවා පරතරයක් ජනිත කරන්නේ කෙසේද, විශේෂයෙන් ලංකාව වැනි රටවල මැදි වයසට යනවිට විශේෂයෙන් ස්ත‍්‍රීන් ආගමට වැඩිපුර ආකර්ෂණය වීම ඔවුන්ගේ සබඳතා පද්ධතිය අර්බුදයට යවන්නේ කෙසේද වැනි මාතෘකා කෙටිකතාව කියවන අපගේ ඇෙඟ් හැපෙයි. 

දෙදෙනා අතර පරතරය පුළුල් වීම අපට අභිමුඛ වන්නේ මකුළු දැල් කැඞීමේ සිදුවීමකදී ඇතිවන විවාදයක් හරහාය. 

”‍මකුළු දැල් කැඩුවොත් සත්තු මැරෙනවානේ හලෝ...  ඕක නවත්තන්න, මොකද මකුළුවෝ අපිව කනවැයැ.”‍ 

පසුව එම පරතරය මතවාදී ක්ෂේත‍්‍රය දක්වා විහිදෙන්නේ පරතරය තව තවත් පුළුල් කරමිනි. 

”සයික‍්‍රියැටි‍්‍රස්ට් කෙනෙක් හම්බ වෙන්න  ඕනෑ මං නෙවේ තමුසෙ. ලංකාවෙ ප‍්‍රාදේශීය සභාවක්වත් දිනා ගන්න බැරුව ලෝක විප්ලවය ගැන පාරම් බාන්න පිස්සු නැත්නම් වෙන මොනවද?”‍ 

බිරිඳ කොදෙව් සංස්කෘතියක ආගමික ලෝකයක සිර වෙද්දී ගෝලීය සංස්කෘතියකට විවෘත වන අපේ කතා නායකයා රෙඞ් චිත‍්‍රපටයේ කාලෝ සිහිපත් කරයි. කාලෝ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවී විඩාපත්ව, තෙත සිඳී ගිය වියළි මිනිසෙකි. සිය බිරිඳ තමා නැති අතර වෙනත් පිරිමියෙකු සමග කායිකව එක්වනු දැක කිපෙන කාලෝ තමා පීඩිතයෙකු වන අතරම සිය බිරිඳද පීඩිත ස්ත‍්‍රියක බව වටහා ගනී. මාක්ස් පවසන ආකාරයට ආගම පීඩිතයාගේ සුසුමයි. හදවතක් නැති ලෝකයේ හදවත සොයා යාමයි. ප‍්‍රමෝදයන් රහිත තත්වයන් තුළ ප‍්‍රමෝදය සෙවීමයි. එනිසා සිය බිරිඳගේ අන්තවාදී ආගමික නැඹුරුව ඇයගේ පීඩාවේ ප‍්‍රකාශනයක් සහ එයට දක්වන ප‍්‍රතිචාරයක් ලෙස අපේ කතා නායකයා තේරුම් ගැනීමට සමත් වේද? මාක්ස් පැවසු ලෙස තමන් කරන්නේ  සමාජය තුළ මනුෂ්‍ය සාරය යථාර්ථයක් නොවන නිසා මනෝරාජික ලෝකයක් තුළ මනුෂ්‍ය සාරය සෙවීමකැයි ඔහුගේ බිරිඳට වැටහේද?

සැබැවින්ම අප පෙලන මේ රෝගය කුමක්ද? එය මේ කෙටිකතා වල එන කතා නායක නායිකාවන්ගේ  සින්ඩ්‍රෝමයක්ද? නැතිනම් සමස්ත සමාජ දේහය වෙලාගත් සින්ඩ්‍රෝමයක්ද? සීලවතී සින්ඩ්‍රෝමය සුව කිරීම සඳහා ඇති ප‍්‍රතිකාර සැලැස්ම කුමක්ද? එය ධනපති පන්තිය සමග එක්ව මුලින් පිරිසිදු- කාර්යක්ෂම ධනවාදයක් ගොඩනගා,  පසුව ඒ හරහා සමාජවාදය වෙත යන මාවතක්ද? නැතිනම් සමාජවාදය වෙත පිම්මකින් පරිවර්තනය වන අරගලයේ මාවතක්ද? විශ්වාසය තැබිය යුත්තේ පක්ෂ වල සහ නායකයන්ගේ අපේක්ෂාවන් කෙරෙහිද, නැතිනම් පන්ති බලවේග සංවිධානය කර ඒවා ඉතිහාසයේ වේදිකාව මතට කැඳවීම කෙරෙහිද?

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!