Song Zone - ආදරයේ පැණි බිංදක්


පද - කසුන් එදිරිසිංහ 

සංගීතය - චරිත අත්තලගේ 

ගායනය - හශානි වාසනා, චාමර නිර්මාල්

ආදරය මනුෂ්‍ය නිෂ්පාදනයක්. ඒ නිෂ්පාදනයට  ඕන කරන ඇතැම් ජීව ධාතු සහිතව ඉපදුණත් මිනිස්සු ආදරය නිපදවන්න, හොයා ගන්න සෑහෙන්න දුක් විඳලා තියනවා. ගණන් කළ නොහැකි තරම් ප‍්‍රමාණයක් මිනිසුන් පිරිසක් එතරම් ම ජීවිත කාලයක් කැප කරලා නිපදවපු ඒ පේ‍්‍රමය, ඉතිහාසයේ අන් කවරදාටවත් වඩා අභියෝගයට පත් වෙලා තියෙන මොහොතක තමයි  අපි 2025 පෙබරවාරියත් ගෙවමින් ඉන්නෙ. 

ඒ පෙබරවාරියේ අපි පේ‍්‍රමය ගැන ලියන්න සින්දුවක් හෙව්වා. ඒ වෙලාවෙ අපිට ඇහුන මේ සින්දුව ගැන ලියන්න තීරණය කළා. සින්දුව ලියැවිලා තියෙන්නෙ ඩුවට් එකක් විදියට වුණාට මේ ඩුවට් එක කියන්නෙ ගායකයෙකු යි ගායිකාවක යි නෙවෙයි: කුරුල්ලෙකු යි කිරිල්ලියක යි. පටන් ගන්න වෙලාවෙ ඉඳලා සංගීතයෙන් අපිව අරගෙන යන්නෙත් ආකාස කුරුලූ‍ ලොවකට. ඒ ආකාසෙ තියෙන මිහිරි සොඳුර වගේ ම අඳුරු නපුරත් කැටි කරපු සංගීතයක් මැද්දෙන් තමයි මේ සින්දුව, මේ දෙන්නා කියන්නෙ.

 ඒක හරියට ම මේ දෙන්නගෙ පේ‍්‍රම වෘත්තාන්තය. මේ මොහොතෙ මුහුණ දීලා තියෙන අභියෝගය සූක්ෂමව අන්තර්ග‍්‍රහණය කර ගත්ත සංගීතයක් කියලා අපිට හිතෙනවා. මොකද, මේ දෙන්නා, මේ දෙන්නට කොයිතරම් ආදරේ වුණත් ඒ ආදරේ ගැන කිසියම් භීතියකින් පසු වෙන දෙන්නෙක්. 

දුර අහසෙ ඉම සොයලා පියඹලා එන්න පොරොන්දු වෙන කුරුල්ලා දෙන පොරොන්දු ගණනාවකින් මේ සින්දුව පිරිලා තියෙනවා. කුරුල්ලගෙ හැම ගැයුමක් ම අවසන් වෙන්නෙ ඒ වගේ පොරොන්දුවලින්. ඒත් ඒ පොරොන්දු එහෙම ම ඉටු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය සියයට සියයක් ම ඒ කුරුල්ලටත් නෑ. ඒ අවිශ්වාසය පද අතරෙ ම විතරක් නෙවෙයි හඬ අස්සෙත් හොයා ගන්න පුළුවන්. හැබැයි...හොඳට අහන්න  ඕන. 

ඒ වගේ ම කිරිල්ලි ඉන්නෙ ඒ පොරොන්දු පිළිගන්න වගේ ම බිඳ වැටෙන්නත් ඉඩ තියෙන බව අවබෝධ කර ගත්තු මනෝ භාවයක. ඇය වැඩියෙන් කැමති ඒ පොරොන්දු ඉටු වෙන එකට බව පැහැදිලි යි. ඒත් ඇය සිටින්නේ කඩ වුණොත් හිත හදා ගන්නත් සූදානමින්. ඒ වුණත් ඇය කිසිසේත් ම තමන් රවටා ගන්න සූදානම් නැති බවත් පේනවා. කටහඬ සාමාන්‍ය වුණාට ඒ ස්ත‍්‍රී අවබෝධය සිංහල සින්දුවල සෑහෙන්න දුර්ලභ එකක්. 

කළුවර, තනිකම, නන්නාඳුනන එළි, කුණාටු විතරක් නෙවෙයි නෙක මල් උයන් පවා මේ සින්දුවෙ නිරූපණය වෙන්නෙ පේ‍්‍රමයේ මහා බාධාවන් විදියට. හැබැයි මේ සියල්ලට ම වඩා මේ දෙදෙනා අතර පවතින ප‍්‍රධාන බාධාව වෙන්නෙ කල්පවත්නා නොබිඳෙන සම්බන්ධයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය විශ්වාසය තහවුරු වී නොතිබීම කියල යි අපිට හිතෙන්නෙ. 

මනමේ නාට්‍යයේ මනමේ කුමරිය යි කුමරු යි අතර වගේ මේ සින්දුවෙ දි හම්බ වෙන්නෙත් අනවබෝධ‍යේ සබඳතාවක්. පිරිමි කුරුල්ලා ඉදිරිපත් කරන අනතුරු සහ කිරිල්ලී පෙන්වා දෙන අනතුරු ස්ථානගත වෙලා තියෙන්නෙ දෙපැත්තක.

 රාත‍්‍රී කළුවර ගැන ඔහු වද වුව ද ඇය බිය වන්නේ තනිකමට යි. නන්නාඳුනන එළි දිළෙන නිසා කුණාටුවක් එනු ඇතැ යි ඔහු බිය වන විට දෑස් අතර ඇති වී තිබෙන දුරස් බව ඉදිරියේ ඇය සැසලෙයි. ඔහු රවටන සේ, අඟවන සේ ඇයව සිප ගත්ත ද ඇය ඔහුට ඉඩ දෙනුයේ මෝඩ, බොළඳ කෙල්ලක ලෙස නො වේ. 

කැලය ගැන මනමේ කුමාරයා - කුමරිය ගායනා කරන ඩුවට් එකේදිත් පේන්නෙ කුමාරයාට වඩා කුමරියට කැළේ ගැන අවබෝධයක් තියෙනවා කියන එක. මනමේ කුමාරයා කැළේ දකින බාහිර ශෘංගාරය පිටිපස්සෙ හැංගිලා තියෙන අභ්‍යන්තර කාමුක පැත්ත දකින්නෙ කුමරිය. මේ සින්දුවෙ ඉන්න කිරිල්ලිය ටිකක් සමීප වෙන්නෙ ඒ කුමරියට. 

එහෙම වුණාට මේ සින්දුව අර ව්‍යාජ රැුඩිකල් ස්ත‍්‍රීවාදයට යට වෙන්නෙත් නෑ. මේ අනියත බව දරාගෙන වුණත් ඇය තමන් ආදරේ කරන කුරුල්ලා වෙනුවෙන් දරා ගෙන සිටිනවා. අහසේ ඉම සොයා ගෙන යන්න ඔහුට තියෙන ආශාවට ඉඩ දෙන්නත් ඇය සූදානම්. හැබැයි ඇය නිශ්චිතව ම පේ‍්‍රමයේ නාමයෙන් රැුවටීමට සූදානම් නෑ.

 මේ සියල්ල අතරෙ මේ සින්දුවෙන් එහි නිර්මාපකයන් දැන හෝ නොදැන ලබා දෙන ගැඹුරු සංඥාව විදියට අපි දකින්නෙ ආදරේ පැණි බිඳකට ඌනනය කරන්න බැරි බව. එහෙම නැත්තම් ආදරයේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා ආදරේ පැණි බිඳක් ප‍්‍රමාණවත් නොවන බව. 

ආදරය ඉදිරියේ ගොඩනැගිලා තියෙන බරපතළ බාධා ඉදිරියේ එහි කල් පවත්නා බව වෙනුවෙන් සියලූ‍ මනුෂ්‍යයන්ට සටන් කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන් ම වෙළඳපොළ ක‍්‍රමය, පෙබරවාරි මාසය පුරා පෙම්වතුන් දෙතොලේ තබන්න බලාපොරොත්තු වෙන පැණි බින්දුවලට අප නොරැුවටිය යුතු වෙනවා.


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!