වනිගසෙකර තිත්මුවෙක් - "සියවසක අස්වැන්නේ සාරඵල,"

 


සමිත බී අටුවබන්දෑලගේ දෙවන කෙටිකතා සංග්‍රහය අප අතට පත්වුයේ ‘විදර්ශන ප්‍රකාශන’ ආයතනයේ සාහිත්‍ය අත්පිටපත් ව්‍යාපෘතියට ස්තුතිවන්ත වන්නටය. සමිත අප අතර ප්‍රචලිතව සිටියේ කවියෙකු ලෙසිනි. පෞද්ගලිකව  ලියුම්කරු සමිත ගැන දැන ගත්තේ ඔහුගේ ‘තොරණේ බුදුරුව’ කවිය ගැන කළ විචාරාත්මක කතාබහක් හේතුවෙනි. මතක විදියට ඒ ලාල් හෑගොඩ කවියා ආධුනික කවි කිවිඳියන් වෙනුවෙන් කළ ‘කවි සියපත’ කාව්‍ය සංග්‍රහ ව්‍යාපෘතියේ එක පියවරකදී විය යුතුය. කෙසේවෙතත් ඉන් අනතුරුව ඔහුගේ කවි ගණනාවකට රසිකයා ආකර්ෂණය විය. එතනිනුත් වසර ගණනාවකට පසුව ඔහුගේ ‘සංසාර මාවත’ කවි පොත ඇස ගැටිණි. මේ සියල්ල සිදුවී දශක දෙකක්වත් වන්නට ඇත. සමිත ගැන පසු කාලයක අහම්බෙන් සිහිපත්වූයේ මේ ලියුම්කරුගේ මිතුරෙකුගේ ප්‍රකාශනයක් ලෙසින් ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය වන ‘හතරවන ජයසිංහ’ එළිදැක්වුණු අවස්ථාවේදීය. සමිත කවියෙකු පමණක් නොව දක්ෂ කෙටිකතාකරුවෙකු බව පසක් වුයේ එහි ඉතාම විශිෂ්ඨ කෙටිකතා කියවීමෙන් අනතුරුවය. එම කෙටිකතා පොත අද අප සතුව නැතත්, එම කෙටිකතා කියවා වසර ගණනක් ගියත් එහි එන පොල්ලකින් ගසා කකුලක් කඩා දමා අනතුරුව නගර සභාවේ බලු‍වෑන් එකට අල්ලා ගන්නා බල්ලාගේ කතාව (එහි නම මතක නැත) තවමත් සිතේ හොල්මන් කරයි. සමිත දෙවන කෙටිකතා පොතකුත් කර ඇති බව දැනගත් විට එය ඉක්මනින් කියවීමේ ආශාවක් ඉපදුණේ සමිතගේ නිර්මාණ සමග සම්බන්ධ මේ පෞද්ගලික ඉතිහාසය හේතුවෙනි. 

සමිතගේ මේ නවතම කෙටිකතා සංග්‍රහය නම් කර ඇත්තේ ‘වනිගසේකර තිත් මුවෙක්’ නමිනි.  ‘වනිගසේකර තිත් මුවෙක්’ කෙටිකතා දහයකින් යුක්තය. කෙටිකතාව යනු ජීවිතය පිළිබඳ සමීප චිත්‍රයක් බව දයාසේන ගුණසිංහ සිය ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ කෙටිකතා සංග්‍රහයේ පෙරවදනේ ලියා තිබේ. සමිතගේ කෙටිකතා අපේ සමකාලීන ජීවිතය පිළිබඳ ඉතාම සමීප චිත්‍රයක් අප හමුවේ දිග හරියි. ඒවා දයාසේන ගුණසිංහ පවසන ආකාරයටම නවකතාව වැනි මාධ්‍යයක නිරූපණය කරන දුරස්ථ රූපයට හසුනොවන ඉතාම සූක්ෂම ලක්ෂණ අපේ ඇසට හසු කරවයි. නමුත් පොදුවේ පිළිගෙන තිබුණේ නවකතාව දුරස්ත රූපය හසුකර ගන්නා විට ඒ චරිත සහ සිදුවීම් පසුබිමේ පවතින දැවැන්ත සමාජමය පසුතලය ග්‍රහණය කර ගන්නා අතර කෙටිකතාවේ සමීප රූපයට පුද්ගල ආත්මීයත්වය පසුතලයේ පවතින සමාජභාවය සහ සමාජමය චලනයන් ග්‍රහණය වන්නේ අඩුවෙන් බවය. එහෙත් සමිතගේ කෙටිකතා ඉතාම සංක්ෂිප්තව සිය කෙටිකතා තුළින් එහි සැරිසරන චරිතවල පෞද්ගලික අනුභූතීන් චිත්‍රණය කරන විට එම චරිත හසුරුවන අදෘශ්‍යමාන සමාජ චලනයන් රසිකයාට ග්‍රහණය වෙයි. එය ඉතාම අසිරිමත් අත්දැකීමකි. 

අනෙක එම කෙටිකතාවල ආකෘතියේ ඇති නැවුම් සහ නිර්මාණාත්මක බවයි. පසුගිය කාලයේ සිංහල කෙටිකතා කලාව විවිධ ආකෘතික අත්හදාබැලීම් වලින් පෝෂණය විය. එය ඉතාම සාධනීය වුවත් එහි ප්‍රශ්නය වුයේ ආකෘතික හරඹ සහ වචන වලින් කරන ක්‍රීඩා පිළිබඳව ලේඛකයාගේ අවධානය යොමුවන විට කෙටිකතාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය මුළුමනින්ම අවධානයෙන් ගිලිහීමයි. එනිසාම එම කෙටිකතා ‘කියන්නේ කුමක්දැයි නොදැන කියන ආකාරය ගැන සිතන’ වර්ගයේ නීරස ලියවිලි බවට පත්විය. සමිත නව ආකෘතික අත්හදා බැලීම් ගණනාවක් කරන අතරම සිට නිර්මාණවල අන්තර්ගතය සහ එහි සමාජමය පසුතලය ගැන උනන්දුව නොනසා පවත්වාගෙන යයි. එය ‘වනිගසේකර තිත් මුවෙක්’ කෙටිකතා පොතේ එන ඇට්ලස්, අලි කතාවක්, පූසාගේ නම එඩ්වඩ්, මීයා, 1989දීය වැනි කෙටිකතා ගණනාවක් සාක්ෂි දරන අදහසකි. එම කෙටිකතාවලින් උපුටා ගන්නා මේ උපුටන දෙස බලන්න. ඒවා සමිතගේ භාෂා භාවිතය සහ සමාජ දෘෂ්ටිය එකට වෙලී අන්තර් සම්බන්ධිතව ඇති ආකාරය පිළිබඳ නිදසුනකි. 

“මැරිලා තියෙන්නේ කරාටේකාරයාම තමයි. 

මිනිහා මුළු හන්දියම අල්ල උඩ තියාගෙන හිටියේ මහපොළොව උස්සගෙන ඉන්න ඇට්ලස් වගේ. අනික මිනිහගේ නමත් ඇට්ලස්ම තමයි. 

මිනිහගෙන් පාරක් නොකාපු චණ්ඩියෙක් හන්දියේ හිටියේ නෑ. 

පෙර කාලෙක හොර තුවක්කුවක් තිබුණු සිරිසේනගේ ඉස්සරහා දත් දෙක ගැලෙව්වේ ඇට්ලස්. 

හමුදාවෙන් පැනලා හිටිය පංකජගේ පෙති ගැලවෙන්ට දුන්නේ - එනම් අතක් කදෙන්ටම දුන්නේ ඇට්ල්ස්. 

සුබ්‍රමානියම්ගේ බැනියම ඉරලා බෙල්ල වටේ ඔතලා හන්දිය වටේ හත් පාරක් කැරකුවේ ඇට්ලස්. 

නානාට හන්දියට නේන්ටම වැඩේ කළේ ඇට්ලස්. 

නිල්මිණීගේ අතින් ඇද්ද පුද්ගලයාව මළමිනියක් වගේම කළෙත් ඇට්ලස්. 

එහෙව් ඇට්ලස් තමයි ඕං මැරිල තියෙන්නේ.”

ඒ උපුටා ගැනීම කෙටිකතා සංග්‍රහයේ එන ‘ඇට්ලස්’ කෙටිකතාවෙන්. මේ පහත උපුටනය ‘1989 දීය. (මෙය සත්‍ය කතාවකි)’ කෙටිකතාවෙනි. 

“විල්මනාගේ කොල්ලො දෙන්නට විතරක් නෙවේ, කෙල්ලටත් එහෙම වුණා. මොනවදෝ කව්වලා තිබුණා. දවසක් ගඟේ පාවී පාවී ඇවිත් විල්මනාගේ ඔරුවේ හැප්පුනේ කෙහෙල් කඳක් නෙවේ, විල්මනාගේම කෙල්ල. 

විල්මනාගේ සිදුර, කළු කුහරයක් වගේ වෙලා පපුවම පුපුරා ගියා, එක කුසින් ඉපදුණ තමන්ගේම සහෝදරයෙකු බඳු මහවැලි ගඟ මැදදීම. එදා රෑ විල්මනාට බනින්න විල්මනාගේ බිරිඳ ආවේ නෑ. ඒ, විල්මනා නිදාගෙන හිටියේ තාවකාලිකව නොවන නිසා.......

....... අයිසේ බලනවා මේ මාළුවාගේ පපුවේ බෙලි සා සිදුරක්. එකත් එකටම ඌ මාළු තාත්තෙක් වෙන්න ඇති, ඌ දැලට අහුවෙච්ච තමන්ගේ දරුවන් බේරගන්ඩ ඇති......”

මේ උපුටන දෙක ‘රළ’ පාඨකයාට ඉදිරිපත් කළේ ලංකාවේ ජනතාවගේ පෞද්ගලික අනුභූතීන් මෙන්ම දැවැන්ත සමාජ සංසිද්ධීන්ද සමිතගේ අකුරු ඉදිරියේ නැවුම් ආකෘතියකින්, ඒවා අතර අන්තර් සම්බන්ධය ග්‍රහණය කරවමින්, පාඨකයා තමන් ගැනත්, සමාජය ගැනත්, ස්වභාවික ලෝකය ගැනත්, ඒ සියල්ල තුළ තමන්වම ස්ථානගත වී ඇති තැන ගැනත් ඥානනය කරන ආකාරය ගැන ඉඟියක් දීමටය. අත්පිටපත් තරඟය සහ නිර්දේශිත නිර්මාණ මුද්‍රණයෙන් එළිදක්වන ‘විදර්ශන ව්‍යාපෘතිය’ නොතිබිණි නම් අප අතට පත් නොවන්නට පවා ඉඩ තිබුණු මේ අගනා නිර්මාණ පාඨකයා අතට පත් කිරීම සම්බන්ධයෙන් විදර්ශන ප්‍රකාශන පැසසුමට ලක්වන අතරම සමිත බී. අටුවබන්දෑල නම් එතරම් අවධානයට ලක් නොවූ කෙටිකතාකරුවා සිංහල භාෂීය කෙටිකතාව තුළ පුපුරවා ඇති බෝම්බය රසික අවධානයට ලක්විය යුතුය. 

‘වනිගසේකර තිත් මුවෙක්’ කියවන ලෙස ‘රළ’ පාඨකයාට යෝජනා කරන්නේ පළමු සිංහල කෙටිකතා සංග්‍රහය වන මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගැහැනියක්’ කෙටිකතා පොත නිකුත් වී සියවසකට පසුව නිකුත්වන මේ සමකාලීන කෙටිකතා සංග්‍රහය ලංකාවේ කෙටිකතා කලාවේ සිදුව ඇති වර්ධනයන් පිළිබඳ අගනා නිදර්ශනයක් වන හෙයිනි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?