Mother of Civil Courage - ‘පුරවැසි ධෛර්යයේ මාතාව’

 


‘පුරවැසි ධෛර්යයේ මාතාව’ (Mother of Civil Courage), නමැති මේ පිළිරුව නිර්මාණය කර ඇත්තේ ස්වීඩන් ජාතික කලාකාරිනියක් වන සුසානා අර්වින් (Susanna Helena Maria Arwin). ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කෙරෙන බවට වන විවාද සම්පන්න ප‍්‍රතිචාර නිසා ප‍්‍රසිද්ධ ස්ථානවල තැබීමට මහජන නියෝජිතයන් විරුද්ධ වීමෙන් පසු, දැනට එය ස්වීඩනයේ වර්බර්ග් හි ව්‍යාපාරිකයකු සතු පෞද්ගලික උද්‍යානයක ප‍්‍රදර්ශනය කෙරෙනවා. 

මෙවැනි ප‍්‍රතිමාවක් නිර්මාණය කිරීමට පසුබිම් වූයේ 1985 අපේ‍්‍රල් 13 වැනිදා ස්වීඩනයේ වැක්ස්ජෝ හිදී ඇති වූ සිදුවීමක්. එදින ස්වීඩනයේ කොමියුනිස්ට්වාදී වාම පක්ෂයේ නායක ලාර්ස් වර්නර් විසින් වැක්ස්ජෝ නගරයේ කරන ලද ප‍්‍රසිද්ධ දේශනයක් අවසන් වීමත් සමග නවනාසිවාදී ‘නෝර්ඞ්ක් රියල්ම්‘ පක්ෂයේ රැලියක් පවත්වන්න නගර බලධාරීන් විසින් අනුමත කර තිබුණා. දක්ෂිණාංශික පෙළපාලිය ආරම්භ වීමටත් පෙර සිට වාමාංශිකයන් සහ නව-නාසිවරුන් අතර ගැටුම් ඇතිව තිබුණා. අන්ත දක්ෂිණාංශික ‘නෝර්ඩික් රියල්ම්‘ ආධාරකරුවන්ගේ පෙළපාලියකදි ඩනුටා ඩැනියල්සන් නමැති 38 හැවිරිදි කාන්තාව පෙළපාළිකරුවකුට සිය අත්බෑගයෙන් පහර දෙනු දැක එහි සිටි පුවත්පත් ඡුායාරූප ශිල්පී හාන්ස් රුනසන් විසින් මෙම ඓතිහාසික සේයාරුව කැමරාවේ සටහන් කරගත්තා.


වැක්ස්ජෝ නාගරිකයන් සමග එක් වූ වාමාංශිකයන් සිය ගණනක් අන්ත දක්ෂිණාංශිකයන්ට එලව එලවා පහර දෙනු ලැබුවා. රැලියට සහභාගි වූ අන්ත දක්ෂිණාංශික ක‍්‍රියාකාරීන් අවසානයේ පොලිසිය විසින් ආරක්ෂිතව කැඳවාගෙන යන තෙක් දුම්රිය ස්ථානයේ වැසිකිළිවල රැකවරණය ලබාගත් පැය කිහිපයක් එහි සැඟවී සිටියා. යුරෝපයේ අදත් දේශපාලන අනතුරක්ව පවතින නවනාසිවාදීන්ගෙ හිස එසවීම ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කිරීමේ සංකේතාත්මක අර්ථයක් ඒ නිසාම මෙම ඡායාරූපයේ තිබෙනවා.

‘අත්බෑගයක් රැගත් කාන්තාව’ ලෙස පසුකාලයක ජනප‍්‍රිය වූ රුනෙසන්ගේ ඡායාරූපය, පසුදාම ස්වීඩනයේ Dagens Nyheterහි මුල් පිටුවේ පළ කෙරුණා. වඩාත් අවධානයට පත් වූ එම ඡායාරූපය අපේ‍්‍රල් 15 වන දින බි‍්‍රතාන්‍යයේ The Times සහ The Daily Express යන පුවත්පත් දෙකේත් පළ කෙරුණා. ඒ කලු සුදු ඡායාරූපයේ විශාලනය කළ පිටපත් 12ක් සකස් කෙරුණු බවත් 2020 වසරේදී ඒවාට යුරෝ 2,000 - 3,800 අතර මිලක් නියම වූ බවත් වාර්තා වෙනවා. ඡායාරූප විශ්ලේෂකයකු වන සැමුවෙල් මෙරිල්ට අනුව, ඡායාරූපය ජනප‍්‍රිය වූයේ හේතු තුනක් නිසා: පළමුවැන්න, කීර්තිමත් කලාත්මක ඡුායාරූප ශිල්පියකු වන හෙන්රි කාටියර්-බ්‍රෙසන් විසින් නිර්දේශ කරන ආකාරයට නිශ්චිත ක‍්‍රියාවක හෝ සංයුතියක ‘තීරණාත්මක මොහොත‘ ග‍්‍රහණය කරගෙන තිබුණා. දෙවනුව, එය බැලූ‍ බැල්මට දිස්වන ප‍්‍රචණ්ඩ හැසිරීමකට වඩා පැහැදිලි ලෙසම අපේක්ෂාවක් සහ ඉඟි කිරීමක් නිරූපණය කරනවා එසේම එය, තරුණ නව-නාසිවාදියකුට අභියෝග කිරීමෙන් මුහුණ දෙන්නට ඉඩ තිබෙන අවදානම නොසළකා ක‍්‍රියාත්මක වූ වැඩිහිටි කාන්තාවක් නිරූපණය කරන්නට සමත් වෙනවා.  නාසිවාදී පෙළපාළියකදී ඩැනියෙල්සන් කළ දේ සම්බන්ධයෙන් පොදුවේ මහජන මතය වූයේ එය ස්වීඩන් ජනයාගේ සාමූහික ප‍්‍රතිරූපයේ ‘ලෞකික හා ප‍්‍රකාශ නොකළ ප‍්‍රඥාව, සිවිල් ධෛර්යය සහ සදාචාරාත්මක පෙළගැසීම’ සංකේතවත් කරන වැඩිහිටි කාන්තාවකගේ ඉදිරිපත්වීමක් බවයි. 

යුරෝපයේ මහත් ජනප‍්‍රියත්වයක් ලද මේ ඡායාරූපය එහි සිටින කතා නායිකාව, ඩනුටා ඩැනියල්සන්ට නම් සතුටට කාරණයක් වුණේ නෑ. නාසිවාදියකුට පහරදීම හේතුවෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමක් හෝ නව-නාසිවාදීන්ගෙ පළිගැනීම් පිළිබඳ බිය හේතුවෙන් ඩනුටා ඩැනියෙල්සන් ඒ සිදුවීමෙන් පසුව රහසිගත ජීවිතයකට යන්න තීරණය කළා. ඒ නිසාම ඇය ගැන මුලදී පළ වූ පුවත්පත් වාර්තා වැරදි කරුනු සහ මිත්‍යාවන්ගෙන් පිරී තිබුණා. ඩනුටා ඩැනියල්සන් 1947 මාර්තුවල පෝලන්තයේ උපත ලැබුවා. සහෝදර සහෝදරියන් තිදෙනෙක් සිටින ඇගේ මව දෙවන ලෝක යුද සමයේ නාසි පාලනය යටතේ පෝලන්තයේ ජර්මානු වද කඳවුරකින් දිවි ගලවා ගත් තැනැත්තියක්. ඇගේ පියා, බෙසන් ඩැනියල්සන් සමග විවාහ වීමෙන් පසුව දෙදෙනා 1982 දි ස්වීඩනයේ පදිංචියට පැමිණ තිබුණා. බාහිර ලෝකයේ අවධානයක් නොමැතිව, ස්වයං නිවාස අඩස්සියක, මානසික ගැටලූ මැද ජීවත් වූ ඇය, සිදුවීමෙන් වසර තුනකට පසු 1988 දී වැක්ස්ජෝ නගරයේ ජල ටැංකියෙන් පහළට පැන සියදිවි නසා ගත්තා. 

ඡායාරූපයේ සිටින කාන්තාව ඩැනියෙල්සන් බව 2014 දී ජනමාධ්‍ය විසින් හෙලි කිරීමෙන් පසුව, මහජන අනුස්මරණයක් ලෙස ප‍්‍රතිමාවක් ස්ථාපනය කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වුවත් ජනතාව අතර වාද විවාද මධ්‍යයේ ඇගේ පුතා එම අදහස ප‍්‍රතික්ෂේප කළා. තම මව කිසිදා ඒ ඡායාරූපයට කැමති නොවූ බවත් එයින් ඇති වූ ප‍්‍රසිද්ධිය ගැන කනගාටු වූ බවත් ඔහු ප‍්‍රකාශ කළා. ඩැනියෙල්සන් විසින් පහර දුන් පුද්ගලයා, සංක‍්‍රමණික යුදෙව්වෙකුට වධහිංසා පමුණුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුව වරදකරු වූ ‘නෝර්ඩික් රියල්ම්’ පක්ෂයේ සටන්කාමියෙකු වන සෙප්පෝ සෙලස්කා බව හඳුනාගනු ලැබුවා. 2009දී එම අන්තවාදී පක්ෂයත් විසුරුවා හැරියා.

මෙම ඡායාරූපය පදනම් කරගෙන ඩැනියෙල්සන්ගේ ජීවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමාවක් වැක්ස්ජෝ හි ඉදිකිරීමට 2015 වසරේදී සුසානා අර්වින් මූර්ති කලා ශිල්පිනිය කැමැත්ත පළ කළ නමුත්, ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කිරීම සහ ඩැනියල්සන් එම ක‍්‍රියාව තුළින් නිරූපණය කිරීම ගැන පවුලේ විරෝධය යන හේතු මත එය ප‍්‍රතික්ෂේප කෙරුණා. මෙම තීරණයට විරෝධය පළ කරමින්, ස්වීඩනය පුරා ජනතාව, විවිධ ප‍්‍රතිමාවලට අත්බෑග් එල්ලීමට පටන් ගත්තා. 2015 සැප්තැම්බර් මාසයේදී, ස්වීඩන් ව්‍යාපාරික ලාස් ඩිඩින්, සුසානා අර්වින් නිර්මාණය කළ ප‍්‍රතිමාව මිලදී ගෙන වර්බර්ග්හි ඔහුු සතු ‘විලා වෝරිං’ උද්‍යානයේ ස්ථාපනය කර තිබෙනවා. පසුව, ස්වීඩනයේ ඇලින්සාස් නගරයේ ඩැනියෙල්සන්ගේ ක‍්‍රියාව පිළිබිඹු වන දෙවන ප‍්‍රතිමාවක් නිරාවරණය කරනු ලැබුවා.




Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?