'70 ජනප්‍රිය සිනමාවේ දේශපාලනය


ලාංකීය සිනමා ඉතිහාසය සහ ලාංකීය සිනමාවේ ඉදිරි ගමන් මග පිරික්සීමේදී ජනප්‍රිය සිනමාව නැත්නම් වානිජ සිනමාව එසේත් නැත්නම් විනෝදාස්වාද සිනමාව අමතක කොට, එය නොසලකා හැර ඉදිරි පියවරකට යා නොහැක. 

විශේෂයෙන් 70 දශකයේ ජනප්‍රිය සිනමාව ගැන කතා කරද්දී ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, තිස්ස විජේසුරේන්ද්‍ර, රෝයි ද සිල්වා, ජෝ අබේවික්‍රම, රෙක්ස් කොඩිප්පිලී, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බැප්ටිස් ප්‍රනාන්දු, ලයනල් දැරනියගල, මර්වින් ජයතුංග, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ඇන්තනී සී. පෙරේරා, ප්‍රෙඩී සිල්වා, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවී, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි,  ලතා වල්පොල,  ඇන්ජලින් ගුනතිලක,  සුජාතා අත්තනායක අමතක කළ නොහැකි නාමයන්ය.  එසේම එම්. මස්තාන්,  ජේ.  සෙල්වරත්නම්, මිල්ටන් ජයවර්ධන,  නීල් රූපසිංහ, තිමති වීරරත්න, ලෙනින් මොරායස්, කේ. ඒ.  ඩබ්ලිව්. පෙරේරා,  යසපාලිත නානායක්කාර, කේ. වෙන්කට්, එම්. වී. බාලන්, එස්. වී. චන්ද්‍රන්, ධර්ම ශ්‍රී කල්දේරා, සේන සමරසිංහ, එච්. ඩී. ප්‍රේමරත්න, සුගතපාල සෙනරත් යාපා, සුනිල් ආරියරත්න 70 දශකයේ අමතක කළ නොහැකි නාමයන් අතර විශේෂිතය. එදා සිනමාව පෝෂණය කරවූවෝ මොවුන්ය. 

සිනමා ශබ්දය පරයා ඇසුනු ගැලරියේ විසිල් හඬ ගී හඬ සමඟ ප්‍රේක්ෂාගාරය පුරා ඇසුනු උරුවම් බෑම් සිනමාවේ පෝෂණයට බල නොපෑවා යයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැක. චිත්‍රපටයේ ‘ෆයිට් කීයද, සින්දු කීයද?’ යන්න මත එය නරඹනවාද නැද්ද තීරණය කරන අපූරු රසවතුන් පිරිසක් බිහි කිරීමට නැතහොත් වර්ධනය කිරීමට 70 වේ සිනමාව සමත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, සුමිත්‍රා පීරිස්, ඩී. බී. නිහාල්සිංහ වැනි පිරිස් ජනප්‍රිය සිනමාවට ප්‍රතිපක්ෂ විදග්ධ නැතහොත් සම්භාව්‍ය සිනමා කුලකයක ගොනු කරන ලදි. මේ ජනප්‍රිය සිනමාව අවර ගණයේ බැහැර කළ යුතු පීචං කලාවක් ලෙස සැලකූ ඇතැම්  සම්භාව්‍ය විදග්ධ සිනමාකරුවෝ සහ විචාරකයෝ සිනමාවේ පැවැත්මට ඔවුන් මේ අවර ගණයේ ලා සලකන ජනප්‍රිය සිනමාව මහත් මෙහෙයක් කළ බව පිළිගැනීමට සූදානම් නැත.  

විදග්ධ සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නෝ සිනමාව තුළින් දේශපාලනය කතා කිරීමට උත්සාහ ගත්හ. ඔවුන් ඇතැමෙකුගේ සිනමා කෘති සෘජු දේශපාලනික තේමාවන්නේ යුක්ත විය. නමුත් මේ අධිපති සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නෝ අමතක කළ හෝ මගහැරිය නැත්නම් අවධානය යොමු නොකළ කරුණක් ඇත. ඒ තමන් ගේ නිර්මාණයන්හි අන්තර්ගත යයි සලකන සිනමාරූපී යථාර්ථමය පිළිබිඹුව නම් වූ මිනුම් දණ්ඩ තුළින් ඉරක් ගසා වෙන් කළ කලාත්මක-වාණිජ නැතිනම් සම්භාව්‍ය-ජනප්‍රිය එසේත් නැතිනම් ප්‍රබුද්ධ-පීචං ලෙස විවිධාකාරයෙන් නාමකරණය කළ සිනමාව පොදුවේ සමාජය ප්‍රතිරූපණය කිරීමක් නැතිනම් සමාජමය පිළිඹුවක් ලෙස සමාජය ආමන්ත්‍රණය කිරීමක් කරනා බව සහ ඒ ඒ නිර්මාණයන්හි ආඛ්‍යාන විධි ආකෘතිමය ලක්ෂණ අන්තර්ගත කරුණු සහ ශිල්පීය හැකියාවන්ගේ වෙනස්කම් සාර්ථක අසාර්ථකතා තිබීම සහ ඉලක්ක ගත ප්‍රේක්ෂාගාරය විවිධ විය හැකි බවයි. 

මෙහිදී අපගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ 70 දශකයේ ජනප්‍රිය සිනමාව තම සිනමා නිර්මාණ තුළින් සමාජ දේශපාලනය කතා කිරීමට ගත් උත්සාහය පිළිබඳ යම් විමසීමක් කිරීමටයි. විදග්ධ සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මතය වන්නේ සහ ඔවුන් සමාජගත කිරීමට උත්සාහ ගනුයේ ජනප්‍රිය සිනමාව යනු ප්‍රේක්ෂකයා හුදු විනෝද අවකාශයක බහා ඔහුව තාවකාලිකව කුල්මත් කර සමාජ ප්‍රශ්නවලින් ඈත්කර තබන ප්‍රතිගාමී මෙවලමක් ලෙසය. එය අර්ධ සත්‍යයකි. එසේ වන්නා වූ කලා කෘති අතර සිනමා නිර්මාණද තිබිය හැක. නමුත් එය සමස්තය නොවේ. තම නිර්මාණයට උචිත ආකාරයට අඩු වැඩි මාත්‍රාවන්ගෙන් තම ප්‍රේක්ෂාගාරය දේශපාලනිකව ආමන්ත්‍රණයට උත්සාහ ගත් නිර්මාණ 70 දශකයේ ජනප්‍රිය සිනමාව තුළ දැක ගත හැකිය.  

“මම ඇත්තට හිස නමන බොරුවට පයින් ගහන පීඩිත ජනතාවගේ හිත මිත්‍රයෙක් ......”

ඇන්තනී සී. පෙරේරාගේ විසිල් සහ අත්පුඩි පාරත් සමඟ ගාමිණී ෆොන්සේකා, සිය කකුල් දෙක ස්ටූලයක් මත තබාගෙන පුටුවක් මත නිදහසේ හිදිමින් සිගරට්ටුවක් ද උරමින් බැප්ටිස් ප්‍රනාන්දුට එලෙස පවසන්නේ ජේ. සෙල්වරත්නම් තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ආරියරත්න කහවිට දෙබස් රචනා කළ ‘හොඳට හොඳයි’ චිත්‍රපටයේය.  

1976 ජේ. සෙල්වරත්නම් සහ ජේ. රාසරත්නම් විසින් අධ්‍යක්ෂණය කළ ආරියරත්න කහවිට දෙබස් රචනා කළ ‘කවුද රජා’ චිත්‍රපටය ‘ආසියාතික’ වලව් මානසිකත්වය හා ප්‍රභූ සමාජයට එරෙහිව නිර්මාණය වූ සිනමා පටයක්.  විලියම් ෂේක්ස්පියර්ගේ The Taming of the Shrew  කෘතිය ආශ්‍රයෙන් එම නමින්ම නිෂ්පාදනය වූ ඉංග්‍රීසි චිත්‍රපටයත් එය ආභාෂයට ගත් 1952 දී නිර්මාණය වූ  Aan හින්දි  සිනමා පටයත්  ඒ ඇසුරෙන් නිපදවූ ‘ෂවාලේ ෂමාලී’ දෙමළ චිත්‍රපටයත් ‘කවුද රජා’ චිත්‍රපටයට බලපා ඇත. එසේම ‘කවුද රජා’ සමාජගත වන්නේ 1977 මැතිවරණයට ඉතාම කිට්ටුව වීමත් විශේෂිතය.

 1971 තරුණ නැගිටීමත් සිරිමාවෝ විසින් තරුණයන් මර්දනය කළ ද ඔවුන්ගේ නැගී සිටීම සමාජයට බලපෑ බව ‘කවුද රජා’හි දෙබස් සහ ගීත තුළින් පිළිඹිඹු වේ. 

“පන්දම් අල්ලා ගත් නම්බූ නාමේ 

මේ කාලේ අවලංගුයි නෝනේ

දුප්පත් අපි රජවරු මේ කාලේ ......”

“තාත්තා තාත්තගේ තත්වේ එකෙකුට ගැහුව නම් මම කවදාවත් අත දාන්න එන්නේ නෑ. පැත්තකට වෙලා බලා ඉන්නව මිසක්. නමුත් තාත්තා හදන්නේ සල්ලිවලින් නම්බුවෙන් හම්බවෙච්ච බලය අතට අරන් අහිංසකයන්ව තලන්න. තාත්තලගේ ඔය තිරිසන් වැඩ නිසා තමයි ලෝකේ සල්ලිකාරයන් කිසිකෙනෙක්ව මනුෂ්‍යයන්ට පෙන්නන්න බැරි............”

1975 ලෙනින් මොරායස් තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ ඉහත දෙබස් මෙන්ම පහත සඳහන් දෙබස් ද බලන්න.

“මේ ගම හැම තැනම වලව්වයි කියල ප්‍රසිද්ධ ගෙදර මහතැනට හිතක් පපුවක් ඇතියි කියල හිතුව. මේ ගෙදර වහල යට හතර කොනේම හැම තැනකම පෙට්ටගම්වල පුරෝල තියෙන්නේ සල්ලි. අතට පයට වැඩකාරයෝ ඕන තරම්. ඒ ඔක්කොම තිබුණත් වැඩක් නෑනේ තාත්තේ එක දෙයක් අඩුයි මනුස්සකම. දුප්පත් එවුන්ගේ දුක වේදනාව තේරුම් ගන්න පු`ඵවන් හිතක් පපුවක් එකෙකුටවත් නෑ. මේකේ මේ ගඳගහන සමාජ ක්‍රමය අපි කවද හරි වෙනස් කරන්න ඕනෙ.......”

ගීත, සටන් සමඟ විනෝදය මුසු වුණු ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට සඳහා මෙවැනි දෙබස් ඇතුළත් කරන්නට එවක සමාජ දේශපාලන පසුබිම බලපා ඇත. වීරයා වීමට ප්‍රධාන සුදුසුකම දුප්පතා වෙනුවෙන් පෙනී සිටීමය. ඒ වෙනුවෙන් සටන් කිරීමය. එස්.ටී. චන්ද්‍රන් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ ‘දුප්පතාගේ හිතවතා’ 1974 දී   එතෙක් කල් දුෂ්ටයා වූ බැප්ටිස් ප්‍රනාන්දු තමන්ම මුදල් වියදම් කර වීරයාට රඟ පෑ චිත්‍රපටයකි.

1977 මහ මැතිවරණය පැවැත් වූවේ ජූලි මස 21 වැනිදාය. ඊට මසකට පමණ පෙර එනම් ජූනි 24 එළිදැක්වූ චිත්‍රපටයකි ‘චිං චිං නෝනා’. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ නායකත්වය යටතේ පැවති මැතිවරණ ප්‍රචාරක සටනේදී ඇයට ප්‍රතිවිරුද්ධ පිළෙන් ‘චිං චිං නෝනා’ට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඹභඡ මැතිවරණ ප්‍රචාරක වේදිකාවල සිරිමාවෝට එරෙහිව නිතර භාවිත කළ උපහාසාත්මක ආමන්ත්‍රණය ‘චිං චිං නෝනා’ය. එසේම එම මැතිවරණය ජේ. ආර්. ප්‍රමුඛ ඹභඡය ජයග්‍රහණය කළ අනතුරුව, පැවති පළමු අයවැයට පසු දින ‘චිං චිං නෝනා ගියා-ටොම් පචයා ආවා-යකඩයා එනවා’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් කොළඹ පුරා ඇලවී තිබුණි. මෙහි චිත්‍රපට තුනක නම් වලින් එනම් ‘චිං චිං නෝනා ’ලෙස සිරිමාවෝ බණ්ඩාරනායකත් ‘ටොම් පචයා’ ලෙස ජේ. ආර්. ජයවර්ධනත් ‘යකඩයා’ ලෙස රෝහණ විජේවීරත් අර්ථගන්වා තිබුණි. ‘චිං චිං නෝනා’ ජේ. සෙල්වරත්නම්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයකි. දෙබස් රචනය ආරියරත්න කහවිටයි. බිරිඳ විසින් නිවසින් පන්නා දමන සැමියෙක් සහ පුතෙකුට රැකවරණය සපයන්නේ විවිධ ජාතීන් නියෝජනය කරන පිරිසක් ජීවත්ව සිටින බෝඩිමක් වැනි නවාතැනක පිරිසකි.  චිත්‍රපටය නිමා වන්නේ ජාතිවාදය දුරුකර එක මලක පෙති ලෙසට ජීවත්විය යුතු බවට අවසන් උපදෙසක් ලෙච්චමී සහ සිද්දි උම්මා යන චරිත දෙක මගින් ප්‍රේක්ෂකයාට ලබා දෙමින්ය. ‘චිං චිං නෝනා’ තිරගත වෙද්දී ඒ සමඟ 1977 නව අගමැති ජනපති දිවුරුම් දීමේ උත්සව අවස්ථාව වාර්තා චිත්‍රපටයක් ලෙස තිරගත කරන ලදී. කෙසේවුවත්, චිත්‍රපටය අවසානයේ ජාතිවාදය පිළිබඳ පණිවිඩයක් දුන්නද ආණ්ඩුව පත් වී මාසයක් තුළ රට පුරා ජාතිවාදී කලබල ඇති විය. ඇඳිරි නීතිය හේතුවෙන් රාත්‍රී දර්ශන අවලංගු විය.

1971 අප්‍රේල් තරුණ අරගලයෙන් මාස තුනකට පමණ පසු එනම් ජූලි 29 වනදා දොරට වැඩි ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය තුළ කියවෙන්නේ  රැකියා විරහිත තරුණයන් හතර දෙනෙක් වටා ගොනු වූ කතාවකි. මන්දිරවලින් ගහණ වූ ඊටත් වඩා පැල්පත් ගහණය වැඩි වූ කොඩිගහ යට නම් වු කොළඹ නගරය තුළ ජීවත්වන මේ තරුණයන් හරිහමන් රැකියාවක් නොමැතිව එදාවේල රැකියාවේ ඉඳහිට නියැලෙන හතර දෙනෙකි. එදා සමාජයේ තරුණයන් මුහුණ පා ඇති රැකියා අර්බුදය සහ දේශපාලන ආර්ථික ගැට`ඵ ‘හතර දෙනාම සූරයෝ’ තුළින් නිරූපිතය.    

“ජනප්‍රිය තලයේ සිනමාපට නිර්මාණය කරන්නෙක් අත නොගසන මට්ටමේ දේශපාලන විවරණයක් ජනප්‍රිය සිනමාව තුළ යම්තාක් දුරකට කතා කරන්නට ඔහු පෙළඹීම විශේෂිතය.”

(ඒ.ඩී.රංජිත් කුමාර, 1973 නොවැ. 11 ‘සරසවිය’) 

“ප්‍රේක්ෂක රුචිය ගැන පර්යේෂණ කරන කිසිවෙකුට මේ සිනමා පටය අමතක කරන්නට බෑ. නගරයේ රැකියා නැති තරුණයන් සතර දෙනෙක් බත් අම්මා කෙනෙක් ළඟ හැදී වැඩීමත් ඔවුන්ට ඉන්පසු මුහුණ පාන්නට වන ගැටුම් හාස්‍ය ජනක විදිහට ඉදිරිපත් කිරීමත් නිසා ප්‍රේක්ෂකයෝ වැඩි වශයෙන් බලන්නට සහභාගී උනා. ඒ චිත්‍රපටයේ නිරූපිත ප්‍රශ්න ජනතාවට සමීපයි. මේ අනුව අපට පෙනී යනවා චිත්‍රපට අධ්‍යක්ෂ ජනතාව සමඟ ගමන් කළ යුතු විත්තිය.” 

- ධර්මසේන පතිරාජ  

ධර්මසේන පතිරාජ ‘පාර දිගේ’ නිර්මාණය කරන ලද්දේ 1980 වසරේදීය. වසන්ත ඔබේසේකර ‘වල්මත්වූවෝ’ නිර්මාණය කරන ලද්දේ 1976 වසරේදීය. නීල් රූපසිංහ ‘හතර දෙනාම සූරයෝ’ නිර්මාණය කරන ලද්දේ 1971 වසරේදීය. වසන්ත ඔබේසේකරගේ ‘වල්මත් වූවෝ’, ‘හතර දෙනාම සූරයෝ’ අනුකරණයක් යැයි නීල් රූපසිංහ කළ ප්‍රකාශයක් සමඟ වසන්ත ඔබේසේකර උරණ විය. 

‘හතර දෙනාම සූරයෝ’ නීල් රූපසිංහගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වූ අතර පළමු සිනමා පටය වූවේ 1970 නිර්මාණය කළ ‘දැන් මතකද’ සිනමා පටයයි. ඒ තුළද නියෝජනය වූවේ රැකියා විරහිත තරුණ ගැටලුවමය. එහි සිටින්නේද තරුණයන් තිදෙනෙකි. සිනමා පටය අවසානයේ මොවුන් තිදෙනා නිවසක හිමිකරුවන් බවට පත් වේ. එක් තරුණයෙක් එම නිවසින් පිට වන්නේ තමන්ගේ පෙර දිවියේ අනෙක් මිත්‍රයන් වෙතයි. ඒ ඔවුන් සමඟ විසීමටයි. එහිදී පාරේ තිබෙන ටින් එකකට පයින් ගසයි.   

“හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

කිසි වාසියක් නෑ හාමතෙයි 

නැත්නම් අතේ සල්ලී

කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලී

අපි කයිවාරු නෑ මල්ලී

අපේ පාටිය පිරිමි පාටියයි 

අපි චන්දෙ දෙන්නේ වාසියටයි 

කොයි කාගේ ආණ්ඩුවත් අපට එකයි 

අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි

නැතිබැරි එකා තල්ලු වෙනවා 

පු`ඵවන් මිනිහා හිනහා වෙනවා

වැටි වැටි වුණත් නැගිටිනවා 

මගේ බලෙත් මං පෙන්වනවා”

70 ජනප්‍රිය සිනමාව දේශපාලනය සිය නිර්මාණයන්ට ඇතුළත් කර ගත්තේ දැනුවත්වද නොදැනුවත්වද නැත්නම් කටගැස්මක් විදියටද යන්නට වඩා අපට වැදගත් වන්නේ විනෝදාස්වාදය රැකගනිමින් ඔවුන්  එදා පැවැති සමාජ දේශපාලන තත්වය සිය නිර්මාණයන්ට ග්‍රහණය කරගන්නට යෙදූ උත්සාහය පිළිබඳවය. එදා ඒ කරුණු සාකච්ඡාවට නොගැනීම ලාංකීය ජනප්‍රිය සිනමාවේ ඛේදවාචකයක් නොවේදැයි කල්පනාවෙන් ඒ සිනමා කෘති වර්තමානයේදීවත් ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට බඳුන් කිරීමයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?