මිනිස් රූපය දේවත්වයට නැංවීමේ කතාව
ග්‍රීක යුගය - (2 කොටස)
ග්‍රීක චිත්‍ර හා මූර්ති පිළිබඳ අධ්‍යයනයේ දී පුරාණෝක්තිය තරමට ම
අපගේ අවධානය යොමු කළ යුතු වැදගත් ලක්ෂණයක් වන්නේ මිනිස් රූපයට ලබා දුන් ඉහළතම
සැලකිල්ල යි. විශේෂයෙන් ම ඉන් මිනිස් රූපය
නිරූපණය වූයේ ඉතා පරිපූර්ණ, ශක්තිමත්
සහ දේවත්වයට සමීප ලෙස ය. නොඑසේ නම් ග්‍රීක දෙවියන් පවා මිනිස් ස්වරූපයෙන් යුතුව
දැක්වීමට ඔවුහු කටයුතු කළහ. එනම් ග්‍රීක කලාව තුළ මිනිසා සහ දෙවියන් අතර වෙනසක්
නොපැවතුණු බව අපට පැවසිය හැකිය.
ග්‍රීක කලාව තුළ මෙසේ “පෞද්ගලික මිනිසා" කේන්ද්‍රීය සාධකය බවට
පත් වීමට බලපෑ දාර්ශනික හා සමාජීය සාධක විමසා බැලීම වැදගත් ය.
මනුෂ්‍ය ස්වභාවය හා චර්යාව පිළිබඳ ග්‍රීක යුගයේ දාර්ශනිකයන් යොමු කළ
තරමේ තියුණු අවධානයක් මින් පෙර මානව
ශිෂ්ටාචාරය තුළ දැක ගැනීමට හැකි වූයේ නැත.ප්‍රොටගෝරස් බඳු දාර්ශනිකයෙකු පෙන්වා
දුන්නේ "මිනිසා සියලු දේවල මිනුම" (Human is the measure of all
things) වන බව යි. එනම් සත්‍යය සදාකාලික එකක්
නොවන බවත් එය මනුෂ්‍ය අත්දැකීම හා අවබෝධය මත රඳා පවතින බවත් ය. ග්‍රීක කලා න්‍යාය
බිහි වූයේ මනුෂ්‍යයා පිළිබඳ මෙබඳු දාර්ශනික ඉදිරිපත් කිරීම් පසුබිමෙහි තබා ගෙන ය.
අනෙක් පසින් පුරාණ ග්‍රීසිය වහල් ශ්‍රමය මත පදනම් වූ සමාජයකි. වහල්
ශ්‍රමිකයාගේ ශ්‍රම බලය මත නිදහස් පුරවැසියන්ට විවේකය, දේශපාලනය සහ කලාව සඳහා කාලය ලැබුණි. මේ හේතුවෙන් ග්‍රීක කලා
ශිල්පයන්ගෙන් මූර්තිමත් වන “පරිපූර්ණ ශරීරය” යනු සමාජයේ සියලු මිනිසුන් නියෝජනය
කරන්නක් නො වේ. එය නියෝජනය කරන්නේ පාලක පන්තියේ නිදහස් පුරවැසියාගේ ආදර්ශයයි.
මයිරොන් නම් ශිල්පියාගේ Discobolus ප්‍රතිමාව මේ සඳහා ලබා දිය හැකි
ප්‍රබලතම නිදර්ශනයකි. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය කම්කරුවෙකු නොව, ශක්තිමත්, සෞන්දර්යමය පාලක පුරවැසියෙකි. එය “ශරීරය” පමණක් නොව, තමන් නියෝජනය කරන සමාජ පන්තියේ බලය ද සංකේතවත්
කරයි.
ඇපලෝ හෝ සියුස් දේව ප්‍රතිමාවන්හි නිරූපණය වනුයේ ද එම ගාම්භීර හා
සෞන්දර්යාත්මක මිනිස් ශරීරය ම ය. මේ වනාහි
දේවත්වය පවා පාලක පන්තියේ මිනිස් ආදර්ශයට යටත් කරගැනීමකි. වෙනත් අයුරකින් පවසන්නේ
නම් මෙය පාලක පන්තියේ අදහස් දේවත්වයට නැංවීමක් ලෙස ද දැක්විය හැකිය. ඇතෑන්ස් නගරයේ
Parthenon දේවමාළිගාවේ බිත්ති කැටයම්වල දැක්වෙන
යුද්ධ ජයග්‍රහණ, වීරයන් සහ දෙවියන් ආදිය ද මීට නිදසුන්
ලෙස දැක්විය හැකිය.
යුද විරුවන්, පාලකයින් හා දෙවියන්ගේ රූප මිස දාස
වහලුන්ගේ ජීවිතය ග්‍රීක කලාවෙන් නිරූපණය නොවීම හේතුවෙන් ග්‍රීක කලාව ප්‍රතිගාමී
කලාවක් ලෙස සලකා ප්‍රතිෂේප කළ හැකි ද ? එසේ
කලාව ප්‍රතික්ෂේප කිරීම හුදු පන්ති ඌනිතවාදී කියවීමක හෝ ඓතිහාසිකවාදයකට ඇද වැටීමක්
විනා සැබෑ අපෝහකවාදී විධි ක්‍රමය නො වේ.
කිසියම් නිශ්චිත අවධියක බිහි වන කලා කෘතියක එම අවධියේ අධිපති
පන්තීන්ගේ සලකුණ අඩංගු වුව ද කලාවට එම නිශ්චිත ඓතිහාසිකත්වය ඉක්මවා යෑමේ හැකියාව
ඇත. ග්‍රීක කලාව යනු ඊට ලබා දිය හැකි ප්‍රබලතම නිදර්ශනයකි. එහි අඩංගු පුරාණෝක්තීන්
ද මිනිස් රූපය ද එම යුගයේ සිට අද දක්වා විවිධ වෙනස්කම් අත් කර ගනිමින් ඉතිහාසය
ඔස්සේ ගමන් කරමින් සිටින්නේ මේ හේතුවෙනි. ග්‍රීක කලාවේ සම්භාව්‍ය පරමාදර්ශ - බටහිර
කලාව සඳහා පදනම් සෞන්දර්යාත්මක මූලධර්ම බවට පත් වූ බවත්, නූතන කලාකරුවන් සහ විචාරකයින් මෙම සම්භාව්‍ය ප්‍රමිතීන්ට එරෙහිව
කලාත්මක සාර්ථකත්වය මැනීම දිගට ම කරගෙන යන බවත් එරික් නිව්ටන් (paraphrased
from Eric Newton’s art criticism and writings) තර්ක කරයි.
ග්‍රීක කලාවේ (විශේෂයෙන් පුරාතන හා සම්භාව්‍ය යුගවල) දේව රූප සහ
මිනිස් රූප අතර ප්‍රධාන වශයෙන් සමානතා පෙන්වන නමුත් සූක්ෂ්ම විෂමතා කිහිපයක් දක්නට
ලැබෙන බව ද මේ සමඟ ම පැවසිය යුතුය. මෙම වෙනස්කම් බොහෝ විට පරිමාණය, ආකෘතිය, ගුණාංග සහ සංකේතාත්මක අංග ඔස්සේ ප්‍රකාශ විය.
නිදසුනක් ලෙස දේව රූප බොහෝ විට අනුපාතිකව විශාල හෝ කදිම ලෙස නිරූපණය
වී ඇත. ඔවුන්ගේ ශරීර කොටස් පරිපූර්ණ සමමිතියකින් යුක්ත වන අතර, මිනිස් රූපවලට වඩා, වඩාත් ආදර්ශවත් වේ.මිනිස් රූප වඩාත් යථාර්ථවාදී පරිමාණවලින් නිරූපණය
වන අතර, දේව රූපවලට වඩා පූර්ණත්වයෙන් තොර හෝ
පුද්ගලික ලක්ෂණ සහිතව දැකගත හැකිය.
මින් පැහැදිලි වන්නේ ග්‍රීක කලාවේ දේව රූප මානව ශරීරයේ පරිපූර්ණ
ආදර්ශයක් ලෙස ප්‍රකාශ කරන නමුත් "දිව්‍යමය" හා "මානවත්වය" අතර
පැවති දර්ශනමය බෙදීම ප්‍රකාශ වී ඇති බව යි. එසේ ම එය ග්‍රීක කලාවේ සම්භාව්‍යත්වය
හා මානවකේන්ද්‍රීයත්වය (Humanism) අතර
වන සංකලනය ද දක්වයි.

Comments
Post a Comment