සමාජයීය මිනිස් ආත්මය කවියට නැගීම
(ඉසුරු චාමර සෝමවීරගේ ‘මමත්වතා’ කාව්‍ය කෘතිය පිළිබඳ විචාරාත්මක අදහසක්)
ඉසුරු චාමර සෝමවීර දිර්ඝකාලීන අභ්‍යාසයක් මාර්ගයෙන් ස්වකීය කවියේ භාෂාව, උපමා අලංකාරය දියුණු තියුණු කරගත් කවියෙකි. ‘ඒ සුද’ (2005) ‘තාණ්ඩව’ (2011) ‘අප දෙදෙන මැද මහ මුහුද’ (2016) යන කාව්‍ය කෘති හරහාය. ඉසුරුගේ කවියේ අප ඉහත සඳහන් කළ ආකෘතික ලක්ෂණවල පදනමෙහි ඇත්තේ, බහුතරයේ කතිකාවෙන් බැහැර වන අල්පතරයේ කතිකාවයි. අල්පතරයේ දෘෂ්ටිවාදයට එරෙහි බහුතරයේ ජීවන අත්දැකීමයි. ජීවන අරගලයයි.
“සිහින නිවහන” යන මැයෙන් යුතු පළමු කාවිය 70 දශකයේ ප්‍රකට කවියෙකු වූ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ‘කුලී ගෙදරකට මාරුවන වගයි’ වැනි කවියක් අපට සිහිපත් කරන්නේය.
“මා පසෙක නිදියන,
දහස් පෙති ගාලේ
සමනැලුන් හඹායන,
සුදුම සුදු, නිදිමත
බැළලියෙක් විය අපට”
(1. පිටුව)
කොඩිතුවක්කු කවියාගේ කවියේ එන බළලුන් දෙදෙනා කතකයා ඉදිරියේ නිෂ්ක්‍රිය අසන්නන් දුක්ගන්නාරාලලා දෙදෙනෙකු පමණක් වුවත් ඉසුරුගේ කවියේ එන බැළලිය ‘ගෙයින් ගෙට මාරුවීමේ’ ඛේදවාචකයේ ඓන්ද්‍රීය ගොදුරුය.
“ඊළඟ කුලී නිවසට
රැගෙන ආවත් ඇය
සංකාවෙන් හිඳ
දිවිනසා ගත්තාය චප්ප වී
ලී ලොරියකට පැන”
සිහින නිවහන
(1. පිටුව)
වරින් වර, බලාපොරොත්තු විරහිත ලෙස ජීවන අවකාශ තමාගේ කැමැත්තට පිටින් මාරු කිරීමට සිදුවීමේ මානුෂික ඛේදවාචකය බැළලියක ආශ්‍රයෙන් ප්‍රබලව සංකේතවත් කිරීමට කවියා සමත් වෙයි. එතැනින් නොනවතින කවියා, තමාගෙම නිවසක් පිළිබඳ කුලී නිවැසියා සතු පරාදීසමය සැනසීම ද ධනේශ්වර ක්‍රමය තුළ තවත් එක මයාමය සැනසුමක් පමණක් වන ආකාරයද ඉසුරුගේ කවියේ වැඩිදුරටත් විස්තර වේ.
“තිබේ දැන් මට
මගෙම නිවසක්
වෙන්දේසි ඉඩමක
හතරක් පචස් හයක
අඩු කරමින් සිටිමි
ණය වාරික එකින් එක
බඳිමින් ගඩොල් බැමි”
(සිහින නිවහන)
ලිපිය ආරම්භයේදී පැවසූ ලෙසම ඉසුරුගේ කවියේ, කාව්‍ය අලංකාරය උපදිනුයේ සමාජ ධුරාවලියේ දෙවන තැනට වැටෙන පීඩිතයාගේ දෘෂ්ටියෙනි. ඒ ආර්ථික සබඳතාවලදී සංස්කෘතික සබඳතාවලදී ආදී වශයෙන් එන සකලවිධ මානුෂික සබඳතාවලදීමය. එය ආදරය වැනි විෂයකදී ඉසුරුගේ කවිය තුළ සංකල්පරූපගතවන ආකාරය පහත කවියෙන් නිරීක්ෂණය කළ හැක.
“ප්‍රේමයේ ආලෝක වෘත්තයේ
පරිධියට මඳක් ඈතින්
අසුන මට දෙන්න
...........................
.............................
රෝස මල් පොකුරු දෙන
සෙනග තදබදය තුළ
පුරුදු නැහැ මට ඇවිත් තෙරපෙන්න
මං ගෙනා කෑලෑ මල්
මග දිගට හලන්නම්
දැක්කොතින් එක දෙකක් අහුලන්න
නොදැක්කොත් ඔබෙ ගමන ඔබ යන්න
කෑලෑ මල් ඔහෙ පයට පෑගෙන්න”
(21. පිටුව)
ඒ අනුව ඉසුරුගේ කවියේ දේශපාලනය වනුයේ සමාජීය ප්‍රතිවිරෝධතා අමතකකර දැමීම නොව, ප්‍රතිවිරෝධය හරහා ගමන් කිරීමය. එය පීඩිත පන්තින්ගේ දේශපාලනයට සමීපභාවයක් දක්වනුයේ, ප්‍රතිපක්ෂයන්ගේ අරගලයේදී පීඩිත පක්ෂයේ පැත්තේ සිට ගැනීමෙත්, ප්‍රතිපක්ෂය මග නොහැර ඒ හරහා ගමන් කිරීමේ ස්වභාවයෙනි.
“මූණු, ඇස් අමතක
තොල්, කකුල්, අත් අතර පැටලී
තෙත සෙවල වගුරුවා
ඔක්කාරයට එන විට
කාරා කෙළ ගසා
පිටව එමි.
අඳුරු වැටකේ පඳුරු
ලාභ හෝටල් කාමර
පාලු දුම්රිය මැදිරි
සිහිනෙනුදු ඔබ නොසිතන
අදුරුම තැන් තුළ සිට
නැවත නැවතත් එමි”
(මගේ මළ පුඩුව, ඔබේ රන්කූඩුව, 25. පිටුව)
මෙය, මධ්‍යම පාන්තිකයා, සදාචාරාත්මකව තිගස්වන සුළු ජීවන චරියාවක කාව්‍යමය ප්‍රකාශනයකි.
“මොනරෙකු පළා ගිරවෙකු ලෙස
අඳුරින් මතුව
දැවී ආලෝකයේ
නැවත නැවතත් අඳුරටම යමි.”
(මගේ මළ පුඩුව, ඔබේ රන් කූඩුව, 25. පිටුව)
මැද පන්තික ජීවන රටාව කෙරෙහි කවියාගේ විරෝධය ‘කාලකන්නි’ යන මැයෙන් වන කවියේ මෙසේ සටහන්ව තිබේ. දිර්ඝ කාව්‍ය ප්‍රමාණකින් යුතු කවියේ අවසාන පද මෙසේය.
“මකුළුවෝ
ඔහේ දැල් බඳිනවා
සත්තු අල්ලනවා
කූඹි,
පිස්සුවෙන් වගේ කෑම හොයනවා
මට මහන්සියි
මං ඉඳන් බලන් ඉන්නවා”
(කාලකන්නි, 30 පිටුව)
එහෙයින් ආත්ම කේන්ද්‍රීයතාවක ආකාරයෙන් ප්‍රකාශ වුවද ඉසුරුගේ කවිය දරා සිටිනුයේ පුළුල් සමාජීය වෛෂයික භාවයකි. එම වෛෂයිකත්වය තමාගේ කාව්‍ය භාවිතයට ලබාදෙන ත්වරණය පිළිබඳ ඔහුගේම කවියේ සටහන්ව තිබෙනුයෙ මෙලෙසිනි.
“මතක අමතක
අපමණ මුහුණු
නොනැවැතී මතකයෙන් එබෙනවා.
නොයෙක් දේ එක දිගට අහනවා
වලාකුළු වැහි වෙලා බිඳෙනවා
රැහැයියන් තාම ගී ගයනවා
මගේ නිදි බිඳිනවා
හීන තුළ මුහුදේ රළ ගහනවා
ඉතින්
කවි නොලියා කොහොමද”
(ඇයි ඔයා කවි ලිව්වේ? 33. පිටුව)
කලකට ඉහත ආරියවංශ රණවීර කවියාගේ “ගුහා කවි සහ එළිමහන් කවි” කෘතියේ එන කවියක මෙසේ සටහන්ව තිබිණි. “එළිමහන ඇත්තේ ගුහාවට පිටතිණි, එහෙත් නුදුරිනි. ”
එහෙයින් ඉසුරුගේ කවිය සමාජීය ආත්ම ප්‍රකාශනයක සෞන්දර්යාත්මක රූපයකි. එය සමාජය සහ මිනිස් ආත්මය “සමාජීය ආත්මයක්” ලෙස එක මිටට හසුකර ගැනීමට කරන අරගලයකි, එම අරගලය, සමාජීය ප්‍රතිපක්ෂතාවන් ඉක්මවා යෑමට, පීඩිත පක්ෂය පැත්තේ සිට සිදු කරන, කලාත්මක මැදිහත්වීමකි.
ඉසුරු චාමර සෝමවීරගේ කවිය වාස්තවික සමාජ, ආර්ථික, දේශපලනය සහ සමාජයීය මිනිස් අත්මය එක මිටට ගත් කවියකැයි අප පවසනුයේ එහෙයිනි.
Comments
Post a Comment