Alien- Romulus: ජීවිතය සොයා පළායන්නවුන්ගේ කතාව



ලාභය පරමත්වයට ඔසවා තබන ලද සමාජයක් එනයින්ම විලෝපික සමාජයක් බවට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැකිය. මෙම විලෝපික සමාජයේ ‘දියුණුව’, ‘සාර්ථකත්වය’ අනෙකා ගොදුරු කර ගැනීම තුළ ගොනු වී ඇත. එවැනි සමාජයක සංවාද කරන සදාචාරය, ආදරය වැනි සියලු‍ දේ හුදු නාමික අලංකරණ පමණක් වන අතර එම සියල්ලෙහි මිලක් සඳහන්ව ඇත. එබැවින් මෙවැනි සමාජයක අනිවාර්යයෙන්ම ගොදුරු බවට පත්වන බහුතරයක් සිටිති. කෙසේ නමුත් වසඟය, රැවටීම තුළ එම ගොදුර බවට පත්වන්නන් පවා තමන්ව ගොදුරු කරගන්නා සමාජයේ ආරක්ෂකයන් බවට පත්කරගනිමින් මෙම සමාජය සිය පැවැත්ම තහවුරු කර ගනී. දුර ඈතක තිබෙන සිහිනයක් නිරන්තරයෙන් අප හමුවේ තබන අතර එම සිහිනය පසුපස අප දිවයාම තුළම මෙම ක්‍රමය පැවැත්ම තහවුරු කරගනී. මෙය අභිබවා යාමට නම් මෙම සිහිනයෙන් අවදි විය යුතුය. නමුත් ඉන්පසු අභිමුඛ වන යාථාර්ථයද පහසු සුමට වූවක් නොවේ.

Alien යනු ලෝක සිනමා වංශකතාවේ සුවිශේෂී කඩඉමක් බවට පත්වූ චිත්‍රපට කතා මාලාවකි. 1979 දී ආරම්භවන මෙම චිත්‍රපට මාලාව එවකට පැවති තාක්ෂණික සීමාවන් තුළ ලබාගත් අද්විතීය ජයග්‍රහණයකි. Weyland-Yutani  නම් දැවැන්ත සමාගමට අයත් අභ්‍යවකාශ යානයක ගවේෂණ කණ්ඩායමකට ආගන්තුක ග්‍රහලොවක සිටි සුවිශේෂී ජීවී ප්‍රභේදයක් හමුවීමත් සමග මෙම චිත්‍රපට මාලාව ඇරඹෙයි. ඕනෑම පාරිසරික තත්වයකට හැඩගැසිය හැකි අති දරුණු විලෝපිකයන් වන මෙම ජීවීන් අදාළ සමාගම දකින්නේ විශාල ලාභයක් ඉපැයිය හැකි සම්පතක් ලෙසයි. පණ බේරාගැනීම පිණිස එම විලෝපික ජීවීන් සමග ගැටෙන අදාළ ගවේශකයන් දකින්නේ මෙම ජීවීන් මිනිස් වාසයක් වෙත මුදා හැරුනහොත් ඉන් සිදුවිය හැකි විනාශය පිළිබඳවත් මෙම ජීවීන්ගෙන් සිය ජීවිත බේරාගෙන පැනයාමත් යන කාරණය පමණි.

මෙම චිත්‍රපට මාලාව මූලික චිත්‍රපට තුනකින් සහ පසුකාලීනව සැකසුණු ප්‍රධාන කතාමාලාවට සමගාමී චිත්‍රපට ගණනාවකින්ද සමන්විතය. සමාගමේ ලාභ අරමුණුත් සමාගම වෙනුවෙන් අදාළ ක්ෂේත්‍රයේ රාජකාරි සිදුකරන නිළධාරීන්ගේ  ජීවිතාපේක්ෂාවත් අතර ඇති ගැටීම මෙම කතා මාලාව පුරා දැකගත හැකි අතර එහි නවතම චිත්‍රපටය ලෙස මෙම වසරේ නිකුත් වූ Alien- Romulus මගින් නොදන්නා මනඃකල්පිත අනාගතයක සමාගමක් මුලු‍ ලෝකවාසීන්ගේම පැවැත්ම සිය ලාභය වෙනුවෙන් යොදාගන්නා ආකාරය මැනවින් නිරූපණය කරයි. 

එය Weyland-Yutani සමාගම සතු දැවැන්ත පතලක් ලෙස කැණීම් කටයුතු සඳහා භාවිතා වන අඳුරු ග්‍රහලොවකි. ග්‍රහලොව වටා ඇති ඝණ වායු ස්ථරයක් නිසා හිරු එළිය පොළවට නොවැටෙයි. Rain ගේ ජීවිතයේ පරම සිහිනය වන්නේ හිරු එළිය විදීමයි. Yvaga නම් ග්‍රහලොවෙහි සිටින අයට හිරු එළිය මැනවින් විඳීමට හැකි බවත් එහි ඉහළ ජීවන මට්ටමක් ඇති බවත් සැමගේ විශ්වාසය වන අතර Rain සහ ඇයගේ මිතුරන් ඇතුලු‍ මෙම පතල් ග්‍රහලොව සියලු‍ තරුණයන්ගේ සිහිනය ශඩ්ට්ග මෙහිදී අපට නිතැතින්ම සිහිවන්නේ යුරෝපියානු හෝ දකුණු කොරියානු සිහින තුළ ගිලී සිටින අපේ යාථාර්ථයයි. 

පතල තුළ නිශ්චිත සේවා පැය ගණනක් සම්පූර්ණ කළ විට Yvaga වෙත යාමට අවස්ථාව උදාවෙයි. Rain සිය නියමිත සේවා පැය ගණන සම්පූර්ණ කොට අදාළ අවසරය ලබාගැනීමට ගිය අවස්ථාවේ දැනගැනීමට ලැබෙන්නේ සම්පූර්ණ කළ යුතු සේවා පැය ගණන ඉහළ නංවා ඇති බවකි. ඒ අනුව ඇයට තවත් වසර හයක් පමණ පතල තුළ සේවය කළ යුතුව ඇත. තවදුරටත්, චිත්‍රපට කතාව තුළ හෙළිවන්නේ ඇයගේ දෙමාපියන්ද මේ ලෙස සිහින දකිමින් සිට අවසන පතල තුළම මියගොස් ඇති බවය. සාමාන්‍යයෙන් නිසි පරිදි වීසා අයදුම් කොට ප්‍රතික්ෂේප වූ විට මීළගට අපේ රටේ තරුණයන් යොමුවන්නේ බෝට්ටුවෙන් හෝ ඉතාලියට, ඔස්ට්‍රේලියාවට පැනගැනීමයි. ඒ සඳහා ඕනෑම අවදානමක් ඔවුන් විසින් දරනු ලබයි. ඒ සඳහා අපට බෝට්ටුවක් සොයා ගැනීම සේ ම මෙම චිත්‍රපටයේ Rain ඇතුලු‍ පිරිසට ඇති ගැටලු‍ව වන්නේ ශඩ්ට් යාමට දීර්ඝ කාලයක් ගතවෙන බැවින් එම කාලය ‘හිමායන නින්ද’ට (වයස්ගතවීම වළක්වන දීර්ඝකාලීන නින්ද) පත්වීමට අවශ්‍ය පහසුකමයි.

Weyland-Yutani සමාගමට අයත් අතහැර දමා ඇති යානයක මෙම උපකරණ ඇති බව දැන ගන්නා මොවුන් අදාළ යානයට අනවසරයෙන් ඇතුලු‍වෙයි. කෙසේ නමුත් එය මින් පෙර චිත්‍රපටවල හමුවූ ජීවීන් පිළිබඳ පරීක්ෂණ කිරීමට සැකසූ රහසිගත පරීක්ෂණාගාරයකි. අදාළ පරීක්ෂණ කටයුතු අතර සිදුවූ වැරදීමකින් නිදහස් වන එම ජීවියෙකු නිසා සමස්ථ පරීක්ෂණාගාර කාර්ය මණ්ඩලයම ඝාතනයට ලක් වී ඇති අතර මෙම තරුණයන් පිරිස අදාළ යානයට ඇතුල්වීමත් සමග සැබෑ කතාව ආරම්භ වෙයි.

චිත්‍රපටය තුළ මෙම තරුණයන්ට හමුවෙන, සමාගමේ අභිලාශය නිරූපණය කරන කෘත්‍රිම බුද්ධිය තම කාර්ය මණ්ඩලයේ ජීවිත හෝ මෙම තරුණයන්ගේ ජීවිත හෝ නොතකමින් අදාළ පරීක්ෂණ වාර්තා ආරක්ෂා කිරීම වෙතම ප්‍රමුඛතාව ලබා දෙයි. මෙහි මුල් චිත්‍රපටය අවසානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරි එකම තැනැත්තිය වන Ellen Ripley එම ජීවියා විනාශ කිරීමට සිය යානය ස්වයං විනාශය වෙත යොමුකරයි. දෙවන චිත්‍රපටය ආරම්භයේ ඇය එලෙස යානය ස්වයං විනාශයට යොමුකිරීම පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන අතර සිය සගයන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොකර අදාළ යානය අහිමිවීමෙන් සිදුවූ මුල්‍ය පාඩුව ගැන පමණක් අවධානය යොමු කිරීම පිළිබඳ ඇය දිගින් දිගට සමාගමේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සිදුවෙයි. අවසන ඇගේ අභ්‍යවකාශ බලපත්‍රය අත්හිටුවනු ලබයි.

පිටසක්වල අද්භූත ජීවීන් පිළිබඳ මෙම අභිරහස් වර්ගයේ චිත්‍රපට යටිපෙළ තුළ දිවෙන Weyland-Yutani නම් සමාගමක ලාභය වෙනුවෙන් සමස්ත මානව වර්ගයාම භාවිතා කරන ආකාරය පිළිබඳ ප්‍රබන්ධය මිලියන ගණන් මිය යන වසංගතයන් තුළ පවා බෙහෙත්/එන්නත්වලින් සිය ලාභය උපයන ධනවාදය තුළ අපි සැබෑ ලෙස අත්විඳිමින් සිටිමු.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?