‘ඔන්රිත්’ ඔස්සේ විද්‍යාවට සහ සාහිත්‍යයට...

 


ඔන්රිත්’ ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන වජිර කැලූම් පෙරේරා විසින් රචිත ඔහුගේ තුන්වන විද්‍යා ප‍්‍රබන්ධ කෘතියයි. ඊට පෙර ඔහු ‘බිත්තර යුගය’ හා ‘ටියුල්’ නමින් විද්‍යා ප‍්‍රබන්ධ දෙකක් මුද්‍රණයෙන් නිකුත් කර තිබුණා. 

ඇත්තෙන්ම විද්‍යා ප‍්‍රබන්ධයක් කියන්නේ මොකක්ද? විද්‍යා ප‍්‍රබන්ධයක මූලික ලක්ෂණ මොනවාද? එය නිර්වචනය කිරීම ඉතාම අපහසුයි. කාට හෝ කියන්න පුළුවන් විද්‍යාත්මක කරුණු අඩංගු සාහිත්‍ය කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් කියලා. විශිෂ්ට ඉංග‍්‍රීසි ලේඛක ඞී. එච්. ලෝරන්ස් ලියු ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ කෘතිය අසභ්‍ය ප‍්‍රකාශනයක් ලෙස හඳුන්වා ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ අවසාන තීරණය වුණේ හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් එය අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවන බව. හුදු ලිංගික කරුණු අඩංගු වූ පමණින් යම් කෘතියක් අසභ්‍ය ප‍්‍රකාශනයක් නොවනවා සේම, හුදු විද්‍යාත්මක කරුණු අඩංගු වූ පමණින් කෘතියක් විද්‍යා ප‍්‍රබන්ධයක් වන්නේද නැහැ. එනිසා විද්‍යා ප‍්‍රබන්ධයක් අර්ථ දැක්වීම දුෂ්කරයි. 

විශිෂ්ටතම විද්‍යා ප‍්‍රබන්ධ රචකයකු වන අයිසැක් ඇසිමොව් පවසන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වර්ධනයන්ටත්, අප ඉදිරියේ විවර වන නව විද්‍යාත්මක දැනුම් ක්ෂේත‍්‍රවලටත් මානව වර්ගයා දක්වන ප‍්‍රතිචාරය විද්‍යා ප‍්‍රබන්ධ නම් සාහිත්‍ය ශානරයේ සුවිශේෂත්වය නිර්මාණය කරන බව. එය ඇත්තෙන්ම එක්තරා ආකාරයකට විද්‍යාව හා තාක්ෂණය දියුණු යුගයක මානව සම්බන්ධතා පිළිබඳ පරිකල්පනය කිරීමක්. නිදසුනක් ලෙස එච්. ජී. වෙල්ස් නම් ඉංග‍්‍රීසි විද්‍යා ප‍්‍රබන්ධ නිර්මාපකයාගේ ‘කාල යානය’ කෘතියේ අවධානය යොමු වන්නේ අප කාල තරණයට සමත් වුවහොත් එවැනි යුගයකදී මිනිසුන් සහ මිනිසුන් අතර, අපගේ පරම්පරා සහ අපගේ පෙර පරම්පරා අතර, අප සහ අනාගත පරම්පරා අතර සබඳතා පද්ධතිය කෙසේ හැඩ ගස්වනු ලැබේද යන්න. කෘත‍්‍රිම බුද්ධිය සහ රොබෝවරුන් විසින් මිනිස් වර්ගයා යටත් කරන හෝ විනාශ කරන යුගයක මිනිසුන් සහ මිනිසුන් අතරත්, මිනිසුන් සහ යන්ත‍්‍ර අතරත් සම්බන්ධය විමසන විද්‍යා ප‍්‍රබන්ධ රාශියක් තිබෙනවා. විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යාංගයක් වන්නේ එහි පදනම මිනිස් සබඳතා විවරණය සහ ඒවායේ විපර්යාසයක් කුළුගැන්වීම නිසා. ඒ වගේම එය සාමාන්‍ය සාහිත්‍ය කෘතියකින් වෙනස් වෙනම සාහිත්‍ය ශානරයක් වන්නේ එය විද්‍යාත්මක පරිකල්පනයක් සමග සම්බන්ධ වනා නිසා.

ඇලෙක්සැන්ඩර් බෙලායෙව් නම් සෝවියට් විද්‍යා ප‍්‍රබන්ධ රචකයාගේ අදහස වුයේ විද්‍යා ප‍්‍රබන්ධයක් යනු විද්‍යාත්මක පරිකල්පනයක් හරහා සමකාලීන සමාජමය ගැටලූ දෙස බැලීමක් බව. වජිර කැලූම් පෙරේරාගේ ඔන්රිත් කෘතිය අපට මේ වර්ගයේ ලා ගත හැකියි. වජිරගේ කෘතියට පාදක වන්නේ ‘ඔන්රිත්’ නම් ගෝත‍්‍රයක පිරිමි දෙදෙනෙක් සහ එක තරුණියක් හැර මුළු ගෝත‍්‍රයම අබිරහස් ලෙස මිය යාමේ සිදුවීමක්. මේ ගැන පර්යේෂණ කරන විට අවසානයේදී සොයා ගැනීමට ලැබෙන්නේ ඔන්රිත් ගෝත‍්‍රය සමූලඝාතනය වන්නේ ඔක්සිජන් හිඟවීමෙන් බව. තව දුරටත් කෙරෙන පර්යේෂණ මගින් ඔක්සිජන් අධි පරිභෝජනය කරන, පියවි ඇසට නොපෙනෙන ජීවීන් කොට්ඨාසයක් අනාවරණය කර ගැනෙනවා. ඉන් අනතුරුව දිග හැරෙන්නේ එම ජීවීන් වනසා දමා මානව වර්ගයා රැුක ගැනීමේ අරගලය. වජිර විද්‍යාත්මක කරුණු භාවිතා කරමින් පරිකල්පනාත්මකව ප‍්‍රතිනිර්මාණය කරන්නේ අප මුහුණ දෙන සමකාලීන ගැටලූවක්. සමකාලීන මානව පරම්පරාවන් මුහුණ දී සිටින ප‍්‍රධානතම අභියෝගයන්ගෙන් එකක් වන්නේ ධනේශ්වර අධි පරිභෝජනවාදී ජීවන රටාව විසින් ස්වාභාවික පරිසරයත් විනාශ කරගෙන මිනිසාත් විනාශ මුඛයට යාමේ අර්බුදය. ඉහත කෘතියට වඩා වෙනස වන්නේ සැබවින් අධි පරිභෝජනය කරන්නේ ඔක්සිජන් නොව, ඔක්සිජන් නිෂ්පාදනය කරන මහා වනාන්තර ඇතුළු මිහිතලයේ සම්පත් වීමත්, මිනිස් වර්ගයාට විනාශය කැඳවන්නේ වෙනත් ආගන්තුක ජීවියෙක් නොව මිනිසා විසින්ම වීමත්ය. අප සාමූහික සියදිවි නසා ගැනීමක් කරා ගෙනයන අර්බුදය, මෙම කෘතියේ සඳහන් ආකාරයටම අදෘශ්‍යමානයි. ඒ එම අර්බුදය ධනේශ්වර ක‍්‍රමයම වන නිසා. මෙය ක‍්‍රමයක්. එය ඇසට පෙනෙන්නේ නෑ. ඔන්රිත් විද්‍යා ප‍්‍රබන්ධය පවා පොර බදන්නේ පරිකල්පිත ජීවියෙකු සමග නෙවෙයි, අපගේම ජීවන දැක්ම සහ ධනේශ්වර ජීවන විලාශය සමග. බෙලායෙව් කියන දේ නිවැරදියි. විද්‍යා ප‍්‍රබන්ධයක කෙරෙන්නේ සමකාලීන සමාජමය ගැටලූ වලට විද්‍යාත්මක පරිකල්පනයක් හරහා ප‍්‍රවේශ වීම. 

ලංකාව විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යය සම්බන්ධයෙන් ප‍්‍රමිතියක් නිර්මාණය කළ රටක්. එය එසේ වන්නේ ලොව විශිෂ්ටතම විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් තිදෙනාගෙන් කෙනෙකු වන ආතර් සී. ක්ලාක් ලංකාවේ පදිංචිවී, පසුව ලංකාවේ පුරවැසියෙකු බවට පත්වූ නිසා පමණක් නොවෙයි. ප‍්‍රථම සිංහල විද්‍යා ප‍්‍රබන්ධය ලියැවෙන්නේ 1921දී පමණ. ඒ ‘ලක්මිණ’ පුවත්පතට කුමාරතුංග මුනිදාස ලියු ‘සේනයන්ගේ සිහින’ කතා මාලාවේ ‘අමුතු තැන” නම් ගුරුත්වය රහිත ස්ථානයක ගතිසොබා සඳහන් වන කතාව. සිංහල භාෂාවෙන් විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයක් ආරම්භ වී සියවසක් ගත වුවත් එහි විශාල වර්ධනයක් දිස් වන්නේ නැහැ. ජාත්‍යන්තර පරිමාණයේ කීර්තිමත් විද්‍යා ප‍්‍රබන්ධ රචකයෙකු වන යුධන්ජය විජේරත්න වැන්නන් ලංකාව බිහි කර තිබෙනවා. ඔහුගේ විද්‍යා ප‍්‍රබන්ධයක් 2018 වසරේ නෙබියුලා සම්මානය සඳහා නිර්දේශ වුණා. ඔහු ලියු The Wretched and the Damned 2022 වසරේ හොඳම කෘතිය සඳහා වන ගේ‍්‍රශන් සම්මානය හිමි කර ගත්තා. 2021දී ත්‍දරඉැි සඟරාව තෝරන ලද වයස අවුරුදු 30ට අඩු ආසියාවේ විශිෂ්ටයන් 30 දෙනා (30 Under 30 Asia) අතරට ඔහුත් තෝරා ගනු ලැබුවා. නමුත් යුධන්ජය ලියන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. 

සිංහල භාෂාවෙන් විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යය වර්ධනය නොවීමට ලංකාවේ අධ්‍යාපනය විශාල බලපෑමක් කර තිබෙනවා. පාසල් අධ්‍යාපනය විද්‍යා සහ කලා ධාරාවන් අතර තියුණු බෙදීමක් කිරීම නිසා විද්‍යාව හදාරන සිසුන්ට සාහිත්‍යය පිලිබඳ ඇල්මත්, කලා සාහිත්‍යය විෂයන් හදාරන සිසුන්ට විද්‍යාත්මක පරිකල්පනයත් දුරස් කර තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනය හුදු විභාග කේන්ද්‍රීය එකක් වීම නිසා විද්‍යාව වැනි විෂයන්ට ආත්මීය වීම, එයට ආදරය කිරීම, එම විෂය හරහා නව පරිකල්පනය අවදි කිරීම වැනි කරුණු වල බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ නිසා විද්‍යා ප‍්‍රබන්ධ රචනය සඳහා පාසල් සිසුන්ගේ පෙළඹවීම අඩුයි. ඉංග‍්‍රීසි සති අන්ත පුවත්පත් වල සාහිත්‍ය අතිරේක වල මිස සිංහල හෝ තමිල් භාෂාවෙන් ලංකාවේ විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍ය විචාරයක් බිහි නොවීමත් ක්ෂේත‍්‍රයේ වර්ධනය අඩාල වීමට බලපානවා. 



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම