රුදුරු යුධ බිමක ප්‍රේමයේ පණිවිඩකාරිය - Ayla, The Daughter of War

 




සමාජ වෙනසක් වෙනුවෙන් කලාව භාවිතාවන ආකාරය, කලාව තුළ දේශපාලනය ආදී නොයෙකුත් මාතෘකා පිළිබඳ අප කලින් කලට සාකච්ඡා කරනවා. ඒ සියල්ල එසේ පැවතියදී ඉතිහාසය පුරා බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් කලාව භාවිතා වුණා. විශේෂයෙන්ම හොලිවුඩ් වැනි ලෝක ප්‍රසිද්ධ සිනමා කර්මාන්තයන් තුළ මේ කාරණය ප්‍රබලව භාවිත වුණා. ප්‍රධාන කතාංගය පසුබිමින් තමන්ට සමාජය තුළ තහවුරු කරන්නට අවැසි මතවාදයන් ඇතුලත් කෙරුණා. යුධ සමයන් තුළ එම යුද්ධයට අවශ්‍ය මානසිකත්වය සමාජය තුළ ගොඩනගන්නට සිනමාව ප්‍රබලව භාවිතා වුණා. ඒ අනුව හමුදා සේවයට බැදීම වීරත්වය වෙත ඔසවා තැබීමක් වුණා. මෙරට තුළද මේ කාරණය අපට හඳුනාගත හැකියි. 

සෑම විටම මෙම නිර්මාණයන් තුළ තමන්ගේ කඳවුර වීරයන් ලෙසත් සතුරු කඳවුර දුෂ්ඨයන් ලෙසත් රූපාන්තරණය වුණා. තමන්ගේ කඳවුරේ හමුදා සෙබලුන්ගේ මානුෂිකත්වය, දක්ෂතාව පිළිබඳ වර්ණනා කරන අතරම සතුරන් අතින් සිදුවන යුධ අපරාධ වැනි දෑ ඉතා සංවේදීව නිරූපණය කරන්නට වුණා.  වියට්නාම් යුද්ධය වැනි ඇමරිකාව ප්‍රමුඛ කඳවුරට ඉතිහාසගත පරාජයක් ගෙන දුන් අපකීර්තිමත් යුද්ධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අමෙරිකාවට යුධ අපරාධ සම්බන්ධයෙන් පවා චෝදනා එල්ලවුණ අවස්ථාවල නිශ්චිතව ඇමරිකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම අරමුණු කරගනිමින් චිත්‍රපට නිර්මාණය වන්නට වුණා. 

මේ සියල්ල පසකින් තැබුවත් යුධ සිනමාව තුළ බොහෝ විට දැකිය හැකි ලක්ෂණයක් වන්නේ එය ඒක පාර්ශවික දෘෂ්ටියකින් නිර්මාණය කර තිබීමයි. පෙර සඳහන් කළ දේශපාලනික අරමුණු වලට අමතරව නිර්මාණකරුවන්ගේ දෘෂ්ටිවාදය මෙන්ම ඔවුන් ව්‍යාපාරික අර්ථයෙන් ඉලක්ක කරණ රසික ප්‍රජාව වැනි සාධකද මේ සඳහා බලපායි. කොරියානු යුද්ධය එකල ද්විකඳවුරු ලෝකය උණුසුම් කළ තවත් යුද්ධයක් වන අතර  Ayla, The Daughter of War ඇමරිකානු කඳවුර නියෝජනය කළ තුර්කිය අශ්‍රිත නිර්මාණයක් වන අතර සුපුරුදු පරිදි නිශ්චිතව ඇමරිකානු කදවුරට පක්ෂපාත නිර්මාණයකි.

අප ප්‍රබන්ධ කතා සිනමාව තුළ දැක ඇත. නමුත් ඇතැම් සැබෑ ලොව යථාර්ථයන් ප්‍රබන්ධයන් අබිබවා අපව විශ්මයටත් ආස්වාදයටත් පත්කරයි. තවත් ඇතැම් විටෙක එවැනි සිදුවීම් සැබැවින් සිදුවූවා දැයි විශ්වාස කිරීමට පවා මැළිවෙමු. මෙතරම් උත්තුංග මනුෂ්‍යත්වයක් සැබෑවට ලොව පවතීද යන්න ගැන වික්ෂිප්ත වන අප තවත් විටෙක මිනිසුන්ට සත්‍ය ලෙස මේ තරම් දරුණු විය හැකිද යන්න ගැන කල්පනා කරයි. Ayla, The Daughter of War සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ගොඩනගන ලද සිනමා නිර්මාණයකි.

කොරියානු යුද්ධයේදී දකුණු කොරියාවේ සහායට තුර්කි හමුදා භටයින් ඇමරිකානු හමුදාව සමග කොරියාව වෙත යොමු කරයි. මෙහිදී තුර්කිය යුද්ධයට සම්බන්ධවන්නේ එම යුද්ධය ආරම්භ වී යම් කාලයක් ගතවීමත් සමගයි. සුලෙයිමාන් ඇතුළු තරුණ මිතුරන් යනු ඉතා විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවත්වූ විනෝදකාමී පිරිසකි. ඔවුන්ට කොරියානු යුද්ධය සදහා කැදවීම් ලැබෙන්නේ මේ අතර තුරය. සුපුරුදු පරිදි යුද්ධය වීරත්වයට ඔසවන අතර එය තම රට වෙනුවෙන් වන වගකීමක් බවට යන මතය රජය විසින් ගොඩනගයි. පුතුන් නොමැති පියවරුන් යුද්ධයට යැවීමට තමන්ට පුතෙකු නොමැතිවීම ගැන දුක්වෙන අයුරු අපට දැකගත හැකියි. කෙසේ නමුත් පෙම්වතියන්, මව්වරුන් තුළින් යුද්ධයේ වේදනාව නිරූපණය කෙරෙයි.

ඒ වන විට දකුණු කොරියාව යුද්ධය ජයග්‍රහණය කිරීමට ආසන්න බවක් ඇගවෙන අතර තුර්කි හමුදාවට යුද්ධ නොකරම නැවත පැමිණීමට සිදුවන බවට පුවත් තුර්කිය තුළ ප්‍රචාරය වෙයි. සියල්ලන් සතුටින් සිටින අතර පවුල්වල සාමාජිකයන් තම පුතුන් විනෝද චාරිකාවක ගියා වැනි හැඟීමකින් සැහැල්ලුවෙන් සිටී. නමුත් මේ අතර උතුරු කොරියාවේ සහායට චීනය ඉදිරිපත් වන අතර යුද්ධය උඩුයටිකුරු වී නැවත කල් ඇදෙන බිහිසුණු යුද්ධයක් බවට ක්ෂණිකව පත්වන්නේ දෙපාර්ශවයටම බරපතළ හානි සිදුකරමිනි.

චිත්‍රපටය තුළ උතුරු කොරියානු හමුදාව දකුණු කොරියානු ගම්බිම් විනාශ කරමින් සමූලඝාතනය කරන අයුරු පෙන්වයි. උතුරු කොරියානු ප්‍රහාරයකින් පසු පසුබැස පලායමින් සිටින සුලෙයිමාන් ඇතුළු පිරිසට අයිලා හමුවන්නේ සමූලඝාතනය කරන ලද ගමක මළමිනී ගොඩක් මැද හුදෙකලාව සිටියදීය. එම කුඩා දැරියත් තම පවුල් වලින් හුදෙකලාව නන්නාඳුනන රටක තනි වූ සුලෙයිමාන් ඇතුළු තුර්කි හමුදා නිලධාරීන් පිරිසත් අතර ගොඩනැගෙන බැඳීම මෙම සිනමා නිර්මාණය පුරා දිවෙයි.

සුලෙයිමාන් සහ කොරියානු දැරිය අතර ගොඩනැගෙන පීතෘ-දාරක සබඳතාව සිනමා නිර්මාණය පුරාවට ඉතා සංවේදී අයුරින් නිරූපණය කරන අතර තුර්කි හමුදා කඳවුරම එක් වී දරුණු යුද්ධයක් මැද කුඩා දැරියක් ආදරෙන් රැක බලා ගන්නා ආකාරය අපට මනුෂ්‍යත්වය පිළිබද ආස්වාදයක් ගෙන එයි. නමුත් වසරකට අධික කාලයකට පසු එම හමුදා කණ්ඩයට නැවත තුර්කිය බලා යාමට සිදුවෙයි. ඉන්පසු යුධ බිමක හුදෙකලා වන අනාථ දැරියට කුමක් සිදුවේවිද?

සුලෙයිමාන් නැවත තුර්කියට යන විට ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග විවාහ ගිවිසගෙන ඇති අතර වෙනදා ඔවුන්ගේ රජදහන වූ නගරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මෙම මතකයන්ගෙන් ඈත්වීමට සුලෙයිමාන් ඉක්මනින් විවාහ වී වෙනත් නගරයක් වෙත සංක්‍රමණය වූවද යුද්ධයේදී මියගිය අලී ඇතුළු සිය මිතුරන්ගේ සහ තමන්ට තනිකර දමා එන්නට සිදු වූ අයිලා ගැන මතකයන් හේතුවෙන් ඔහු නිරන්තරයෙන් පසුතැවෙයි. එම නිසාම සිය විවාහ ජීවිතය පවා සාමාන්‍ය පරිදි ගෙවා දැමීමට ඔහුට නොහැකිවෙයි. කෙසේ නමුත් මේ සියල්ල ගැන අවබෝධයක් තිබූ සුලෙයිමාන්ගේ බිරිඳ, අයිලා සෙවීම තමන්ට පවරා ගනී. වසර පනහක් ගතවෙයි. නමුත් අයිලා හමු නොවෙයි.

පියෙකු තම දියණියට ඇය බැලීමට නැවත පැමිණෙන බවට ලබාදුන් පොරොන්දුවක් වසර පනහකට පසු ඉටු කරයි. චිත්‍රපටය අවසන් වන්නේ එම මෙහොතට අදාළ සැබෑ සිදුවීමේ දර්ශනවලිනි. සිනමා නිර්මාණයේ ඇති ඒකපාර්ශවික බව පසෙක තැබූ කළ යුද්ධය හා එමගින් එයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වන්නන්ගේ ජීවිතවලට සිදුවන බලපෑම ආදී පරාසයක කියවීමක් ලබාගත හැකි නිර්මාණයකි Ayla, The Daughter of War. ලෝක සිනමා ඉතිහාසය තුළද යුධ සිනමා ශානරයට අයත් සාර්ථකම නිර්මාණ කිහිපය අතරට මෙය ඇතුලත් බව බොහෝ විචාරකයන්ගේ අදහසයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?