වැහි පීල්ලක අතරමංව - වංකගිරියක අතරමං වූ සමාජය පෙන්වන කැඩපතක් !
2025 වසරේ ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන පිළිබඳ මේ වනවිටත් ඉතාම බරපතළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ මේ වනවිට වෙනත් සම්මාන උළෙලක සම්මානයක් ලැබූ කෘති සම්මාන විනිශ්චයෙන් ඉවත් කිරීමට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය තීරණය කිරීම නිසා. මීට පෙර ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන සඳහා එවැනි සීමාවක් තිබුණේ නෑ. නිදසුනක් ලෙස 2024 රජත පුස්තක සම්මානය දිනු සමිත බී. අටුවබන්දෑලගේ ‘හිත හදාගත් කෙනෙක්’ ඊට පෙර ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග‍්‍රාහී කෘතිය. 2023 රජත පුස්තක හොඳම යොවුන් නවකතාව සම්මානය ලැබූ කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං’ 2022 ගොඩගේ අත් පිටපත් තරඟයේ හොඳම යොවුන් කෘතිය. 2023 ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණු චමිල් හර්ෂණගේ ‘සිරසාලාවන්‍යා’ කෘතිය ගම්පහ බණ්ඩාරනායක පුස්තකාල සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර වූ කෘතියක්. මෙවැනි උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. නමුත් මේ ලිපියේ අරමුණ පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ අර්බුදකාරී තීරණ ගැන කතා කරන එක නෙවෙයි. අප පසුගිය ‘රළ’ කලාපයේ සාකච්ඡුාවට බඳුන් කළ සමිත බී. අටුවබන්දෑලගේ ‘වනිගසේකර තිත් මුවෙක්’ කෘතිය ඇතුළුව ගයනි ගුරුගේගේ ‘පලායමි, එන්න එලියට’, ශ‍්‍රිලානි ප‍්‍රනාන්දුගේ ‘මම වුයෙමි, මම වෙමි, මම වන්නෙමි’, අජිත් පැරකුම් ජයසිංහගේ ‘සූදුරු අබා’, සුහර්ෂනී ධර්මරත්නගේ ‘මල් මැවූ මිනිසා’ ඇතුළු විදර්ශන ප‍්‍රකාශකයන්ගේ අත්පිටපත් තරඟයේ ජයග‍්‍රාහී කෘති ගණනාවක් සම්මාන විනිශ්චයෙන් ඉවත් කිරීමට සම්මාන උළෙල සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඉවත් කරන කෘති අතර යසස් සමන්ත වීරසිංහ නවක ලේඛකයාගේ ප‍්‍රථම නවකතාව වන ‘වැහි පීල්ලක අතරමංව’ කෘතියත් තිබෙනු දැක ඒ ගැන යමක් නොලියාම බැරි බව අපට හැඟුණා.
ගාල්ලේ ඉපිද, එහි පාසල් අධ්‍යාපනය නිමවා, දැනට දකුණු පළාත් රාජ්‍ය සේවකයෙකු ලෙස, එනම් කළමණාකාර සහායකයෙකු ලෙස සේවය කරන මේ ලේඛකයා සිය පළමු කෘතියෙන්ම සිංහල නවකතාව තුළ මුද්‍රාවක් සනිටුහන් කර තිබෙනවා. ‘වැහි පීල්ලක අතරමංව’ කෘතියේ තේමාව 2022 ආර්ථික අර්බුදය සමයේ ඇතිවූ ඉන්ධන හිඟය නිසා ඇතිවූ ඉන්ධන පෝලිමක්. සේවකයෙකු සිය දිරා යන, ඉතා නුදුරේදී පරණ යකඩවලට විකුණා දැමීමට නියමිත යතුරුපැදිය සමග පෙට‍්‍රල් පෝලිමකට එකතු වෙනවා. ඒ පෝලිම කුරුළු ඇසකින් බැලූවොත් පේනවා ඇත්තේ වැහි පීල්ලක යන කූඹි පෙරහරක් වගේ. අපි ඒ ගැන පොතෙන්ම උපුටා ගමු.
”බයිසිකල් පෝලිම හැදිලා තිබුණේ ප‍්‍රධාන පාරේ නෙවෙයි. ප‍්‍රධාන පාරට ලඹ වුණු කුඩා අතුරු පාරක. ඒ අතුරු පාර හැදිල තිබුණෙ කඳු නැග්මකින් සහ බැස්මකින්. පාරෙ දෙපැත්තෙම තාප්ප. කුරුල්ලෙකුට නම් ඒ පටු පාර පෙනෙනව ඇත්තෙ අහසට කට අරගෙන ඉන්න වැහි පීල්ලක් වගේ.”
මේ වැහි පීල්ලේ අතරමං වූ තවත් ජීවිත ගණනාවක් අතර සිටින දිරා යන ජීවිතයක් සහිත රජයේ සේවකයා සහ දිරා යන බයිසිකලය අපට මාරුවෙන් මාරුවට කතාව කියනවා. මේ නවකතාවේ කථිකයෝ දෙන්නයි. එක්කෙනෙක් රජයේ සේවකයා. අනෙකා යතුරුපැදිය. නමුත් දිරාපත් වන්නේ අපේ ජීවිත සහ යතුරුපැදි පමණක් නෙවෙයි. මුළු රටක්, සමාජයක්, රටක ආර්ථිකයක් සහ දේශපාලනය දිරා යන ආකාරය කෘතියේ ප‍්‍රධාන ආඛ්‍යානය පසුතලයේ අපව කම්පනය කරවමින් තිබෙනවා. කෘතියේ නිර්මාපකයාම කියන ලෙස මේ ඔහුගේ කතාවම නෙවෙයි. ඒ අප කාගේත් කතාව.
”ක‍්‍රිස්තු වර්ෂ දෙදහස් විසිදෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ කෙසේද? මම, ඔබ එම වර්ෂයට ගෙන යමි. ශල්‍යාගාර මේසයක් මත තබා, සැතක් ගෙන මගේ සිරුර මවිසින්ම විච්ෙඡ්දනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි.
සමාවන්න.
එය නරඹන ඔබට ඔබේ සිරුරෙහි අවයවද මගේ සිරුර තුළ තිබී හමුවිය හැකිය.”
(වැහි පීල්ලේ අතරමංව, පසු කවරයේ සටහන)
කෘතියේ මූලික තේමාව ගලා යන්නේ ඉන්ධන පෝලිම ඔස්සේ. 2022දී තෙල් පෝලිම්වලදී මෙන්ම ගෑස් පෝලිම්වලදීත් මිනිසුන් මියගිය ඒ අමිහිරි අත්දැකීම අපට නැවත සිහිපත් වෙනවා. අනෙක් අතට ඒ අර්බුදය නිසා සමාජමය අගතීන් ලොකුවට වෙනස් වුණේ නෑ. අල්ලස් ගැනීම්, වැඩි මිලට තෙල් විකිණීම, පෝලිම් පැනීම, පෝලිමෙන් පිට තෙල් ගැසීමට අල්ලස් ගෙන ඉඩ දීම, පෝලිම් පාලනයට පැමිණි හමුදාවේ සහ පොලීසියේ ජන පීඩක හැසිරීම්, පෝලිමේ එකට පීඩාව විඳින්නන්ගේම අගතීන් ආදී සියල්ල අප ඉදිරියේ දිග හැරෙනවා.
”පොඩි එකාගේ ග‍්‍රාම සේවක සහතිකේ අලූත් කරගන්න ගියාම ග‍්‍රාම සේවක ඉල්ලන්නෙත් තෙල්. ඌට පෙට‍්‍රල් ලීටර් විස්සක් දෙන්න ඕන. ඔෆිස් එකට වැඩක් කරගන්න ගියාම ඒකේ ටයි පොලූ දාගෙන ඉන්න මහත්තැන්ලා ඉල්ලන්නෙත් තෙල්..... මිනිස්සුන්ට, සල්ලිවලට වඩා වටින්නේ තෙල්.”
”ඒ අස්සෙ බයිසිකල් වල අංක ලියලා බෝඞ් කෑලි ගැට ගහපු, ලී කෑලි, දර කෑලි, උළු කැට, ගල් කැට, කැඩුණු ප්ලාස්ටික් පුටු පාරෙ තැනින් තැන. පොල් අත්තක් තිබුණා බයිසිකල් දහයක විතර අංක ලියපු බෝඞ් කෑලි ගැට ගහපු. හැම ගේට්ටුවක්ම ඇතුළේ ගෙවල් අයිතිකාරයන්ගේ බුක්තියෙන් එළියට එන බයිසිකල් පොකුරු. යකෝ මුන් නේද සිස්ටම් චේන්ජ් කරන්න කිය කිය අරගල කරන්නෙ කියලා හිතෙද්දි මටත් නොදැනිම හීල්ලෙනව.”
නමුත් ඒ මැදම සමාජ දේශපාලන ක‍්‍රියාකාරීත්වය ඉහල යනවා. දේශපාලන උනන්දුව වැඩි වෙනවා. හැම කෙනාම තමන් මුහුණ දෙන ප‍්‍රශ්න වල හේතුව දේශපාලනය කියලා තේරුම් ගන්නවා. ඒ සඳහා තෙල් පෝලිම් වල ගොඩ නැගුණු, මාස කිහිපයකින් අභාවයට ගිය පෝලිම් ආශ‍්‍රිත උප සංස්කෘතිය සරු පසක් සපයනවා. අර්බුදය මධ්‍යයේම සාමූහිකත්වය ගොඩනැගෙනවා.
”මේ වගේ පෝලිම් වල ගැන්සි ගොඩයි. එක ළඟ නතර කරල තියෙන බයිසිකල් වල ඉන්න අය එකතු වෙලා හැදෙන තාවකාලික කණ්ඩායම්. මීට කලින් දැකපු අය, නොදැකපු අය, දැකල කතා කරපු අය, ඔය වගේ අයගෙන් තමා මේ කණ්ඩායම් හැදුනෙ. සාර්ථක කණ්ඩායමක් නම් හැන්දෑ වෙද්දි ගල් අරක්කු බෝතලයකට දෙකකට සල්ලිත් එකතු වෙනවා. කණ්ඩායමක් හදාගෙනම පෝලිමට ආපු අයත් හිටියා. ඒ අයගෙ කණ්ඩායම් හැඟීම තාවකාලික කණ්ඩායම් වලට වඩා ගොඩක් වැඩියි.
ඔය වගේ කණ්ඩායම් එකතු වෙලා හැදෙන සංවාද මණ්ඩපම මහ ගොඩක්. තව ඉතින් පුරවැසි සභා, කොමිෂන් සභා වගේ ඒවත් පාර පුරාම.
මොන සංවාදෙ තිබුණත් ඒවයෙ ප‍්‍රධානම මාතෘකාව උනේ තෙල්.
ඊළඟට ගෝඨා ගෝ ගම.
රට පුරාම දියත් වෙලා තිබුණු අරගලය.
බඩු නැති එක ගැන.
තියන බඩු වලත් අහස උසට ගිය මිල.
කෘෂිකර්මාන්තයට කෙලවෙලා ගිය එක ගැන.
මෙහෙම ගියොත් දරුවන්ගෙ අනාගතයට මොකද වෙන්නෙ කියන එක ගැන.”
ඉතාම ඉක්මනින් තුරන්ව ගිය තෙල් පෝලිම් ආශ‍්‍රිත උප සංස්කෘතිය කේවල මිනිසා මෙන්ම අප ජීවත් වන සමකාලීන සමාජයේ දේශපාලන ජීවියාද වටහා ගැනීමට හොඳ මූල බීජයක් බව අපට වැටහෙන්නේ යසස්ගේ මේ නවකතාවෙන්. පොදුවේ මිනිස් විෂයයේ ඇති ධනේෂ්වර අගතීන් මෙන්ම එයින් මිදීමේ විප්ලවීය අභිලාෂයන් අතර ඇති ප‍්‍රතිවිරෝධය, ඒ ප‍්‍රතිවිරෝධය තුලනය කරන සහ හසුරුවන භෞතික සමාජමය සාධක ගැන පුළුල් කතිකාවක් සඳහා අපට මෙම කෘතිය උපයෝගී කර ගන්න පුළුවන්. අනෙක් අතට සමාජයක් සිස්ටම් චේන්ජ් එකකට ප‍්‍රවේශ වන්නේ සහ එහි අවශ්‍යතාව තේරුම් ගන්නේ පූර්වයෙන් ඒ සිස්ටම් එකෙන් කැඩිලා නෙවෙයි. ඒ කැඞීම සිදු වෙන්නේ අරගල ක‍්‍රියාකාරීත්වය ඇතුලේ. නිදහස් අධ්‍යාපනය නිසා දැනුමක් සහ සහතිකයක් අත්පත් කරගත්, රජයේ රැුකියාවක් ලැබීම නිසා සාපේක්ෂව සුරක්ෂිත බව සිතා සිටින, ඒත් සමාජ - ආර්ථික - දේශපාලන දේහයේ කුඩා කම්පනයකින් පවා වෙවුලූම් කන, පැරණි ආසියාතික ඇගයුම් රටා වල වගේම නව ලිබරල් දෘෂ්ටිවාදයේත් ගොදුරක්ව පීඩාවට පත් වෙන, ලංකාවේ පහල පාන්තිකයාගේ දිරාපත් ජීවිතය මේ නවකතාව අපේ මුහුණ ඉදිරියටම ගෙන එනවා. අපට මේ රජයේ සේවකයා ගැන ඇති වන්නේ අනුකම්පාවක්. ඒ වුණත් ලේඛකයා අපට ඒ චරිතයට ඕනෑවට වඩා සමීප වෙන්න, එයට සමවදින්න හෝ අනුකම්පා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඊළඟ පරිච්ඡේදයේදී යතුරුපැදිය ඇවිත් ‘බොසා’ ගේ සියලූ දුර්ගුණාංග අපට කියනවා. දෝෂාරෝපණය කරනවා. සිය හිමිකරුවාට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම බැන වදිමින් අප ජීවත් වන පසුගාමී ධනේෂ්වර සමාජයේ යතාර්ථය අපට සමීප කරවනවා. මේ සාහිත්‍ය උපක‍්‍රමය එක්තරා ආකාරයකින් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණ රීතියටත් සමාන්තරයි. කෘතියේ පසු පිටුවේ කියන ලෙසම ලේඛකයා අපේම ජීවිත සහ අපේ සමකාලීන සමාජය අප ඉදිරියේ නිරුවත් කර විච්ෙඡ්දනය කරනවා.
මේ අර්බුදයෙන් මිදීමේ හුදෙකලා මාර්ගයක් අපට නෑ. අපට පාර වැටී තිබෙන්නේ මේ සියලූ අගතීන් සහිත මිනිසුන් සමග එක් වීමකින්. සාමූහික ක‍්‍රියාකාරීත්වයකින්. මේ නවකතාවේ වීරයෙකුත් නොවන, දුෂ්ටයෙකුත් නොවන, ඇත්තටම අප වගේම වන රජයේ සේවකයාගේ අවබෝධයකින් මේ ලිපිය අවසන් කරමු.
‘වැහි පීල්ලක අතරමංව’ කෘතිය සාහිත්‍ය සම්මාන නාමලේඛන වලින් හැලී තිබෙන නිසා සම්මානිත පොත් අතරේ ඔබට මෙය හමු වෙන්නේ නැති වෙයි. ඒත් මේ නවකතාව කියවන්න. ඒක නව කතාවක්ම නෙවෙයි, අපේ සමාජයේ සහ අපේ ජීවිත කතාව.
”මට ඕන උනේ හීන නොපෙනෙන නින්දක්.
ඒ නින්දට පස්සෙ ආයෙත් නැවුම්ව ඇහැරෙන්න.
ජීවිතේ ඉතිරි දුර කාලයත් එක්කම දුවන්න.
මගේ දරුවො පිම්මෙ දුවවන්න.
දරුවන්ගෙ දරුවො අහසෙ පියාඹවන්න.
ඒකට මං ඇහැරෙන්න ඕන. නැවුම්ව නව ජවයකින් පිබිදෙන්න ඕන. දෙකට තුනට නැමෙන්නෙ නැතුව මේ ගල් මිනිස්සු එක්ක ඒකාත්මික වෙලා, උන් එක්ක එකටම උන් යන ගමනම යන්න පුළුවන් ගලක් වෙන්න ඕන. දියවෙන්න ඕන වෙන තැන්වලදි උන් එක්කම දියවෙන්න පුළුවන් වෙන්න ඕන. මැටි ගොඩක් වගේ උන් එක්කම එකට ඇනිලා, එකට පදම් වෙලා, එකට හැමිණිලා හැදෙන බලි රූපයක් වෙන්න ඕන. එතකොට ආයෙත් මේ වගේ තෙල් ගහගන්න තෙල් පෝලිම්වල තපින්න ඕන වෙන්නෙ නැහැ.”
Comments
Post a Comment