ආදරය සමකාලීන සමාජ දේශපාලන සබඳතාවක් ලෙස - Blood Shadaws



 ජෙහාන් අප්පුහාමිගේ Blood Shadows නාට්‍යය පසුගිය දිනක මරදානේ එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගත විය. ජනතා විමුක්ති දේශපාලනය සහ ජන අරගල වාමාංශය සමග දීර්ඝකාලීන සබඳතාවක් සහිත කලාකරුවෙකු වූ ජෙහාන් පසුගිය ගෝල්ෆේස් අරගල සමයේ මීගමුව කටුවාපිටිය දෙවස්ථානයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය තෙක් “කුරුසියක් කර තබාගෙන” ආවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුත්තිය ඉටු කිරීමක් පිළිබඳ ඉල්ලීමක්ද ගැබ් කොටගෙනය. වෙරොනිකා මටත් දැන් පිස්සු, සින්දු පහයි කෝල්ස් පහයි, හොරු..... ලෙස නාට්‍ය කලාව වෙත කළ ඔහුගේ මැදිහත්වීමේ අලුත්ම ප්‍රතිප්‍රදානය Blood Shadows ය. 

ජෙහාන් විසින් කලකට ඉහත ලියන ලද නාට්‍ය පිටපත, පසුගිය ගෝල්ෆේස් අරගලයේ අත්දැකීම සමග “මුහුන් කිරීම”ට ජෙහාන් උත්සාහගෙ තිබුණේ, යම් නුමුහුම් වීමක්ද සමගය. නාට්‍ය ආරම්භයේදී කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර මැද වේදීකාවට එන තරුණිය සමකාලින රැඩිකල් තරුණ හා ශිෂ්‍ය දේශපාලනයේ නියෝජනයක් වන විට, ඇයට හමුවන දේවදූතයා 80 දශකයේ ජනතා විමුත්ති දේශපාලනයේ නියෝජනයක් ලෙස අභිමුඛ කිරීමට නාට්‍ය ආරම්භයේදීම නාට්‍ය කරුවා උත්සාහ කොට ඇත. 

“දූතයා - ඒත් උන් මට මොකද කළේ ..... මට විතරක් නොවෙයි ඒ මොහොතේ අපේ උන්ට මොකද කළේ. පරාල ඇණ .... පෑන් කූරු.... ෂොපින් උර, කටුකම්බි, බට කෑලි, ... ඇගිලිවල නිය පොතු, ධර්ම චක්‍රය, වතුර බේසම, ඔයාට මම මේක කියන්නම ඕනද”

එහෙයින් නට්‍යයේ කාර්ය ගලාගෙන යාමේදී ඔවුන් දෙදෙනා අතර සිදුවන සංඝට්ටනයන්, වියෝගයන් සියල්ල දේශපාලන අර්ථ කථනයකට ලක්වීම නොවැළක්විය හැකිය. ජෙහාන්ගේ නාට්‍යයේ යම් කාලාත්මක සීමා සහිත භාවයක්ද මෙහිදී ප්‍රදර්ශනයවීම දැක ගත හැකිවේ. මේ සීමාසහිතභාවය පැන නගිනුයේ නාට්‍ය ආරම්භයේදී ගොඩනැගෙන  කාලාත්මක උපන්න්‍යාසය සාධනය කිරීමේ ක්‍රියාවලිය, ඊට පසුව ගොඩනැගෙන කලාත්මක උන්න්‍යාස මගින් වේදිකාව මතදී පරස්පර වී, ඛණ්ඩනය වී යාමෙනි. 

“ඇය - දූතයන්ට තටු තියෙනවා කියාලා මං අහලා නෑ. එත් දේව දූතයන්ට තටු තියෙන විත්තිය මං චිත්‍රවලින් දැකලා තියෙනවා. 

“දූතයා - ඔයාලනේ දුන්නේ.. 

ඇය - අපි? 

දූතයා - ඔව්, ඔයාලා දුන්න නිසා තමයි අපි ඉගිලෙන්නේ”

මෙසේ නාට්‍ය කරුවා සවිඥනක තලයේදී ලක්ෂ ගත කිරීමට, මතු කිරීමට සහ සාකච්ඡා කිරීමට උත්සාහ කරන උපන්න්‍යාසය ඊට  පරස්පර උපන්න්‍යාස මතු කරමින්, වේදීකාව මත අර්ථ සම්පන්න සහ ඇතැම් විට අර්ථ විරහිත වන විට, ඒකීය ධාරනාවක්, ලෙස ප්‍රේක්ෂකයට ධාරණය කර ගැනීමට ඉතිරිවෙනුයේ මිනිස් ස්ත්‍රියක් හමුවේ සවර්ගීය දේව දූතයෙකු අනාථ වී යාම පිළිබඳ, තරමක පිරිමි කතිකා ගත කිරීමකින් උපදින අපේ යුගයේ සනාතන ප්‍රේම වෘතාන්තයයි. එනම් ස්වර්ගීය දේව දූතයන්, දූවිලි පොලොවේ ස්ත්‍රීන් වෙනුවෙන් තම තටු කපා ගැනීම” පිළිබඳ කතාවයි. 

“දූතයා - මං ඔයාගෙන් අහන්නේ මට ඔයා ලග ඉන්න පුළුවන්ද? 

ඇය - ඇයි ඔයා මං ලග ඉන්න හදන්නේ 

දූතයා - මට මෙහේ හොඳයි කියාලා දැනෙන නිසා 

ඇය - ඇයි එහෙම දැනෙන්නේ?

දූතයා - මං ඔයාට ආදරේ නිසා”

එය එක්තරා ආකාරයකින්, ආකර්ෂණයේ ආශ්චර්යමත් මැජික් යෂ්ටිය (නාට්‍යයේ එන පිළිවෙළට) පෙම්වතා අතින් පෙම්වතිය අතටද,  පෙම්වතිය අතින් යළිත් පෙම්වතා අතටද හුවමාරුවන ක්‍රිඩාවකි. එය පැරණි වර්ගයේ ආදරයේ සදා සොඳුරු ස්මරණයන් වෙනුවෙට, එකිනෙකාට එරෙහිව චෝදනා නගන, ගතු කියන, පසුතැවිලි වන සමකාලින සමාජීය ආදර කතාවයි. 

ඇය - “මම පපුව දුන්නා,  මම ඔලුව දුන්නා, මම ඇඟම දුන්නා,  මම මාව දුන්නා, මහන්සියි මට”

නාට්‍ය අවසානයේ දේවදූතයා සමකාලින නාගරික  තරුණයෙකු ලෙස සිදුවන රූප විපර්යාසය තුළ, ඔහු සිය ගිලිහී ගිය ඉන්ද්‍රජාලික බලය (මැජික් යෂ්ටිය) යළි තමා සතු කර ගනුයේ (‘ස්වපීඩාකාමී ව්‍රතයක’) දීර්ඝ අභ්‍යාසයක් හරයාය, එතැන් පටන් දේව දූතයා සමකාලින, නාගරික, පාරිභෝජනවාදී පිරිමියාගේ භූමිකාවට ආනුභාව සම්පන්නව ඇතුල්වනුයේ “ශෘංගාරාත්මක වසඟයේ ක්‍රිඩාව, ඔබට දේශපාලනිකව නිවැරදිව කළ හැකි නොවේ.” යන දාර්ශනික සත්‍ය සනාථ කරමිනි. 

කෙසේ වුවද Blood Shadows නාට්‍ය තුළින් 80 දශකයේ පැරැණි රෝමාන්තික විප්ලවවාදියා, නූතන නාගරික ස්ත්‍රිය හමුවේ පරාජයවීම සහ නව මානව සබඳතාවක් සමාජ කරළියට පැමිණීම සනිටුහන් කරයි. එය, නව සමාජීය, මානවීය සබඳතාවක් පිළිබඳ කතිකාවක් ආර්ම්භ කිරීමට අපට ඉඩ විවිර කර ඇත. එය එතෙක් පැවැති රැඩිකල් වාමාංශය හමුවට ගෝල්ෆේස් අරගලය අභිමුඛ වීමෙන් පසු නව විපර්සාසකාරි දේශපාලනයකට අවස්ථාව විවර වීම පිළිබඳ සාකච්ඡාවක් ලෙසද ගත හැක. 

නාට්‍යයේ එක් අවස්ථාවක නළු නිලියන් සජීවී ලෙස උච්චාරණය කරන දෙබස් වෙනුවට පටිගත කරන ලද හෝ විද්‍යුත් ප්‍රක්ෂේපණයට ලක් කළ දෙබස් භාවිත කරයි. එය නාට්‍යය ප්‍රේක්ෂකාගාරය සමග ගොඩනගා ගන්නා තත්වානුරූපි මයාව බිඳ දැමීමට සහ ‘දෘෂ්‍ය පරිභෝජනය’ අත්හිටුවීමට සහ ඒ හරහා නව සබුද්ධික කතිකාවක් ගොඩනැගිමට ප්‍රවේශයන් කොට ගත හැකිවූ නමුදු නාට්‍යයේ රංගාලෝකය ආදී අනුශාංගික කාලාවන් (පසුතල ආදිය) සැකසි තිබුනේ ඊට හාත්පසින් වෙනස් වූ මානයකය. එනම් ප්‍රේක්ෂකාගාරයේ දෘෂ්‍ය පරිභෝජනය සන්තර්පනය කරන ‘සන්දර්ශනකාමයක’ය. Blood Shadowsනාට්‍යයේ සමස්ථ රංග වින්‍යාසය සැලසුම්ගත කිරීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සැලකිල්මත් නොවීම නිසා කතුවරයාගේ දේශපාලන අදහස වේදිකාව මත නිසි ලෙස මතු වූයේද යන්න යළි සලකා බැලිය යුතු කාරණයකි. 

කෙසේ වුවද අවසානාත්මක නිගමනයක් නොවූ මේ සියල්ල Blood Shadows  නාට්‍ය පිළිබඳ විචාර කතිකාවක ආර්ම්භයක් කොට ගැනීම අපගේ අරමුණයි. මන්ද එය “ස්වාධීන විප්ලවවාදී කලාවක්” පිළිබඳ විශ්වාස තබන ව්‍යාපාරයක් විසින් සිදුකළ යුතු මග හැරිය නොහෙන මැදිහත්වීමක් බව අපගේ අදහසයි. කෙසේ වුවද ඒ සියල්ල උරගා බැලෙනුයේ නව මහජන අවකාශ තුළ Blood Shadows  නාට්‍යය ප්‍රදර්ශනය වීමෙන් බව පැහැදිලිය. 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර