Oppenheimer පුද්ගල අත්වැරැද්දක්ද, දේශපාලන පීලිපැනීමක්ද?

 




ඔස්කාර් 2023 සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය ඇතුළු සම්මාන 7ක් දිනා ගත්තේ ක්‍රිස්ටෝපර් නෝලන් නිර්මාණය කළ ඔපන්හයිමර් චිත්‍රපටයය. තවත් සම්මාන 6කට එය නිර්දේශ වී තිබිණි. ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයට පාත්‍ර වෙද්දී ඔපන්හයිමර් චිත්‍රපටයේ ඔපන්හයිමර් ලෙස රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා බවට පත්වුයේ එහිදී කළ විශිෂ්ට රංගනය හේතුවෙනි. මෙම ඔස්කාර් සම්මානත් සමගින් ඔපන්හයිමර් ලබාගත් ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 333ක් විය. ලොව පුරා මිලියන 100ක ජනතාවක් ඔපන්හයිමර් නරඹා ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් බිලියනයක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇත. ඔපන්හයිමර් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෑත කාලයේ ඉහළම ප්‍රතිචාරයකි.

මෙම කෘතියට පාදක වන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි නගර වලට හෙලන ලද විනාශකාරී පරමාණු බෝම්බයේ නිර්මාපකයා වන විශිෂ්ට භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර්ගේ චරිතාපදානයයි. චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නේ ඉතිහාසඥයන් වන කයි බර්ඩ් සහ මාර්ටින් ජේ ෂර්වින් විසින් 2005 වසරේ දී ප්‍රකාශයට පත් කරන චරිතාපදානයක් වන American Prometheus (ඇමරිකානු ප්‍රොමිතියස් - ප්‍රොමිතියස් යනු ග්‍රීක පුරාවෘත්ත වල එන ලෝකයට ගින්දර ලබාදුන් වීරයාය) නම් සම්මානිත කෘතියයි. කෘතියේ සම්පූර්ණ නම American Prometheus (The Triumph and Tragedy of J.Robert Oppenheimer) - ඇමරිකානු ප්‍රොමිතියස් - ජේ. රොබට් ඕපන්හයිමර්ගේ විජයග්‍රහණය සහ ඛේදාන්තය) වන අතර එය පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. තමාම නිර්මාණය කළ පරමාණු බෝම්බයේ පුපුරා යාමෙන් වසර ගණනාවකට පසු 1960 ගණන්වල පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔපන්හයිමර් තමා වැඩිපුරම ප්‍රියකළ ඉන්දියානු පුරාණ ආගමික කෘතියක් වන භගවත් ගීතාවේ වැකියක් උපුටා දැක්වුවේය. ඔපන්හයිමර් සංස්කෘත භාෂාව ඉගෙනගෙන භගවත් ගීතාව එහි මුල් භාෂාවෙන් කියවුයේය.

මම මරණය වෙමි, ලෝකය විනාශ කරන්නා වෙමි.”

පරමාණු බෝම්බය පුපුරා ගිය බව දැනගත් මොහොතේ තමන්ට භගවත් ගීතාවේ එම කොටස සිහිපත් වූ බව ඔපන්හයිමර් එහිදී පැවසීය. එය පවසද්දී ඕපන්හයිමර්ගේ මුහුණේ තිබුණේ වේදනාකාරී බැල්මකි. ඔහු එම ප්‍රකාශය සිදු කරන වීඩියෝ දර්ශන වල ඔපන්හයිමර්ගේ වේදනාව සහ පසුතැවීම මනාව සටහන් වී තිබිණි. ඔපන්හයිමර් චිත්‍රපටය එම වේදනාකාරී මුහුණ පිළිබඳ කරන ලද පසුවිපරමක්, පර්යේෂණයක් බඳුය.

ඔපන්හයිමර් පිළිබඳ තවත් චරිතාපදානයක ඔහුගේ මිතුරෙකුගේ මතකය මෙලෙස සඳහන් කර තිබිණි. ”ඒ සති දෙකේ රොබර්ට් හිටියේ වැඩි කතා බහක් නැතුව, කල්පනාවේ ගිලිලා,” එක් මිතුරෙක් සිහිපත් කළේ ය. ”මොකද එයා දැනගෙන හිටියා මොකක්ද වෙන්න යන්නේ කියලා.” එක් උදෑසනක අසන්නට ලැබුණේ, ඔහු ජපන් වැසියන්ට අත්වීමට යන ඉරණම පිළිබඳව (පහත්කොට සලකන ස්වරයකින්), ”අනේ ඒ අසරණ පොඩි මිනිස්සු, අනේ ඒ අසරණ පොඩි මිනිස්සු,” යනුවෙන් තැවෙන ආකාරය යි. චිත්‍රපටයේ එම කොටස එලෙස නිරූපණය වී නැතත් ඔපන්හයිමර්ගේ පසුතැවීම එහි මනාව චිත්‍රණය කර ඇත. අන් චිත්‍රපට තිරනාටකවලට වෙනස් ලෙස උත්තම පුරුෂ ආඛ්‍යානයකින් ලියන ලද ඔපන්හයිමර් චිත්‍රපටයේ පිටපතේ 1945 අගෝස්තු 6 දින හිරෝෂිමා බෝම්බය පුපුරා යාමෙන් අනතුරුව මෑන්හැටන් ව්‍යාපෘතියේ විද්‍යාඥයන් අමතා ඔපන්හයිමර් කරන කතාව ලියා ඇත්තේ මෙලෙසය.

මේ දිනය ලෝකයා මතක තබාගනීවි. බෝම්බ හෙලීමේ ප්‍රතිඵල මොනවා දැයි කියන්න තව ම ඉක්මන් වැඩියි... ඒත් මට විශ්වාසයි ජපන්නු ඒකට කැමති වුණේ නැති බව.”

අනතුරුව අප හමුවේ දිගහැරෙන දර්ශනය තිර පිටපතේ ලියා ඇත්තේ මෙලෙසය. “මම සිනාසෙන තරුණ මුහුණුවලින් මස් ගැලවී එනු දකිමි. ප්ලාස්මාව කැලතෙනු ද යක්ෂයාගේ නිය පසුර රාත්‍රී අහසට පැනනඟිනු ද මම දකිමි. තරුණ සෙනඟ ඔල්වරසන් දෙන තැන මම අළු ගොඩවල් දකිමි.” එම දර්ශන ඕපන්හයිමර්ගේ පශ්චාත්තාපය මැනවින් නියෝජනය කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපය ඇතුළු ලොව පුරා රසිකයන් අතර ඔපන්හයිමර් චිත්‍රපටය මෙතරම් විශාල ප්‍රසාදයක් දිනා ගැනීම පිටුපස ඇති සංඥා මොනවාද? එය එක අතකින් ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වීමේ උත්ප්‍රාසාත්මක අවස්ථාවක් බඳුය. හොඳම නළුවා සම්මානය ගැනීමට වේදිකාවට පැමිණි කිලියන් මර්ෆි මෙසේ පැවසීය. “අපි පරමාණු බෝම්බය නිර්මාණය කළ මිනිසා ගැන චිත්‍රපටයක් සෑදුවෙමු, හොඳින් හෝ නරකින්, අපි සියල්ලෝම ඕපන්හයිමර්ගේ ලෝකයේ ජීවත් වෙමු.” ඇකඩමි සම්මාන උළෙලේ සම්මානලාභී චිත්‍රපටයක් වන අවුට්විෂ්ට් නාසි කඳවුරේ මර්දන නිලධාරියෙකුගේ ජීවිතය නිරූපණය කරන ‘ධබැ දf ෂබඑැරුිඑ චිත්‍රපටයේ අධ්‍යක්ෂක  න්‍දබ්එය්බ ඨක්‘ැර වේදිකාවේදී මෙසේ පැවසීය. “අප මෙම සියලු තේරීම් කරනු ලැබුවේ, අපගේ වර්තමානය පිළිබිඹු කිරීමට සහ එයට මුහුණ දීම සඳහා ය. ‘එදා ඔවුන් කළ දේ බලන්න’ යැයි නොකියමු. ඒ වෙනුවට, ‘අපි දැන් කරන දේ බලන්න.’ අමානුෂිකකරණය එහි නරකම තැනට යොමු වන්නේ කොතැනද යන්න අපගේ චිත්‍රපටය පෙන්වයි. එය අපගේ සමස්ත අතීතය සහ වර්තමානය හැඩගස්වා ඇත. මේ මොහොතේ අප මෙහි සිටින්නේ, බොහෝ අහිංසක මිනිසුන්ට එරෙහි එදිරිවාදිකම්වලට තුඩු දුන් වාඩිලෑමක් සඳහා තම යුදෙව්භාවය සහ සමූලඝාතනය යොදා ගැනීම ප්‍රතික්ෂේප කරන මිනිසුන් ලෙසයි. ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ හෝ ගාසා තීරයට දැන් එල්ල වන ප්‍රහාරයන්ගේ සියලු වින්දිතයෝ මෙම අමානුෂිකකරණයේ ගොදුරු වෙති. අප මෙයට විරුද්ධ වන්නේ කෙසේද?”

මෙය ඔපන්හයිමර් චිත්‍රපටයටද අදාලය. රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයකට පවා වහසිබස් දෙඩීමට බයිඩන් පෙළඹුණු අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක විනාශකාරීත්වය පිළිබඳ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතර මෙතරම් ජනප්‍රිය වීමෙන් පෙනී යන්නේ බයිඩන් ඇතුළු පාලක පන්තිය දරන ස්ථාවරය සහ එක්සත් ජනපදයේ වැඩකරන පන්තිය දරන ස්ථාවරය අතර වෙනසයි. එමෙන්ම ගාසා තීරයේ නිරායුධ ජනතාවගේ හිස් මතට දැමීමට ඊශ්‍රායලයට ටොන් ගණන් බෝම්බ සපයන ඇමරිකානු ආණ්ඩුවට වඩා ජපානයේ නිරායුධ ජනතාවගේ හිස් මත හෙලන ලද බෝම්බය පිළිබඳ පශ්චාත්තාපය රැගත් චිත්‍රපටයක් ‘බොක්ස් ඔෆිස්’ වාර්තා කරා ඔසවා තැබූ ඇමරිකානු ජනතාව වෙනස් ස්ථාවරයක සිටින බවය.

1904 වසරේ දී නිව් යෝර්ක් නගරයේ උපත ලද ඔපන්හයිමර් රෙදිපිළි වෙළෙඳාමෙන් ධනවත් වූ පළමු පරම්පරාවේ ජර්මානු යුදෙව් සංක්‍රමණිකයෙකුගේ දරුවා විය. නාසිවාදීන්ගේ යුදෙව් සංහාරයෙන් කම්පනයට පත් ඔපන්හයිමර් තමා එතරම් එකඟ නැති විනාශකාරී පරමාණු බෝම්බයක් තැනීම වෙනුවෙන් සිය භෞතික විද්‍යා දැනුම යෙදවීමට එකඟ විය. චිත්‍රපටයේ පෙනෙන ආකාරයට ඔහු එයට එකඟ වන්නේ මෙවැනි ප්‍රහාරයක් මගින් යුද්ධය අවසන් කර ‘නාසිවාදයෙන් ලෝකය බේරා ගත හැකිය’ යන තර්කයත්, අමෙරිකා එක්සත් ජනපදයට පෙර ජර්මනිය පරමාණු බෝම්බයක් තැනුවහොත් ලෝකය නාසිවාදය විසින් ගිල ගැනීමේ තර්ජනය පිළිබඳ තර්කයත් මතය. තමන් අවංකවම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී සිටින බව පෙන්වීමට ඔපන්හයිමර් චිත්‍රපටයේ කියන්නේ ‘නාසිවාදීන් මරා දමන්නේ ඔබේ මිනිසුන් නෙවෙයි, මගේ මිනිසුන්’ යනුවෙනි. යුදෙව් සම්භවයක් සහිත භෞතික විද්‍යාඥයන් වන රොබට් ඔපන්හයිමර් මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් පවා යුද අවි නිර්මාණය සඳහා යොදවා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුයේ නාසිවාදයේ අනතුර පෙන්වමිනි. අයින්ස්ටයින් පරමාණු බෝම්බය තැනු මෑන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ නොවුණත් එයට ආරම්භක උත්තේජනය සැපයු අයෙකු විය. යුද්ධයේ මානව ඛේදවාචකයත්, න්‍යෂ්ටික අවි නිසා මානව සංහතිය සමූලඝාතනය වීමේ අවදානමත් දුටු මේ කීර්තිමත් විද්‍යාඥයන් දෙදෙනාම දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සිය ඉතිරි ජීවිත කාලය නිරවිකරණය සහ ලෝක සාමය වෙනුවෙන් කැප කළහ.

චිත්‍රපටයේ මේ පිළිබඳ ඉතා මනාව නිරූපණය වේ. ඔපන්හයිමර් බෝම්බය නිර්මාණය කිරීමෙන් අනතුරුව එය රැගෙන යාමට පැමිණි මිලිටරි නිලධාරියා ඔහුට පවසන්නේ “ඉතාම ගෞරවයෙන් ඔබට දන්වා සිටින්නේ, ඔබ මෙය නිර්මාණය කළා. දැන් ඉතිරි කටයුතු අප තීරණය කරන්නම්” කියාය. විද්‍යාඥයන් සිය සොයාගැනීම් කළ පසුව ඉතිරි සියල්ල දේශපාලනය විසින් තීරණය කරන අතර ඔවුන්ට එම දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි වීම හැර ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නැති බව ඔපන්හයිමර් සිනමා කෘතිය පෙන්වා දෙයි. මෙය වඩාත් උච්ඡස්ථානයට පත් වන්නේ ඔපන්හයිමර් එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ටෲමන් හමුවන අවස්ථාවේදීය.

එහිදී ඔපන්හයිමර් ජනාධිපතිවරයාට පවසන්නේ තමන්ගේ අත්වල ලේ ගෑවී තිබෙන බව තමන්ට හැගෙන බවය. එවිට ජනාධිපතිවරයා පවසන්නේ ‘ලේ ගෑවී තිබෙන්නේ මගේ අතේ. මමයි නියෝග දෙන්නේ. මම ඒ වගකීම භාර ගන්නම්’ කියාය. මෙය උත්ප්‍රාසාත්මකව ඔපන්හයිමර් ප්‍රියකළ භගවත් ගීතාවේ අර්ජුන් යුද්ධයට පසුබාන විට ශ්‍රී ක්‍රිෂ්ණා පවසන්නේද මෙවැන්නකි. අර්ජුන සටන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ, ඔහු ඔහුගේ සගයන් ඝාතනයට වගකිව යුතු බව විශ්වාස කරන නිසා ය. නමුත් ක්‍රිෂ්ණා ඔහු තුළ වූ එම බර ඉවත් කරයි: “මේ මිනිසුන්ගේ ඝාතකයා මා තුළින් දකින්න. කීර්තිය, ජයග්‍රහණය, ජයග්‍රාහී රජෙකු වීම වෙනුවෙන් සටන් කරන්න! ඔවුන් දැනටමත් මා විසින් මරා දමනු ලැබ ඇත; ඔබ ඔබේ රාජකාරිය ඉටු කරන්න.”

බෝම්බය නිපදවීමේ කටයුතු අතරතුර, ඔපන්හයිමර් ඔහුගේ සහ ඔහුගේ සගයන්ගේ සදාචාරාත්මක දෙගිඩියාවන් සමනය කිරීමට ඒ හා සමාන තර්කයක් භාවිත කර ඇත. විද්‍යාඥයන් වශයෙන්, ආයුධය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ තීරණ සඳහා ඔවුන් වගකිව යුතු නැති බවත්, ඔවුන්ගේ කාර්යය සඳහා පමණක් වගකිව යුතු බවත් ඔහු ඔවුන්ට පැවසුවේ ය. ලේ වැගිරීමක් සිදුවුවහොත් එය තැවරෙන්නේ දේශපාලනඥයන්ගේ අත්වල ය. කෙසේ වෙතත්, බෝම්බය නිපදවීම අවසන් වූ පසු, මෙම ස්ථාවරය පිළිබඳ ඕපන්හයිමර්ගේ විශ්වාසය දෙදරා ගිය බව පෙනේ.

ඔපන්හයිමර් නාසිවාදයේ තර්ජනයට එරෙහිව දේශීය ධනේශ්වරය සමග සන්ධානයක් විශ්වාස කරයි. ඔහු ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ හිතවතෙකි. ඔහුගේ බිරිඳ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවකි. ඔහුගේ සොහොයුරා කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකි. නමුත් ඔහු පරමාණු බෝම්බයේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු පාලක පන්තියට සහය දිය යුතු බව සිතයි. ඔහුව බෝම්බය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව පෙනී ගිය පසුව ඔහු මිතුරන්ට මෙසේ පවසා තිබෙන බව චරිතාපදානවල සඳහන් වේ.

මම හැම කොමියුනිස්ට් සම්බන්ධයක්ම කපා දානවා, මොකද මම එහෙම නොකරනවා නම්, මාව යොදාගන්න රජයට අපහසු වේවි. රටට මගෙන් ගන්න තියෙන ප්‍රයෝජනයට කිසි ම බාධාවක් ඇති වෙන්න දෙන්න මට ඕනේ නෑ” මේ සම්බන්ධයෙන් ඇල්බට් අයින්ස්ටයින් පසුව මෙසේ පැවසීය: “ඕපන්හයිමර්ගේ තියෙන අවුල තමයි ඔහු ඔහුට ආදරය නොකරන දෙයකට ඔහු ආදරය කිරීම. ඒ කියන්නේ, එක්සත් ජනපද රජයට.”

මෙය ඔපන්හයිමර්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේම පීලි පැනීමක් සමග සම්බන්ධය. ෆැසිස්ට්වාදයේ තර්ජනයට එරෙහිව එක්සත් පෙරමුණු ගොඩනැගීමේ ස්ටැලින්වාදී න්‍යායට ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයද ගොදුරු විය. කොමියුනිස්ට් පක්ෂ ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තරවාදය මත නොව ජාතිකවාදය හා තනි රටේ සමාජවාදය මත පදනම් වූ බව පෙනෙන්නේ චිත්‍රපටයේ ඔපන්හයිමර් මෙසේ පැවසීමෙනි. “මම සම්බන්ධ වී සිටියේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට නෙවෙයි, ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයට. ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරන්නේ ඇමරිකානු ජාතික අභිලාෂයන්ට අනුව.”

සෝවියට් දේශය ෆැසිස්ට්වාදයට එරෙහිව එක්සත් පෙරමුණක් විශ්වාස කළද ඇමරිකා එක්සත් ජනපද පාලකයෝ එවැනි එක්සත් පෙරමුණක නොසිටි අතර ඔවුන් පන්ති විග්‍රහයක් මත පදනම් වූ ආකාරය චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන්ට මනාව පැහැදිලි වේ. ඔවුන් සෝවියට් දේශය බරපතළ ලෙස සැක කරන අතරම කොමියුනිස්ට්වාදී අදහස් දරන විද්‍යාඥයන්ගෙන් පළිගැනීම ආරම්භ කරති. ඔපන්හයිමර් චිත්‍රපටයට පාදක වන්නේද ඕපන්හයිම සෝවියට් ඔත්තුකරුවෙකු ලෙස සැක කර සිදු කරන විමර්ශනයකි. ඒ සඳහා පාදක වන්නේ පරමාණු බෝම්බය නිර්මාණය කිරීම ගැන ඔහුට ඇති පසුතැවිල්ල සහ විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය නිර්මාණය කිරීමට ඔහු බාධා කිරීමයි. යුද්ධයෙන් පසු ඔපන්හයිමර් න්‍යෂ්ටික අවි ‘ආක්‍රමණශීලීත්වයේ, විස්මයේ සහ භීෂණයේ’ උපකරණ ලෙසත්, ආයුධ කර්මාන්තය ‘යක්ෂයාගේ වැඩක්’ ලෙසත් විස්තර කළේ ය.

ඔපන්හයිමර් 1954 වසරේ දී එක්සත් ජනපද රජයේ විමර්ශනයට ලක් වූ අතර, ඔහුට ‘රහසිගත තොරතුරු සඳහා ප්‍රවේශ වීමට තිබුණු අවසරය’ ඉවත්කර ප්‍රතිපත්තිමය කටයුතු සඳහා වූ ඔහුගේ දායකත්වයේ අවසානය සනිටුහන් කළේ ය. ඔහු වෙනුවෙන් විද්වත් ප්‍රජාව පෙරට පැමිණියහ. 1955 වසරේ දී The New Republic සඟරාව වෙත ලියමින් දාර්ශනිකයකු වූ බර්ට්‍රන්ඩ් රසල් ප්‍රකාශ කළේ, ”විමර්ශනයෙන් ඔහු වැරදි කර ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඉන් එකක් ආරක්ෂක දෘෂ්ටි කෝණයකින් බැලූ කල වඩාත් බරපතළ ය. නමුත් ඔහු ද්‍රෝහිකමක් සිදුකළේයැ යි හෝ දේශද්‍රෝහී යැයි සැලකිය හැකි කිසිවක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොතිබිණි... මේ විද්‍යාඥයෝ ඛේදජනක උභතෝකෝටිකයකට හසුවූහ.” 1963 වසරේ දී, එක්සත් ජනපද රජය ඔහුට අහිමි වී ගිය කීර්තිය යළි ලබාදීමේ අභිප්‍රායෙන් එන්රිකෝ ෆර්මි සම්මානය පිරිනැමූ නමුත්, ඔහුගේ මරණයෙන් වසර 55කට පසු 2022 වසර වන තුරුත්, රහසිගත තොරතුරු සඳහා ප්‍රවේශය ඉවත් කරමින් 1954 වසරේ ගත් තීරණය අවලංගු කර ඕපන්හයිමර්ගේ පක්ෂපාතීත්වය තහවුරු කිරීමට එක්සත් ජනපද රජය පියවර නොගත්තේ ය. නව යොවුන් වියේ සිට ම දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙකු වූ ඔපන්හයිමර් ඔහුගේ ජීවිත කාලය තුළ දරුණු ලෙස ක්ෂය රෝගයෙන් පීඩා වින්දේ ය. ඔහු 1967 වසරේ දී වයස අවුරුදු 62ක්ව සිටියදී උගුරේ ඇතිවූ පිළිකාවකින් මියගියේ ය. ඔපන්හයිමර් සිය මරණයට වසර දෙකකට පෙර මෙසේ පැවසීය. “කවියත් විද්‍යාවත් අතර වෙනසක් තිබෙනවා. කවිය මෙන් නොව විද්‍යාව වරක් කළ වරදක් නැවත නොකිරීමට ඉගෙන ගන්නවා.”

චිත්‍රපටය අවසානයේදී සාමය සහ සමාජවාදය වෙනුවෙන් කැපවූ කීර්තිමත් විද්‍යාඥයා ඇල්බට් අයින්ස්ටයින් ඔපන්හයිමර්ට මෙසේ කියයි.

 “ඔබගෙන් පළිගෙන අවසන් වූ පසු, ඔබට ඇති තරම් හිරිහැර කළ පසු ඔවුන් ඔබට සම්මාන දේවි. ඔබ ගැන කතා පවත්වාවි. ඔබට ප්‍රශංසා කරාවි. ඔවුන් ඔබ වෙත ඒවි. ඒත් ඒ ඔබ වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන්මයි.”

ධනවාදය යටතේ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ විද්‍යාඥයාගේත්, කලාකරුවාගේත්, සියලු ආකාර විෂය ප්‍රවීනයන්ගේත් ඉරණම පිළිබඳ ඒ ප්‍රකාශය තරම් චිත්‍රපටය අවසන් කිරීමට සුදුසු වෙනත් වදනක් නැත. 






Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?