රත් වරලැති ලිය: ශිෂ්ටාචාරය වල්මත් කරයිද?


නවකතාවක් ගැඹුරු යැයි කිව හැක්කේ එහි පඨිතය විසින් බහු අරුත් සම්පාදනය කරන තරමටත් ඒ අරුත් විසින් ප්‍රඥා පරිමණ්ඩලය පුළුල් කරන තරමටත්ය.නොබෙල් සම්මානලාභී තුර්කි නවකතාකරු ඔර්හාන් පමුක්ගේ දසවෙනි නවකතාව වූ The Red Haired Woman කෘතියට පසුබිම් වන්නේ ජිම් නම් පුද්ගලයාගේ ජීවන පුවතයි.නමුත් විය යුතු ලෙසම එය කිසියම් එක් පුද්ගලයෙකුගේ ජීවන ප්‍රවෘත්තියක් හෝ ඕපාදූපයක් නොව ගෙවුණු අඩසියවසකට අධික තුර්කියේ සමාජ දේශපාලන සහ සංස්කෘතික පරිණාමයේ හරස්කඩකි. 

වාමාංශික දේශපාලනය  ප්‍රමෝදය කරගත් සිය පියා පිළිබද කිසියම් නුරුස්නාවකින් පසුවන ජිම් නම් ගැටවරයාට මහ්මුට් බාසුන්නැහේ නම් පැරණි ළිං කණින්නා හමු⁣වීමෙන් කෘතිය ඇරඹෙයි. ජීව විද්‍යාත්මක පියාගෙන් ලැබිය යුතු යැයි අවිඥාණිකව හෝ කල්පනා කරන ආදරය, දැවටීම, මග පෙන්වීම, ශික්ෂණය ජිම් ලබන්නේ නොපමාවම සිය සංකේතීය පියා බවට රූපාන්තරණය වන මහ්මුට් බාසුන්නැහේගෙනි.ජිම්ගේ ජීවිතයට අදාල ප්‍රබන්ධමය සංසිද්ධීන් ගොඩ නැගෙන්නේ අසූව දශකයෙන් ඇරඹෙන සමාජ සංචලනයන් මධ්‍යයේ පමණක් නොව අයිතිහාසික මිථ්‍යා කතාන්දර සමුදායක් වටාය. මධ්‍යම ආසියාවේ තද අව් රශ්මියෙන් දැවෙන ශූෂ්ක බිම්කඩක ළිඳක් තනා ගැනීමට හයිරි බේයි නම් රෙදි පිළි ව්‍යාපාරිකයාට අවශ්‍ය කරන්නේ තුර්කිය තවමත් මුළුමනින්ම ධනවාදයට පය තබා නැති දේශපාලන සමාජ මොහොතකය. මහ්මුට් බාසුන්නැහේ නම් ප්‍රවීන ළිං කණින්නාට ලේඛකයෙකු වීමට සිහින දකින ජිම් හමුවීම දෙදෙනාගේම දෛවය කණපිට ගැසීමට හේතුවක් වන අතර ඒ වූ කලී හුදු ⁣පුද්ගලයන් ⁣දෙදෙනෙකුගේ ⁣⁣දෛවය පිළිබදව කතාන්දරයක්ම නොව තුර්කියේද දෛවයයි. නමුත් දෛවයේ දේශපාලනය අපට කියවාගන්නට හැකිවන්නේ ජීවිතය නම් පැවැත්මේ සකලවිධ අබිරහසද පෙරටු කරගනිමිනි.

“අප ළිඳ කණින්නට පටන්ගෙන සතියකට පසු එක් සැඳෑවක මහ්මුට් බාසුන්නැහේ මට ජෝසප් සහ ඔහුගේ සොහොයුරන් පිළිබඳ කතාව කියාදුන්නේය.ඔවුන්ගේ පියා වූ ජේකොබ් තම සියලුම පුතුන් අතරින් ජෝසප්ට පමණක් වැඩ්පුර ආදරය කළ සැටිත් ඉන් ඊර්ෂ්‍යාපරවශ වූ අනෙක් සොහොයුරන් ප්‍රයෝගයෙන් ජෝසප් අඳුරු ළිඳක් තුළ හෙලූ සැටිත් මම අවධානයෙන් යුතුව අසා සිටියෙමි.මගේ මතකයේ තදින්ම රැඳුණු කොටස වූයේ මා දෙස කෙළින්ම බලාගෙන මහ්මුට් බාසුන්නැහේ තෙපලූ මේ වදන්ය. 'ජෝසප් හරිම යහපත් දක්ෂ කෙනෙක් වෙච්ච බව ඇත්ත.ඒත් තාත්තා කෙනෙක් තමන්ගේ පුත්තු අතරින් එක්කෙනෙකුට විතරක් වැඩියෙන් ආදරය කරන්න හොඳ නෑ.' ඉන් අනතුරුව ඔහු මෙසේද කීවේය. 'තාත්තා කෙනෙක් සාධාරණ වෙන්න ඕනෑ.සාධාරණ නැති තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාව අන්ධයෙක් කරනවා.”

අඳභාවය පිළිබඳ කරන මේ කතාවට හේතුව තුමක්ද?මේ මාතෘකාව මෙතැනට ඇදී ආවේ කෙසේද?ඔහු එසේ කීවේ ජෝසප් සිරකරනු ලැබූ ළිඳ තුළ කෙතරම් අන්ධකාරයක් තිබිණිද යන්න අවධාරණය කරනු පිණිසද?වසර ගණනාවක් තිස්සේ මම මේ ප්‍රශ්නය අසංඛ්‍ය වතාවක් මගෙන්ම විමසා ඇත්තෙමි.ඒ කතාව මා එතරම් දොම්නසට පත්කොට මහ්මුට් බාසුන්නැහේ කෙ⁣රෙහි එතරම් කෝපයක් ජනිත කරවූයේ ඇයි?”

(පිටු 46-47)

ළිඳ කැණීමේ කටයුත්තේ නිමග්න වන අතරේ බාසුන්නැහේ සහ ජිම් අතර ගොඩනැගෙන මානව ඇසුර හුදු සේවකයෙකු සහ හාම්පුතෙකු අතර ඇතිවන සබඳකමට එහා දිවෙන්නකි.එය ආදරයේද නුරුස්නාවේද ප්‍රතිවිරෝධයෙන් සංකීර්ණ වූවකි.ගෞරවයේද ඊර්ෂ්‍යාවේද සංකලනයෙන් නිර්මිත වූවකි.අවනත බවේද අකීකරු බවේද මිශ්‍රණයෙන්  බහුභූත වූවකි.එනිසාම  සැදෑ කෙටි විවේකයේදී මහ්මුට් බාසුන්නැහේ කුරානයෙන් උපුටා ගත් කතාන්දර සිය පරිකල්පනයද යහමින් මුසු කොට කියද්දී ජිම් අමනාපයට පත් ⁣වන්නේ කතාන්දර ඇසීමට ඇති ආශාවද සිඳ බිඳ නොගනිමිනි.

“ඔව්, ඊඩිපස් තමන්ටම දඩුවම් කරගත්තට පස්සෙ වසංගතය ඉවර වුණා. නගරය බේරුණා.'

'ඇයි ඔයා මට මේ කතාව කිව්වෙ?'

'මම දන්නෙ නෑ.' මම කීවෙමි.මට වරදකාරි බවක් දැනිණි.

'පුංචි මහත්තයා මං ඔයාගෙ කතාවට කැමති නෑ.' මහ්මුට් බාසුන්නැහේ කීවේය. 'ඔයා කියවපු පොත මොකක්ද?'

'ඒක හීන ගැන කියන පොතක්.'

'අද ඔයා කතාන්දරයක් කියන්නකෝ' යැයි මහ්මුට් බාසුන්නැහේ යළිත් කිසි දිනෙක මට නොකියන බව මම දැනගතිමි."

(පිටුව 55)

කුරානයෙන් ශික්ෂණය ලද දේවවාදී මහ්මුට් බාසුන්නැහේට ඊඩිපස් පුරාවෘත්තය පැවසීමෙන් ජිම් විසින් සිය සංකේතීය පියාට වේදනාත්මක පහරක් එල්ල කරයි. පුත්‍රයා විසින් පියා මරා දැමීමේ ඊඩිපස් වෘත්තාන්තය ජිම් කෙරෙහි ඇති කරන මායාකාරී බලපෑම විශාලය. මන්ද යත් මවගේත් තමාගේත් දරිද්‍ර භාවයට හේතුව ලෙස ජිම් දකින්නේ කුටුම්භය කෙරෙහි වගකීමක් නැති සිය පියාගේ හැසිරීමය. මේ බලපෑම වඩාත් උග්‍ර වන්නේ 'සදාචාර රඟහලේදී’ සොහ්රාබ් නාට්‍ය ජවනිකාව නැරඹීමෙන් පසුවය. පැරණි පර්සියානු පුරාවෘත්තයක් වූ එහිදී රොස්තම් නම් ආසියානු ඒකාධිපති පියා විසින් සොහ්රාබ් නම් රණශුර පුත්‍රයා මරා දමයි.මේ පැරණි කතාන්දර සිය දෛවයේ අනිවාර්ය කොටසක් වේ යැයි අවිඥාණිකව මෙන් හැඟෙන්නට ගනිද්දීම ජිම් පලමු වරට ගැහැනියක හා යහන් ගත වේ.ඒ රතු කෙස් ඇති නිළිය සමගය. හරියට ඊඩිපස් වෘත්තාන්තයේදී සිදු වූවාක් මෙන්ම මේ නිදිවැදීම සිදු වන්නේ සිය වාමාංශික පියාගේ ඉපැරණි පෙම්වතිය සමගිනි. ඊට පසු දා පලමු රමණයේ මිහිරි ඉසව් ස්මරණය කරමින් නිදිමරගාතේ පස් අදිමින් සිටියදී ඔහු අතින් බාල්දිය ළිඳට වැටේ. ඉනික්බිති ඔහු ඉස්තාන්බුල් නගරයට පලා යන්නේ සංකේතීය පියා වූ මහ්මුට් බාසුන්නැහේ මරා දැමීමේ තිස් වසරක් පුරා නොබිඳි හෘද සාක්ෂියේ විඳවිමට ගොදුරු වීමට නියමිත අවාසනාවද සමගිනි.

ඉස්තාන්බුල් දිවිය ජිම් වැඩිහිටියෙකු බවට පත් කරන්නේ ධනවාදය එහි සියලු ආකාරයෙන්  තුර්කිය සිය ග්‍රහණයට ගනිමින් තිබියදීය. ලේඛකයෙකු වීමේ සිහිනය පසෙක ලන ජිම් ධනවත් කොන්ත්‍රාත්කරුවෙකු බවට පත් වන්නේ වාමාංශික ජීව විද්‍යාත්මක පියා පිළිබදව වෛරයද සංකේතීය පියා ළිඳක් පත්ලේ අතැර පැමිණි වේදනාවද හදේ පසෙකින් දරාගෙනය. එනිසාම ඊඩිපස් වෘත්තාන්තයත් සොහ්රාබ් වෘත්තාන්තයත් කෙරෙහි විශේෂඥ දැනුමක් අත් පත් කරගන්නා ජිම් ඊට කොතෙක් ආශක්ත වන්නේද යත් සිය ධනපති සමාගම 'සොහ්රාබ්' යනුවෙන් නම් කරයි.

එහෙත් ජිම් මත වසා පැතිරෙන දෛවයේ අඳුර ඉන් නිමා වන්නේද නැත.රතු කෙස් ඇති නිළිය ඔහුට දාව ඉපැද්දූ එන්වර් නම් පුත්‍රයා ජිම්ගේ ජීවිතයට ප්‍රවිශ්ට වන්නේ අර්ධ පැසිස්ට්වාදී තුර්කි ජාතිකවාදය කරපින්නාගත් මුරණ්ඩු පුත්‍රයෙකු සේය. නව ලිබරල්වාදී වූ ද අදේවවාදී වුද කේවල පැවැත්ම ප්‍රමුඛ කරගත්තා වූ ද ජිම් කෙරෙහි මේ අකීකරු පුත්‍රයාට ඇත්තේ දැඩි ව්වේචනයකි.

“අපේ සල්ලිකාර, බටහිරකරණය වෙච්ච පන්තිය පෞද්ගලිකත්වය කියන එකෙන් කොච්චර පිස්සු වැටිලද කියනව නම්, තනි පුද්ගලයෝ වෙන එක තියා තමන් තමන් විදියට ඉන්න එකත් ඒ ගොල්ලන්ට අමතක වෙලා ගිහින්.'

ඔහු කීවේය. 'මේ බටහිරකරණය වෙච්ච තුර්කි ජාතිකයො දෙවියන් වහන්සේව විශ්වාස නොකරන තරම් උඩඟුයි. ඒ ගොල්ලො සැලකිලිමත් වෙන්නෙ තමන්ගෙ පෞද්ගලිකත්වය ගැන විතරයි. තමන් අනෙක් අය වගේ නෙවෙයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නිසා ඒ අයගෙන් ගොඩ දෙනෙක් දෙවියන් වහන්සේ විශ්වාස නොකර ඉන්න තීරණය කරනවා. ඒත් එහෙම විශ්වාස නොකර ඉන්න හේතුව ඒකයි කියලවත් ඒ ගොල්ලො පිළිගන්නේ නෑ. ඒත් හරියටම ඇදහිල්ල කියන්නේ අනෙක් හැම දෙනාම වාගෙ වෙන එකයි.ආගම කියන්නෙ යටහත් පහත් මිනිස්සුන්ගෙ දිව්‍ය ලෝකයයි සැනසිල්ලයි.”

ජීව විද්‍යාත්මක පියාගේද සංකේතීය පියාගේද සියලු දාර්ශනික ආස්ථානයන්ට සහ හර පද්ධතියට පයින් ගසමින් නව ලිබරල් ධනපතියෙකු වන ජිම් ගේ අවසාන ඉරණම අර්ධ පැසිස්ට්වාදියෙකු අතින් තීන්දු වීම පාඨකයාගේ රුච් අරුචිකම්වලට ඔබ්බෙන් වන මග හල නොහැකි යථාර්ථයයි.

අනෙක් අතට ළිඳ කැණීම වූ කලී ද පෙර කී පරිදි බහු අරුත් සම්පාදනය කරන්නේ අපූර්ව මාදිලියකටය. ඉස්තාන්බුල් නගරයට යාබද අන්ගරෙන් නම් කුඩා නගරය අසූව දශකයේදී ඉතා නොදියුණු පිටිසරබද ප්‍රදේශයක් වුවද තිස් වසරක ඇවෑමෙන් එය ඉස්තාන්බුල් නගරයේම පර්යන්ත පෙදෙසක් බවට පත් වන්නේ ශිෂ්ටාචාරයේ ධනේශ්වර පිම්ම පනිමිනි. එහිලා ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කරන්නේ මහ්මුට් බාසුන්නැහේය. කිසිවෙකු අපේක්ෂා නොකළ දිරිමත් බවකින් යුතුව බිඳුණු උරහිසද සමගින් දිගින් දිගටම ළිඳ කැණීමෙහි යෙදී ගන්නා ඔහු අවසානයේ ජලය සොයාගනී.කොහොමටත් කවදටත් ශිෂ්ඨාචාරය ඇරඹුණේ ජලය ආශ්‍රිතවය.එනිසාම අන්ගරෙන්හි සාන්තුවරයෙකුගේ ගෞරවාදරයට පාත්‍ර වන බාසුන්නැහේ පෙරලා ජිම්ගේ අවජාතක පුත්‍රයා එක්වර්ටද සංකේතීය පියෙක් බවට පත් වන්නේ යැයි සිතේ.එනිසාමදෝ එන්වර් කෙරෙහි නවීනත්වයට එරෙහි විරෝධාකල්පයක් තිබේ.

“ නවීන මිනිහා නගරයේ තියෙන අවුල් ජාලෙ අතරමං වෙලා ඉන්නෙ. එක්තරා විදියකට බැලුවොත් එයාට තාත්තා කෙනෙක් න.ඒත් එයා තාත්තා කෙනෙක් හොයන එක කොහෙත්ම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවා නම්, නවීන අදහස අනුව එයා තනි පුද්ගලයෙක් නම් නගරයේ ගාලගෝට්ටිය මැද එයාට කිසි දවසක තාත්තා කෙනෙක් හොයාගන්න බෑ.ඒ වගේම එයාට තාත්තා කෙනෙක් හම්බ වු⁣ණොත් එයා තනි පුද්ගලයෙක් වෙන එක නවතිනවා.නවීනකම ප්‍රංශයට අඳුන්වලා දීපු ප්‍රංශ පුරෝගාමියා ෂන්-ජාක් රූසෝ ඒක ඇත්ත බව දැනගෙන හිටියා. ඒ නිසා එයා කළේ තමන්ගෙ ළමයි හතර දෙනාම වෙන වෙනම අතඇරලා දාපු එක. රූසෝ තමන්ගෙ ළමයි ගැන සුළුම උනන්දුවක්වත් දැක්කුවේ නෑ. ඒ අය ගැන හොයලා බැලුවෙත් නෑ. එතකොට ඔයා? ඔයා මාව මෙහෙ අත ඇරලා දාලා ගියේ මට නවීන මිනිහෙක් වෙන්නද? එහෙම කළා නම් ඔයා හරි.”

ඊඩිපස් පුරාවෘත්තයත් සොහ්රාබ් පුරාවෘත්තයත් එහි මිථ්‍යාමය බවින් මිදී එකවිටම ජිම්ගේ ජීවිතය තුළ යථාර්තයක් බවට පත්වන්නේ ඔර්හාන් පමුක්ට නව. ආඛ්‍යාන ශෛලියකට ඉඩ විවර කරමිනි. පියපුතු අරගලය ඊඩිපස්ගෙන් නොනවතින බවත් එය වර්තමානයට මතු නොව අනාගතයටද ගලා යනු ඇති බවත් පමුක් ලියන විට මේ ගැටුම වූ කලී හුදු පෞද්ගලික සංවේදනාවන්ගේ ප්‍රතිඵලයක් නොව ශිෂ්ටාචාරයේ අර්බුදයක් යැයි හැඟේ. ඊට පිළිතුරද දවසක සපයාගත යුත්තේ ශිෂ්ටාචාරයේම අනවරත ගලා යාම තුළින්මය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම