Song Zone - "පොඩ්ඩක් සයිකෝ"

 


පද, තනුව සහ ගායනය - ගයාන් පෙරේරා

මේ දවස්වල යූ ටියුබ් අවකාශයේ ටිකක් ජනප්‍රිය වෙලා තියෙන මේ සින්දුව තෝර ගත්තෙ අපිටත් පොඩ්ඩක් ‘සයිකෝ’ නිසා ද, කියලා ඔයගොල්ලො හිතයි. ඔව්...ඉතින් එහෙම හිතා ගත්තත් ඒකෙ එච්චර වැරැද්දක් නෑ. මොකද, ඇත්තට ම ගත්ත ම සාමාන්‍ය තත්ත්වය කියලා එකක් මේ ලෝකේ නෑ.

සාමාන්‍ය තත්ත්වය කියන්නෙ අපේ ම අර්ථකථනයක්.ඒක අපි ඉන්න තත්ත්වය ස්වාභාවිකකරණය කර ගන්න අපි ම හදා ගන්න දෘෂ්ටිවාදයක්. ඊටපස්සෙ ඒ මත පදනම්ව අනෙකා විනිශ්චය කරන්න අපි පෙළඹෙනවා. එතකොට අපිට වඩා වෙනස් වීම, අපි අර්ථකථනය කර ගන්නෙ පිස්සුවක් විදියට. සයිකෝ, ට්‍රැක් වගේ වචනවලින් සුලබව මේ කාලෙ අපි අනෙකාට දමලා ගහන්නෙ අන්න ඒ නිසා.

ජාති, ආගම්, වර්ග, භාෂා, කුල, ප්‍රදේශ වගේ ම ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය වගේ අනන්‍යතා සාධක අධිනිශ්චය කර ගත්ත ම අනෙකා වෙත එල්ල වෙන මේ විවේචනය තව වැඩි වෙනව. මේ අනන්‍යතා සාධක අතර අනෙකා විවේචනය කරන්න ගැහැනු - පිරිමි විභේදනය සෑහෙන්න ප්‍රබල විදියට අදටත් භාවිත වෙනවා කියන එක තමයි මේ සින්දුව අහපු ගමන් මුලින් ම හිතෙන කාරණය වෙන්නෙ.

හැබැයි මේක අද ඊයෙ පටන් ගත්ත ගර්හාවක් නෙවෙයි. පිරිමි මුල් වෙලා ගෑනුන්ට මේ විදියට ගරහන එකට දිග ඉතිහාසයක් අපේ වගේ රටවල තියෙනවා. ලංකාවේ උපාසිකා මාතාවෝ නමස්කාර දීල ඔළුව උඩ තියලා වැඩැම්මුවට ජාතක පොතේ වැඩි හරියක් ගෑනු ගැන ඇඳලා තියෙන්නෙ අන්තිම වැඩවසම් පහත් චිත්‍රයක්. එහෙම ගත්ත ම සම්භාව්‍ය සාහිත්‍යයේ තරම් ගයියා ස්ත්‍රීන්වය පහත් කරලා නෑ කියලා  කියන්න පුළුවන්. පටාචාරාව විවේචනය කරන ගමන් සමස්ත ගෑනු සනුහරේට ම දෙසාබාන විද්‍යාචක්‍රවර්තිගෙ පහළ උද්ධෘතෙ දිහා පොඩ්ඩක් බලන්න,

සිංහ ධෙනුව කැණහිලු‍න් හා සංවාස කරත්. බෝධිසත්වයන් අඹුවැ කොටුන් හිසින් උසුලත්. කොසොල් රජ්ජුරුවන් වැනි කෙනෙකුන් හැර බල්ලන් හා සංවාස කරත්. ගැහැනුන්ගේ නුගුණ කවුරු කියා නිමවා ගනිත් ද ”‍

- බුත්සරණ

මේවා එක්ක බැලු‍ව ම ගයියා ගෑනුන්ට ගේන විවේචන මොනවද, කියලත් හිතෙනවා. ඇත්තට ම එතන දි කොයි විදියෙ ගෑනියෙකුට වුණත් මානසික ලෙඩක් තියෙනවා කියන්න හැරෙන්න ගෑනු කියන්නෙ ‘ලිංගික වශයෙන් කාමුක’ සත්ත්ව කොට්ඨාසයක් වගේ අදහසක් ගයියා ගේන්නෙ නෑ.

හැබැයි ගැහැනු සම්බන්ධයෙන් ගයියා ගේන මේ අතිසරළ විවේචනය ඇතුළෙ ජනප්‍රියවාදී කලාවට අදාළව අපි දකින මූලික නිශේධනයක් සටහන් වෙලා තියෙනවා. ඒ තමයි තමන්ගෙ පෞද්ගලිකත්වය කෘතිය තුළට ගේන්න ගියා ම ආර්ටිස්ට් මුහුණ දෙන අර්බුදය.

ජීවිත කාලෙ තමන්ට හම්බ වෙලා තියෙන, තමන් ලව් කරලා තියෙන මධ්‍යම පාන්තික නාගරික ගැහැනු ශරීර දිහා බලාගෙන සමස්ත ගැහැනු ශරීරය වර්ගීකරණය කරන්න ගයියා පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ශරීර ඇසුරෙන් සමස්ත ගැහැනියගේ ආත්මය කියවගන්න හදලා ගයියා පඹ ගාලක පැටලෙනවා.

කොහොම හරි අන්තිමට තමන්ගෙ දැන් තියෙන ස්ත්‍රී සම්බන්ධෙ ආරක්ෂා කර ගන්නෙ කොහොමද, කියලත් ගයියා හිතනවා. ඒක නිසා සින්දුව ඉවර වෙද්දි ‘සයිකො’ සීන් එක පිරිමියා පැත්තටත් කරකවලා ජාමෙ බේර ගන්න ගයියා ට්‍රයි කරනවා. සින්දුව කියලා ඉවර වෙලා ගයියට වුණත් යන්න වෙන්නෙ පවුල ඇතුළට ම තමයි ගයියා දන්නවා.

පශ්චාත් නූතන යුගයෙ වෙළඳපොළ පරිභෝජනවාදයට අහුවෙලා ඉන්නෙ ගෑනු විතරක් නෙවෙයි. ඒක මේ මොහොතෙ සමස්ත මනුෂ්‍යත්වය මුහුණ දීලා තියෙන තර්ජනයක්. ඒක අපි කතා කරන්න ඕන අද දවසේ මනුෂ්‍යත්වයට අදාළ රෝග ලක්ෂණයක් විදියට මිසක් ගැහැනියට අදාළ රෝග ලක්ෂණයක් විදියට නෙවෙයි. අඩු ම තරමෙ සද්ධර්මරත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවන්ට තරම්වත් ලෝක දැක්මක් අද දවසේ කලාකාරයන්ට ඕන වෙන්නෙ මෙන්න මේ නිසා.

හැබැයි මෙහෙම යි: ගැහැනුන්ට ගැහැනු වීම නිසා ම විශේෂ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා වගේ ම ගැහැනු, ගැහැනු වීම නිසා ම ප්‍රදර්ශනය කරන විශේෂ රෝග ලක්ෂණත් තියෙනවා. ඒවා විවේචනය වෙන්න ඕන. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම විවේචනයක් කරන්න තරම් දැනුමක් හරි නිර්භීතකමක් හරි ගයියලාට නැති එකේ.

එහෙම බැලු‍ව ම ගයියගෙ තාත්තට දැනුමක් නැතත් නිර්භීතකමක් හරි තිබ්බා. ඒ හින්දා සුනිල් පෙරේරලා අතින් අඩු ම තරමෙ මේ වගේ කොන්ද පණ නැති සින්දු බිහි වුණේ නෑ.

ඒ නිසා ගයියගෙ සින්දුව ඇහිලා හිත රිදවගත්ත නංගිලාට කියන්න තියෙන්නෙ, අපරාදෙ මේ සින්දුවට පිළිතුරු දෙන්න ගිහිල්ලා ගයියටත් වඩා නාගෙන තියෙන්නෙ ඕගොල්ලො. ප්‍රතිසින්දු (Anti-Song) කියන්නෙ ඕවට නෙවෙයි. ඔය වගේ වැඩවලින් නම් ඕගොල්ලො හෙළි කරන්නෙ ඇත්තට ම ඔයාලට  ‘සයිකෝ’ කියලා විතර යි.

...................................................

දැන් කාලේ කෙල්ලො පිළිවෙළකට

ඇදගෙන පෙනුමට හිටියට

දැන් කාලේ කෙල්ලො පිළිවෙළකට

පෙනුමට හිටියට

වක්කඩ වගේ කටවල් නම්

 

ගාගෙන මුනේ විච්චූරණ

මලමිනි වගෙ සුදු වී ගෙන

කරුමෙට රැවටිලා අහු වෙලා

බැඳ ගත්තොතින්

කන්න වෙන්නේ අඬ අඬ පපඩම්

පපඩම් //

 

ලොරි බොඩි වගෙ තඩි

ලොකු බඩ ගෙඩි ඇති

පැණි කොමඩුව වගෙ කෙල්ලෝ

කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ

ඇටකටු බොඩි ඇති කෙල්ලො

කලු‍ කොට කට වැඩි

ලොකුකම තදටම ඇති

සුදු උස හැඩ කෙල්ලො

ලොකු තඩි කලු‍ පොඩි කලු‍

සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම

පොඩ්ඩක් සයිකෝ

 

පොඩ්ඩක් නෙමෙ මුන්ට

හොඳටම ට්‍රැක් - සයිකෝ

 

කල්ගෙවන්නේ මුලු‍ දවසම

ඉස්සරහ කැමරාවක

පින්තුර ගන්නේ ගමකට

සින්දු කිය කිය නට නට

අවදානෙ ගන්න දාන කැටයම්

 

එක පාරයි ගියෙ පිටරට

දන්නෙ නැලු‍ දැන් මව්බස

ඉංග්‍රීසි කැලි එක දෙක

සුද්දි වාගෙ වැඩ කිඩ

මුන්ගේ බොරු පොශ් විගඩම්

විගඩම් - විගඩම්

 

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති

පැණි කොමඩුව වගෙ කෙල්ලෝ

කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ

ඇටකටු බොඩි ඇති කෙල්ලො

කලු‍ කොට කට වැඩි

ලොකුකම තදටම ඇති

සුදු උස හැඩ කෙල්ලො

ලොකු තඩි කලු‍ පොඩි කලු‍

සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම

පොඩ්ඩක් සයිකෝ

සයිකෝ ///

 

සයිකෝ But I love you ///

සයිකෝ   I love you ///

 

අත මිට නැති කරගෙන

දස දුක් විඳගෙන

ගුටි බැට කාගෙන

බඩගාගෙන

දැන දැන ඔබලගෙ පස්සෙන් එන

අපිටත් සයිකෝ

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?