වීසාචක භවයේදීත් මානවීයත්වය රැක ගැනීම
වැල්ලවත්තේ ‘පෙරියම්මා’ගේ නිවස තමන්ගේ තැනක් කියලා ‘අක්ෂරා’ට කවදාවත් දැනෙන්නෙ නැහැ. ඇගේ ස්වාධීනත්වයේ තටු පෙරියම්මාගේ නීති රීතිවලින් කැපී ගිහින් බොහෝ කල්. එය ආර්ථික ස්වාධීනත්වයක් සතු නොවීමේ ප‍්‍රතිඵලයක්ම නෙවෙයි. ඇය පෙරියම්මාගේ නිවසට කඩා වැටෙන්නේත් ඇය වැන්නියකගෙන් ආර්ථික ප‍්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකි ළමා වියේදී. එය තමන් ‘දෙමළියක්’ වීම නිසා සිදුවූ අවාසනාවක් බව තේරුම් ගන්නට තරම් ඇය දැනුවත්. දෙමළියක් වීම නිසා පීඩාවට පත් වන්නේ අක්ෂරා පමණකුත් නෙවෙයි. පෙරියම්මාද පෙරලා එහිම නියෝජනයක්. ‘පෙරියප්පා’ කැනඩාවෙදි සුද්දියක්ව කසාද බැඳගන්න ඕන නිසා පෙරියම්මා දික්කසාද කරනවා. එය තවදුරටත් එකට දීග කන්න බැරි නුරුස්නාවක් නිසා වූවක් නෙවෙයි. කැනඩාවේ පුරවැසිබාවය රැුගෙන සිය පුතුන්ද එහි ගෙන්වා ගන්නට ඊට වඩා වෙනත් හො`ද ක‍්‍රමයක් පෙරියප්පාට හමුවන්නේ නැහැ. ඒ යථාර්ථය උපේක්ෂාවෙන් දරා ගන්නා පෙරියම්මා ගේ පීඩාව අක්ෂරාට නොපෙනෙනවා නෙවෙයි.
දෙමළියක් වීම නිසා අක්ෂරාට අහිමි වන්නේ යෙෘවනයේ ප‍්‍රීති ප‍්‍රමෝදය පමණක් නෙවෙයි. ඇයට ඇගේ මව අහිමි වෙනවා. ඇය දන්නෙ බෝම්බයකට හසු වීමෙන් ඇගේ කෑලිවත් හමු නොවූ බවයි. අතක් අහිමි වූ එල්ටීටීඊ සොල්දාදුවෙක් විදියට ඇගේ පියා ඉතිරි වෙනවා. ඒත් පියා අලුතින් ගොඩ නගා ගෙන තිබෙන පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඈ තුළ ප‍්‍රසාදයක් නැහැ. මෙන්න මේ ආතක් පාතක් නැති ගන්ධබ්බ අවකාශයේදී තමයි ඇයට ප‍්‍රීති මාමා හමුවන්නේ. එංගලන්තය ගැන ඇය තුළ බලාපොරොත්තුවක් හෝ අවුළුවන්නෙ ඔහු. ඒත් එංගලන්ත ගමන සිහින රාජ්‍යයකට වැටුණු ස්වර්ණ චාරිකාවක් නෙවෙයි කියලා අක්ෂරා දන්නවා. යා යුතු අතක් නැති අනාථ නැකතකදි ඇය එංගලන්තයට කඩන් වැටෙනවා.
උපන් බිමේදිත් ඇය ගෙවූයේ සරණාගත දිවියක් තමයි. ඒත් එංගලන්තය නම් ශිෂ්ටාචාරයේ දීප්තිමත් රාජ්‍යයේදී ඇයට වැඩි වැඩියෙන් පිටස්තර බවක් දැනෙන්න ගන්නවා. ලෝක සිතියමක් උඩ නටන ළමයි කීප දෙනෙක් ඇයගේ දර්ශන පථයට හසුවන්නෙ අවන්හලකදි. එක ළමයෙක් ඉන්දියාවේ හිටගෙන වරායවල නම් කියනවා. අක්ෂරාට මෙහෙම හිතෙනවා.
"මේ තියෙන්නෙ ශ‍්‍රී ලංකාව. මේ කොළඹ වරාය. මේ ගාල්ල. මේ යාපනය. මේ ත‍්‍රිකුණාමලය. ඒ නාඳුනන ළමයින්ට එහෙම කියන්න මහා ළමා ආසාවක් උපන්නා.”
- (වීසාචකයෝ පිටුව.43.)
ඒත් ලංකාව යනු ඇයට මෙවැනි තැනක්.
"යුරෝපීය ජාතීන් නින්දිත අමානුෂික ආකාරයට යටත්විජිතකරණයට ආ ගමන් මාර්ග සිතියම මා සසල කරන්නේ ඇයි? මට යාල්පානම් නිකම්ම නගර නාමයක්. වැල්ලවත්ත පෙරිය අම්මාගෙ රළු අනුග‍්‍රහය යටතේ, කුලී ගේ පලූවක, සාල තීරුවක නිදාගත්තු තැනක්. බම්බලපිටියෙ කෝවිලට විරුද්ධ පැත්තෙ තට්ටු නිවාසවල දුර නෑයෙක් හිටියා. එහෙන් අපිට උණුසුමට ලැබුණෙ තේ කෝප්පයක් විතරයි.”
- (වීසාචකයෝ පිටුව 43-44)
මෙහෙව් ලංකාව ගැන යුද්ධයේත් ජාතිවාදියේත් කෙළවරක්නැති පීඩාවන්ට මුහුණ දුන් ‘ඥාණසුන්දරම්’ සීයාට තිබෙන්නෙ මෙබඳු අදහසක්.
"අපිට රටක් ගමක් නෑ. අපි මැරිලා.”
- (වීසාචකයෝ පිටුව 44)
එහෙත් එංගලන්තයට ගිය අක්ෂරාට පලවෙනි වතාවට ලංකාව ගැන වෙනස් විදියකට හිතෙන්න ගන්නවා.ගමක් නැති වුණාට රටක් තියෙනවා කියල හිතෙනවා. එය ජාතිකානුරාගයද? පාඨකයාට ඇය කෙරෙහි සානුකම්පාවක් ඇති නොවී තිබෙන්නෙ නැහැ. මොකද ලංකාවේ මහ ජාතිය විසින් අක්ෂරා වැනි දෙමළියන්ට ජාතිකානුරාගයෙන් ඔද වැඞීමේ අයිතිය පිරිනමා නැහැ.
අක්ෂරා නම් දෙමළියට එංගලන්තය මොනතරම් පිටස්තරද යත් ඇයට පාසල් කාලයේ ර`ග පෑ ‘කොළඹ ගිය බණ්ඩා’ නාට්‍යය මතක් වෙනවා. කොළඹ ගිය බණ්ඩා සහ ‘ලන්ඩන් ගිය අක්ෂරා’ අතර වෙනසක් නැති බව ඇය තේරුම් ගන්නෙ අර නාට්‍යයේ චින්තන දරිද්‍රතාව පිළිබඳ හැඟීමත් සමගමයි.
කාලය තව දුරටත් තත්පර විනාඩිවලින් නොව පවුම්වලින් ගණනය කරන්නට සිදුවන දෛනික අතෝරයට මුහුණ දෙන්නට ඇයට සිදුවෙනවා. ඇගේ කාලය රැුකියා තුනක් වෙනුවෙන් වෙන් වෙනවා. ‘බාලාජී’ගේ මස් කඩයේ වැඩ කරන්නට සිදුවීමේත්, ‘ඩයනා මරේ’ගේ බල්ලන් ඇවිද්දවන්නට සිදුවීමේත් හීනමානයේ වේදනාව යම්තමට හෝ සමනය වෙන්නේ ‘ගාඩිනියා’ට ඇහෙන්නට පොත් කියවීමෙන්. එංගලන්තයේ ජීවිතය කෙසේ හෝ පැවැත්ම සලසා ගත යුතු තිරශ්චීන ව්‍යවහාරයට ඇයව කොටු කරද්දි ඈ තුළ සිටින සංස්කෘතික ආත්මය අවදි කොට තබන්නේ ගාඩිනියා. එහෙත් සාහිත්‍යයටත් ඉතිහාසයටත් ඉතා ලැදි සිසුවියක් වූ ඇයට අත ළඟ තිබෙන ලන්ඩන් කෙෘතුකාගාරය බලන්නට තරම්වත් ඉඩක් නොලැබී යන තරමට සංස්කෘතික ජීවිතය පටුයි. ඒ ගැන කම්පා වෙවී ඉන්නවත් වෙලාවක් නැහැ. මොකද වීසා එක දිගු කරගන්න සල්ලි ඉතුරු කරගන්න ඕන නිසා. එය ඇගේ පමණක් නෙවෙයි, ලංකාවේ දී ඇගේ අසල්වැසියා වූ ‘ජේ. අන්නා’ගේ ද ඛේදවාචකයයි. ලංකාවේ පසුගාමී ධනවාදය විසින් අත් කර දුන්නා වගේම ඛේදවාචකයක් එංගලන්තයේ දිදුලන සුළු ධනවාදය විසින්ද ඔවුන්ට අත්කරදෙමින් තිබෙනවා. මේ කියන්නේ ධනේෂ්වර ලෝකයක් තුළ කොතැනකවත් ක්ෂේම භූමියක් නැති බවද? ස්වර්ග රාජ්‍යයක් නැති බවද? ඒ ප‍්‍රශ්නයට පිළිතුර ‘ප‍්‍රීති’ මාමාගේ ජීවන පුරාවෘත්තය ඇතුලෙ තිබෙනවා.
අක්ෂරාට ලංකාව හැර යන්න සිද්ධ වෙන්නෙ දෙදහස් විස්සෙන් පස්සෙ. ඒ තත්වයට ප‍්‍රීති මාමා මුහුණ දෙන්නෙ හැටේ දශකයෙදි. උතුරේ යුද්ධය විසින් අක්ෂරාගේ පවුලේ ජීවිතය උඩු යටිකුරු කළා සේම පනස් අටේ ජාතිවාදී කෝලාහලය විසින් ප‍්‍රීති මාමාගේ ජීවිතය නන්නත්තාර කරනු ලබනවා.
අනන්ත යැයි කිව හැකි දුක් පීඩා මධ්‍යයේ වුවත් ප‍්‍රීති නම් තරුණයා සිය මානවීයත්වය රැක ගන්නවා. සිය අභ්‍යන්තරයේ පණ ගැහෙන විනෝද ජීවියාට ප‍්‍රීතිජනක අවස්ථා සලසා දෙනවා. මනුෂ්‍යයෙකු වශයෙන් තමා සතු සංස්කෘතික ගුණ කදම්භය කිසිදු දුෂ්ට බලවේගයක් හමුවේ විනාශ වී යන්නට ඉඩ තබන්නේ නැහැ. වැදගත්ම දේ ජීවිතයේ ප‍්‍රීතිය සල්ලිවලින් මනින්නට ප‍්‍රීති ඉගෙන නොතිබීමයි. පනස් අටේ ජාතිවාදී කෝලාහලවලින් පසුව ප‍්‍රීති කිරුළපනෙන් යාපනයට වීසි වෙනවා. කතුවරිය ප‍්‍රීති හා යාපනයේ චාරිකාවක එන්න යැයි අපට කරන ආරාධනය ඉතාම සිත් ගන්නා සුළුයි. යුද්ධයට පෙර ආඬි ළිඳේ දිය දෝතක සිසිල, ළුෑණු මලක සුවඳ, කොට්ට කිලංගුවක මිහිර, කුරුම්බා වතුරක රසය, අඹයක, කෙසෙල් ඇවරියක සුවද මොනතරම් සැපවත්දැයි කතුවරිය කියා සිටින්නේ අප සිහින රාජ්‍යයක් වන් සුවදායී ඉසව්වක මංමුලා කරවමින් නෙවෙයි. සියලූ ආකාරයේ දුක්ඛිත වූ යථාර්ථය මුණ ගස්සමින්. නමුත් ඒ යථාර්ථය පවා පසුකාලීනව නිර්මාණය වූ යුද්ධයේ අත්දැකීමක් හා ගත් විට එතරම් කටුක නැතැයි සිතනවා.
ප‍්‍රීතිය සොයා යන මිනිසුන්ට සල්ලි කියන්නෙ මොනතරම් නොවැදගත්දැයි සිතෙන යුගයකයි කොළ පාට ලැකර් ගෑ බයිසිකලය ප‍්‍රීතිට හමුවෙන්නෙ. ඔහු ගෙ බයිසිකල් සවාරිය චේ ගෙ ‘ලතින් ඇමරිකානු මෝටර් බයිසිකල් සවාරිය’ තරම්ම චමත්කාරජනකයි. ඒ බයිසිකලයේ නැගී ඔහු නාගදීපයට යනවා. මේ නිර්මල හදවතකින් යුතු පාසල් සිසුවාට පුවක් බිස්නස් එකක් කරන්නට යෝජනා කරන්නේ නාගදීපයේ වැඩ වෙසෙන හක්මන හාමුදුරු නමක්. අතේ සතයක් නැතිව බයිසිකලයේ නැගී කොළඹ එන ප‍්‍රීතිගෙ කුසගිනි නිවන්නෙ මග දිගට හමුවන ජනී ජනයා. ඔවුන් ලැගේජයේ බැඳ ඇති ලී පෙට්ටිය අඹවලින් පුරවනවා. යුද්ධය විසින් විසකුරු කරන ලද අගනා වටිනා මානුෂ සබඳතා පිළිබඳ අනුපමේය පසුතැවිල්ලක් දැවිල්ලක් අප තුළ ඇති වී නැති වෙනවා. ඒත් අවසානයේ හැටේ දශකයේ සමාජාර්ථික අලකලංචි විසින් ප‍්‍රීතිවත් එංගලන්තයට විසි කරනු ලබනවා.
එංගලන්තයේ හිස ගසා සිටින්නට හැටේ දශකයේ ප‍්‍රීතිලාට අත් වි`දින්නට සිදු වූ අභියෝගය සුළු පටු නැහැ. කෝච්චිය ගැන විමසූ පසු ගැටුමට ආ ජාතිවාදී සුද්දෙක් නිසා මානසික රෝහලකට ගාල් වෙන්නට වරක් ප‍්‍රීතිට සිදුවෙනවා. රත්නපුරේ ‘ඩේලියා’ හා ප‍්‍රීතිගේ වූ අකලංක ප්‍රේමය විප‍්‍රවාසයේ අත්දැකීම් විසින් කැළැල් වෙනවා. පැවැත්මේ කොන්දේසි එකල පවා කොතෙක් කුරිරුද යත් වැන්දඹු සුද්දියක් හා විවාහ වෙන්නට ප‍්‍රීතිට බල කෙරෙනවා. මිනිස් ආලයේ කොන්දේසි දේපල සම්බන්ධතා මත ගැට ගැසී ඇතැයි යන්න සුප‍්‍රකට මාක්ස්වාදී අදහසක්. වීසාචකයෝ කෘතිය තුළදි අත්‍යවශ්‍ය දේපල බවට පත් වෙන්නෙ එංගලන්තයේ තව දුරටත් රැඳී සිටීමට අවශ්‍ය වීසා එක. තරුණ තරුණියන්ගේ ආදර සම්බන්ධතාවල රුව ගුණ තීන්දු කරන්නේ තව දුරටත් ඊට ආවේණික ආත්මීය රශ්මියක් විසින් නෙවෙයි, වීසා එක මතම පමණයි. නාකි සුද්දියන්, තරබාරු සුද්දියන් කසාද බැඳගන්නා ලංකාවේ තරුණයන් වගේම කොහොම හරි එංගලන්තයට පැන ගත් තරුණයන් බෑණාවරුන් බවට පත් කරගැනීමට වලිකන අප්පලාද අපිට වීසාචකයෝ තුළ හමුවෙනවා.
"අපි වීසා යාචකයොනෙ. ඉතින් ඒක සන්ධි වුණාම අපි වීසාචකයෝ වෙනවා. අර ‘විවේක් අන්නා’ දැන් වීසාච භවයෙන් 'පී.ආර්.' භවයට ගියාම 'පාට්නර්' වීසා, 'ඩිපෙන්ඩන්සි' වීසා වරම් හිමි ලන්ඩන් ගම්භාර දේවතාවෙක් වෙනවා. එතකොට කේරළෙන් ලොකු දෑවැද්දකට හේතු වාසනා තියෙනවා. ඊට කලින් මං වගේ වීසාචකයෙක් දුකින් මුදාගෙන පවුම් පන්දාහක දහදාහක උනත් නව ධනයකට පවා ප‍්‍රස්ථාව නැද්ද මං අහන්නෙ.?”
- (වීසාචකයෝ පි 242*
අඩ සියවසකට අධික වීසාචකයන්ගේ ජීවන ප‍්‍රවෘත්තිය ගෙනහැර පාන්නට කතුවරිය උපයෝගී කරගන්නේ සත්‍යයට ඉතා කිට්ටු සංකල්ප රූප පොකුරක් බව පැහැදිලියි. ආධුනික ලේඛකයෙක් හෝ ලේඛිකාවක් විෂයේ නම් නීරස වීමේ වැඩි අවදානමක් සහිත ආකෘතියක් සුනේත‍්‍රාගේ පරිණත බවේත් ප‍්‍රතිභාවේත් භාෂා රම්‍යතාවේයත් ජීවන පරිඥනායේත් සංකලනය විසින් චාම් සෙෘන්දර්යයක් බවට පෙරළි තිබෙනවා. අපි කැමතියි කතන්දර අහන්න. ළමා කාලයේ සුරංගනා කතා හෝ අද්භූත කතා රස වින්දට වැඩිහිටි වුණාට පස්සෙ අපි කැමතියි මිනිස්සුන්ගෙ ජීවන තතු විමසන්න. එළියෙ හොදටම වහින. වෙලාවක උණුසුම් තේ කෝප්පයක් පානය කරමින් හිතෛෂීම මිතුරන් හා කියවන්නට ඇත්නම් හොඳයි කියා හිතෙන කතාන්දර කොච්චර අපිට තියෙනවද? ප‍්‍රීති මාමාටත් ඬේලියා ආන්ටිටත් ඔවුන්ගේ ජීවිත ගැන එහෙම කතාවක් තියෙනවා.
ස්ව කැමැත්තෙන් එහි ශ‍්‍රාවිකාව බවට අක්ෂරා පත් වෙනවා. මරණ මංචකයේ නැටී සිටින ප‍්‍රීති සිය දිවයට ආවේණික ශාන්ත වූ ද රොමෑන්තික වූ ද සෙෘන්දර්යෙන් යුතුවම මරණයට මුහුණ දීමට සූදානම්. ප‍්‍රීති නම් මනුෂ්‍යයා තුළ හුස්ම ගත් විනෝද ජීවියා සංස්කෘතික ජීවියා අක්ෂරාට සැලකිය යුතු බලපෑමක් කරන්නට නියමිතයි. ඇය මේ කතාවට සවන් දෙන්නෙ විශ්වවිද්‍යාලයේ නිබන්ධනයට නවකතාවක් ලිවිය යුතු නිසා වුවත් මේ කතාව අක්ෂරාගේ අභ්‍යන්තරය වෙනස් කිරීමට නියමිත බව ඇයවත් දන්නෙ නැහැ. විනෝද ජීවියා සහ සංස්කෘතික ජීවියා ඉක්ම වූ අපූර්ව මානවවාදියෙක් ප‍්‍රීති තුළ ඉන්නා බවත් ඔහු එතරම් මනස්කාන්ත මනුෂ්‍යයෙකු වන්නේ එනිසා බවත් අක්ෂරාට වැටහෙනවා. තමන්ට දිගින් දිගටම කුරිරුකම් කළ සිය උන්නතිකාමී තණ්හාධික සොයුරිය ගැනවත් සොයුරියගේ පදයට නැටූ පසුගාමී මව්තුමිය පිළිබඳවවත් අහිතක් අප‍්‍රසාදයක් ප‍්‍රීති තුළ නැහැ. කතාව අවසානයේදී මේ මානවවාදය අක්ෂරාට බෝ වෙන බව පැහැදිලි වෙන්නෙ පියා ගේ දෙවෙනි කසාදයේ දරුවන් ගැන ඇය තුළ මෘදු හැ`ගීම් පහළ වීමෙන්.
"යුද්ධෙකට මූණ දීපු, තාමත් පිච්චුණු ගෙවල් බාගයක ඉන්න අපිට දුක් විඳලා පුරුදුයිනෙ. මං දැනගෙන හිටියා කවදාහරි මගේ කෙල්ලගෙ හිත උණුවෙයි කියලා. ඔයාගෙ පෙනුමත් අම්මා වගේමයි. එයාට යාපනයට වඩා විශාල හදවතක් තිබුණා. චින්තාමනී මාව බැන්දෙ මං ආබාධිත වුණාට පස්සෙනෙ. ඔයාගෙ ප‍්‍රීති මාමා මාව හොයාගෙන ආ වෙලාවෙ මට දැණුනා චින්තාමනියි, ඒ අයියයි පෙනුමෙන් සමාන නැති වුණාට වෙන සමානකම් තියෙනවා කියලා. මේ අපි ඉතුරු කරගත්තු ගේ තියෙන පොඩි කෑල්ලත් ඔයාගෙ නමටයි තියෙන්නෙ.’
‘මට එපා අප්පා. ඒක අභිෂේක් මල්ලිට දෙන්න. එයා ඉගෙන ගත්තට පස්සෙ බලමුකො මොනවාද කරන්න පුළුවන් කියලා.’
අප්පාගෙ කටහඬ බිඳුණා.
මටත් කතා කරගන්න බැරි වුණා. ඒ වුණාට කවදාවත් නොදැනුණු ශාන්තියකින් මුළු ඇඟම සැහැල්ලු වී ගෙන ගියේ ඇඟ ඇතුළෙ සුළං රැළි නැගෙනවා වගෙයි.”
- (වීසාචකයෝ පිටුව 269)
සමාජාර්ථික හෝ දේශපාලන කොන්දේසි ගොරතර වෙන තරමට මනුෂ්‍යත්වය රැක ගත හැකි නම් සමාජ පරිවර්තනය පිළිබඳ අපේක්ෂාව සුබ සිහිනයක් පමණක් නොවන බව සහතික වෙන්නෙ මෙන්න මේ කියූ ශාන්තිය අත් විදින ජනී ජනයා හමුවන්නේ නම් පමණයි. එවැන්නන් කරා මනුෂ්‍යත්වය ඉබේ කාන්දු නොවන අතර එය බෝ කළ යුතුව තිබෙනවා. එහි ලා සාහිත්‍යයේ විභවතා ප‍්‍රත්‍යක්ෂ කරගත් නවකතාවකි වීසාචකයෝ.

Comments
Post a Comment