දීපචෙල්වන්: ප්‍රශ්නයේ පෙනුම
අප මෙතෙක් කල් සිතා සිටි ආකාරය වැරදි බවට බොහෝ දෙනා පසුතැවෙන්නට පටන් ගෙන තිබුණේ ‘දීපචෙල්වන් ප‍්‍රදීපන්’ විසින් රචනා කළ පොත් රේගුවෙන් රඳවා ගැනීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි දාමය නිසාය.
ඒ සමහරුන්ට තිබුණේ ලංකාවේ පොත් ප‍්‍රකාශනය ගැන හෝ පොත් ආනයනය ගැන තිබුණු සීමාසහිත දැනුම ගැන පශ්චාත්තාපයකි. තවත් අයට තිබුණේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ නීති නොදැන සිටීම ගැන පසුතැවීමකි. වෙනත් සමහරු ප‍්‍රශ්න කළේ ලංකාවේ පවතින මූලික අයිතිවාසිකම් තුළ භාෂණයේ නිදහස වල්බූරු නිදහසක්ද යන්නය. ඒ වෙනුවට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා පනවා ඇති බවත් කැමති කැමති දේවල් ලියන්නට, පොත් පළ කරන්නට නිදහසක් තිබිය යුතු නැති බවත් කියා සිටියේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ලෙස විරාජමානවූවන්මය.
කෙසේ වෙතත්, පසුතැවිල්ල ප‍්‍රකාශ කළ තවත් පිරිසකගේ අදහස වූයේ මෙරටට පොත් ගෙන ඒමේදී සිංහල හෝ ඉංග‍්‍රීසි පොත්වලට වඩා වෙනස් කොට සැළකීමක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන බවක් තමන් නොදැන සිටීම ගැනය. එහෙත් වඩාත් බෙදජනක කාරණයක් වූයේ අඩ සියවසකට වැඩි කාලයක් ජාතිවාදයෙන් මත් කරවන ලදුව දේශපාලන බලය පිණිස වල්මත් කරවන ලදුව, දසක තුනකට වැඩි කාලයක් යුද්ධයකින් පීඩා විඳි සමාජයක අනෙකා ගැන සහකම්පනයක්, වින්දිතයන් සම්බන්ධ සහෘදභාවයක් උදාකරගන්නට අසමත්වීමය. එයිනුදු වඩා දරුණුම විපත වන්නේ මෙතෙක් කිසියම් විචාර බුද්ධියක්, නිදහස් චින්තනයක්, අවම වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සථාවරයක් ඇති යැයි සිතා සිටියවුන් පවා එසේ නොවන බවට සමාජය ඉදිරියේ අනාවරණය වීමය.
මාර්තු 27 වැනිදා රේගුව විසින් පොත් 360ක් රඳවා ගැනීමෙන් පසුව, ලේඛක දීපචෙල්වන්ගේ ප‍්‍රකාශකයා වෙත දන්වා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් ලැබෙන තුරු ඒවා නිදහස් නොකරන්නට රේගු ආඥා පනත ප‍්‍රකාරව කටයුතු කරන බවයි. ලොක්යේ ඕනෑම රටකදී ආනයනික භාණ්ඩවල හානිකර යමක් ඇත්දැයි බලා එවැන්නක් නොවේ නම් නිදහස් කිරීම පිළිගත් ආරක්ෂක ක‍්‍රමවේදයකි. නමුත් පොත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ විමසා සිටීම ඉතිහාසයේ පවත්වා ගෙන ආවක් වුවද තවදුරටත් පිළිගත හැකි දෙයක් නොවේ. මක් නිසාද යත් 76 වසරක පාලනයේ වැරදි නිවැරදි කරන්නට ශපථ කර ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පැමිණ වසර එකහමාරක් ගෙවී ඇති බැවිනි. කලා මණ්ඩලය වෙනුවෙන් සුනිල් විජේසිරිවර්ධන පවසන්නේ නීති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවය. කුමන තත්වයක් යටතේ වුවද මෙරට ජනතාව කියවිය යුුතු පොත් මේවා යැයි නිර්දේශ කිරීමේ බලයක් සංස්කෘතික අමාත්‍යංශයට හෝ ඊට අයත් කලා මණ්ඩලයට හෝ සාහිත්‍ය අනුමණ්ඩලයට හෝ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්වෙන් පවරා දී නැත. ඉතින් ආරක්ෂක අමාත්‍යංශයට එවැනි අයිතියක් මොනම තත්වයක් යටතේ හෝ තිබිය නොහැකි වුවද ‘මේ වූකලී දිගු කලක් පවත්වා ගෙන ආ ක‍්‍රමයකි’යි නිදහසට කරුණු කියන්නට ජාතික ජනබලවේගයේ ප‍්‍රකාශකයන් ධෛර්ය සම්පන්න වී ඇත. පැරණි නීති නිසා මේ පොත් නිදහස් කරන්නට නොහැකි වන බව ප‍්‍රසිද්ධියේ කියා සිටින්නට කීර්තිමත් සාහිත්‍ය විචාරකයකු වූ සංස්කෘතික ඇමතිවරයාට සිදුව ඇත. ජාතික ජනබලවේග ආණ්ඩුව පිහිටුවන්නට පදනම් කරගත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මතු නොව, කලා සංස්කෘතික ප‍්‍රතිපත්ති උත්සවාකාරයෙන් ජනගත කළ මෙරට කලාවේ නමගිය උගතුන් විද්වතුන් පැරණි නීති හා පිළිවෙත් රකින්නට පෙළ සැදී ජනමාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුළත් ප‍්‍රකාශ නිකුත් කරනු පෙනේ. තවත් අය විසින් දීපචෙල්වන්ගේ පොත්වල අඩංගු විය හැකි ජාතික ආරක්ෂාවට පටහැනි දේවල් ගැනද පොත් පිටු අතර ඇති පිස්තෝල ගැනද කතන්දර කියන්නට විය. කෙසේවෙතත් අවසානයේ දීපචෙල්වන්ගේ පොත් දෙකක පිටපත් තහනමකට ලක් වී ඇත. ඒවා නැවත පාඨකයන් අතරට එන්නේ නැති බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ සංස්කෘතික ඇමතිවරයාමය.
රේගුව ආරම්භයේදී ප‍්‍රකාශ කළේ රඳවා ගත් පොත් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ අපේක්ෂා කරන බවක් වුවද අවසානයේ පොත් දෙකක් නිදහස් කරන්නටත් අනෙක්වා රඳවා ගන්නටත් තමන් පාදක කරගත්තේ සංස්කෘතික ආමත්‍යංශයේ නිර්දේශ බවට ප‍්‍රකාශ කරන ලදී. එම නිවේදනයෙන් සංස්කෘතික අමාත්‍යංශය බරපතළ සමාජ අපවාදයකට ඇද වැටෙද්දී වහාම පිළිතුරු දුන් කලා මණ්ඩලයේ ප‍්‍රකාශයකින් කියැවුණේ තමන් පොත් තහනමක් වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් නොකළ බවය.
පොත් හතරක් අවධානයට ලක් කළ පසුව, ඒවා සම්බන්ධ කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කලා මණ්ඩලයෙන් හෝ සංස්කෘතික අමාත්‍යංශයෙන් හෝ සිදුකර නැත. නමුත් පොත් දෙකක් පමණක් නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇත. එයින් අදහස් වන්නේ පොත් දෙකක් නිදහස් කරන්නට මිස අනෙක් පොත් තහනම් කරන ලෙස නොවන බව කලා මණ්ඩලයද සංස්කෘතික ඇමතිවරයාද පවසයි. මේ නම්, ප‍්‍රසිද්ධියේ මහදවල් නිරුවත්ව තමන් සීතාම්බර පට සළු පැලඳ ඇතැයි කියු රජා මෙන් අමුතුම ජාම් බේරාගැනීමකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිවරයා කියා සිටින්නේ තමන්ට මේ පොත් සම්බන්ධ නෛතික වගකීමක් නැති නමුත් සද්භාවයෙන් මැදිහත් වූ බවය. සද්භාවයෙන් මැදිහත්වීමක් සිදු කළ බව පිළිගන්නට නම්, සද්භාවය අනාවරණය විය යුතුය. මෙම කෘති 4 රේගුවෙන් රඳවා ගත්තේ මාර්තු 27 වැනිදාය. නමුත් ඒ ගැන සංස්කෘතික අමාත්‍යංශයේ මැදිහත්වීමක් අවශ්‍ය බව සමාජ ක‍්‍රියාකාරිකයන් කළ ඉල්ලීම ඉටු කරන්නට අමාත්‍යංශයත් කලා මණ්ඩලයත් කටයුතු කළේ බොහෝ ප‍්‍රමාද වීය. මේ සමබන්ධයෙන් මැදිහත්වීමක් කරන බවට අපේ‍්‍රල් 17 වැනිදා අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදී කලා මණ්ඩල සාමාජිකයන් හා ඇමතිවරයා පොරොන්දුවක් දී තිබුණි. එහෙත් එවැනි මැදිහත්වීමකදී විය යුතු වන්නේ කොන්දේසි විරහිතව පොත් නිදහස් කිරීම වෙනුවෙන් පියවර ගැනීමය.
අප විශ්වාස කරන්නේ රේගුව වේවා, ආරක්ෂක අමාත්‍යංශය වේවා, සංස්කෘතික අමාත්‍යංශය වේවා යම් පොතක් ලාංකිකයන් විසින් කියවිය යුතුද නැද්ද යනුවෙන් තීන්දු කරන වාරණ තීරකයන් විය යුතු නැති බවයි. අප අකැමති වුවද දැන් ඒ ක‍්‍රියාමාර්ගයට මේ රාජය ආයතන මැදිහත් වී ඇත. සංස්කෘතික ඇමති සහ කලා මන්ඩලය ‘සද්භාවයෙන්’ මැදිහත්වී ඇති අතර රේගුව හා ආරක්ෂක අමාත්‍යංශය නෛතික පදනමෙන් සම්බන්ධ වී ඇත. දැන් කලා මණ්ඩල සාමාජිකයන් මෙන්ම ඇමතිවරයාද කියන්නේ ජාතික ආරක්ෂාව මන්තරයට දමනය වූ ‘ආතුරයන්ගේ’ කතාමය. පොත්වල ප‍්‍රචණ්ඩ හෝ සමාජ විරෝධී අඩංගුවක් තිබුණි නම් ඒ ගැන කරුණු සහිතව වාර්තා කළ යුතුය. ඒ සඳහා සංස්කෘතික අමාත්‍යංශයට කල් වේලා නොලැබුණි නම් තව කල් ගන්නටත් තිබුණි. අවසානයේ පොත් දෙකක් ලංකීය ජනයා අතට පත් නොකරන්නට, එනයින් තහනම් කරන්නට රේගුවට බලය ලැබී ඇත.
ප‍්‍රමාද වී හෝ සංස්කෘතික ඇමතිවරයා මෙන්ම කලා මණ්ඩලයේ නිර්දේශ ලබා දුන් සාමාජිකයන්ගේ වගකීම වන්නේ පාඨකයන්ගේ අයිතිය අහිමි කළ හේතු, එනම් එම පොත් නිදහස් නොකරන්නට තරම් වූ කරුනු සාක්ෂි ඇතිව අනාවරණය කිරීමය. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති යැයි කියන මෙරට ජන සමාජයේ සාකච්ඡුා විය යුතු කරුණු ලෙසය. කිසිදු හේතුවක් නොමැතිව පොත පත වැනසීමටත් පුද්ගලයන් ඝාතනය කරන්නටත් ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී යැයි නිදහසට කාරණා කියන්නට පූර්වාදර්ශයක් මෙවැනි පාරක යාමෙන් ලැබෙනු ඇත. එවැනි තත්වයන් පැවතියේ ජර්මනියේ හිට්ලර් හෝ ඉතාලියේ මුසෝලීනි හෝ උගන්ඩාවේ ඉඩි අමීන් වැනිවුන් රාජ්‍යයන් පාලනය කළ අවස්ථාවලදීය. ලංකාවේ දී නම් වරක් ජයවර්ධන-පේ‍්‍රමදාස පාලන කාලයේය. එමෙන්ම රාජපක්ෂ පාලනයේදීය.

Comments
Post a Comment