සිරුරෙන් ඔබ්බට නිළියක දැකීම
"පයිලට් ප්‍රේම්නාත්’ (චිත‍්‍රපටය) කරද්දි මට සිවාජි ගනේෂන් කිව්වා, මම Expressions (ආංගික අභිනයන්) දෙනවා මදි. වැඩියෙන් Expressions දෙන්න කියලා. ඒකට එයා මට කිව්වා භරත නාට්‍යම් ඉගෙන ගන්න කියලා. මොකද භරත නාට්‍යම්වල ෂාප්ව නර්තන මුහුණෙ Expressions වෙනස් කරනවා. ඒ ගොල්ලා අනුගමනය කරලා තිබුණෙ ඒක තමයි. ඒක ඒ රටේ සාර්ථක වුණාට ලංකාවට ඒක ගැළපෙන්නෙ නෑ. මම භරත නාට්‍යම් විදියට Act (රඟපෑම) කරන්න ගියා නං මම අද නෑ.!”
මෙම ප‍්‍රකාශය, 2002, ‘හිරු’ පුවත්පතේ අප්‍රේල් 15-30 කලාපය සඳහා පසුගියදා අභාවයට පත් මාලිනී ෆොන්සේකා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි.
ඇය රුක්මණී දේවි, අනුලා කරුණාතිලක, පුණ්‍යා හීන්දෙනිය වැනි රංගවේදිනියන් විසින් වර්ධනය කරන ලද ලංකාවේ සිනමා රංග සම්ප‍්‍රදාය වඩා නූතනවාදී රංගවේදයකින් ඔසවා තැබුවාය. සිය රංග කලා දිවියෙහි මුල්කාලීනව හිමි කරගත් වේදිකා නාට්‍ය කලා පෙරහුරුවද සහිතව, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වයෙහිම අපූර්ව චරිත නිර්මාණයන්ගෙන් සිය ප‍්‍රතිභාව පළකර සිටියාය. සිනමාවේ ජනප‍්‍රිය, සම්භාව්‍ය ආකෘති අභිභවමින් සිනමාව, රූපවාහිනිය යන දෙ මාධ්‍යයෙහි කුමන කලා ප‍්‍රවර්ගයක් තුළ වුවද සිය ප‍්‍රතිභාව විදහා පෑවාය. ‘අපේක්ෂා’ චිත‍්‍රපටයෙහි ඉන්ධන පිරවුම්හලේ තරුණ පොම්පකරුවකුට පෙම් කරනා ඉහළ මධ්‍යම පන්තික තරුණිය ලෙසද ‘ස්ත‍්‍රී’ චිත‍්‍රපටයෙහි සිය ගවයා සොරකම්කර මස් කළ මදාවි රැළගෙන් පලිගන්නා ගැහැනිය ලෙසද (මෙය 87-89 සන්නද්ධ අරගලයෙන් පුතුන් අහිමි වූ මාතාවන් පිළිබඳ දෘෂ්ටාන්තයක් බඳුය) පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ලෙසද ඇය කළ රංගනය සදානුස්මරණීයය.
ඇගේ මරණයෙන් පසුව ඇති වූ සමාජ මාධ්‍ය කතිකාව තුළ ඇගේ සහෝදර නිළිය, අනෝජා වීරසිංහ, ‘කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ටික ටික ඇති බවත්, අක්කාට අපහාස නොකරණ ලෙසත්’ පවසා තිබිණි. ඇගේ අවමංගල්‍ය අවස්ථාවේදී මහාචාර්ය සෞම්‍ය ලියනගේ විසින් සිදු කළ දේශනය, ‘ශාස්ත‍්‍රාලය පිළිබඳ වන මුග්ධ භීතිකාවක්’ තුළ ‘අහසෙහි දෝංකාර දෙන දිව්‍යමය කටහඬ’ බවට පත්ව, මාලිනියගේ රංගනය පිළිබඳ අත්‍යවශ්‍ය විචාරශීලී අවධාරණය අවධානයෙන් ගිලිහී ගියේය.
මේ අතර එරික් ඉලයප්ආරච්චි ලේඛකයා නිළියක තැනීම යනුවෙන් තේමා කරගෙන ‘අනිද්දා’ පුවත්පතටද ඉන්පසුව සමාජ මාධ්‍ය වෙතද මුදා හැර තිබුණු ලිපියක සඳහන් කොට තිබුණේ මෙවැන්නකි.
"එහෙයින් මාලිනී ෆොන්සේකා මැතිනියගේ අභාවය අපට හ`ගවන්නේ අප ආර්ථික අතිරික්තය සහ පොදුජන ආශා සංස්කාරය පෝෂණය කළ ඒ ශාපලත් පංගුව අවසාන වූ බව හෙවත් පසුම්බිය හිඳී ඇති බව විය යුතුය. ඒ අතින් බංකොළොත් ආර්ථිකයක් තුළ පොදු ජනතාව වැල නොකැඞී ඇයගේ මෘත දේහය දකින්නට පැමිණීම, ඔවුන්ගේම ආශා ආර්ථිකයේ මෘත දේහය දකින්නට පැමිණීමකි."
එහෙයින් මෙම සන්දර්භයෙහි ස්ථානගත කළ විට, ‘මාලිනී ෆොන්සේකාගේ සිනමාව’ නැරඹීම යනු හුදු සරලමතික විනෝදාස්වාදයකැයි අපි නොසිතමු. එය, ලංකාවේ මුලුමහත් ඓතිහාසිකත්වය හරහා ඇවිද යාමකැයි අප විශ්වාස කරමු. එහෙයින් ‘මාලිනී ෆොන්සේකා’ යන්න සිනමාව, රූපවාහිනිය සහ පොදුවේ සමාජ දේශපාලනය තුළද වඩා ගැඹුරින් අධ්‍යයනයට, හැදෑරීමට ලක් විය යුතු බව අපගේ අදහසයි.
Comments
Post a Comment