ළමා සාහිත්‍යයේ අවගමනය සහ ධනවාදයේ දිරාපත් වීම
ඉතාලි ජාතික ළමා කවි නිර්මාණකරුවකු වන ජාන් රෝදාරිගේ කවි ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කර, හිල්මි සුපුන් පෙරේරා සහ තරුෂ පෙරේරා සැකසු ‘මජිකාමේන්තේ’ කෘතිය එළිදක්වන අවස්ථාවේ පුබුදු ජයගොඩ සහෝදරයා කළ දේශනය ඇසුරින් සැකසුණි.
ඉතාලි ජාතික කවියෙකු වන ගේ ළමා කවි ගණනාවක් මජිකාමේන්තේ නම් පොතක් ලෙස සිංහල භාෂාවෙන් එළිදක්වන මේ මොහොතේ ළමා කවි ගැන යම් ප්‍රවේශයක් ගැනීම වැදගත් ලෙස සිතනවා. පොදුවේ ළමා කවි පිළිබඳ ගැටළුවක් දෙස ඔබේ අවධානය යොමු කරනවා. සාමාන්‍යයෙන් අපි පෙර පාසලකට හෝ පාසලක ප්‍රාථමික පන්තියකට ගොස් කුඩා දරුවෙකුට ළමා කවියක් කියන්න කීවොත් සිංහල භාෂාවෙන් ඒ දරුවන් කියන කවි අවම වශයෙන් වසර 70ක්, 80, 100ක් පරණ කවි. කුඩා දරුවන්ට තමන්ගේ ආත්මය ප්‍රකාශයට පත්වන බව සිතෙන කවි ලියන්න වැඩිහිටියන් අසමත් වී අඩ සියවසකටත් වැඩි කාලයකට පසුව අපි මේ ළමා කවි ගැන කතා කරන්න වාඩි වෙලා ඉන්නේ.
1940 දශකයෙන් පසුවත් ළමා කවි ලියවුණා. නමුත් ඒවා කුඩා දරුවන්ගේ ආකර්ෂණයට
ලක්වී නැහැ. ඒ කවි කුඩා දරුවන් තමන්ගේ ආත්මීය සම්බන්ධයක් සමග ගන්නේ නැහැ. ලංකාවේ
අපට දරුවන්ට තමන්ගේම
ප්‍රකාශනයක් කියා සිතෙන වර්ගයේ කවි
ලියා ගන්න බැරිව දශක 5-6-7ක් ගෙවුණේ ඇයි? මේ ගැටලුව ගැන අපි කතා කරමු.
මීට පෙර කතා කළ වසන්ත ප්‍රියංකර
නිවුන්හැල්ල කවියා කුමාරතුංග මුනිදාස ළමා කවි ක්ෂේත්‍රයේ කළ දායකත්වය ගැන කතා කළ
නිසා මමත් කුමාරතුංග මුනිදාසගෙන් ආරම්භ කරන්නම්. ළමා කවි ගැන ඔහු කුමර ගී පොත
ආරම්භයේදීම කියන්නේ මෙහෙම.
‘බල සෙනගට සමර ගී
සුර සබයට අමර ගී
සුවඳ මලට බඹර ගී
බොළඳ කටට කුමර ගී’
මේ කවියෙන්ම පැහැදිලි වෙනවා එතරම්
බරපතළ වචන උච්ඡාරණයට හුරු නොවූ කටකට සහ චින්තන පරාසය එතරම් වර්ධනය නොවූ සිතකට
ගැලපෙන ලෙස ළමා කවි ලියන්න වෙනවා කියලා. බොළඳ කටට වගේම බොළඳ සිතටත් ගැලපෙන,
අජීර්ණ නොවන කවි තමයි කුඩා දරුවන් වැලඳ ගන්නේ.
කුමාරතුංග මුනිදාස මේ කවිය කිව්වේ සියවසකට පෙර 1920 දශකයේ. අදටත් ළමයින් ආදරයෙන් වැලඳ ගන්නා ඔහුගේ ළමා කවි වල ඒ සරල බස්
වහර, සරල සංකල්ප භාවිතය, ගීතවත් බව රැඳී සහ සරලත්වය හරහා සංකීර්ණත්වය
වෙත දරුවා ඔසවා තබන ලක්ෂණ තිබෙනවා. සොබා දහමේ සහ මිනිසාගේ ඒකත්වය සහ විවිධත්වය
හරහා ළමා පරිකල්පනය වර්ධනය කරන්න දැරූ උත්සාහයන් ගැන අපට ළමයින් අතර තවමත් ජනප්‍රිය
එස්. මහින්ද හිමියන්ගේ ‘සමන් පිච්ච මල් ඉහිරුණු - නිල් තණකොළ පිට්ටනියක්’ කවියත්
නිදසුනක් ලෙස ගන්න පුළුවන්.
කුඩා දරුවන් අතර ඉතාම ජනප්‍රිය,
ආනන්ද රාජකරුණා ලියූ ‘රෝස මලේ නටුවෙ කටූ - වන
බඹරෝ ඔහොම හිටූ’ වගේ කවියක් ගැන බලන්න. ඒක ලියවුණේ 1929දී. එය පරිකල්පනය අවදි කර, සංකල්ප රූප මවා, යථාර්ථය ගැන අවබෝධයක් දරුවාට ලබා
දෙනවා. අවුරුදු 100ක් ගියාට පස්සෙත් මේ කවි යල් පැන්නේ
නැත්තේ ඇයි? එතනින් පස්සේ දශක ගණනාවක් පුරා ඒ වගේ
ළමයින්ට ආකර්ෂණයක් ගෙන දෙන ළමා කවි ලියන්න අපට බැරි වුණේ ඇයි? මේ අබිරහස විසඳන්න ඕන. ඒ අබිරහස විසඳීම
දේශපාලනය සමග සම්බන්ධයි.
20 වන සියවස මුල ලංකාවේ ධනවාදය තහවුරු වන
මොහොතේ, ලංකාවේ ධනපති පන්තියට වගේම ධනේශ්වර
දෘෂ්ටිවාදී නිමැවුම්කරුවන්ට තිබුණා නූතනවාදී ශිෂ්ටකරණ ව්‍යාපෘතියක්. පැරණි පූර්ව
ධනේශ්වර ආසියාතික සමාජ ක්‍රමයේ ජීවන පරමාදර්ශ වලට වෙනස්ව ධනේශ්වර සංස්කෘතියක්
තහවුරු කිරීමේ අවශ්‍යතාව ඒ කාලයේ තිබුණා. ඒ අවශ්‍යතාව නිසාම ධනපති පන්තියට කුඩා
දරුවන්ට අදාළ ව්‍යාපෘතියක් තිබුණා. එහිම ප්‍රකාශනයක් ලෙස කවීන්ට ළමා කවි පිළිබඳ ව්‍යාපෘතියක්
තිබුණා. ඒ කාලයේ සිටි හැම ප්‍රධාන කවියෙකුම ළමා කවි ලිව්වා. අද අපේ සමකාලීන යුගයේ
කවීන් ළමා කවි ලියන්නේ නැහැ. ඔවුන් ලියන්නේ වැඩිහිටියන් සඳහා. අනෙක ඒ කාලයේ කවියන්
වැඩිහියන්ට කවි ලියන අතර ඉඳලා හිටලා ළමා කවි ලිව්වා නෙවෙයි. ඔවුන්ට ළමයින්
ශිෂ්ටකරණය සම්බන්ධයෙන් ඉතාම සංයුක්ත ව්‍යාපෘතියක් තිබුණා. නිදසුනක් විදියට ගත්තොත්
මම කලින් සඳහන් කළ එස්. මහින්ද හිමියන් සහ ආනන්ද රාජකරුණා වැනි කවීන් ළමා කවි සිය
ගණනක් ලියා තිබෙනවා. කුමාරතුංග මුනිදාස කුමාර රචනය, කියවන නුවණ, කුමර ගී වගේ පොත් පෙළක් ලිව්වා. ඒ පොත්
පෙලේ එක එක වයසට වෙන වෙනම කවි තිබෙනවා. මුලින්ම ‘අ - ආ - ඇ - ඈ’ කියන කුඩාම දරුවන්
සඳහා වන කවි වල සිට නවයොවුන් ළමුන් දක්වා හැම වයසක්ම ආවරණය කරන දැවැන්ත කාව්‍ය ව්‍යාපෘතියක්
ඒක.
ශික්ෂණය ගැන අර්ථකථනය තියෙන්නේ යම්
කෙනෙකුගේ පෞරුෂය අප විසින් ඉලක්ක කරන තැනකට වර්ධනය කිරීම සඳහා කරන සැලසුම්සහගත,
සවිඥානක, සංවිධානාත්මක උත්සාහයක් කියන එක. ළමයින් සඳහා ගත්තොත් එක ළමයාගේ
පෞරුෂය ඉලක්ක සහගතව මෙහෙයවීම සඳහා අපි කරන චරිත සංවර්ධන ව්‍යාපෘතියක්. ඒ නිසා තමයි
ඒ කාලයේ ළමා කවි වල පාසල් යාම, ශාරීරික ස්වස්ථතාව පවත්වා ගැනීම,
සමාජ ජීවිතය පෝෂණය කර ගැනීම, යම් විෂයන් සඳහා නිපුණතා අත්පත් කර ගැනීම,
ධනේශ්වර සමාජ සදාචාරයන් ආරක්ෂා කිරීම, ජාතික රාජ්‍යය ගොඩනැගීම ආදී ව්‍යාපෘතියක් ප්‍රකාශයට
පත් වෙනවා.
ඒ කියන්නේ ඒ කාලයේ කවියන්ට අනාගත
සමාජයේ මිනිසා යනු කවරෙක්ද, ඒ සමාජයේ ජීවන ශෛලිය කුමන ආකාරයේ එකක්ද,
එම සමාජයේ සදාචාර සැකැස්ම කුමන එකක්ද කියලා
අදහසක් තිබුණා. ඒ ඉලක්කය ගැන අපට නොඑකඟතා තියෙනවා, විවේචන තියෙනවා. ඒත් ඔවුන්ට ඉලක්කයක් තිබුණා. ඒ ලංකාවේ ධනේශ්වර ජාතික
රාජ්‍යය ආරම්භ කරන කාලයේ. ඔවුන්ට අවශ්‍ය වුණා පූර්ව ධනේශ්වර යටත් වැසියා වෙනුවට
නූතනවාදී ජාතික රාජ්‍යයේ පුරවැසියා හදන්න. නමුත් දැන් මේ නව ලිබරල් ධනවාදය අවධියේ
ධනපති පන්තියටවත් එවැනි සංයුක්ත ඉලක්කයක් නෑ. අනාගත පුරවැසියා කෙබඳුද යන ප්‍රශ්නය
තවදුරටත් ඔවුන්ට අදාළ නෑ. අවශ්‍ය වන්නේ ගෝලීය ප්‍රාග්ධන සමුච්ඡගතකරණය වෙනුවෙන්
නොනැවතී වැඩ කරන, මනුෂ්‍ය සංස්කෘතියේ උස්මුදුන් නොදැක
මිනිස් දූවිලි මෙන් ජීවත් වන සමාජයක්. දැන් නැවත ඔවුන්ට අවශ්‍ය තමා සහ ලෝකය ගැන
සවිඥානක නැති, ඔලුව නමාගෙන කියන දේ කරන, කොන්ද නමාගෙන වැඩ කරන, යටත් වැසියෙක්. ඒකට ළමා කවි ඕන නෑ, ළමා ගී ඕනත් නෑ, ළමා කතා ඕනත් නෑ. ළමයින්
සඳහා ශිෂ්ටකරණ ව්‍යාපෘතියක් පාලක පන්තියට නෑ. ඔවුන්ට එහෙම එකක් ඕනත් නෑ.
දැන් මීට වඩා වෙනස් අනාගත සමාජයක් ගැන
පරිකල්පනය කරන්නේ, මිලදී ගැනීමයි - විකිණීමයි හැර වෙනත්
ආකාරයක ජීවන පරමාදර්ශයන් ගැන සිතන්නේ, සමාජ
සදාචාරයේ වර්ධිත ආකෘති ගැන කරදර වන්නේ පාලක පන්තිය නෙවෙයි නිර්ධන පන්තිය. ඒ නිසා
අපටයි දැන් ශිෂ්ටකරණ ව්‍යාපෘතියක් අවශ්‍ය වන්නේ. ඒ නිසා තමයි සමකාලීන ලෝක ළමා
සාහිත්‍යකරුවන් සියලු දෙනාම කොමියුනිස්ට්වාදීන් වෙන්නේ. මේ කෘතියේ එන කවි වල
නිර්මාපකයාත්, ඉතාලි ජාතික කිවි ජානි රෝදාරි
කොමියුනිස්ට්වාදියෙකු වීම අහම්බයක් නෙවෙයි. අනාගත ලෝකය ගැන ධනපති පන්තියට වගකීමක්
නැහැ. ඒ වගකීම බාර ගන්න වෙන්නේ අපට. ළමයින් වෙනුවෙන් වන ව්‍යාපෘතියට කර ගහන්න
වෙන්නෙත් අපට. අනාගතය හදන්න වෙන්නේ අපේ පන්තියේ දෑතින්. මොකද, ධනවාදයට අනාගතයක් නෑ, අනාගතය හිමි සමාජවාදයට.
Comments
Post a Comment