රුදුරු යුධ බිමක ප්‍රේමයේ පණිවිඩකාරිය - Ayla, The Daughter of War

සමාජ වෙනසක් වෙනුවෙන් කලාව භාවිතාවන ආකාරය, කලාව තුළ දේශපාලනය ආදී නොයෙකුත් මාතෘකා පිළිබඳ අප කලින් කලට සාකච්ඡා කරනවා. ඒ සියල්ල එසේ පැවතියදී ඉතිහාසය පුරා බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් කලාව භාවිතා වුණා. විශේෂයෙන්ම හොලිවුඩ් වැනි ලෝක ප්‍රසිද්ධ සිනමා කර්මාන්තයන් තුළ මේ කාරණය ප්‍රබලව භාවිත වුණා. ප්‍රධාන කතාංගය පසුබිමින් තමන්ට සමාජය තුළ තහවුරු කරන්නට අවැසි මතවාදයන් ඇතුලත් කෙරුණා. යුධ සමයන් තුළ එම යුද්ධයට අවශ්‍ය මානසිකත්වය සමාජය තුළ ගොඩනගන්නට සිනමාව ප්‍රබලව භාවිතා වුණා. ඒ අනුව හමුදා සේවයට බැදීම වීරත්වය වෙත ඔසවා තැබීමක් වුණා. මෙරට තුළද මේ කාරණය අපට හඳුනාගත හැකියි. සෑම විටම මෙම නිර්මාණයන් තුළ තමන්ගේ කඳවුර වීරයන් ලෙසත් සතුරු කඳවුර දුෂ්ඨයන් ලෙසත් රූපාන්තරණය වුණා. තමන්ගේ කඳවුරේ හමුදා සෙබලුන්ගේ මානුෂිකත්වය, දක්ෂතාව පිළිබඳ වර්ණනා කරන අතරම සතුරන් අතින් සිදුවන යුධ අපරාධ වැනි දෑ ඉතා සංවේදීව නිරූපණය කරන්නට වුණා. වියට්නාම් යුද්ධය වැනි ඇමරිකාව ප්‍රමුඛ කඳවුරට ඉතිහාසගත පරාජයක් ගෙන දුන් අපකීර්තිමත් යුද්ධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අමෙරිකාවට යුධ අපරාධ සම්බන්ධයෙන් පවා චෝදනා එල්ලවුණ අවස්ථාවල නිශ්චිතව ඇ...