දෛනික ජීවිතයේ වරපට ලිහී යාම හෙවත් "අපෙ ගෙදර ගිනි තියයිද?"


යම්කිසි සමාජයක නාට්‍යකරුවකු බිහිවීමෙහි ලා අඛණ්ඩ නාට්‍ය කලා භාවිතාවක යෙදීමට නාට්‍යකරුවකු සතු ධෛර්යය තීරණාත්මක වේ. විශේෂයෙන් ම ලංකාව වැනි ආර්ථික වශයෙන් හා සංස්කෘතික වශයෙන් අව වර්ධිත සමාජයක විශිෂ්ට නාට්‍ය කලා පෞරුෂ බිහි නොවීමෙහි ලා මෙසේ අඛණ්ඩ කලාත්මක භාවිතයක යෙදීමට ඇති ඉඩප‍්‍රස්ථාවන්ගේ සීමාසහිතභාවය බරපතළ ලෙස බලපානු ලබයි. එහෙත් ඒ අතරම, කෙතරම් දුෂ්කර කොන්දේසි යටතේ වුව දිගින් දිගටම, සිය නිර්මාණාත්මක භාවිතාවේ, සෞන්දර්යාත්මක අරගලයේ නියැලී සිටින නාට්‍යකරුවන් අතළොස්සක ප‍්‍රමාණයක් වුවද නැතුවාම නොව, රාජිත දිසානායක මේ අතුරින් ප‍්‍රමුඛයෙකි. ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වනුයේ ‘අපේ ගෙදර ගිනි තියයිද?’ නාට්‍යයයි. 

සුපුරුදු ලෙසම පෘථුල, සමකාලීන සමාජ දේශපාලන වාස්තවික පසුබිමක සිය කෘතිය පිහිටුවීමට උත්සාහ දරණ නාට්‍යකරුවා ඒ සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ 2022 ආර්ථික අවපාතය හා දේශපාලන අර්බුදය තුළ පැන නැගුණු ජනතා විරෝධතාවන්ගේ පසුබිමෙහි වූ සංසිද්ධියකි. සිය පූර්ව සන්තතික නිර්මාණය වූ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයේදී පාස්කු දින ප‍්‍රහාරය ආශ‍්‍රිත සිදුවීමක් පාදක කරගත් ආකාරයටම ඔහු මෙවරද ලංකාවේ සමාජ සන්දර්භයේ සමකාලීන වශයෙන් තවමත් විවාදයට බඳුන්ව ඇති සංසිද්ධියක් පාදක කොට ගනී.

යම් පමණකට අරගලයේ උදම් රළ බැස ගිය පරිසරයක සිද්ධි දාමයක් ඔහු ඒ සඳහා පාදක කොට ගනී. කලක් විදෙස්ගතව සිට දැන් ලංකාවට පැමිණ සිටින නයනි පුදුම කරනු වස් ඇගේ යෙහෙළියන් වන සුජීවා, නිරෝෂි සහ තරුෂි විසින් සාදයක් සංවිධානය කරනු ලැබේ. සාදයේ විස්මයාවහ අංගය වනුයේ නයනිගේ ප‍්‍රියතම ගායකයා වූ ජනප‍්‍රිය ගායන ශිල්පියකු වූ රුක්ෂාන්ව ඇයටද නොදන්වා සාදයට සහභාගි කරවීමයි. සාදය සූදානම්ව, පිරිස පැමිණෙමින් සිටින අතරතුර සාදයට සම්බන්ධ වීමට පැමිණෙන රුක්ෂාන්ව සාදය පැවැත්වීමට සූදානම්වන නිරෝෂාගේ නිවස අසළදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඞ් පහරකින් මරා දැමෙයි. 

”නයනි- නිරෝ, මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කියන්නකො.

සුජීවා-මම ගිහින් ගේට්ටුව ඇරලා බැලූවා. එතන කට්ටියක් ඉන්නවා. පොලිසියෙනුත් ඇවිල්ලා.

නයනි- නිරෝ, මොකක්ද එතන වෙලා තියෙන්නෙ? 

..........

...........

නිරෝෂි - රුක්ෂාන්ව, එයාගෙ වාහනේ.. එතැන එයාව මරලලූ.”

අප දකින වේදිකා පින්තූර රාමුවෙන් ඔබ්බෙහි පවතින සමාජ යථාර්ථය පින්තූර රාමුව තුළට කඩා වැද්දවීමේ මෙම උපක‍්‍රමය යම් පමණකට රාජිතගේ නාට්‍ය කලාව තුළ බොහෝ විට දක්නට ලැබෙන උපක‍්‍රමයක් වුවද, ශූර නාට්‍ය රචකයකු ලෙස රාජිත යළිදු වරක් එම උපක‍්‍රමයෙන් පල නෙලා ගනු පෙනේ. (ඔහුගේ ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයේදී මිතුරු හමුව සිදුවන වෙලාවේදී මහල් නිවාසය තුළට බොම්බකරුවන්ගේ කඩාවැදීමේදී මෙන්ම) කෙමෙන් ගලා යන එදිනෙදා ජීවිතය තුළට එල්ලවන මෙම බාධාව විසින් දෛනික ජීවිතයේ වරපට ලිහී යන අතර ඒ හරහා දෛනික ජීවිතයේ දේශපාලන ආර්ථිකය මෙන්ම එහි ලූබිධිමය ආර්ථික කාරණාද හෙළිදරව් වීමට පටන් ගනී.

සිය බිරිඳගෙ මිතුරු හමුවට බාධාවක් නොවන ලෙස, ඔවුනට ඉඩ දී නිවසින් බැහැරට ගොස් සිටින විජිත්ට මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා දැන ගැනීමට ලැබේ. එහිදී මිය ගිය සුප‍්‍රසිද්ධ ගායකයාට වෙඩි වැදී තිබුණේ සිය නිවස දෙසට වාහනය හරවා තිබියදී යන්න තම බිරිඳ සැක කිරීමට ඔහු පොලඹවාලයි.

”නිරෝෂී - ඔයාට හංගන්න දෙයක් මෙතන නෑ විජිත්. 

විජිත්- එහෙනං මට කිව්වෙ නැත්තෙ මොකක් හින්දද? 

නිරෝෂි- ඔයාට හිතලා නොකියා හිටිය නෙවෙයි. 

විජිත්- ඒ මදිවට පොලිසියෙන් ඇවිත් ඇහුවම අරූ ආවෙ මෙහෙද කියලා, මොන මගුලටද තමුසෙ නෑ කිව්වෙ? හංගන්න දෙයක් නැත්තං මොන රෙද්දකටද බොරු කියන්නෙ?”

දෛනික ජීවිතය තුළට කඩා වදින මේ ඓතිහාසිකත්වය හමුවේ කේවල මිනිසා ආත්මාර්ථයේ කෙළවරටම පසුබැස යන සැටි නාට්‍යකරුවා එක් එක් චරිතය හරහා වෙන් වෙන්ව අපට ප‍්‍රදර්ශනය කරයි. 

”සුජීවා- ඔයත් එනවද අපිත් එක්ක පොලිසියට යන්න?

සුනිමල් - ඔයගොල්ලත් එක්ක මම එන්නෙ නෑ. ඔයගොල්ලන්ට ප‍්‍රශ්නයක්  නොවන විදියට දේවල් කරන්න, මම ඒ අයව දැනුවත් කරන්නම්.

නිරෝෂි- හතර දෙනාටම වෙන වෙනමද කතා කරන්න තියෙන්නෙ? නැත්නම්....

සුනිමල්- වෙන වෙනම තමා කතා කරන්න වෙන්නෙ.

නයනි - (පුටුවක ඉඳගනිමින්* අයියෝ ඒකනෙ මම කිව්වෙ. මට නං බෑ, මම නැතුව ඔය තුන්දෙනා..... ප්ලීස් ඔය තුන්දෙනා යන්න.” 

කෙසේවුවද නාට්‍ය අවසානයේ හෙළිවන්නේ සාදයට එමින් සිටි, රුක්ෂාන් ඝාතනය වනුයේ තරුෂිගේ ස්වාමිපුරුෂයා වන හේෂාන්ගේ කොන්ත‍්‍රාත්තුවකට අනුව බවය. 

ඒ ද, ඔහු පෙම් බැඳි පැරණි මිතුරියටම රුක්ෂාන්ද පෙම් බඳිමින් ඇතැයි යන උපකල්පනය මත ඇති වූ ලිංගික ඊර්ෂ්‍යාවකටය. මේ අනුව, නාට්‍ය තුළ අපට හමුවනුයේ සමාජ පිළිවෙළ බිඳවැටුණු, එකිනෙකාගේ ලූබ්ධිමය ආශාවේ ර`ගමඩලක් බවට පත්වූ අපරාධ රාජ්‍යයකි. රහස් පරික්ෂක කතාවක කතාවස්තුවේ හුයපට ඇත්තේ සිද්ධි දාමයන්ගේ පෙළගැස්ම තුළ නම්, රාජිතගේ නාට්‍යයේ කතාවස්තුවේ හුයපට ඇත්තේ සමාජ මනෝභාවී මානයකය, දේශපාලන මානයකය. එහෙත්, නාට්‍යයේ මෙම සමාජ මනෝභාවී පාර්ශ්වය යටපත්ව, යම් කේවල පුද්ගල සන්තාන අතර ගැටුමක් බවට පත්ව ඇත්තේද යන්න යළි සළකා බැලිය යුතු ගැටලූවක් ලෙස ඉතිරිව තිබෙන බව අපගේ අදහයි. 

මෙම තත්වය ඇති වීමට කතා වින්‍යාසයේ හා රංග වින්‍යාසයේ ඇති, අති සොබාවිකවාදීභාවය පාර්ශ්වීය ලෙස බලපා ඇති බව අපගේ නිගමනයයි. රංගයේ සහ පෙළ රචනයේ තාක්ෂණික සහ ආකෘතික පෘථුලභාවය අත් නොහැර ඒ වෙනුවෙන් සිදුකරන අරගලයකින් පමණක් මෙම තත්වය ඉක්මවා ලිය නොහැකි බව අපගේ නිරීක්ෂණයයි. එනම්, රාජිතගේ මෑතකාලීන බොහෝ නාට්‍යවලදී නිරීක්ෂණය වන කෘතියේ අන්තර්ගතය පිළිබඳ අති අවධාරණයක් පැවතියද එහි කලාත්මක ආකෘතිකභාවය පිළිබඳ අවධාරණය ගිලිහී යාමක් බව අපට නිරීක්ෂණය වේ. නාට්‍ය කෘතියක් පරිපූර්ණත්වය කරා එසැවිය හැක්කේ එහි ආකෘතික හා තාක්ෂණික පාර්ශ්වය අත්හැර දැමීමෙන් නොව, එය වඩා අවධාරණයෙන් භාවිතයට ගැනීමෙන් පමණක් බව අපි විශ්වාස කරමු. 

මෙය, රාජිතගේ නාට්‍ය කලාව පමණක් නොව, පොදුවේ ලංකාවේ රංග කලා ක්ෂේත‍්‍රය තුළම පවතින ගැටලූවක් බව අපට නිරීක්ෂණය කළ හැක. එය ජයගැනීම සඳහා සමකාලීන කලාව විසින් ඉල්ලා සිටිනුයේ එහි අන්තර්ගත පාර්ශ්වය පමණක් නොව, ආකෘතික පාර්ශ්වයේද විප්ලවීයකරණ ක‍්‍රියාවලියකි.


රාජිත දිසානායකගේ නාට්‍යාවලිය


තවත් තුන්දෙනෙක් (1988)

සක්වාදාවළ (1995)

හංසයින්ටත් මං ආසයි (1996)

මට වෙඩි තියන්නැද්ද (1999)

වීරයා මැරිලා (2002)

සිහින හොරු අරන් (2005)

ආපහු හැරෙන්න බෑ (2009)

සිරිවර්ධන පවුල (2010)

බකමූණා වීදි බසී (2011)

නැතුවම බැරි මිනිහෙක් (2017)

ආදර වස්තුව (2018)

හිතල ගත්තු තීරණයක් (2019)

2019 ජූලි මාසයේ දවසක් (2022)

අපේ ගෙදර ගිනි තියයිද (2025)

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා