‘චේ’ගේ අවසන් පැය කිහිපයෙන් වේදිකා නාට්‍ය කලාව අවසන් නොවනු පිණිස!

 


අර්නස්ටෝ චේ ගෙවොරා ගැන, ඔහුගේ මරණය ගැන බොහෝ දෙනා දන්නා නමුත් ඔහුගේ අවසන් පැය කිහිපයේදී හමු වූ ගුරුවරියක විසින් පසුකාලයක කළ අනාවරණයන් එතරම් අවධානයට ලක්ව නැත.

ලංකාවේදී එම අවසන් පැය කිහිපය සම්බන්ධ නාට්‍යයක්, ‘චේ’ හෙවත් විප්ලවකාරයෙකුගේ අවසන් දවස්’ වේදිකාවට ගෙන එනු ලැබුවේ නාට්‍යකරුවකු වන බුද්ධික දමයන්ත විසිනි. පුවටෝරිකානු ජාතික ජොසේ රිවේරා විසින් ලියන ලද The School of America නමැති නාට්‍ය පිටපත පරිවර්තනය කරනු ලැබුවේ චූලානන්ද සමරනායක විසිනි. ජෝසේ, මෙම නාට්‍ය ලිවීමට පොලඹවනු ලැබුවේ, චේ ගෙවාරා තරුණ කාලයේ ලතින් අමෙරිකාව පුරා කළ චාරිකාව ඇසුරින් පළ වූ The Motorcycle Diaries කෘතිය, එම නමින්ම සිනමාවට නැගීම සඳහා තිරපිටපතක් ලියන්නට කළ සොයා බැලීමකදී ලද තොරතුරකි.

31 හැවිරිදි ගුරුවරියක් මරා දමන්නට පෙර චේ රඳවා සිටි පාසල් කාමරයේදී ඔහු හමුවීම නාට්‍යමය අවස්ථාවක් බව ජෝසේ කල්පනා කරන්නට ඇත. 

අමෙරිකානු CIA ඔත්තු සේවයේ නියෝජිතයකු වූ ෆිලික්ස් රොඞ්රිගුස් හෙවත් ෆිලික්ස් රාමෝස් සෙබළුන් කිහිපදෙනකු සමග පන්ති කාමරයේ මුර යොදා ඇත. එහෙත් ඒ පන්ති කාමරය ගොඩනගා දරුවන්ට උගන්වන්නේ ජූලියා කෝටෙස් නමැති තරුණ ගුරුවරියයි. ඇයට අවශ්‍ය වන්නේ චේ ගෙවාරා නමැති මේ විදේශිකයා තම රටට පැමිණ, ජනතාව පීඩාවට පත් කරමින් පාලනය කරන බැරියන්ටෝස්ට විරුද්ධව සටන් කරමින් බලය අත්පත් කරගැනීමට තරම් අවදානමක් ගත්තේ ඇයිද යන්න දැනගන්නටය. ජූලියා ඇතුළු බොලිවියානු ජනයා කතෝලික ආගම අදහන දෙවියන් හා පක්ෂපාතී පිරිසක් වුවද බැරියන්ටෝස්ගේ ගුවන්විදුලියෙන් කියන ආකාරයට මේ පුද්ගලයා ‘දෙවියන් තුට්ටුවකට මායිම් නොකරන, ස්ත‍්‍රීන් ලිංගික හිංසනයට ලක්කරමින් මිනී මරමින් සිටින දරුණු එකෙකි’. 

කුතුහලයෙන් යුතුව මේ සිරකරුවා හමුවන්නට සූදානම්වන ඇගේ සොහොයුරියගෙන් එල්ල වන්නේ දරුණු අපවාදයකි. තමන් සතු හොඳම ඇඳුමින් සැරසී ඉස්කෝල කාමරයකට යන්නේ එහිදී තමන්ට ගැළපෙන සහකාරයකු හමු වෙතැයි සිතාගෙනදැයි ඇය විමසයි. ආණ්ඩුවේ හිරකාරයකු හමුවට යාමෙන් තමන්ද කැරලිකාරියක් හැටියට හංවඩු ගැසේ යැයිද ඇය සිය සොයුරියට අනතුරු අඟවයි. නමුත් ජූලියා නිවසින් පිටත්ව යන්නේ තමන්ගේ ගමේ සිදුවන්නේ කුමක්දැයි ගැන හරිහැටි දැනගැනීමේ වගකීමක් තමන් සතුව ඇතැයි සිතමිනි. හමුදා සාජන් ෆීලික්ස් කොපමණ දරදඬු ලෙස වැළැක්වූවත් ජූලියා උපක‍්‍රමශීලි ලෙස ඔහු එකඟ කරවා ගෙන චේ හමුවීමට අවස්ථාව උදා කරගනී. 

මේ නාටකීය අවස්ථා, මරදාන එල්ෆින්ස්ටන් රඟහල වේදිකාවේ මැවුණේ මහේන්ද්‍ර වීරරත්න, බුද්ධික දමයන්ත, චලනි කොස්තා, ජීවන්ති පෙරේරා, රුසිරු පැහැසර, අනිඳු ඉමාෂ්  ඇතුළු ශිල්පීන් පිරිසකගේ මැදිහත්වීමෙනි. අමෙරිකානු සහාය ලබන බොලිවියානු භටයන් විසින් චේ ඇතුළු ගරිල්ලන් කණ්ඩායම සටනකින් පරාජය කර ඇත. ඔවුහු තවත් සගයකු සමග චේ අල්ලා සිරගත කර සිටින්නේ සිරකරුවන් සම්බන්ධව බොලිවියා ජනාධිපති බැරියන්ටෝස් නියෝග දෙන තුරුය. සටනේදී තුවාල ලැබ, සෙබළුන්ගේ පහර කෑ චේ සිටින්නේ දුර්වල අඩියකය. කතෝලික ඇදහිල්ල ඇති ජූලියා ඔහු දෙස බලන්නේ දෙවියන්ට විරුද්ධ අදහස් ඇති මිනිසුන්ට වෙඩි තබා මරා දමන කාන්තාවන් අපහරණය කරන විදේශිකයකු ලෙසය. පූර්ව නිගමන සහිතව ඇය ඔහු බොලිවියාවට පැමිණි හේතුවත්, නිකරුණේ මිනිසුන් මරා දමන සටනක් කිරීමට හේතුවත් විමසන්නට පටන් ගනී. ඒ අවසන් හෝරාවේ තමන් ඇද වැටී සිටින අවදානම් තත්වය නොතකා චේ, සිය අරමුණ ජූලියාට නිශ්චිතව පැහැදිලි කරයි. පාසලකට කිසිසේත් නුසුදුසු පන්ති කාමරයක ඇයට උගන්වන්නට සිදුව ඇත්තේ කොතරම් දිළිඳු පසුගාමී පවුල්වලින් එන දරු දැරියන්ටදැයි ඇය ඔහුට මැසිවිලි කියයි. ඇය ඉතාමත් බැරෑරුම් වගකීමක් වෙනුවෙන් වැඩ කරන බව පිළිගනිමින් චේ ඇයට පවසන්නේ පන්ති කාමරයේ ඉගැන්වීමෙන් පමණක් මේ දරුවන් සහ ඔවුන්ගේ පවුල් මේ නරකාදි ජීවිතයෙන් මුදා ගත නොහැකි බවයි. 

ජොසේ රිවේරා විසින් ගොඩනගන ලද නාට්‍යමය ජවණිකා සහ දෙබස් ලාංකීය වේදිකාවේ රංගගත කරද්දී මෙම නාටකීය අවස්ථාව සත්‍ය ලෝකයේදී කොතරම් ඈත අතීතයකදී සිදුවුවත් විප්ලවවාදී අරගලවල නියැලී වධකාගාරවල මරා දැමුවන් ගැන දන්නා ලාංකීය ප්‍රේක්ෂාගාරයට එතරම් ආගන්තුක නැත. එහෙත් එල්ෆින්ස්ටන් රඟහලේ නාට්‍ය දර්ශනයට ප්‍රේක්ෂකයන් 100ක්වත් එක් නොවූ තත්වය ගැන ප‍්‍රශ්නයක් මතු වේ. විප්ලවවාදී අරගලවලින් අත්දැකීම් ලැබූ සමාජයක් මෙන්ම එවැනි අරගලවලින් දේශපාලනය ආරම්භ කර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගණනක් දිනා පිහිටුවන ලද ආණ්ඩුවක් තිබියදී එය එසේ වන්නේ කෙසේද? 

නාට්‍ය පේ‍්‍රක්ෂාගාරය කවදත් තෝරා ගන්නේ කිසියම් විවේකී ජීවිතයක් සහිත කලා රසිකත්වය ප‍්‍රගුණ කරන පිරිසක් විසින් බව අමතක කළ යුතු නැත. එහෙත් ජන සමාජයක ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන්නට නම්, හුදු ආර්ථික ඉලක්ක පමණක් හඹා යන, සමාජ දේශපාලන ක‍්‍රියාවලියක් පමණක් සාර්ථක නොවේ. එහි අනෙක් පැත්ත, ජන සමාජයක් ඇත්ත වශයෙන්ම දේශපාලන හා ආර්ථික වශයෙන් ඉදිරි ගමනක් යන්නට නම්, ඒ සමාජයේ කලා නිර්මාණ විඳිමින් ආධ්‍යාත්මික සංවර්ධනයක් අත්කර ගන්නා පිරිසක් සිටිය යුතුය. 

පැය දෙකක කාලයක් දිවෙන මෙම නාට්‍යයේ චරිත අරා සිටින දේශපාලන ආස්ථානයන් හා ඔවුන් නියෝජනය කරන සමාජ ප‍්‍රතිවිරෝධයන් නාටකීය ජවනිකා ලෙස ප්‍රේක්ෂාගාරය හමුවට පැමිණේ. චේ අල්ලා ගන්නා අවස්ථාවේ ඔහු යෙදී සිටි විප්ලවවාදී අරගලය හා බොලිවියානු සාමාන්‍ය පීඩිත ජනයා අතර පැවති දුරස්තකම හා ප‍්‍රතිවිරෝධය නාට්‍යමය වශයෙන් නිරූපණය වේ. විශේෂයෙන්ම ලාංකීය සමාජයේ 1971 අරගලයේ පැවැති ආකාරයේ ජනයාගෙන් දුරස් ස්වභාවය වෙනත් ආකාරයෙන් බොලිවියානු විප්ලවවාදී අරගලය තුළද පැවති බව ජූලියාගේත් ඇගේ සොයුරියගේත් දෙබස් තුළින් අනාවරණය වේ. ඉඩම් හිමි කියුබානුවකුව සිටියදී ජයග‍්‍රාහී කියුබානු විප්ලවවාදී අරගලයෙන් පසුව පළා ගිය ෆිලික්ස් රාමෝස්ගේ සාජන් භූමිකාව තවත් ආකාරයක ප‍්‍රතිවිරෝධතාවක් වේදිකාව මත නිරූපණය කරයි. එසේම බොලිවියානු රජයේත් එක්සත් ජනපද CIA සංවිධානයේත් මර්දනකාරී ප‍්‍රචණ්ඩ ප‍්‍රතිගාමිත්වය නියෝජනය කරන් ෆීලික්ස්ට එරෙහිව ජූලියා දෙගිඩියාවකින් තොරව කරන හඬ නැගීම වේදිකාව මත ප‍්‍රබලව ඇසෙයි. අවම අවධානයක් ඇති වුවද නාටකීය ලෙස මතුවන ජූලියා, පියාගේ උරුමයක්ව උසුලා සිටින, සිය ජීවිතය තුළින් පිලිබිඹුකරන සංස්කෘතික නවීකාරකත්වය සහ ඇගේ සොයුරිය ජීවිතයෙන් යටපත්කර තිබෙන පසුගාමී සමාජ අගතිය අතර ගැටුම අමතක කළ නොහැකි ලෙස මතු වේ. 

‘චේ’ වේදිකාගත කෙරෙන මේ අවස්ථාව නාට්‍ය කලාවට එතරම් සුබදායක සමයක් නොවේ. නාට්‍යකරුවන් නාට්‍ය නිර්මාණය කිරීමෙන් පමණක් නාට්‍ය කලාව නොපවතී. වේදිකා නාට්‍යය කලාවේ පැවැත්ම තීරණය වන්නේ එක් පැත්තකින් ඒ වෙනුවෙන් කැපවන වෘත්තියමය කලාකරුවන් සිටීමත් එම නාට්‍ය කෘති ජනතාව අතරට ගෙනයන නාට්‍ය සංවිධායක පිරිසක් සිටීමත් එසේම නාට්‍ය නරඹන ප්‍රේක්ෂක සමාජයක් තිබීමත් මතය. මේ වනවිට අගනුවර පමණක් නාට්‍ය සඳහා රංග ශාලා කිහිපයක් ඇති නමුත් පරිවාර නගරවල මෙවැනි වේදිකා නාට්‍යයක් සඳහා සුදුසු ප්‍රේක්ෂාගාර නැති තරම්ය. වේදිකා නාට්‍ය රටපුරා ගෙනයන බවට විවිධ ප‍්‍රචාර ගෙන ගියද ඇත්ත වශයෙන්ම රටපුරා යන්නේ ප්‍රේක්ෂාගාරය කුල්මත් කරවන අන්දමේ ‘විනෝද නාටක’ පමණකි. ඒවාද නැරඹීමට හැකි රංග ශාලා බිහි කරන්නට තරම් ආයෝජනයක් මේ රටේ සිදුවන්නේ නැත. වානිජ අරමුණින් නාට්‍ය පෙන්වන රංග ශාලා පවා පිහිටුවන්නට මෙරට ධනපතියන් අසමත් නම්, රාජ්‍ය අරමුදල් වෙන්කරමින් ඊට මැදිහත් විය යුත්තේ සංස්කෘතික අමාත්‍යංශයයි. එය කවදා සිදුවේද යන්න නාට්‍ය නිෂ්පාදකයන්, නළු නිළියන්, ප්‍රේක්ෂකයන් ඇතුළු වේදිකා නාට්‍ය ප‍්‍රජාවගේ සිහිනයකි. 

2011දී නැවත නවීන ආකාරයෙන් ගොඩනැගීමට යැයි පවසා කඩා බිඳ දැමූ ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීම් තවමත් අවසන්ව නැත. එය විවෘත කරන බවට සංස්කෘතික කටයුතු ඇමතිවරයා පවසා ඇතත් මින් පෙරත් එවැනි ප‍්‍රකාශ නිශ්ඵල වූ තත්වයක් යටතේ එය ඇත්තක් වනතුරු, බුද්ධික දමයන්ත වැනි නාට්‍ය වේදිකාවේ කලාකරුවෝ බලා සිටිති.

මේ සටහන අවසන් කිරීමට සුදුසු වන්නේ එවැනි අපේක්ෂා දල්වමින් ජූලියා කෝටෙස් කළ ප‍්‍රකාශයකිනි. සිය මරණය පෙනි පෙනී පවා බොලිවියානුවන්ගේ ජීවිතයේ විවිධ ප‍්‍රශ්න පමනක් නොව, සිය අරමුණ වෙනුවෙන් අත්හැර දමා ආ දරුවන්, බිරිය හා මනුෂ්‍යත්වය ප්‍රේමය ගැන කතා කළ චේ මරා දමා ඇති බව දැනගැනීමෙන් පසු තරුණ පාසල් ගුරුවරිය මෙසේ කියන්නීය.

"අපි මේ ගමේ ඉස්කෝලෙ හදන්න කලින්, ළමයින්ට ඉගෙන ගන්න, විලාපි⁣යොඩෑට්වලට  හැතැප්ම පහළොවක් පයින් ගාටන්න සිද්ධ වුණා. ඒත් මගෙ තාත්තා හැමෝටම අධ්‍යාපනය ලබාදෙන්න  ඕන කියලා විස්වාස කළා. දුප්පතුන්ට පවා. එයත් ගුරුවරයෙක්. අපේ පැටව් හුඟදෙනෙක්  නූගත්කමේ ගිලිලා ඉන්නෙ, නගරෙ ඉස්කෝලෙට යන්න හැතැප්ම ගානක් එහෙට මෙහෙට පයින් ගාටන්න බැරි කමට කියලා  තාත්තා දැනන් උන්නා. එයාට  ඕන  උන එකම දේ මැරෙන්න කලින් අපේ ගමට ඉස්කෝලයක් හදලා දෙන එක, ඒ හන්දම එයාට මැරෙන්න සිද්ධ උනත්. (ඇය චේ ගේ ලේ තැවරුණ ⁣පාසැල් ගෙබිම ස්පර්ශ කිරීමට දණ ගසයි) 

හෙට උදේම මම කරන්නෙ මේ ලාහිගුරාවෙ ඉන්න  හයි හත්තිය තියෙන ගෑනු මිනිස්සු  කීප දෙනෙක්ව එකතු කර ගන්න එක. ඊට පස්සෙ මේ ගොඩනැගිල්ලෙ බිම හදනවා. ඊළඟට බිත්ති අලුතෙන්  පින්තාරු කරලා, ජනෙල්වල තියෙන දූවිල්ල  හෝදලා දානවා. ඊටත් පස්සෙ අර බැරියොන්ටෝස් ජනපතියගෙ ආණ්ඩුව රේඩියො එකේ උජාරුවට දෙනවා  කියන අලුත් පාසැල් උපකරණ ටිකක් ගෙන්න ගන්නවා. මෙතන බොහොම හොඳ උසස් පාසැලක් ඇති වෙන්නයි යන්නෙ. චේ සර්, මට ඔයාට ඒක සහතික කරලා කියන්න පුළුවන්!"


බුද්ධික දමයන්ත නාට්‍යාවලිය

  1. අධිපතියාගෙ මරණමංචකය  (1994)  
  2. පාදඩයා (1996) 
  3. පළිඟුරෑන (1997) 
  4. දවස තාම ගෙවුන් නෑ ( 1998) 
  5. බංසි මැරිලා නෑ (1999) 
  6. අපේ පංති කාමරය  (2000)
  7. රැකවලා (2001) 
  8. මාස්ටර් හැරල්ඞ් (2002) 
  9. පරණ අයගෙ කතාවක් ( 2004) 
  10. පුතා එනකං (2005) 
  11. පුංචි ආදර බලකිරීමක්(2006) 
  12. වෙස් මුහුණ (2007) 
  13. උතුරු කොනට පටු පාරක් (2008) 
  14. සුරඟනක් ඇවිත් (2009) 
  15. සිංදු කිරිල්ලී` (2011) 
  16. චේ ගුවේරා (2012) 
  17. හෙටක් නැති රටක් (2013) 
  18. තුන් මෝල්ලූ (2014)  
  19. 6457 (2015) 
  20. 3/2 (2016)
  21. හැම්ලට් (2017) 
  22. වෙරෝනිකා ආපසු ඇවිත් (2018) 
  23. The Department (2019) 
  24. ඩෝල්ස් හවුස්- 2 (2022) 
  25. එයයි, සහෝදරයා (2023) 
  26. Dr.කිංගෙ අන්තිම රාත‍්‍රිය (2024)



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

ඝරසරප - ආත්මීය පරාජයෙන් පළා යන්නට සිංහල දෙමළ පේ‍්‍රමයක්!