පාරාදීසයක යටි වියමන Paradise


(ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradise චිත්‍රපටය පිළිබඳ විමසුමකි)

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය, ‘පැරඩයිස්’ මේ වනවිට සිනමා ශාලාවල තිරගත වෙමින් තිබේ. එය සමාන්තරව තිරගත වූ ලංකාවේ සහ ඉන්දියාවේ යන රටවල් දෙකෙහිම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන බවද වාර්තා වී තිබේ. 

මීට පෙර ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ බොහොමයක් චිත්‍රපටවල යම් එක නිශ්චිත තේමාවක් හරහා කෘතිය විකාශනය වුවද, පැරඩයිස් විවිධ තේමාවන් රාශියක සංයුක්ත ඉදිරිපත් කිරීමකි. එය ලංකාවේ ආර්ථික අර්බුදය, එයට එරෙහිව පැනනැගුනු ජන අරගලය, රාජ්‍ය මර්දනය, පොලීසියේ දූෂිත බව, ඉන්දියානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන බව පවසන සැනින් පොලිස් නිලධාරියෙකු බියපත් වන තරමට ලංකාවේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ ඇති පරාධීන බව, පරිසර විනාශය, කඳුකර තමිල් ජනතාව මුහුණ දෙන විශේෂ ප්‍රශ්නය, ජාතිවාදය වැනි තේමාවන්වල සිට පවුල තුළ පුරුෂ මූලිකත්වය ක්‍රියාත්මක වන ආකාරය දක්වා වන පුළුල් පරාසයක තේමා අන්තර්ගත කර ගනී. එහෙත් ඒවා මුළුමනින් වියුක්ත හා කැබලි වූ කරුණු සමූහයක් ලෙස ඉදිරිපත් නොවී ඒවායේ අන්තර් සම්බන්ධය සහිතවම කෘතිය තුළ සංවාදයට බඳුන් වීම පැරඩයිස්හි විශිෂ්ඨත්වය පිළිබඳ නිදසුනකි. කෙටියෙන් කිවහොත් රාජ්‍යයේ සිට පවුල දක්වා සියලු‍ සමාජ ව්‍යුහයන් පීඩාකාරී සහ ප්‍රතිගාමී ව්‍යුහයන් ලෙස හැසිරෙන ආකාරයත්, ඒ තුළ සමාජමය මිනිසා අර්බුදයට හා පීඩාවට ගොදුරු වන ආකාරයත් අපට පැරඩයිස් නිමිත්ත කරගෙන කතා කළ හැකිය. 

චිත්‍රපටය ආරම්භ වන්නේ කේෂව් (රෝෂන් මැතිව්) සහ අම්රිතා (දර්ශනා රාජේන්ද්‍රන්) නම් යුවල සිය විවාහයේ පස් වන සංවත්සරය සැමරීම සඳහා ලංකාවට සංචාරයට පැමිණීමෙනි. පළමු මොහොතේම කේෂව් තුළ ආත්ම කේන්ද්‍රීය සහ ආධිපත්‍යධාරී ලක්ෂණයක් පෙනෙන අතර අම්රිතා වඩා සමාජ වගකීමක් සහිතව හැසිරෙන බව පෙනේ. එහිදී ඔවුන්ට මග පෙන්වන්නා ලෙස ඇන්ඩෘ (ශ්‍යාම් ප්‍රනාන්දු ) සම්බන්ධ වන අතර ප්‍රදේශයේ පොලීසියේ නිලධාරියෙකු වන සාජන්ට් බණ්ඩාර ලෙස මහේන්ද්‍ර පෙරේරා රඟපෑම සිදු කරයි. මුලින්ම කිව යුත්තේ ඔවුන් සියලු‍ දෙනාගේ රඟපෑම ඉතාම ආකර්ශණීය බවය. බයිබලයේ එන පාරාදීසය පිළිබඳ පුරාවෘත්ත අනුව බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ‘පැරඩයිස්’ ලෙස නම් කරනු ලැබූ ලංකාවේ සැබෑව කෘතිය තුළ දිග හැරෙන්නේ බැලු‍බැල්මට පෙනෙන ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සමග සමාන්තරව දිවෙන අර්බුද සහ සමාජ අගතීන් රැසක අත්දැකීම් වල සංකලනය තුළිනි. 

ආර්ථිකය අර්බුදයට යාමත්, එම අර්බුදයට ප්‍රතිචාර ලෙස ජනතාව අරගල බිමට පැමිණීමත්, රාජ්‍ය මර්දනයත් ලංකාව තුළ පන්ති ප්‍රතිවිරෝධතා මෝරා යාම සහ පන්ති ගැටුම තීව්‍ර වන ආකාරය සංකේතවත් කරන අතර ජාතිවාදය, ස්ත්‍රී පීඩනය, පරිසර සංහාරය, වංචාව හා දූෂණය ආදී තවත් බොහෝ සාධක එම පන්ති ප්‍රතිවිරෝධතාවලම වෙන් කළ නොහැකි කොටස් වී ඇති බව අපට පෙනේ. සිය විවාහයේ සංවත්සර සැමරුමකට ලංකාවට පැමිණෙන සංචාරක යුවලට මුහුණ දෙන්නට වන්නේ ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ආදියෙන් ජනිත වූ දැඩි පීඩාවකටය. එය තවත් ඉහළ යන්නේ කඳුකර දෙමල ජනතාව වෙසෙන, වතු ආශ්‍රිත ආර්ථිකයක් පවතින බව පෙනෙන කඳුකරයේ සුන්දර පරිසරයක පිහිටි සංචාරක නිවස්නයට කඩා වදින සොරුන් පිරිසක් කේෂව්ගේ ලැප්ටොප් පරිඝණකය සහ ජංගම දුරකථන පැහැරගෙන යාමෙනි. 

මේ සොරකම කළේ කවුරුන්දැයි ස්ථිරව නොදන්නා මුත් කේෂව් එයට වතුකම්කරු තරුණයන් කිහිප දෙනෙකු සම්බන්ධ බව පොලීසියට කියයි. පොලීසියේ පහර දීමෙන් එක තරුණයෙකු මියයන අතර එම මරණයට දක්වන ජනතා විරෝධතා පොලිස් ස්ථානයට පහර දීම දක්වා වර්ධනය වෙයි. අවසානයේදී වතු කම්කරුවන් උද්ඝෝෂණය කරමින් සංචාරක නිවස්නයට පැමිණෙන අතර එහිදී උද්ඝෝෂකයන්ගේ කෙටේරි පහරකින් සාජන්ට් බණ්ඩාර සිහිසුන් වේ. තමා වෙත එන උද්ඝෝෂකයන් නැවත්වීමට කේෂව් ඔවුන් දෙසට වෙඩි තබන අතර අම්රිතා කේෂව්ට වෙඩි තැබීමෙන් ඔහු මියයයි. අම්රිතා වතුකම්කරුවන් බේරා ගැනීමට සිය සැමියාට වෙඩි තබනවාද, නැතිනම් එය අහම්බයක්ද යන්න කෘතිය තුළ විවෘතව තබා ඇත. නමුත් අම්රිතා වෙඩි තබන විට කේෂව් මැදට පැන්න බවට ඇන්ඩෘ දෙන පොලිස් කටඋත්තරය සම්බන්ධයෙන් චිත්‍රපටය අවසානයේ අම්රිතා අසන ප්‍රශ්නය, “ඔයා පොලීසියේදී දුන්න ප්‍රකාශය ඇත්ත කියලා මිස්ට ඇන්ඩෘ ඇත්තටම විශ්වාස කරනවාද?” යන ප්‍රශ්නය ඒ විවෘත අවකාශයේ පුළුල් පරාසයක් ප්‍රේක්ෂකයා ඉදිරියේ විවර කරයි.

මෙම ඉතාම කෙටි සටහනේදී අපි එක කරුණක් ගැන පමණක් අවධාරණය කිරීමට සීමා වෙමු. කෙටියෙන්ම කිවහොත් ස්ත්‍රී - පුරුෂ සබඳතා, සමානාත්මතාව, මනුෂ්‍යත්වය ආදී විවිධ විෂය කෂේත්‍ර ගැන පවතින සමාජමය දෘෂ්ටිවාදී ගොඩනැංවීම් සහ සැබෑ ජීවිතයේ යථාර්ථය අතර ඇත්තේ බරපතළ නොගැලපුමක් බව චිත්‍රපටය අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙයි. චිත්‍රපටය පුරාම රාමා - සීතා පුරාවෘත්තයට අදාළ ස්ථාන නැරඹීමට යුවල යන අතර එහිදී අපට සම්ප්‍රදායික රාමා - සීතා පුවත අසන්නට ලැබේ. අම්රිතා එම පුරාවෘත්ත ප්‍රශ්න කරන අතර වාල්මිකීගේ රාමායණයේ දැක්මට වඩා වෙනස් දැක්මක් සහිත විකල්ප ජනශෘති රාශියක් ඇති බවද පවසයි. රාමායණයේ සීතා සම්බන්ධයෙන් රාමාට ඇත්තේ ආදරයක් නොව, පෞද්ගලික දේපලක් ලෙස සීතා අත්පත්කර ගැනීමේත්, සිය බිරිඳ අන් අයෙකු සතුවීමෙන් සිය අභිමානයට ඇතිවූ කැළල වසා ගැනීමේත් අභිප්‍රායයක් බව අම්රිතාගේ සංවාදයේදී හොඳින්ම පෙනේ. ඇය විටෙක පවසන්නේ රාමා පැමිණ රාවණාගෙන් සීතා බේරා ගත්තා නොව සීතා රාවණාට පහරදී ගැලවී ආ බව වෙනත් පුරාවෘත්තයක ඇති බවයි. 

වසර 5000කට පෙර කාලය ගැන සහ එම කාලයේ ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතාවල ඇති පුරුෂ මූලික අගතීන් ගැන ඇති රාමායණයේ කතාවේ පසුබිම අදටත් වෙනස් වී නැති බව අපට අම්රිතා - කේෂව් සම්බන්ධය තුළ පෙනේ. ස්ත්‍රී - පුරුෂ සබඳතා පමණක් නොව පරිසරය, ජාතික සමානාත්මතාව, මනුෂ්‍යත්වය ආදී විවිධ කරුණු සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති දෘෂ්ටිවාදයන් යථාර්ථයෙන් බොහෝ දුර බව අපට පසක් වේ. එම දෘෂ්ටිවාද කරපින්නාගෙන කිසිදු විසඳුමක් සොයා ගත නොහැකි තැනකට අප අද සමාජයක් ලෙස පැමිණ තිබෙන්නේ පන්ති ප්‍රතිවිරෝධයන්ගේ මෝරා යාමත්, රාජ්‍ය බලය පමණක් නොව දෘෂ්ටිමය ක්ෂේත්‍රයේ ආධිපත්‍යයත් එක පන්තියක්, ධනපති පන්තිය සතුව තිබෙන තත්වයක් තුළය. 

සැබෑ ජීවන යථාර්ථය සොයා යා හැකිව ඇත්තේ එම දෘෂ්ටිවාදී තාප්ප බිඳ හෙලීමෙන් බව පැරඩයිස් කෘතිය අපට තදින් කියා සිටී. පැරඩයිස් නරඹන ලෙසද මෙම පැතිමානයෙන් පමණක් නොව තවත් බොහෝ ප්‍රවේශවලින් එකී සංවාදය වර්ධනය කිරීමට දායක වන ලෙසද අපි ‘රළ’ පාඨකයාට ආරාධනා කරමු.




Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර