'තම්රු' - ජේසුගේ රෝස කුසුම - අහවර නොවූ ඉතිහාසය

 


"ඉතිහාසය ලියන කතන්දරවලට අයිතිකාරයන් ඉන්නවා. ඒ හැම කතාවක් පසුපසම ඒ අයිතිකාරයන්ගේ සැඟවුණු උවමනාවන් හා න්‍යායපත්‍රයන් තියෙනවා. සුන්දර වචනවලට යටින් ඒ උවමනාව සැඟවිලා තියෙනවා. ”‍ 

(තම්රු - ජේසුගේ රෝස කුසුම, 19 පිටුව)

එහෙත් එම උවමනාවට පිටින් ඉතිහාස කතා යළි කියැවීමට හැකියාවක් පවතී. ඒ අනුව, එක් කණ්ඩායමක උවමනාව විසින් වසන් කළ ඉතිහාසය හෙළිදරව් කරගැනීමෙන්ම ඉතිහාසය යළි අර්ථකථනය කළ හැකිය. ඇත්තෙන්ම ඉතිහාසය යනුම මෙසේ අර්ථකතනය කිරීමට, එකී අර්ථකථනය මත පදනම්ව ව්‍යවහාරයේ යෙදීමට තරම් විවෘත ක්ෂේත්‍රයකි. ඒ අනුව, ඉතිහාසය යනු සිදුවී අවසන් වූවක් නොව, තවමත් සිදුවෙමින් පවතින, විවෘතව පවතින ක්‍රියාවලියකි. මෙසේ සිදුවී අවසන් යැයි, පරිපූර්ණ යැයි සම්මත කොට ඇති ඉතිහාසයේ, අසම්පූර්ණ පැල්මවල් හරහා ඉතිහාසය නොනවතින විප්ලවීයකරණ ක්‍රියාවලියකට විවෘත කළ හැක. ඒ සඳහා ගත් බරපතළ කලාත්මක ප්‍රවේශයක් ලෙස චන්දිම කාරියවසම්ගේ ‘තම්රු-ජේසුගේ රෝස කුසුම‘ නවකතාව සැළකිය හැකිය. 

වර්තමාන ක්‍රිස්තියානි සාහිත්‍යයේද අනෙක් සෑම ආගමික සාහිත්‍යයක් ලෙසම, නිශ්චිත බල අධිකාරයක් විසින් සම්මත, ඊට වෙනස් වූ කතිකාවන් සහිත බොහෝ ලේඛන බැහැර කොට ගොඩනංවන ලද පරිපූර්ණ සමස්ථිිතියකි. මෙසේ බැහැර කරන ලද සාහිත්‍යය, ප්‍රබන්ධ වේශයෙන් වරින්වර ලෝක සාහිත්‍ය කලාව තුළ කතිකාවට පැමිණීම සුලභ කාරණයක් වුවද සිංහල භාෂාවෙන් ඒ සඳහා දරණ ලද උත්සාහයන් ඇත්තේ අවම වශයෙනි. ‘තම්රු‘ ඒ සඳහා දරණ ලද විශිෂ්ට කලාත්මක, ඥානමය උත්සාහයකි. 

කෘතිය ඇරඹෙන්නේ මධ්‍යධරණි මුහුද ආශ්‍රයේ වන එදෙස්සා නගරයේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ සමකාලීන සමාජ ජීවිතයේ ස්ත්‍රියකට නොලැබෙන දියුණු සංස්කෘතික විඥානයක් සහ සමාජ පැවැත්මක් ගතකරන ‘සාරා‘ නම් තරුණියක හා ‘තම්රු‘ නම් මැදිවිය ඉක්මවීමට ආසන්න පිරිමියකු වටාය.

“ මම පුංචි කාලෙ තම්රු මගෙ අතින් අල්ලගෙන මේ පාරවල් දිගේ ඇවිදිනවා. බොහෝ රාත්‍රීන්වල ග්‍රීකයන්ගෙ නාට්‍ය බලන්න ඔහු මාව රඟහලට ගෙන ගියා.... ග්‍රීක වෙළෙඳුන්ට කියලා දාර්ශනික ලියැවිලි ගෙන්නා ගෙන අපි ඒ ලියවිලි එකතු කරලා කුඩා එකතුවක් හැදුවා”‍

(10 පිටුව)

සාරා වෙනුවෙන් සකස් කළ තම්රුගේ සුසංගත අනාගත සැලසුම තර්ජනයට ලක් වනුයේ නගරයට පැමිණෙන නාසරත්හි ජේසුගේ අනුගාමිකයකුගෙනි. 

“දවස් දෙකකට කලින් නගරයට දේශණාකරුවෙක් ආවා. නසරතයේ යේශුවාගේ අනුගාමිකයෙක්.”‍

“‍කාගෙද?”‍ තම්රු තිගැස්සුණේය. 

(13 පිටුව)

අනතුරුව, තම්රු විසින් සාරා අත තබන පැපිරස් පත් කිහිපයකින් කතුවරයා පරිපූර්ණ ක්‍රිස්තු ලබ්ධියේ අපරිපූර්ණ පැල්මක් පිළිබඳ කතිකාවක් ගොඩ නගයි. ඒ හරහා ක්‍රිස්තු ලබ්ධියේ පමණක් නොව, සමස්ත ආගමික ලබ්ධීන්ගේම පරිපූර්ණ සමස්ථිතිය වෙනුවෙන් මර්දනයට ලක් කළ මානුෂික දාර්ශනික සාරය පිළිබඳ සංවාදයක් අවුලවයි. 

මෙහිදී කතුවරයා විසින් ගෙන එනු ලබන මග්දලාවේ මාරියා සහ ජේසුස්ගේ ප්‍රේමය පිළිබඳ ප්‍රබන්ධය ලෝක සාහිත්‍යයට එතරම් ආගන්තුක කතිකාවක් නොවන මුත්, එය ලංකාවේ සිංහල භාෂීය නවකතාවට අලු‍ත් මානයකි. වඩා වැදගත් වනුයේ කතුවරයා තමාගේ ප්‍රවාදය සුප්‍රකට කතුවරුන්ගේ අප්‍රකට තොරතුරු මතුකිරීමෙන්, හොඳින් විකිණිය හැකි ජනප්‍රිය වර්ගයේ සාහිත්‍ය කෘතියක් ගොඩනගනවා වෙනුවට, දර්ශනවාදය සමාජ ව්‍යවහාරයෙන් විතැන්ව රාජ්‍ය දෘෂ්ටිවාදයක් හා මර්දන උපකරණයක් බවට රූපාන්තරණය වීම සිය නවකතාවට පාදක කරගැනීමයි. ඒ අනුව, පුරාණ බයිබල් සාහිත්‍යයේ එන ගලීලයේ ජේසුස්, මග්දලාවේ මරියා, ජුදාස් සහ පේදුරු යන චරිත අධිපති ආගමික කතිකාවෙන් බැහැරව සිතියම් ගත කරමින්, මානව විමුක්ති අභිලාෂයන් කැටි වූ දර්ශනයක් මර්දනකාරී ආගමික ආයතනයක් දක්වා රූපාන්තරණය වීමේ ඉතිහාසය සටහන් කරයි.

සාරා විසින් එතෙක් නොහඳුනන ඇගේ මව වූ, ජේසුගේ ආදරවන්තිය වූ මග්දලාවේ මරියා තම දියණිය වෙත එවන ලියුමක ස්වරූපයෙන් එතැන් සිට ඉදිරියට ඇදෙන නවකතාව, ශුද්ධ වූ බයිබලයේ ජේසුගේ ජීවිතය පිළිබද ශුභාරංචි හතරටම පරිබාහිරව ඉතිහාසය කියැවීමට පාඨකයා පොලඹවයි. නවකතාවේ වැදගත්ම මානය වනුයේ නවකතාකරුවා ගොඩනංවන ප්‍රබන්ධය විසින් ‘බයිබලයේ ශුභාරංචි‘ හතරද ප්‍රබන්ධයන් නොවන්නේද යන ප්‍රශ්නය පාඨක මනස තුළ ගොඩනැංවීමයි. ක්‍රිස්තියානි, බෞද්ධ, හෝ හින්දු වේවා සියලු‍ ඓතිහාසික දැනුම් පද්ධති විසංයෝජනීයව කියවා ගැනීමට පාඨකයා පෙලඹවීමයි. ඒ අනුව, කෘතිය තුළ එන ජුදා ආගමෙහි බල අධිකාරය, හුදු එක් ආගමික බල අධිකාරියක් පිළිබඳ කතිකාවක් නොව, නැගෙනහිර යුරෝපයේ ‘කොමියුනිස්ට්‘ බලාධිකරය, පිළිබඳවද, වර්තමාන සමාජයේ මර්දක උපකරණ පිළිබඳවමද කියවා ගැනීමට අප පොලඹවාලයි. මෙකී බලාධිකාරයන්ගේ සදාචාරාත්මක වැහැරීම බයිබල් සාහිත්‍යයේ ශුභාරංචි සිදුවීම් සමග මෙන්ම සමකාලීන ලාංකීය සමාජ දේශපාලනය සමග ද ගලපාලමින් ඉදිරිපත් කරන ආකාරය නිර්මාණාත්මකව අතිශය පොහොසත්ය. යාඥා කරනු පිණිස දේවස්ථානයට ඇතුළුවන මරියා, පූජකවරුන් අතින් සමූහ දූෂණයට ලක්වීම, ජේසු පාවාදීමෙන් පසු ඊට ලැබිය යුතු, එහෙත් පසුව ජුදාස් විසින් ප්‍රතික්ෂේප කළ රිදී කාසි 30 ප්‍රධාන පූජකයා විසින් මග්දලාවේ මරියා සමග යහන්ගත වීමේ ගාස්තුව වශයෙන් පිරිනැමීම ආදිය මෙවන් අති සූක්ෂම නිර්මාණාත්මක මැදිහත්වීම්ය. 

බයිබල් සාහිත්‍යයට අනුව, ‘ජේසු පාවාදීමෙන් ජුදාස් ඉටුකරනු ලැබුවේ ශුද්ධ වූ ලියැවිලි සත්‍යාපනය කිරීමක් පමණකි’ යන දෘෂ්ටිවාදී ප්‍රවේශය වෙනුවට විප්ලවී‍යකරණ දේශපාලනය නම් ක්‍රියාවේ විධි ස්වරූපය සංකල්පගත කිරීමේ උත්සාහයක් කතුවරයා ඒ හරහා දරයි. 

“ ඒ පාවාදීමත් සැලැස්මේම කොටසක්. නමුත් ඒ බරපතළ වගකීම ගන්න කවුරුත් හිටියෙ නෑ. ජුදාස් අමාරුම කොටස තෝරා ගත්තා. ඉතිහසයේ බරපතළම වැරදිකාරයා බවට පත් වෙන, නම පවා ශාපයක් ලෙස සලකන්න නියමිත ඒ දුෂ්ට පාවාදීම කරන්න පුලු‍වන් විශ්වාසවන්තයා ජුදාස්ම විතරමයි.”‍

(93 පිටුව)

කතාව අවසානයේ අපට හෙළිවනුයේ යේසුස් සහ මග්දලාවේ මරියාගේ දියණිය වූ සාරාට විශිෂ්ට බුද්ධිමය හා සංස්කෘතිකමය දායාදයක් ලබා දෙමින් පීතෘ රැකවරණයක් ලබා දුන් තැනැත්තා අනෙකකු නොව ජුදාස්ම බවයි. මග්දලාවේ මාරියා සිය දියණිය, සාරාට එවන ලියුම අවසානයේ එය හෙළිකරනු ලබයි. 

“තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් තමන්ගේ මුලු‍ ජීවිතයම ඉතිහාසයෙන් මකා දමපු, අකාලික මිත්‍රයා, විශ්වාසය රකින්න සියල්ල කැප කළ සදාකාලික සහෝදරයා; මානව විමුක්තිය වෙනුවෙන් තමන්ගේ හදවතට විරුද්ධව බරපතළම තීරණය ගන්න හිත එකඟ කරගත් මනුස්සයා; පොදු මිනිස් යහපත වෙනුවෙන් ජීවිතයෙන් මිල ගෙවූ සහෝදරයා, මානව ඉතිහාසයේ තමන්ගේ කොටස අඩුවක් නොකර සම්පූර්ණ කරපු ද්‍රෝහියා, මා ඉදිරියේ නිරුපද්‍රිතව මේ ලියුමේ අවසන් අකුරත් ලියලා ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා.”‍

(96 පිටුව)

ඉපැරණි යුදාවේ වරින්වර පැන නැගුණු දේශපාලන කැරලි සමකාලීන ලංකා ඉතිහාසයේ 71 අරගලය, ඊළාම් අරගලය, 89 අරගලය සහ ගෝල්ෆේස් අරගලය ආදි සකලවිධ අරගලවල සාරය කැටිකර දැක්වීමක් මෙන්ම කෘතිය සමකාලීනත්වය තුළ තබා සලකා බැලීමටත් සමකාලීනත්වය කෘතිය තුළ තබා සලකා බැලීමටත් පාඨකයා පොලඹවාලයි. 

“ අරගල කරන්නෙ තමන් ගත කරමින් ඉන්න ජීවිතයට වැඩිය නිදහස් නිවහල් ජීවිතයක් ගැන හීන මවන, අදහසක් තියෙන, මේ දුක් විඳින මිනිස්සු ගැන ප්‍රේමයෙන් පපුව ඇවිළෙන, ප්‍රේමයෙන් පිරුණු මිනිස්සු විතරයි. එහෙම කරන්න පුළුවන් තරමට මිනිස් හදවත් විශාල කරගන්න එක ලේසියෙන් කරන්න බැහැ. ඒකට අනෙක් මිනිස්සුන්ගෙ ඇස්වල තියෙන කඳුළු දකින්න පුළුවන් වෙන්න ඕනෙ. ”‍

(31 පිටුව)

කෙසේ  වුවද කෘතියේ රැඩිකල්ම මානය නම්, වීරයා සහ ද්‍රෝහියා පිළිබඳ අපගේම ඔලු‍වල පවා ආකෘතිගතව ඇති සංකල්ප රූප, උඩුයටිකුරු කරන සිතීමකට අප පොලඹවාලීමට කෘතිය දක්වන සාහිත්‍යමය හා දේශපාලන පොහොසත්භාවයයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?