යුගයෙන් යුගය පදයෙන් පදය පෙදෙහි රසහව් විඳිමු !
රළ සාමුහිකය සහ කිණිහිර අධ්‍යයන කවය විසින් ගාල්ලේ සංවිධානය කළ මේඝ කලා සංස්කෘතික දිගහැරුම 2025 වෙනුවෙන් නොවැම්බර් 23 වැනිදා පැවති කාව්‍ය වින්දන සංවාදයට සඳරැුසී සුදුසිංහ, දමිත් දහනායක, සුරේඛා සමරසේන සහ පුබුදු ජයගොඩ යන සහෝදර සහෝදරියන් සම්බන්ධ වුණා. ”යුගයෙන් යුගය පදයෙන් පදය පෙදෙහි රසහව් විඳිමු” යන තේමාවෙන් කෙරුණු මෙම සංවාදයේදී පළ වූ අදහස් ඇසුරින් මේ සටහන ලියැවුණි.
යුගාවසානයක සුබ කියා කිසිත් නොමැත
යුද්ධය කවියට කළ බලපෑම සම්බන්ධයෙන් සඳරැසී සුදුසිංහ කිවිඳිය විසින් මුලින්ම අදහස් දැක්වුවා.”යුද්ධයෙන් පසු උතුරෙ විනෝදයට ඇවිද යන එක පමණක් ප‍්‍රමාණවත් නොවන නිසා, යුද්ධය සහ ඉන්පසු කාලයේ කවියට ඇති වූ බලපෑම මොකක්ද බලමු. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ සරත් චන්ද්‍රජීව යුද්ධයෙන් ඇවිලූණු හෘදසාක්ෂිය අවදි කරමින් කවි කිවිඳියන්ගෙ එකතුවක් ලෙස පළ කරපු ‘සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්’ මගේ අදහස් දැක්වීමට පාදක කරගන්නවා. එහි තියෙන හිනිදුම සුනිල් සෙනෙවි ලියු කවියෙන් කොටසක් මේ.
”නෝනලා බේබිලා ජොගින් ගිය සඳ
ලස්සනම වීර විභූෂණ ¥විලි පිස දමන්නට
සාලයට ආ කෝකිලා
ළඟදි සාලයට ගෙන ආ කැටයමැති
වාර්නිෂ් සුවඳැති උලූවස්ස හා ජනේලය
විදුලියක්ද කෙටුවෙ හිත තුළ
කාන්දමක් සේ පොලා පැන
කොපොලක් සේ සිම්බාය ඇය
පරපුරු දෙකක් පැරණි මහගෙදර උලූවස්ස
සුන්දරම්පුරම් මහගෙදර හැමදාම
අප්පා හේත්තු වී සිටි තැන පැල්ලම
වාර්නිෂ් කළාම කපා ගෙන ආ
බේත් තෙල් සුවඳින් පිරුණාය කෝකිලා”
යුද්ධය නිසා පීඩාවට පත් වුණු උතුරෙ ජනතාවගෙ නිවාස කොල්ල කාලා ඒවායෙ තියෙන ජනෙල් උලූවහු කොලඹ ඇතුළු ප‍්‍රදේශවල තියෙනවා. ඒවා තමන්ගෙ නිවස අලංකරණයට භාවිත කළ ප‍්‍රභූ පැලැන්තියක් මේ රටේ ඉන්නවා. අපි යුද්ධය දෙස බලලා ඒක අපේ අත්දැකීමක් බවට පත් කරගෙන කවි ලියන කොට, සැබෑවටම යුද්ධයට මුහුණ දීලා පුළුවන් තරම් පීඩාවට පත් වුණු මිනිස් ජීවිත සමග පොරබදපු, කවි ලියපු චේරන්, ජෙයපාලන් වගේම නිලානන්දන් වගේ උතුරෙ කවීන් ඉන්නවා. නිලානන්දන් ලියු කවි එකතු කළා, ‘යුගාවසානයෙන් ඉක්බිති’ : මුල්ලිවයික්කාල් දඩබිමෙහි ලියැවුණු කවි’ කාව්‍ය සංග‍්‍රහයට. අපිට කවදාවත් හිතෙන්නෙ නැති විදියෙ දෘෂ්ටිකොණයකින් ඔහු ලියනවා.
”යුගාවසානයක සුබ කියා කිසිත් නොමැති විය
ගම් තුනක මගුල් සාරි පොහොර උරයටත් වඩා ලාබ විය
වැලි කොට්ට වට වූ දිවියෙන්
පොහොර උර වස්තුවක් වූයෙන්
සාරි මසා වැලිකොට්ට තැනුවෙමි
......................
සාරි වැලි කොට්ට පියකරු මුත් අසුබය
මල මිනී සැරසු සාරි මෙනි
සාරිවලින් වට මුඩුක්කු
බෑන් කී මූන් ගුවනේ සිට නරඹද්දි
පොළොව දුම් දමමින් තිබුණි
හිරු කිරණින් සාරි බෝඩර දිලිසුණි”
බොහෝ වෙලාවට යුද්ධය ගැන හෝ ජයග‍්‍රහණ ගැන ලියනවට වඩා මානුෂිකත්වය මේ කවිවල තේමාව වෙන්නෙ. අපේ ප‍්‍රවීණ කවි කිවිඳියො මේ යුද්ධය තුළ තමන්ගෙ හෘදසාක්ෂිය හ`ඩා වැටෙන කවි ලියනවා.
සුදත් ගාමිණී බණ්ඩාර, ‘සිල්ගත් මවුබිම’ කියන කාව්‍ය සංග‍්‍රහයට රාජිණි තිරාණගම වෙනුවෙන් ලියු කවියකින් කොටසක්.
”කල්පයක කලල මත පිපිණු අරවින්දයක
සුවඳ සොයනා කලට දැනෙයි වෙඩි බෙහෙත් ගඳ
මරා දැමුවේ කිමද ඇය රදුරු මහ මගක
වෙඩි තැබූ තුවක්කුව උමතු වූවක් නොවෙද
දඬු අඬු මැද තැළෙන සහෝදර සිත් හැඳින
එසිත් නිවනා පිණිස පැටලූනේ ගින්දරක
එගිනි මැද ගිනි මලක් සේ හැඟුණි ඔබේ හඬ
පිච්ච මල් පිපේවිද කාලයේ කෙළි බිමක”
මේ යුද්ධයෙදි බලහත්කාරයෙන් පොළොව යට ස`ගවපු ජීවිත අපට හමුවෙන කාලෙක ඒ ගැන දීපචෙල්වන් පාර්දීපන් ලියනවා.
”අතුරුදන් වෙලා නෑ කිසි කෙනෙක් කියද්දී ඔහු
සිරගත වූවෝ කොහි ගියෝද කියා නොඇසුවෙමි මම
කිසි ළඳක් ¥ෂණය කොට මරා නොදැමිණි
ලිහවා සළුපිළි එක පෙළට පෙලගස්වා කිසිදු යුව ජනයෙක්
වෙඩි තබා සිරස පසුපසට මරා නොදැමිණි කියා පවසද්දි ඔහු
මෙබිම රුහිරෙන් තෙත් වුණේ කෙලෙසින්ද කියා නොඅසා සිටියෙමි මම
අපි මැරුවෙ නෑ කිසි කෙනෙක්, ත‍්‍රස්තවාදින් හැර කියා පවසද්දි ඔහු
‘ත‍්‍රස්තයෙකි මගේ බිලිඳු දරුවා’
කියා කියුවෙමි ඔහුට”
යුද්ධයට පස්සෙ බොහෝ කවි නිර්මාණ බිහිවුණා, තවමත් බිහිවෙනවා. නමුත් යුද්ධය පිළිබඳ තේරුම් ගන්න සමාජයක් තවම අපට නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙනවා.”
තේරුමක් නැති කවි
ඉන්පසුව සංවාදයට එක් වුණේ ගාල්ල ප‍්‍රදේශයෙන් බිහිවුණු දමිත් දහනායක තරුණ කවියා. ඔහුගේ අදහස් දැක්වීමට තෝරාගෙන තිබුණෙ ‘කාව්‍ය නිර්මාණයේ භාවමය පාර්ශ්වය’ ඒත් ඔහු ඒ ගැන කියන්න පටන් ගත්තෙ, ‘තේරුමක් නැති කවි’ කියන හැඳින්වීමක් එක්ක.”අපි බොහෝ විට හැම දේම තේරුමක් හොයනවා. කවියෙදි, ව්‍යාංගාර්ථ, උපමා රූපක, හැම දේකදිම සැ`ගවුණ යමක්, ප‍්‍රහේලිකාවක් පුරවන්න උනන්දු වෙනවා. පාසල්වල සාහිත්‍ය අධ්‍යාපනයෙදි අපි උත්සාහ කරන්නෙ නිර්මාණයක උපමා, රූපක, යටි අරුත වගේ තේරුම් විවරණය කරන්න. නමුත් මම හිතන්නෙ නිර්මාණයක භාවමය පාර්ශ්වය ගැන කතා කරන එක එයින් මග හැරී යන බවයි. නිර්මාණයක අර්ථයන් මම ප‍්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඒ නිර්මාණ මම රසවිඳිනවා. නමුත් සමහර කාව්‍ය තේරුමකට වඩා යම් රසයක් දනවනවා. ඒ කවියෙ තේරුම් නිර්වචනය කරනවට වඩා වෙනස් සුන්දරත්වයක් ඇති කරනවා. තේරුම, අර්ථ වැඩක් නෑ නෙවෙයි, මේ භාවමය පාර්ශ්වය ගැන අවධානය නැති නිසාත් පුද්ගලිකව කැමති නිසාත් මම ඒ ගැන කතා කරන්න කැමතියි.
මේ කතාවට මම තෝරාගන්නවා ‘මග දෙපස මල්: කියන පැරණි චීන කවි එකතුවක්’, සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. එහි තියෙන එක කවියක් මේ.
ආහ්ලාදය’ කියන මේ කවියෙ කර්තෘ අඥාතයි.
”වසත් වනවදුලූ මත
පිබිදෙති මල් කැකුළු
නද දෙති සියොත්හු
හමා එන වසත් මද නල
උස්සයි මා ගවුමෙහි වාටිය”
මේ රූපයක් මැවෙනවා, රසයක් දනවනවා. විග‍්‍රහ කරන්න බැරි දෙයක්. ‘උස්සයි මා ගවුම’ කියන්නෙ නැතිව කවියා කියන්නෙ, ‘උස්සයි මා ගවුමෙහි වාටිය’. විචාරකයන්ට මේ වගේ කවි අර්ථගන්වන්න අමාරුයි. මේ ගැන තියෙනවා ‘රයින මරියා රිල්ක’ විසින් අලූත් කවියකු හා රසිකයකු සමග හුවමාරු කළ ලිපි එකතුවක්, සිංහල පරිවර්තනය තියෙනවා ‘කිවිඳ හදට එබී බලන්’ කියලා. එහි එක තැනකදි රිල්ක, අලූත් කවියට මෙහෙම ලියනවා.
”විචාරාත්මක වචන තරම් කතා කෘතියට දුරස්ත අන් කිසිවක් නැහැ. ඒවායින් හැමවිටම සිදුවන්නේ වැරදි වටහාගැනීම්. කළ හැකි යයි මිනිසුන් විශ්වාස කරන තරමට දේවල් විෂද හෝ ප‍්‍රකාශ කළ නොහැකියි. බොහෝ අත්දැකීම් ප‍්‍රකාශ කරන්න බැහැ. ඒවා සිදුවන්නේ කෙදිනක හෝ වචන ඇතුළු වී නැති අවකාශයකයි. මේ අන් කිසිවකට වඩා කලා කෘතින් පිළිබඳ කතා කළ නොහැකියි. කලා කෘතින් පිළිබඳ අපේ කුඩා අනිත්‍ය ජීවිතය පසෙක ඉවසා දරන්නා වූ ගුප්ත ජීවන අස්ථිත්වයන් පිළිබඳ කතා කිරීම වඩා අසීරුය.”
සමහර කලා කෘති නිසා අපි කියන්නෙ, ‘ඒක බැලූවට පස්සෙ මම ගල්ගැහුණා, මම නිරුත්තර වුණා, මට කියාගන්න දෙයක් නැති වුණා, මම තාම කල්පනා කරනවා’ අන්න ඒ වගේ නිර්මාණ අත්දැකීමක් ගැන රිල්ක මේ කියන්නෙ.
දැන් මේ ප‍්‍රවණතාත්මක කවිය සහ රෝමාන්තික කවිය අතර විවාදයක් නෙවෙයි මම මේ ගෙන එන්නෙ. මොකද ප‍්‍රවණාතාත්මක කවිය, දේශපාලන අදහසක් තියෙන කවියත් මේ වගේම භාවාත්මක පැත්තට ගෙන එන්න පුළුවන්. මේ කවිවල විශේෂත්වය මෙකෙ මෙහෙමයි කියන්න බෑ. මේ භාවය තමයි අපට මතු කරන්නෙ.
දේශපාලන සංසිද්ධියක් භාවමය පැත්තට ගෙන එන්නෙ. මේ, අජිත් සී හේරත් 1992 ජනවාරියෙ ලියු ‘වධකාගාරයේ සිට’ කියන කවියෙන් කොටසක්.
”කුකුළා හැඬලීමට පෙර තෙවන වරටද
කිසිවකු නොහඳුනමි’යි කී සහෝදරී
පාවා දීම වෙනුවට බියකරු මරණයද
ආයාචනය වෙනුවට සාප කිරීමද
තෝරාගත් සහෝදරී
මා දෑස බැඳි රෙදි කඩට උරාගත්
අවසාන කඳුළු බිංදුව
නමස්කාර කළේ නුඹ වෙතය”
උපමා රූපක කිසිවක් නැතිව නිකං රචනාවක් කියනවා වගේ දැනෙනවත් ඇති. හැබැයි මේ කාව්‍යමය බවක් සහිතව වධකාගාරවල මරාදැමුවන් පිළිබඳ අපට ක්ෂතියක්, කම්පනයක් ගෙන එනවා. ඒ නිසා මම තේරුමක් නැති කවිය කිව්වට තේරුමක් එහි තියෙනවා. ඊට වඩා භාවමය පැත්තකුත් ඒ තුළ කතා කරන්න තියෙනවා.”
දේශපාලන සංසිද්ධි තුළ කාව්‍යකරණය
එයින් පසුව දේශපාලන සංසිද්ධි සහ කාව්‍යකරණයට ඇති කළ බලපෑම සම්බන්ධව පුබුදු ජයගොඩ සහෝදරයා සංවාදයට අදහස් එකතු කළා.”ප‍්‍රංශ ජාතික විචාරකයෙක් වන ඇලන් බදියු කියන විදියට කවිය කියන්නෙ විප්ලවයක් වගේ දෙයක්. දැන් විප්ලවයක් ගැන හිතන්නෙ විප්ලවයක් ගැන හිතන්න බැරි යුගයක. විප්ලවවාදියා කියන්නෙ කළ නොහැකි දෙයක් කරන්න උත්සාහ කරන්නෙක් කියලා ගත්තොත්, කවිය කියන්නෙ වචනයෙන් කියන්න බැරි දෙයක් කියන්න උත්සාහ කරන විදියක් හැටියට.
උපමා, රූපක, සංකේත, අලංකාර තිබුණොත් විතරද කවියක් වෙන්නෙ? ලෝකයෙ කාව්‍ය ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථාන, දේශපාලන සංසිද්ධි හා බැඳුණු කවියේ වෙනස්කම් තියෙනවා.
ස්පාඤ්ඥයේ ෆ‍්‍රැන්කෝ විසින් ජනරජය විනාශ කරලා ඒකාධිපතිත්වයක් බිහි කරද්දි එයට ප‍්‍රතිචාර දක්වමින් ස්පාඤ්ඤ කවිය පිම්මක් පැන්නා. සාම්ප‍්‍රදායික ස්පාඤ්ඤ කවිය, විශාල වෙනසක් ඇති කරගත්තෙ ඒ කාලෙ ගාර්ෂියා ලෝකා ඇතුළු කවීන් ලියු කවිවලින්. චිලී රට ගත්තම කවියේ නව වෙනසක් ඇති කළේ පැබ්ලෝ නෙරුඩා. නෙරුඩා පෙම් කවිය, ශෘංගාර කවිය සම්බන්ධ ප‍්‍රසිද්ධයි. ඔහු අයන්ඬේගෙ සමාජවාදී පාලනයට පක්ෂපාතිව සිටියා. 1973දි එක්සත් ජනපදයෙ සහායෙන් පිනෝචෙ ඒ රටේ කුමන්ත‍්‍රණයකින් පාලන බලය අරන්, මහා සංහාරයක් ඇති කරන කොට නෙරුඩාගේ කවිය ඊට අදාළ භාෂාවක් ගෙනාවා. නෙරුඩගෙ මරණය පවා ඒ සංහාරයේම අවස්ථාවක්, සාපරාධි ඝාතනයක් බවට සැක කෙරෙනවා
පූර්ව රුසියානු සාහිත්‍ය තුළ පුෂ්කින් ලියපු කවි රුසියානු භාෂාවෙ කවිය සුවිශේෂි ස්ථානයට ගෙන ආවා. රුසියානු කවිය ගැන කියද්දි අදත් පුෂ්කින් ගැන තමයි කතා කරන්නෙ. නමුත් ඔක්තෝබර් විප්ලවයෙන් පස්සෙ මායාකව්ස්කි, පුෂ්කින්ගෙ කවි ගැන ඔහු රෝස මල් ගැන ලියන කවි සම්බන්ධ අදහස් දක්වමින් රුසියානු කවියට නව මාර්ගයක් පෙන්වා දුන්නා. මායාකව්ස්කි ඒ වෙලාවෙ ගෙන ආ සටන් පාඨයක් තමයි, ‘රෝස මලට කෙළ ගසනු’ කියන එක. ඒ කිව්වෙ මල්වලට කෙළ ගහන්න කියන එක නෙවෙයි, නමුත් රෝසමල් ගැන ලියන කවිවල තියෙන පන්ති පක්ෂපාතිත්වයට කෙළ ගහන්න, පිළිකුල් කරන්න කියන එකයි.
රුසියානු කවිය ගැන ඒ වෙනස යෝජනා කරද්දි බොල්ෂෙවික් පක්ෂය ඒක එහෙමම පිළිගත්තෙ නෑ. විශේෂයෙන්ම සෝවියට් රජයේ සංස්කෘතික කටයුතු කොමසාරිස් ලෙස හිටිය ලූනාචාර්ස්කි කිව්වෙ පුෂ්කින් රෝසමල් ගැන ලියු කවි කියවලා ඒ අදහස නැතිව අපට රෝසමලක් දිහා බලන්නවත් බෑ කියලයි. ඔහු කිව්වෙ රුසියානු සාහිත්‍යයේ ධන නිධානයන් අත්පත් කරගැනීමෙන් තොරව සෝවියට් රාජ්‍යයට අනාගත සාහිත්‍ය කලාවක් ගොඩ නගන්න බෑ කියන එකයි.
ඒ නිසා මේ දේශපාලන ප‍්‍රවණතාත්මක කලාව හා ශුද්ධ කලාව කියන විවාදයට ඒ බෙදීමට විප්ලවවාදී පක්ෂය මැදිහත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ප‍්‍රවණතා, ඒ කලාත්මක සාහිත්‍ය උරුමයන් ආරක්ෂා කරන්න, නිදහස් කලාවක් වෙනුවෙන් කවියේ විශාල වෙනස්කම් ඇතිකරන්න ඔහු දායක වුණා.
ලංකාවෙ පැරණි කාව්‍ය තුළ තිබුණෙ හතර පද කවි මූලික කරගත් සාම්ප‍්‍රදායික සීමාවක්. නමුත් ධනවාදය එද්දි එහි පුළුල්වන ජීවන අත්දැකීම් ප‍්‍රකාශ කරන්න සමත් නිර්මාණ ආකෘති ඉල්ලා සිටියා. සඳැස් කවියෙ පද හතර ඒ සඳහා ප‍්‍රමාණවත් නොවන තත්වයක් මතු වුණා. ජීබී සේනානායක මුලින්ම ‘පළිගැනීම’ කෙටි කතා පොතේ ඇතුළත් කළ නිර්මාණ, කවි කියන එක ගැන විවාදයක් දැන් නෑනෙ. නමුත් නිස`දැස්
සම්බන්ධයෙන් විවේචන ආවෙ මේ විදියට.
”කිලිටි කර හෙළ බස්
රැුගෙන ආගන්තුක වෙස්
මරා ගෙන කවි ගස්
පිළිලයකි නිසදැස්”
සාම්ප‍්‍රදායිකව හිතන අය මේ නිසදැස්, සිංහල කවිය මරාගෙන ආව පිළිලයක් කියලයි හිතුවෙ.
දැන් කවියෙ සඳැස් නිසඳැස් බෙදීමක් නැතිව අලූත් කවියෝ කවි ලියනවා. අවශ්‍ය ප‍්‍රකාශනය වෙනුවෙන් ඒ සුදුසු ආකෘතිය යොදාගන්න මැලි වෙන්නෙත් නෑ. කාව්‍යාලංකාර, උපමා, රූපක පවා වෙනස් වෙනවා. යම් යුගයක කවියට පාවිච්චි කෙරෙන අමුද්‍රව්‍ය වෙනත් යුගයකදි ඊට ගැළපෙන ආකාරයෙන් අලූත් වෙනවා. කවිය කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්. ඒකට මේ විදියට වචන ලියන්න ඕන, මෙච්චර පද ප‍්‍රමාණයක් නව සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය පහසුකම් සලස්වන එකයි සෝවියට් බොල්ෂෙවික් පක්ෂයේ ප‍්‍රතිපත්තිය වුණේ. මායාකව්ස්කි තමයි සෝවියට් දේශය තුළ කවියේ මහා හැරවුමක් වෙනුවෙන් දායක වුණු කවියා.
අන්තර්ගතය වගේම ආකෘතිය පැත්තෙන් තියෙන්න ඕන කියලා දෙයක් නෑ. එහෙම නීතියක් සීමාවක් කවියට කලාවට තිබිය යුතු නෑ කියන්න හොඳම උදාහරණ සිංහල කවිය තුළම තියෙනවා.
මම තෝරාගත්ත කවි දෙකක්, මේ දෙකම නිවසක මෙහෙකාරකමට ගෙනාව තරුණියට ලිංගික අඩන්තේට්ටම් කිරීම ප‍්‍රස්තුත කරගෙන ලියැවුණු, 70 දසකයේ කවීන් දෙන්නෙක්ගෙ.
පරාක‍්‍රම කොඩිතුවක්කුගෙ කවිය, ‘සීනමලී’ (කොටසක්* මුලින් ගන්නම්.
”කුරුඳුවත්තෙ බංගලාවෙ බේබි බලා ගන්න වැඩට
ඔබ ගියා සීනමලී
තොළේ සිනා කිරි විසිරී ඇසි සිරි සිරි නිල්ල
මූන පුරා මල් පිපිරී
කොළඹ ගියා සීනමලී
තුන් අවුරුද්දකට පස්සෙ ගෙදර ආවෙ කලූ රෙද්දක් පොරවාගෙන
අඬන ළමෙක් ඔසවා ගෙන”
ඒ අත්දැකීමම බුද්ධදාස ගලප්පත්ති කවියා කියන්නෙ මෙහෙම.
”සඳ නොපිපි එක රැුයක ගිනි නිවී තිබුණි ලිප
පැදුරු කඩමාල්ලක නිදා සිටියාය ඇය
දිරා ගිය චීත්තය හිසේ සිට ඔතාගෙන
උදේ සිට වෙහෙස වී නිදා සිටියාය ඇය
හොරෙක් මෙන් පොඩි බේබි ඇය අසළ නැවතිලා
ඔහුගෙ අඩවන් දෙනෙත් ඔහුගෙ කඩිසර දෑත
සොයයි ඇය ළමැද තුළ මල් කැකුළු තුඩු
සොයයි ඇගෙ සිරුර තුළ විසිර ගිය එ උනුසුම
දයාවතී අඩ නින්දෙන් ඇහැරුණාය
ඉහ ඉද්දර තිබුණු පිහිය අහු වුණාය
පොඩි බේබිගෙ හිසෙහි පිහිය නැවතුණාය
දයාවතී කෑ ගසමින් හිණැහුණාය”
ලිංගික බලහත්කාරයට යට වෙන්න සිදු වුණු තරුණියයි, ලිංගික බලහත්කාරයට එරෙහිව පිහියෙන් කෙටු තරුණියයි දෙන්නෙකුගෙ අත්දැකීම් මේ කවියො දෙන්නා ප‍්‍රස්තුත කරගන්නෙ. මේ දෙන්නා ගිහින් තියෙන්නෙ පාරවල් දෙකක වුණාට, මේවා කවි නෙවෙයිද? මේ විදියෙ වර්ධනයක් 70 දසකයෙදි දක්නට ලැබුණා.
මේවා ප‍්‍රවණතාත්මක කවි කියලනෙ කිව්වෙ. නමුත් මේ ‘ප‍්‍රවණතාත්මක කවියද ශුද්ධ කවියද’ කියන සීමාවෙ පටු ලෙස හිරවෙන්න අපට බෑ.
දැන් 88-89 අරගලයෙදි ඒ අරගලය තුළ ලොකු ඉදිරි පිම්මක් සිංහල කවියෙ දක්නට නැති වුණාට අරගලයෙ පරාජයෙන් පස්සෙ හෘද සාක්ෂිය, ආත්මය අවදි වෙන්නෙ අරගලය මර්දනයට පස්සෙ. අජිත් සී හේරත්, චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, මංජුල වෙඩිවර්ධන වගේ අය ලියු කවි බැලූවම සිංහල භාෂිත කවිය තුළ පිම්මක් සටහන් කළ බව පෙනෙනවා.
‘කලාවට, කවියට දේශපාලනය එපා’ කියන අයට පවා දේශපාලනයක් තියෙනවා. නමුත් 2022 අරගලයෙන් ඇති වූ කම්පනය, ඒ කැලඹීමෙන් පන්නරයක්, යම් වර්ධනයක් අත්පත් කරගන්න සිංහල කවියට බැරි වුණා. අරගලය ගැන කවි ලියැවුණා තමයි. නමුත් අරගලයෙ ආත්මය ග‍්‍රහණය කරගන්න කවිය සමත් වුණාද කියන ප‍්‍රශ්නය අපට තියෙනවා.
70 දසකයේ දේශපාලන කැලඹීමෙන් පසුව පරාක‍්‍රම කොඩිතුවක්කු ලියූ ‘පුංචි පැලේ මං තනිවුණු වෙලාවෙ’ කියන කවියෙ මෙහෙම තියෙනවා.
”පිසින ලද බත් කමින්
දොවාගත් කිරි බොමින්
එක් ටැම්ගේ කුටියට වී
මහා අසණි වර්ෂාවේ
ගෝපිකාව තුරුළට ගෙන
විජ්ජුපතා බලන්ට සිතු
ධනියගෝපාල
තොප කුරිරු ධනවාදියෙකි”
මේ කවියට ප‍්‍රස්තුත කරගන්නෙ බෞද්ධ සාහිත්‍යයේ ‘ධනියගෝපාල සූත‍්‍රයේ’ එන කතාව. ”මගේ අටු කොටු පිරිලා තියෙන්නෙ, ඒ නිසා ඕන තරං වහින්න” කියලා ධනියගෝපාල කියන ධනවතා කියන අදහසයි. අනෙක් මිනිස්සු වැස්සෙ
තෙමෙන එක, බඩගින්නෙ ඉන්න එක, වැස්ස නිසා දවසෙ කුලිය හොයාගන්න බැරිවෙන මිනිස්සු ගැන මොකක්වත් හැ`ගීමක් නැතිව ධනියගෝපාල වැස්ස ගැන හිතන්නෙ. ඉතින් ‘ධනියගෝපාල,
තොප කුරිරු ධනවාදියෙකි’ කියලා ලියුව එක කවියෙ සීමාව ඉක්මවා යාමක්, කවියෙකුට හිමි සීමා බිඳීමක් හැටියට ඒ කාලෙ ගුණදාස අමරසේකර කවියක් ලිව්වා කොඩිතුවක්කු විවේචනය කරලා, මේ විදියට කවියට දේශපාලනය ඈඳාගන්න එපා කියලා.
”ධනිය තා ධනපතිය
කියයි කොලූ දද බොලඳ
නොහඳුන දන නිදන
සරල මනසින් සැදුන”
බොලඳ කොල්ලෙක් ඇවිත් ඔබට ධනවාදියා කියනවා කියලා පටන් අරන් අමරසේකර කවිය අවසාන කරන්නෙ මෙහෙම.
”මහා දුක් කඳ මොලොව දුක් කඳ
උරුම කරගත් ලොව උපන් සත
නොබිලි වී හැකි දොර වසා ගෙන
ඉන්න හිතෙනා ඔබ එකැස් අඳ
මෝඩයෙකි දද සත පිදුම් ලද”
කවියට දේශපාලනය ගාවගන්න එපා කියන අමරසේකර අන්තිමට කොඩිතුවක්කු ගැන කියන්නෙත් දේශපාලන අදහසක්. ඒ නිසා, කියන්න වෙන්නෙ දේශපාලන සංසිද්ධි එක්ක කවිය යම් වර්ධනයක් පොහොසත් බවක් ඇති කරගත් බවයි.
ඒක කවියන්ට චෝදනාවක් නෙවෙයි
කුමාරි කුමාරගමගෙ කවියක් තියෙනවා, පාදයක් අහිමි දැරියකගේ ප‍්‍රකාශයක ආකෘතියෙන් ඒ කවිය ලියන්නෙ. ඒ කවියෙදි කිහිලිකරුවලින් යන දැරිය කියන අදහස ‘කකුල් දෙකක් මට තිබුණෙ දැන් කකුල් තුනක්’ කියලයි.
බොහෝ දෙනා ද්විමය වශයෙන් ලෝකය තේරුම් ගන්න උත්සාහ කරනවා, කලූ සුදු, අර්ථයක් ඇති අර්ථයක් නැති කලාව මොකක්ද කලාව නොවන්නේ මොකක්ද ස්ත‍්‍රිය කවුද පුරුෂයා කවුද වගේ සහසම්බන්ධිත ප‍්‍රතිපක්ෂයන්වලට අපි යනවා. ජේසු සහ ජුදාස් කියන ප‍්‍රතිපක්ෂයන් ගත්තම ජේසු හොඳ
මිනිහා, ජුදාස් නරකම මිනිහා කියලා වෙන් කරන කොට, කවියෙක්, කතන්දරකරුවෙක් කලාවෙදි මේක වෙන විදියකට අර්ථගන්වනවා.
හයිකු කවියකු වන බැෂෝ ගෙ කවියක් තියෙනවා.
‘ගෙම්බෙක් වතුරට පනිනවා, ස්ප්ලෑෂ්... ඊට පස්සෙ නිහඬතාව’, වගේ අදහසකින් ඇති කරන්නෙ භාවමය කම්පනයක්. ඉසා කියන කවියගෙ කවියක් තියෙනවා ‘පිනිබිංදුවක් ඇතුළෙ අරගලයක්’ අපි හිතනවට වඩා කවියෙකුට ඒක හිතෙනවා.
දැන් මහජන අරගලයකින් පස්සේ අපි කතා කරන මේ යුගයෙ ඒ අරගලය කවියට එතරම් බලපෑමක් ඇති නොවුණෙ ඇයි කියන කාරණය අප හමුවෙ තියෙනවා, ඒක කවියන්ට චෝදනාවක් නෙවෙයි. ”
(මෙම සංවාදයේදී එක් එක් කවිය ඉදිරිපත් කරමින් දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කෙරුණු නමුත් පිටුවේ ඉඩකඩ මඳකම නිසා මෙහි පළ කෙරෙන්නේ සංවාදයේ තෝරාගත් කොටස් සහ එම කවිවල උපුටා ගත් කොටස් පමණක් බව කරුණාවෙන් සලකන්න.)





Comments
Post a Comment