Song Zone- සැමදාම අඬලා

 


ගායනය - එම්.එස් ප්‍රනාන්දු, දයානි සේනාරත්න 

සංගීතය හා තනුව ආර් ඒ චන්ද්‍රසේන

මේ පාර අපි ආයෙමත් පරණ සින්දුවක් ගැන කතා කරන්න තීරණය කළා. එම්.එස්.ගෙ ඉතා ම ජනප්‍රිය සින්දු ගොඩේ නිතර ඇහෙන්නෙ නැති සින්දුවක් වුණාට මේක රහ සින්දුවක්.

සින්දුව ගායනා වෙන්නෙ ‘ඩුවට්’ එකක් විදියට. හැබැයි සාමාන්‍ය යුගල ගීයක දි හම්බ වෙන පෙම්වතී - පෙම්වතා කියන සම්භාෂකයන් දෙන්නා වෙනුවට මේ සින්දුවෙ දි ශ්‍රාවකයා ඉස්සරහට එන්නෙ වෙනස් දෙන්නෙක්. ඒ තමයි රසිකාවිය - ගායකයා කියන යුගල ය.

ඒ වගේ ම මේ රසිකාවිය යි ගායකය යි අයිති වෙන්නෙ ගුවන් විදුලි යුගයට; ග්‍රැමෆෝන් යුගයට; අද වගේ ගායකයාගෙ ශරීරය රසිකාවියට සුලබව දැක ගන්න නො ලැබෙන කාලයකට. ඒ අර්ථයෙන් සැලකුවොත් මේ සින්දුවෙ එන සමහර පද අද දවසට ඒ විදියට ම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්.

“ඔබ කවුද කියලා නැත තාම දැකලා

ඔබෙ ගීතෙ මගෙ ජීවිතේ”

මේ,  අද වගේ දවසක මේ සින්දුව කළා නම් බොහෝ විට ලියවෙන්නෙ නැති උද්ධෘතයක්. මොකද, අද වෙනකොට ගායකයාව අවශ්‍ය නම් නිරුවතින් වුණත් බලා ගන්න තරමට තාක්ෂණය දියුණු(උත්ප්‍රාසයක් ද සහිතව) වෙලා. සමහර ගායකයො නම් එයාලා විසින් ම නිරුවත් වෙලා.

ගායකයාගෙ ශරීරය එහෙම නිතර දැක බලා ගන්න නො ලැබුණු කාලෙක ජීවත් වෙන මේ සින්දුවෙ එන රසිකාව කියන්නෙ, එයාගෙ ජීවිතය බවට ඔහුගේ සින්දු පත් වී ඇති බව යි. ඒක යම් ආකාරයක වසඟයක් කියලා කියන්නත් අපට පුළුවන්. පදවල විතරක් නෙවෙයි විශේෂයෙන් ම රසිකාව විදියට ගයන ගායිකාවගේ ගැයුමෙත් ඒ වසඟකාරී බව ඇතුළත් වෙලා තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒ කටහඬ ඇහෙන්න පටන් ගන්න පළමු නිමේෂයේ ඉඳලා ම ඒ වසඟකාරී බව දැනෙන්න ගන්නවා. ඒ අතින් ගත්ත ම ඒ ගායනය සිංහල සින්දු අතර මේ වෙනකං ඇහිච්ච සුදුර්ලභ ම ගැයීමක් කියලා කියන්න පුළුවන්.

මේ අතරෙ ගායකයා මේ රසිකාවට දක්වන ප්‍රතිචාරය, සාහිත්‍ය - කලා ලෝකය ගැන වගේ ම ප්‍රේමය ගැනත් වැදගත් දාර්ශනික සාකච්ඡාවක් ගොඩනඟනවා.

සාහිත්‍ය - කලා ලෝකයට අදාළව ගායකයා පෙන්වා දෙන සත්‍ය වෙන්නේ ‘කෘතිය’ කියන්නෙ ‘කලාකරුවා’ නෙවෙයි කියන එක; ‘කෘතිය දිහා බලලා කලාකරුවා විනිශ්චය කරන්න යන්න එපා’ කියන එක. කලාකරුවා භෞතිකව පෙනෙන්න නැති තත්වයක් ඇතුළෙ මේ පටලවා ගැනීම සෑහෙන්න වෙනවා. අදට සාපේක්ෂව ගායකයන්ට, කවීන්ට ඒ දවස්වල රසිකයන් රැවටුණු ප්‍රමාණය වැඩි වුණේ ඒක යි. සමහර කලාකරුවන් කියා ගත්ත අය කලාවේ නිරත වුණේ ම ගෑනු අමාරුවෙ දාන්න කියලා කියන්න පුළුවන්.

ඒ අතින් ගත්ත ම මේ සින්දුවෙ නිරූපණය වෙන ගායකයා එහෙම කෙනෙක් නෙවෙයි :

“මම ගීත කොවුලා රස ගීත ගයලා

නළවන්නෙ පෙම් ලෝකය යි

දුර දිග නොබලා ආදරෙ හිතිලා

රැවටෙන්නෙ ඇයි මේ ළමයි”

එහෙම ගත්ත ම මේ ගැයුමෙ එදා පැවති විනෝද කර්මාන්තය ගැන දැඩි විරෝධයක් ගැබ් වෙලා තියෙනවා කියලත් කියන්න පුළුවන්. අද මහ ඉහළින් අතීතය වර්ණනා කළාට කලාවේ නාමයෙන් ඒ දවස්වල සිදු වෙච්ච අපරාධ ගැන මේ වගේ සින්දුවලින් හෙළි වෙන එක නවත්තන්නත් බෑ. එහෙම තමයි සමාජ යථාර්ථය කෘතිය තුළට රිංගා එන්නෙ.

ඒ නිසා කටහඬ එම්.එස්.ගෙ වුණාට කලාව සම්බන්ධයෙන් මේ සින්දුවෙන්  ඇහෙන්නෙ රෝලන්ඩ් බාර්තගෙ අදහස්: Author is Dead (කතුවරයාගේ මරණය)

ප්‍රේමය පැත්තෙන් ගත්තම මේ ගායකයා රසිකාවට දෙන උපදේශ කීපයක් තියෙනවා. ඒ අතරෙ ආදරය ගැන කියැවෙන සෑහෙන ඉදිරිගාමී අදහසක් විදියට පහත ඉදිරිපත් කිරීම දක්වන්න ඕන.

“වේදනා ඉවසන්න දුක් කඳුළු වගුරන්න 

සිදු වේවි පෙම් ලෝකයේ

ඒ සෝක දරා ඉන්න හැකි වේද දැන ගන්න

දෙමි සහය සංගීතයේ”

ප්‍රේමය සාමාන්‍යයෙන් වර නැගෙන්නෙ ප්‍රීතිමය විෂයයක් විදියට තමයි. ඒ වුණාට ඒ ප්‍රීතිමය බව නිෂ්පාදනය කර ගත යුත්තක්.

ඒ ප්‍රීතිමය බව නිෂ්පාදනය කර ගැනීම සඳහා වේදනා දුක් කන්දක් ඉවසා දරා ගැනීමට පෙම්වතුන්ට සිදු වෙනවා. එහෙම ඉවසන්න අකමැති, සරල සුවපහසු ක්ෂණික ප්‍රේමයක් බලාපොරොත්තු වෙන කිසිවෙකුට සැබෑ ප්‍රේමයක් හමු වෙන්නෙ නෑ. සැබෑ ප්‍රේමය හමු වෙන්නෙ කල් පවත්නා ලෙස දරා ගැනීම තුළ මුණ ගැසෙන පළමු නිමේෂයේ නොවෙයි.

ඒ අර්ථයෙන් ගත්ත ම කටහඬ එම්.එස්.ගෙ වුණාට ප්‍රේමය ගැන මේ සින්දුවෙන් ඇහෙන්නෙ ඇලන් බදියුගෙ අදහස්:

“ප්‍රේමය යනු ලෙහෙසියෙන් අත් නො හරින වික්‍රමයක් බව අපට කිව හැකියි. මෙහි වික්‍රමාන්විත පාර්ශ්වය වැදගත් නමුත් ලෙහෙසියෙන් අත් නො හැරීමත් ඒ තරම් ම වැදගත්. පළමු වෙනි බාධකයේ දී, පළමු වෙනි බරපතළ විසංවාදයේ දී, පළමුවෙනි රණ්ඩුවේ දී  අතහැරීම යනු ප්‍රේමය විකෘති කිරීමක්. සැබෑ ප්‍රේමය යනු කාල අවකාශය සහ ලෝකය විසින් ගොඩනංවනු ලබන බාධකයන් හමුවේ සමහර විට වේදනාකාරීව වුව කල් පවත්නා ලෙස විජයග්‍රාහී වීම යි”

මේ සියල්ල අතරෙ මේ සින්දුවෙ අපිට හමු වෙන රසිකාව ගැන වෙන පැත්තකිනුත් කතා කරන්න ඕන කියලා අපිට හිතෙනවා. ඇය මේ ගායකයගෙ සින්දුවලට මිසක් මේ ගායකයා හිතා ගෙන ඉන්න විදියට එයාට වසඟ වෙච්ච බවක් පේන්නෙ නෑ කියන එක තමයි ඒ.  ‘ගායකයා හිතා ගෙන ඉන්න විදියෙ බොළඳ රසිකාවක් නෙවෙයි තමන්’ කියන මැසේජ් එක මේ සින්දුවෙ දි ඇය දෙනවා. ‘ඒ මේ අත සැරිසැරුවට ඇය මුලා වී නැති බව’ එයා කියනවා.

‘ඒ මේ අත සැරිසනවා’ කියන කාරණය ගත්තත් අපි දකින්න ලංකාවෙ ගෑනු හඬකින් අහන්න ටිකක් අමාරු කතාවක්. ලංකාවෙ සිංහල බෞද්ධ ගැහැනු ගොඩක් කැමති තමන් බොහොම සිල්වත්, සංවර විනීත කෙනෙක් කියලා ඔප්පු කරන්න. ‘ඒ මේ අත සැරිසනවා’ වගේ යෙදුමක් අපේ වගේ රටක ස්ථානගත වෙන්න ඉඩ තියෙන්නෙ නිකං ‘වටේ යනවා’‍ වගේ අර්ථයකින්. ඒ වුණාට මේ සින්දුවෙ දි ඇය බය නැතුව කියනවා තමන් ඒ මේ අත සැරිසනවා කියලා. ඒක අපේ වගේ රටක ගෑනියෙකුට කියන්න පුළුවන් උදාන ගීයක්.

ඒ වගේ ම තමයි ගායකයා ‘රැවටෙන්නෙ ඇයි මේ ළමයි?’ කියලා අහන ප්‍රශ්නෙට ඇය පිළිතුරු දෙන්නෙ ‘නැත නැත මං වී මුලා’‍ කියලා. ඒ මේ අත සැරිසැරීම නිකන් වටේ යාමක් නො වන බව හොඳින් ම ඒත්තු යන්නෙ මේ ප්‍රකශයෙන්. ‘මං මුලා නො වී ඒ මේ අත සැරිසරන්න’ තරුණියකට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින මේ සින්දුව වෙන විදියකට මේ පෙනී හිටින්නෙ ගැහැනුන්ට මෙතෙක් ‘අහිමි කළ නිදහස’ වෙනුවෙන්.

සින්දුව පරණ වුණාට අපි ගොඩක් අහලා නැති වුණාට වැඩේ රහ යි කියලා කිව්වෙ මෙන්න මේ නිසා. එම්.එස්. නිකන් ම බයිලා ගායකයෙක් කියලා හංවඩු ගහපු ගුවන් විදුලි සංස්ථාවට මේ සින්දුව පොඩ්ඩක් අහන්න කියලා අපි කියනවා.


සැමදාම අඬලා දුක් කඳුළු පෙරලා

සැරිසරමි ඒ මේ අතේ

ඔබ කවුද කියලා නැත තාම දැකලා

ඔබෙ ගීතෙ මගෙ ජීවිතේ


මම ගීත කොවුලා රස ගීත ගයලා

නළවන්නෙ පෙම් ලෝකයයි

දුර දිග නොබලා ආදරෙ සිතිලා

රැවටෙන්නෙ ඇයි මේ ළමයි


උඩුගුවනෙ නිල් අඹරෙ සේදවලාවන් අතරෙ

ඔබෙ ගීතෙ යයි පාවෙලා

ඒ ගීතෙ රස දහරෙ මගේ ජීවිතෙ අහරෙ

නැත නැත මං වී'මුලා

සැරිසරමි ඒ මේ අතේ 

ඔබෙ ගීතෙ මගෙ‍ ජීවිතේ


ආලයයි ආදරය පිළිගත්තු ආහරය 

පෙම් ලොවට පුන් සඳ වගේ

ප්‍රේමවන්තයෝ නිතර 

පෙම්වතියො සනසවන

ලියගොමුව වේ සංගීතෙ

මම නළවන්නෙ පෙම් ලෝකයයි 

රැවටෙන්නෙ ඇයි මේ ළමයි


පෙම් ගීත අහගන්න පෙම්ලොවට පිවිසෙන්න

රන් දොර සංගීතයයි

ඒ මිහිර ලැබ ගන්න ඉන් ප්‍රීති වී'ඉන්න

මග සැදුවෙ ඔබෙ ගීතයයි

සැරිසරමි ඒ මේ අතේ

ඔබෙ ගීතෙ මගේ ජීවිත‍f


වේදනා ඉවසන්න දුක් කඳ්‍රළු වගුරන්න

සිදුවේවි පෙම් ලෝකයේ

මේ සෝක දරා ඉන්න හැකිවේද දැනගන්න 

දෙමි සහය සංගීතයේ

මම නළවන්නෙ පෙම් ලෝකයයි 

රැවටෙන්නෙ ඇයි මේ ළමයි


සැමදාම අඬලා දුක් කඳුළු පෙරලා

සැරිසරමි ඒ මේ අතේ

දුර දිග නොබලා ආදරය 

රැවටෙන්නෙ ඇයි මේ ළමයි

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?