ඔබ නැවත කෑම ඇනවුම් කරන හැමවිට ම Umami
උමාමි 'Umami' (2025) Emre Sahin විසින් අධ්‍යක්ෂණය කරන ලද යන තුර්කි සිනමා පටයකි. එය, අන්තර්ගතමය(content) වශයෙන් මෙන් ම ස්වරූපමය(form) වශයෙන් ද අගය කළ යුතු වර්ගයේ කෘතියක් බව පැවසිය යුතුය. විශේෂයෙන් ම Jeo Babyගේ The Great Indian Kitchen (2021) චිත‍්‍රපටය සමග සසඳන විට මෙම සිනමා පටය උක්ත අංශ දෙකෙන් ම කෙතරම් ඉදිරිගාමී ද, යන්න ඔබට වටහා ගනු හැකි වනු ඇත. Umami නමැති ජපන් වචනයට ඇති එක් අර්ථයක් වන්නේ ‘පිස අවසන්’ බඳු අර්ථයකි. එසේ ම ‘සියලූ රස සමගිින්’ බඳු අර්ථයක් ද එහි ඇතුළත්ව ඇත.මේ කවර අර්ථයක් සැලකුව ද කෘතියේ මුඛ්‍ය තේමාත්මකයන් සමග ඒවායෙහි අදාළත්වය ප‍්‍රබල ය.
කතා ප‍්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම මෙන් ධාවනය වන්නේ සුපිරි ආපනශාලාවක විවෘත කුස්සියක්(open kitchen) පසුබිම් කර ගනිමිනි. මෙම ආපනශාලව පවත්වාගෙන යන්නේ ලසිනා බොරාල නමැති ප‍්‍රසිද්ධ කෝකියාගේ මූලිකත්වයෙනි. එහි කොටස් හිමිකාරීත්වයක් ද ඔහු සතු වන අතර එහි පැමිණෙන ඉහළ පාන්තික පාරිභෝගිකයන් ඉදිරියේ ප‍්‍රදර්ශන භාණ්ඩ සේ පෙනී සිටීමට ඔහුට හා ඔහුගේ සහායක කෝකියන්ට සිදු වී ඇත. එම ව්‍යාපාරයේ විශේෂත්වය සම්පූර්ණයෙන් ම පදනම් වී ඇත්තේ මෙම කෝකියාගේ කීර්තිය සහ ඔහුගේ මූලිකත්වයෙන් සැකසෙන ආහාරයන්ගේ දිව්‍යමය බව මත ය. සිනමා පටය ප්‍රේක්ෂිකාව ඉදිරියට පැමිණෙනුයේ ප‍්‍රථම පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටි කෝණයකින් වන අතර එම ප‍්‍රථම පුරුෂයා වන්නේ සිනා නමැති සූපවේදියා ය.
සුපිරි ආපන ශාලාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන මූල්‍ය ගැටලු, ධනවත් පාරිභෝගිකයන්ගේ පුහු ආටෝප, ආහාර සම්බන්ධයෙන් එල්ල වන පැමිණිලි හා විරෝධතා, සිය සේවකයන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් හා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මෙන් ම තම පවුල තුළ මතු වී ඇති අර්බුද හමුවේ අතිශය අසාමාන්‍යය සංකීර්ණ රාත‍්‍රියක් ගත කිරීමට ඔහුට සිදු වී ඇත. මේ සියලූ සංකීර්ණතා සගවමින් තම ධනවත් පාරිභෝගික අහින ඉදිරියේ නළුවෙකු වීම, චිත‍්‍රපට නළුවෙකු වීමට වඩා කෙතරම් අපහසු ද, යන්න මේ චිත‍්‍රපටයෙන් මතු වන ප‍්‍රධානතම තේමාත්මක මානයක් ලෙස දැක්විය හැකිය. සැබෑ තමා වෙනුවට තමාට වඩා කෙනෙකු තමා තුළ ඇති බව පෙන්වමින් රංගනයේ යෙදීමට සිදු වීම අද දවසේ පුද්ගලයා මුහුණ දී සිටින ඛේදජනක ම තත්ත්වයක් ලෙස දැක්විය යුතුය. මෙසේ අනෙකා(the other) වෙනුවෙන් ජීවත් වීමට සිදු වීම කෙතරම් ගැඹුරු ශිෂ්ටාරමය ගැටලුවක් ද, යන්න චිත‍්‍රපටයේ අවසානය විසින් ධ්වනිත කරනු ලබන්නේ පේ‍්‍රක්ෂිකාව බලාපොරොත්තු නොවන අයුරිනි. එය මෙම කෘතියෙහි වන වැදගත් ම දේශපාලනික සංඥාව ද වෙයි. මන්ද යත්, මේ සිනමා පටය පුරා ම මේ විවෘත කුස්සියේ සිදුවීම් හා ප‍්‍රධාන සූපවේදියා මුහුණ දෙමින් සිටින ගැටුම, පෙර කී ධනවත් ව්‍යාපාරිකයන්ටත් වඩා දකිනුයේ(gaze) ප්‍රේක්ෂිකාව ය.
කෘතියේ ස්වරූපමය විශිෂ්ටත්වය ලෙස මා දකිනුයේ මෙසේ ප්‍රේක්ෂකයා මේ ප‍්‍රදර්ශනාත්මක කුස්සියේ සමීප නරඹන්නෙකු කිරීම ය. ඒ සඳහා සිනමාවේදියා ප්‍රේක්ෂකාගාරය වෙත ඉදිරිපත් කරන සමීප රූප(Close Up) ඉදිරියේ ප්‍රේක්ෂිකාව සන්ත‍්‍රාසයට පත් වේ. තම සැබෑ ස්වරූපය සගවා ගනිමින් ධනවත් පාරිභෝගික බඩජහරි ප‍්‍රජාවක් සතුටු කිරීම සඳහා ප‍්‍රධාන සූපවේදියා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය තටමන ආකාරයත් එහි අභ්‍යන්තරයේ පවතින සංකීර්ණත්වයත් අතිසමීප සිනමාරූපී භාෂාවකින් ඉදිරිපත් කරමින් සිනමාකරුවා, ධනේශ්වර යුගයේ පරත්වාරෝපණය යනු කෙතරම් බරපතළ අනතුරක් ද, යන්න, සිනමාකරුවෙකු මෙතෙක් ඉදිරිපත් කර ඇති තියුණුතම ආකාරයෙන් සිනමාවට නගයි. ඒ සඳහා ඉදිරිපත් කළ හැකි අද්විතීය රූප රාමු කිසිවක් මා මෙහි දී සඳහන් නොකරනුයේ එසේ සඳහන් කිරීම මගින් කෘතියේ වන සමස්ත වටිනාකම විනාශ විය හැකි බැවිනි. එහෙත් මම ඔබට එක් දෙයක් කියමි.
මේ සිනමා කෘතිය නැරඹීමෙන් පසු ඔබ කිසිදිනෙක යළිත් කිසිදු කුස්සියක් දෙස ඊට පෙර බලා සිටි ආකාරයෙන් නම් බලා සිටින්නේ නැත. එනම් එම කුස්සිය, The Great Indian Kitchen වර්ගයේ කිසියම් ස්ථානයකට හෝ ලිංගික අනන්‍යතාවයකට සීමා නො කර, ධනේශ්වර කර්මාන්ත ශාලාවක් ද පශ්චාත් නූතන වෙළෙඳ ප‍්‍රදර්ශනාගාරයක් ද බවට එක විට පත් වේ.
Comments
Post a Comment