Song Zone - ගං ගං ගං

 



පද - සංගීතය - ගායනය - සුනිල් ශාන්ත

ජනාධිපතිවරණ, මැතිවරණ වගේ විශාල, විශාල දේශපාලන භාවිත ඉවර වෙලා රට ආපසු පරණ තත්ත්වයට ම පත් වුණාට පස්සෙ ඔන්න ආපහු අපිත් ඒ පරණ විදියට ම ‘රළ’  ීදබට ’දබැ එක ලියන්න පටන් ගත්තා.

මේ පාර අපි අරගෙන ආවෙ මේ රටේ බිහි වෙච්ච පළමු වෙනි පොප් ආර්ටිස්ට් කියලා කියන්න පුළුවන් සුනිල් ශාන්ත ගායනා කරන වැඩි දෙනෙක් අහලා නැති සුදුර්ලභ ගීතයක්. මේ සින්දුව ළමා ගීතයක් විදියට හඳුන්වනවට වඩා හොඳ ළඳරු(Nursery) ගීතයක් විදියට හඳුන්වන එක. ‘ළමයින්’ සහ ‘ළදරුවන්‍’ කියන වචන සිංහල භාෂාවේ සමාන පද විදියට භාවිත කරන්න පුළුවන් වුණාට අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ඒවා සමාන වෙන්නෙ නෑ.

මේක වඩා හොඳින් තේරුම් ගන්න අපට ‘ළදරුවා’ වෙනුවට ‘මුල් ළමා විය’ කියන හැඳින්වීම යොදා ගන්න පුළුවන්. ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව අවුරුදු 18ට අඩු මානවකයන් ‘ළමයින්’ ලෙස හඳුන්වන්න පුළුවන්. හැබැයි ඒ නිර්ණායකයන්ට අනුව ම ‘මුල් ළමා විය’ කියන්නෙ අවුරුදු 8ට අඩු ළමයින්ට. ලංකාවෙ නම් මේ අවධිය ලෙස සලකන්නෙ අවුරුදු 5ට අඩු වයස් මට්ටම.

සාමාන්‍යයෙන් ඕනෑ ම පුද්ගලයෙකුගේ බුද්ධි වර්ධනයෙන් 80%ක් සිද්ද වෙන්න මේ කියන මුල් ළමා වියේ දී. බුද්ධි සංවර්ධනය කියලා කියන්නෙ මේ කාලය ඇතුළත ලැබෙන ආනුභූතික අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සෛල උත්තේජනය හරහා සිදු වන සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නෙ අනාගත වැඩිහිටියා මොන වගේ කෙනෙක් වෙනවද, කියලා තීරණය කෙරෙන පදනම් වයස ඒක. “දරුවා යනු මිනිසාගේ පියා වේ” කියන කියමන බටහිර සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන්නෙ මේ නිසා.

ඒ නිසා මේ වගේ තීරණාත්ම මානව ප්‍රජාවක් වෙනුවෙන් නිර්මාණ කරන්න ඕන ලෝකෙ ඉන්න විශිෂ්ටතම සාහිත්‍ය - කලාකරුවන් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ලංකාවෙ සුනිල් ශාන්ත කියන්න ඇත්තට ම ලෝක මට්ටමේ එබඳු කලාකරුවෙක්. ඒක පැහැදිලි කෙරෙන තවත් උදාහරණයක් තමයි මේ සින්දුව.

මේ සින්දුවෙ දි අනුප්‍රාසාත්මක යෙදුම් රැසක් අහන්න සලස්වමින් සුනිල් දරුවන්ට පරිසරය, භාෂාව, සංඛ්‍යා, සංගීතය, ශරීරය ගැන සුවිශාල දැනුමක් ලබා දෙනවා. විශේෂයෙන් ම ඉංග්‍රීසි වචන යි සිංහල වචන යි මිශ්‍ර කර ගනිමින් දරුවන්ට ඒවායේ අර්ථය කියා දීමට තරම් ඔහු මෙහි දී අනාගතවාදී වෙලා තියෙනවා. ඒ අතර දරුවන්ට තවමත් නොතේරෙන ඇතැම් දේශපාලන ව්‍යංගයනුත් තියෙනවා. සමහර විට ඒ යෙදුම් අතර තියෙන ඒ ධ්වනිතාර්ථ සුනිලු‍ත් අපේක්ෂා කළ ඒවා නොවෙන්න පුළුවන්


කිං කිං - කිං කිං කිං කිං

රජුට නමකි කිං කිං

යං යං - යං යං යං යං

තරුණ තරුණ යං යං


සන් සන් - සන් සන් සන් සන්

පුතුට කියයි සන් සන්

සන් සන් - සන් සන් සන් සන්

හිරුට කියයි සන් සන්


විංග් විංග් - විංග් විංග් විංග් විංග්

පියාපතට විංග් විංග්

වින් වින් - වින් වින් වින් වින්

දිනුම් දිනුම් වින් වින්


හැබැයි මේ සින්දුව කරලා තියෙන්නෙ දේශපාලනය ගැන වැඩියෙනුත් එක්ක හිතන අපි වගේ අයට නෙවෙයි. ඒ කොහොම වෙතත් මේ සින්දුවෙ තියෙන බරපතළ ම දේශපාලනය තමයි ජාතිවාදී නොවීම. හෙළ හවුලේ සාමාජිකයෙකු වුණත් සුනිල් ශාන්ත භාෂාවාදියෙකු නොවූ බව මේ සින්දුවෙන් අපට තේරෙනවා. සමහර ගෝලයන්ට නොතේරුණාට කුමාරතුංගත් එහෙම කෙනෙක්.

ඒ එක්ක ම මේ සින්දුව වෙනුවෙන් සුනිල් ශාන්ත යොදා ගෙන තියෙන සංගීතයත් හාර්මනි එක ගැනත් කියන එක අත්‍යවශ්‍ය යි කියලා අපි හිතනවා. බොහෝ දුරට මේ සින්දුව පටිගත වෙන්නට ඇත්තේ 1960 - 70 දශකවල ඉතා ම අඩු තාක්ෂණික පහසුකම් යටතේ වුණත් ඔහු මේ සින්දුවට භාවිත කරලා තියෙන හාර්මනි එක පුදුමසහගත විධිමත් සහ පැහැදිලිතාවයකින් යුක්ත යි. ගායනය අතර තුරේ දී කටහඬට ඉඩදෙමින් වාදනය පවත්වාගෙන යන ආකාරය ඉතා ම පරිස්සම්.

මේ පත්තරේ කියවන වාමාංශිකයෙකු වුණත් වෙන මොන වර්ගයේ ‘ශිකයෙකු’ වුණත් මේ සින්දුව යූටියුබයෙන් සොයා ගෙන අනෙක් අයටත් අහන්න සලස්වන්න. අර උඩින් කියපු වයස් මට්ටමේ දරුවන් ඉන්නව නම් අනිවාර්යයෙන් ම කරන්න. දන්නෙ ම නැතුව ටික වෙලාවකින් ඒ දරුවන් වගේ ම ඔබත් මේ සින්දුවෙ එන වචන සහ තාලය අනුකරණය කරන්න පටන් ගනීවී. ඒ කියන්නෙ මේ ලෝකයට ආදරය කරන්න පටන් ගනීවි.



ගං ගං ගං ගං ගං ගං

ගරිස ගරිස ගං ගං

රිං රිං රිංරිං රිංරිං

සරිග ගරිස රි රිං


ගං ගං ගං ගං ගං ගං

ගඟට නමෙකි ගං ගං 

රිං රිං රිං රිං රිං රිං 

සීනු හඬයි රිං රිං


ඩං ඩුං ඩංඩං ඩං ඩුං

දවුල හඬයි ඩං ඩුං

ටිං ටිං ටිං ටිං ටිං ටිං

ලේන හඬයි ටිං ටිං


රුං රුං රුං රුං රුං රුං 

බිඟු‍න් නදයි රුං රුං

රුං රුං රුං රුං රුං රුං

කුරුමිනි නද රුං රුං


රන් රන් රන් රන් රන් රන් 

රනට නමකි රන් රන් 

රන් රන් රන් රන් රන් රන් 

දුවමු දුවමු රන් රන්


කිං කිං කිං කිං කිං කිං

රජුට නමෙකි කිං කිං

යං යං යං යං යං යං

තරුණ තරුණ යං යං


ටං ටං ටං ටං ටං ටං

දිවට නමකි ටං ටං

ටං ටං ටං ටං ටං ටං

බසට නමකි ටං ටං


සන් සන් සන් සන් සන් සන්

පුතුට කියයි සන් සන්

සන් සන් සන් සන් සන් සන්

හිරුට කියයි සන් සන්


සිං සිං සිං සිං සිං සිං

ගයනු ගයනු සිං සිං

පින් පින් පින් පින්පින් පින්

කටුව කටුව පින් පින්


වන් වන් වන් වන් වන් වන්

එකයි එකයි වන් වන්

ලං ලං ලං ලං ලං ලං

පෙනහලු‍ නම ලං ලං


විංග් විංග් විංග් විංග් විංග් විංග්

පියාපතට වින් වින්

වින් වින් වින් වින් වින් වින්

දිනුම් දිනුම් වින් වින්

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?