Song Zone - 'අක්කලාගෙ වෙන්න"



පද - හර්ෂණ කේ. පෙරේරා 

සංගීතය - ඊවෝ බීට්ස් 

ගායනය - මංජුලා සෙව්වන්දි

ලංකාවෙ කැම්පස්වල උපසංස්කෘතික භාෂාවෙන් කියනවා නම්  ‘ලැම්බට් වීම’ ගැන සින්දුවක්. සාමාන්‍යයෙන් ලංකාවෙ ඇහෙන සින්දුවල කතා නොකරන විෂයක්. ඒ වුණාට ප්‍රේම, විවාහ සම්බන්ධතාවලට අදාළව ඕන ම සමාජයක දකින්න තියෙන කැටගරියක්. හැබැයි ඉතිං ලංකාවෙ නම් පොෂ් වගේ පෙන්නන්න හදන නාගරික පහළ මැද පන්තිය පවා ඇඹරෙන මාතෘකාවක්. 

ප්‍රේමයට අදාළව ‘වයස’ කියන සාධකය එතරම් වැදගත් සාධකයක් විදියට ලෝකයා දකින්නෙ නැති වුණාට සරාගී ප්‍රේම සබඳතාවල දී පිරිමියා, ගැහැනියට වඩා වයසින් වැඩි වෙන්න ඕන කියන පීතෘමූලික අදහස, සෑහෙන දිගු ඉතිහාසයක් තිස්සේ ගොඩනැගෙන්නක්. මනුෂ්‍යයාගේ උත්පත්තිය ගැන කියන බයිබල් විස්තරය මේකට හොඳ ම සාක්ෂියක්. 

බයිබලේට අනුව දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සිරුරේ හැඩයට සමාන වන විදියට ‘ආදම්’ බිහි කරලා, ඊට පස්සෙ ආදම්ගෙ ඉලඇටයකින් තමයි ‘ඒව’ නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ ලෝකෙ හමු වෙන පළමු කපල් එක ගත්තත් පිරිමියා ගැහැනියට වඩා වැඩිමල් කියන එක. දෙවියන් වහන්සේවත් සම්බන්ධ කරගෙන මේ හදපු ප්‍රවාදයට සෑහෙන තරමේ සමාජ බලයක් යුරෝපය තුළ පවා ලැබුණා. ඉතිං බමුණු මතවාද අධිනිශ්චය වෙච්ච ආසියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 

මේ සින්දුවෙ දි අපට හම්බ වෙන්නෙ මේ සම්මතයන්ට ‘බම්බු ගහගන්න’ කියලා වයසින් බාල කොල්ලෙක් කැන්දගෙන ආව කෙල්ලක්. සින්දුව ගායනා වෙන්නෙ ඒ කෙල්ල කියන විදියට එයාගෙ දෘෂ්ටි කෝණයෙන්. තමන් මල්ලියෙකුට ප්‍රේමයෙන් බැඳී සිටින බව එයා නොවළහා කියනවා. ඒකෙ ලස්සන තියෙන්නෙ ඒ බව කියන්න ලෝකෙ නැති උපමා, රූපක හොය හොය ව්‍යංගයෙන් ඒක කියන්න එයා තටමන්නෙ නැති එක. 

“ඒ රූපෙට මන් ආස වුණත් බාල වුණා”‍ 

“මේ ඇස් දිහා බලන්න

මගෙ ආදරේ දැනෙන්න

බොරු නම් එපා කරන්න

කොල්ලො මෙන්න මෙහෙට එන්න”‍ 


“හිතට දැනුණු තැනක රැඳිලා ආදරේ කරන්න

මොකද සැකද බයද මල්ලි අක්කලාගෙ වෙන්න”‍ 

ඒ විතරක් නෙවෙයි ගායිකාවගෙ කටහඬ මෙතන දි ඉෂ්ඨ කරන භූමිකාවත් සෑහෙන වැදගත් කියලා අපට තේරෙනවා. ඒ කටහඬේ තියෙනවා කිසියම් සමාජ සම්මතයන් නොඉවසන සුළු අධිපති බවක්. උඩ දක්වලා තියෙන වචන යි මේ කටහඬ යි ඇහෙනකොට සුරේනි ද මෙල් ලියලා එයා ම ගායනා කරපු “ආදරේ නම් එන්න මා වෙත චාටු බස් නොකියන්න”‍ සින්දුව මතක් වෙනවා. 

මේ සින්දුවෙ තියෙන දේශපාලනය තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ වචනවල යි කටහඬෙ යි තියෙන ස්ත්‍රී ආධිපත්‍යය හඳුනා ගැනීම මත. ප්‍රේමය, විවාහය ගැන තියෙන පුරුෂෝත්තමවාදී මතවාද තඹ සතේකට මායිම් නොකරන ගතියක් ඒ කටහඬේ තියෙනවා. ඊටත් වඩා වැදගත් වෙන්නෙ එයාගෙ ප්‍රේමයට ලක් වෙලා තියෙන කොලු‍ ගැටයා මේ අක්කා ඉදිරියෙ ඇද වැටිලා තියෙන තත්ත්වය. 

සම්පූර්ණයෙන් ම කොල්ලා තමන්ට ඕන විදියට මෙහෙයවන භූමිකාවක් තමයි මේ අක්කා නිරූපණය කරන්නෙ. එයා ඉස්සරහ මේ කොලු‍ පුංචා අසරණ වෙලා අක්‍රීය වෙලා ඉන්නෙ. කොල්ලට තීරණය කරන්න කිසිදෙයක් ඉතුරු වෙලා නෑ. සියලු‍ තීරණ මේ අක්කා අරගෙන ඉවර යි. මල්ලිට තියෙන්නෙ අක්කට ඕන විදියට හැසිරෙමින් එයාගෙ හුරුබුහුටි කොල්ලා වෙලා ඉන්න. 

“මට බාල වුණත් කොල්ලට මගෙ වෙන්න වුණා”‍ 

“බොරු නම් එපා කරන්න

කොල්ලො මෙන්න මෙහෙට එන්න”‍ 

“පරම පුරුදු ගති ම දැනුණු ආදරේ දැනෙන්න

හරි ම හුරු ම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න”‍ 

මේ තැන්වල තියෙන අධිපති බව ඉදිරියේ එක පැත්තකින් අපට පේන දෙයක් තමයි මේ මොහොතෙ පිරිමි භූමිකාවේ දකින්න ලැබෙන නිස්සාරත්වය. ස්ත්‍රී භූමිකාව ලොකු අක්කෙකුගේ තත්ත්වයට පත් වෙමින් පිරිමි, අහිංසක මල්ලි කෙනෙකුගේ තත්ත්වයට ඇද වැටෙමින් තියෙන හැටි අද දවසේ අපට දකින්න ලැබෙනවා. විශේෂයෙන් ම දෛනික ජීවිතයේ තීන්දු තීරණ ගැනීමේ බලය මේ වෙනකොට පිරිමින් අතින් වේගයෙන්  ගිලිහෙමින් තියෙනවා. 

හැබැයි මේ සින්දුවෙ අවසාන කොටස්වලට යනකොට ගායිකාවගේ කටහඬේ ආධිපත්‍යය, චචන ඉදිරියේ දියවෙලා යනවා. අවසන් කොටස්වල දි, අර කොලු‍ ගැටයා තමන්ට ඕන විදියට මෙහෙයවපු අක්කා වෙනුවට අර පිරිමි නැතුව හීන දකින්න බැරි සාම්ප්‍රදායික ස්ත්‍රී ආත්මය ඉස්සරහට එනවා. පිරිමි ගෙදර එනකං නිදා ගන්න බැරි, නින්ද යන්නෙ නැති නහයෙන් අඬන ලංකාවෙ ගෑනු ආත්මය දන්නෙ ම නැතුව සින්දුව අන්තිමේ දී එළියට පනිනවා. 

ප්‍රේමයට ‘වයස’ ප්‍රශ්නයක් වෙන්න බෑ වගේ ම ගැහැනු පිරිමි බවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. ප්‍රේමයේ දී වැදගත් වෙන්නෙ දෙදෙනෙක් අතර තියෙන වෙනස කල්පවත්නා නොනැසී පවත්නා ආශාවක් බවට පත් කර ගන්නේ කොහොමද කියන එක මිසක් අක්ක ද මල්ලි ද ගැහැනු ද පිරිමි ද කියන එක බව නෙවෙයි කියලා සින්දුවකින් කියන්න කාට හරි පුළුවන් වෙන්න කියලා මේ කොළමෙන් අපි ප්‍රාර්ථනා කරනවා.


ඒ රූපෙට මන් ආසවුණත් බාල වුණා

පෙම්වන්ත හිතින් හීන මවන් බාර වුණා

ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුණා

මට බාල වුණත් කොල්ලට මගෙ වෙන්න වුණා


මේ ඇස් දිහා බලන්න

මගෙ ආදරේ දැනෙන්න

බොරු නම් එපා කරන්න 

කොල්ලො මෙන්න මෙහෙට එන්න


හිතට දැනුනු තැනක රැඳිලා ආදරේ කරන්න

මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න

පරම පුරුදු ගතිම තිබුණු ආදරේ දැනෙන්න

හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න


කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා

ආසයිද ඈතටම යන් පියාඹලා

ආවටද නාවටද දැන් තරහා වෙලා

මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා


මායම් ද පායන්නෙ හීනෙට ඔයා

රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කළා

බෑ ඉන්න නෑ නින්ද නාවොත් ඔයා

මා ඉන්නෙ ආලෙන්ම පාලු‍යි තමා

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර