Altamira : බයිසන් ගවයා (ප‍්‍රාග් ඓතිහාසික චිත‍්‍ර)

 


මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියේ කලාව නර්තනයෙන්, විවිධ ශබ්ද ඉපදවීමෙන් බිහිවන්නට ඇත. එහෙත් මිනිසා සංකීර්ණ කලාත්මක භාවිතයකට ආවේ චිත‍්‍රය එසේත් නැත්නම් යම් මතුපිටක ඇඳීම පටන් ගත් දවසේ විය යුතුය. එසේ ආරම්භ වූ සිතුවම් කලාවට වසර දහස් ගණනක් සහ බොහෝ සංස්කෘතීන් පුරා විහිදෙන දිගු හා පොහොසත් ඉතිහාසයක් ඇත.

මේ උත්සාහය ඒ අපූරු ඉතිහාසයේ තොරතුරු සොයා දැනගන්නටයි. ‘රළ’ සහෘදයන්ගේ කලාත්මක ඥානය පොහොසත් කිරීමේදී චිත‍්‍ර රසවින්දනය වෙනුවෙන් ලියැවෙන ලිපි පෙළක ආරම්භයයි මේ.

චිත‍්‍ර කලාව පිළිබඳ පැරණිතම නිදර්ශන හමු වනුයේ මීට අවුරුදු තිස් දාහකට පමණ ප‍්‍රථම ඉහළ පැලියෝලිතික යුගයෙහි දී ය. ඒ, සොබා දහම ජය ගැනීමට මානවයා විසින් යොදවන ලද ශ‍්‍රමය ද මෙවලමෙහි සිදු වූ වර්ධනය ද මනුෂ්‍යයාගේ කායික මානසික සංවර්ධනය ද අතිනත් ගැනීමේ විශිෂ්ට ප‍්‍රතිඵලයක් ලෙස ය. 

එනයින් පැරණි යුගයේ චිත‍්‍රය ද ඇතුළු සමස්ත කලාත්මක කාර්ය, ස්වභාව ධර්මය ජය ගැනීමේ ප‍්‍රධානතම මාධ්‍ය වූ දඩයම නමැති සමාජ නිෂ්පාදන කාර්ය සමඟ සම්බන්ධ වී පැවතිණ. ප‍්‍රාථමික යුගයේ කලාව සමස්තයක් ලෙස සමකාලීන මිනිසාගේ නිෂ්පාදන ක‍්‍රියාවෙහි අන්තර්ගතය(content) සහ ස්වරූපය(form) සම`ග අතිසමීප ලෙස බැඳී පැවතුණේ මේ හේතුවෙනි. 

පැරණි චිත‍්‍රය යනු තම ජීවන කාර්ය සඵල කර ගැනීමට පැරණි මිනිසා කලාව භාවිත කළ ආකාරය ආනුභූතිකව පරීක්ෂා කිරීමට අදටත් ඉතිරිව ඇති එක ම සජීවීමාන සාක්ෂිය යි. එය ප‍්‍රංශයේ, ස්පාඤ්ඤයේ හෝ රුසියාවේ හමු වන ගෘහ කලාවන්ගෙන්(්‍home arts) මෙන් ම ගුහා කලාවන්ගෙන්(cave arts) ද විශදව දිස් වන බව පැවසිය යුතුය. 

ගෘහ කලාවන් ලෙස සැලකෙන ගල් හා ඇටකටු ආශ‍්‍රිත ප‍්‍රාථමික කර්මාන්ත සම`ග බැඳුණු ප‍්‍රාග් - ඓතිහාසික ගෘහයන්ට අයිති කලා වස්තු සැලකුව ද අපගේ මේ ලිපියෙන් ප‍්‍රධාන කොට සලකා බැලෙන උතුරු ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහා චිත‍්‍ර ගණයේ ගුහා කලාවන් සැලකුව ද ඒවායේ අන්තර්ගතය මූලික වශයෙන් ම තම නිෂ්පාදන ක‍්‍රියාවට විෂය වූ හාත්පස ලෝකය කේන්ද්‍ර කර ගනු ලැබූවක් විය. 

මෙහි දක්වා ඇති බයිසන් ගවයාගේ චිත‍්‍රයෙහි මෙන් ම මේ වර්ගයේ මුල් කාලීන චිත‍්‍රයන්ගේ දක්නට ලැබුණේ තමන්ට මහත් අභියෝගයක් වූ නිරන්තර චලනයෙන් යුතු සොබාදහමේ බලවේග සහිත ලෝකයකි. නිෂ්පාදන ක‍්‍රියාව නැති විට පවා සිදු කළ හැකි වු මේ කලාත්මක ක‍්‍රියාවේ දී ආදී මිනිසා සිදු කර ඇත්තේ තම නිෂ්පාදන ක‍්‍රියාවට විෂය වූ සත්වයන්ගෙන් යුතු සොබාදහමේ නියත විෂයයන් පිළිබඳ තමන්ගේ ගැඹුරු  සංකල්පනා පළ කිරීම ය. එනයින් එම ගුහා සිතුවම් හුදු අනුකරණයක් හෝ  සන්නිවේදන කාර්යයක් හෝ දැනුම සංරක්ෂණයක් පමණක් ලෙස සලකා ම`ගහැරිය නොහැකිය. 

මෙම සිතුවම්වල ස්වාභාවික සම්ප‍්‍රදාය බොහෝ දුරට දක්නට ලැබෙන නමුදු තම විෂයෙහි ස්වාභාවික පෙනුම විපර්යාසයට ලක් කර ඇති අතර එම රූපයන්ගේ දෘශ්‍යමාන පෙනුම සවිස්තරාත්මක ලෙස සිතුවම් කිරීමට උත්සාහ දරා නැත්තේ මේ හේතුවෙනි. ඒ වෙනුවට මේ ගවයන් ඇතුළු සත්ව රූපයන්ගෙන් මතු වී පෙනෙනුයේ මිනිසාට ජය ගැනීමට හැකි වූ විෂය ලෝකයකි. එම රේඛාවන් පවා සංරචනය වී ඇත්තේ නිදහස් තනි රේඛාවන් ලෙස ය. සොබාදහම ඉදිරියේ නොනැසී පැවතීමේ හා පටහැණිව සිටීමේ ලාලසාව මේ සිතුවම්වලින් නිරූපණය වන බව පැවසීම වරදක් නොවන්නේ එබැවිනි. 

ආදි මිනිසා මේ සිදු කර ඇත්තේ තමා සොබාදහමෙන් බිඳී වෙන් වීමේ සීමා සෞන්දර්යාත්මක ලෙස සලකුණු කිරීමකි. තමන්ගේ හාත්පස සුන්දර කිරීමේ, මධුර කිරීමේ මිනිස් ක‍්‍රියාව ඔහු ඒ යුගයේ ප‍්‍රදර්ශනය කළේ කළේ චිත‍්‍ර ඇඳීමෙනි. ඒ සඳහා ද ඔහු විසින් යොදා ගනු ලැබුවේ සොබාදහම් පෘෂ්ටයකි. භාවිත කළ උපකරණ ද තීන්ත ද සාදා ගනු ලැබුවේ සොබාදහම ම යොදා ගනිමිනි. 

එසේ තම හාත්පස සුන්දර කර ගැනීම ම`ගින් ආදි මිනිසා ලැබූවේ හුදු විනෝදයක් පමණක් නො වේ. එම`ගින් සොබාදහමේ නොමැති මංපෙත් සොයා ගැනීමට මිනිසාට ඇති විභවය ඔහු හඳුනා ගත්තේය. ස්වභාව ධර්මයට පටහැණිව සිටීමේ ආත්මීය ධෛර්ය උපයා ගත්තේය. තමන්ට ම වූ භාව කලාපයන් තනා ගැනීමට ඒ චිත‍්‍ර ආදි මිනිසාට ප‍්‍රයෝජනවත් විය. එය ඔවුන්ට සිය දෛනිකත්වයෙන් මිදී වාසය කිරීමට ආධාර අනුබල දුන්නේය. එසේ ම මෙම චිත‍්‍ර පැරණියා තුළ තමා තුළ ම සිදු වන වෙනස්කම්වලට එසේ සිදු වීමට ඉඩ හැරියේය.



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!