දුයිෂෙන් අජිත් සහ අශෝක

 





ඉතාමත් මෑත කාලයේ වාර්තා වූ පුවත් අතර මේ පුවත් තුන ගැන අවධානය යොමු කරමු. 

මේ ආකාරයට වාර්තා වූ සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ මේවා එකිනෙකට පරස්පර බව. ඒවා අතර අන්තර් සම්බන්ධයක් නැති බව. නමුත් ඉතා සියුම්ව බලන විට මේ පුවත් තුන ඇසුරින් කළ හැකි දේශපාලන කතාබහක් තියෙනවා. 

තමන්ට ලැබුණු සම්මාන ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කිරීමේදී අජිත් තිලකසේන සාහිත්‍යවේදියා කල්පනා කරන්නට ඇත්තේ සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් ඔහුට ඇති ප්‍රවීණත්වය සහ ඔහු එම ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය හමුවේ සහතිකයක් එතරම් වැදගත් නැති බව වෙන්නට පුළුවන්. යම් විෂයයක් පිළිබඳව පවතින ප්‍රාමාණික අවබෝධයක්, යම් දැනුමක් හෝ කුසලතාවයක් ප්‍රයෝජ්‍ය වටිනාකමකින් යුක්තයි. එය සමාජයේ නිෂ්පාදන ජීවිතය, සේවාවන් සහ සමාජ අධ්‍යාත්මික ජීවිතය පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය දෙයක් නිසා. නමුත් විභාග සහතිකයක් හෝ උපාධි සහතිකයක් යනු හුවමාරු වටිනාකමක ප්‍රකාශනයක්. එය භාවිතා කෙරෙන්නේ සිය ශ්‍රම ශක්තිය වෙනුවෙන් උපරිම මිලක් ලබා ගැනීමේ අභිප්‍රායෙන්. ධනේශ්වර සමාජයේ දේශපාලන ආර්ථික පදනම තුළ හැමවිටම පාහේ හුවමාරු වටිනාකම අධිනිශ්චය වෙනවා. අධ්‍යාපනයට, දැනුමට, කුසලතාවයට සහ විෂය නිපුණතාවයන්ට අදාළවත් එහි වෙනසක් නැහැ. යම් විෂයක් පිළිබඳ ඈති අවබෝධයන්ට සහ ප්‍රායෝගික අත්දැකීමට වඩා කෙනෙකුගේ නමට මුලින් සහ අගින් එකතු කරන විවිධ අධ්‍යාපන සුදුසුකම් නාමපුවරුවලට සමාජයේ ඉහළ වටිනාකමක් ලැබෙන්නේ මේ නිසා. තමන්ට ඇත්තටම යම් විෂයක් පිළිබඳව ප්‍රවීණතාවක් තිබෙනවාද යන්නට වඩා සහතික අධිනිශ්චය වෙන්නේ ඒ නිසා. සාහිත්‍ය විෂය පිළිබඳ ප්‍රවීණයකු වන අජිත් තිලකසේන තමන්ට ලැබෙන ගෞරව නාම, සහතික ප්‍රතික්ෂේප කිරීම පසුපස තියෙන්නෙත්, කතානායක අසෝක රන්වලට තමන්ට ආචාර්ය උපාධියක් තිබෙන බව කීම හරහා සමාජ වටිනාකමක් අත්පත් කරගැනීමට සිතෙන්නෙත් ඒ නිසා.

‘ගුරුගීතය’ කතාවේ වීරයා, හෝඩියේ අකුරු ඔක්කොම දන්නේ නැති වුණත්, දන්නා ප්‍රමාණයෙන් කිර්ගීසියාවේ ‘කුර්කුරේඋව’ කියන දුෂ්කර කඳුකර එඬේර ගමට අධ්‍යාපනය රැගෙන යන දුයිෂෙන් මිස මහාචාර්යවරියක් වූ අල්තීනායි නෙවෙයි. විප්ලවවාදී බුද්ධිමතෙකු ලෙස සහ ගුරුවරයෙකු ලෙස කෘතිය බුහුමනට පාත්‍ර වන්නේ ඇගේ මහාචාර්ය පට්ටම හෝ උපාධි නෙවෙයි, දුයිෂෙන්ගේ ධෛර්යය සහ සමාජය වෙනුවෙන් කරන කැපකිරීම. ඒ වගේම ඔහුගේ නිර්ව්‍යාජ මනුෂ්‍ය සබඳතා. “අපි උපන්නේ ගොගොල්ගේ හිම කබායෙන්”‍ කියලා රුසියානු සාහිත්‍යධරයන් සහ විප්ලවවාදීන් කියන්නට පුරුදුව සිටියා. ඒ කියන්නේ නිකොලොයි ගොගොල් ලියු ‘හිම කබාය’ නම් කෙටි කතාව ගැන. 

ලංකාවේ ගොඩක් සමාජවාදීන්ට “අපි උපන්නේ අයිත්මාතොව්ගේ ගුරුගීතයෙන්”‍ කියා කියන්නට පුළුවන් බව කීම අතිශයෝක්තියක් නෙවෙයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරවල, අද පාලන බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ පවා විප්ලවවාදී අධ්‍යාත්මය ගොඩනැගුනේ දුයිෂෙන් වැනි පරමාදර්ශ ඔස්සේ. උපාධි නාම සහිත අයට වඩා දේශපාලනය සහ සමාජ වගකීම වෙනුවෙන් උපාධිය අත්හළ අයට වැඩි වටිනාකමක් ලැබෙන සමාජ ඇගයුම් පද්ධතියක් නිර්මාණය වන්නේ ඒ අනුව. අජිත් තිලකසේන වැන්නන් තමන්ට ලැබෙන උපාධි ප්‍රතික්ෂේප කිරීම තුළ සංකේතවත් වන්නේත් ඒ විකල්ප ඇගයුම් පද්ධතිය. පවතින ක්‍රමය වෙනස් කිරීමට නම් එහි ආර්ථික-දේශපාලන සැකැස්ම වගේම සමාජ ආකල්ප, ඇගයුම් පද්ධති ආදියේත් විප්ලවීය වෙනසක් අත්‍යවශ්‍යයි. 

ජාතික ජන බලවේගය, මධ්‍යම පන්තියේ කොටස් සතුටු කිරීමට හා ඒ මගින් එකඟතා උපයා ගැනීමට ධනේශ්වර ඇගයුම් පද්ධති උත්කර්ෂයට නැංවීම, උගතුන් පාර්ලිමේන්තුවට යැවීම වැනි උපක්‍රම භාවිත කළා. ප්‍රධාන ප්‍රශ්නයෙන් සමාජය අවමංගත කරමින් පැමිණි ඒ ගමනේ අවසානය, සියල්ල ඔවුන්ටම පාරා වළල්ලක් වීම. ඒ නිසා සමාජවාදය වැළඳගෙන සිටින, එය අත් නොහරින කාටත් ‘ගුරුගීතය’ නැවත පරිශීලනය කිරීමට සහ සමකාලීන සිදුවීම් දෙස විචාරාත්මකව බැලීමට ‘රළ’හි අපි යෝජනා කරනවා.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?