Song Zone - "සින්දු කියලා අපි හොයා ගත්තු සල්ලි"
ගායනය/පද/සංගීතය සීදුව සකුරා
ලංකාවෙ කණ්ඩායම් සංගීතය කියපු ගමන් මතක් වෙන නම් අතරෙ La Ceylonians, Los Cabelleros, The Moon Stones, Sunflowers, Gypsies, Mariens, Flash Back වගේ නම් ඉහළින් ම කියවෙනවා. මේ කියපු නම් තියෙන සංගීත කණ්ඩායම් ඔක්කොම 1990 වෙනකොට බිහි වෙලා අවසන්; සමහර සංගීත කණ්ඩායම් බිහි වෙලා, අවසන් වෙලත් අවසන්.
1991 මාර්තු පළමු වෙනි දා මේ සංගීත කණ්ඩායම් අතරට එන්න අලුත් සංගීත කණ්ඩායමක් බිහි වෙනවා. ඒ තමයි ‘සීදූව සකුරා’. මේ කොළම ලියන ලේඛකයා වයස අවුරුදු එකළොහක දොළහක කුඩා කොලු ගැටයෙකු විදියට ඒගොල්ලන්ගෙ මුල් ම කාලෙ ෂෝ බලල තියෙනවා. හැබැයි ඒ ගොල්ලො ඊට පස්සෙ ගොඩක් ජනප්‍රිය වුණේ කොළඹින් බැහැර ග්‍රාමීය පැතිවල.
අද අපි කතා කරන්නෙ අන්න ඒ සකුරා අදින් අවුරුදු 9කට විතර කලින් කරපු සින්දුවක් ගැන. මේ සින්දුව ගැන ලියන්න ඕන කියලා හිතෙන්න බලපාපු එක කාරණයක් තමයි ඒක.
ඒ කියන්නෙ මීට අවුරුදු 9කට කලින් කරපු සින්දුවක පවා අද දවසේ ලංකාවෙ සමාජයට අදාළ චිත්‍රය ම සටහන් වෙලා තියෙන එක. ඒක අපි දකින්නෙ අවුරුදු 9කට කලින් සකුරා අද දවස පරිකල්පනය කිරීමක් විදියට නෙවෙයි. ඒගොල්ලො කරන්නෙ හුදෙක් ම එදා ඒගොල්ලො ජීවත් වෙන සමාජය ගැන කියන එක. වැඩේ කියන්නෙ එදත්, අද අපි ලංකාවෙ මුහුණ දෙන සමාජ ආර්ථික අර්බුද ටිකට ම මුහුණ දීලා තියෙනවා.
යළි පිපෙන්නට වෙර දරන පොහොට්ටුවේ නායකයො, අද අපි පත් වෙලා තියෙන අර්බුදයේ වගකීම යහපාලන ආණ්ඩුවට දිගු කරලා තියෙන වෙලාවක මේ සින්දුව ගැන කතා කරන එක අතිශය දේශපාලනික වැඩක් කියලා අපිට හිතෙනවා. අවුරුදු 9කට කලින් කියන්නෙ 2004 අවුරුද්දට කියලා ගණං හදා ගන්න පුළුවන් අයට මේ සින්දුවෙ තියෙන සමාජ විද්‍යාත්මක වැදගත්කම අවබෝධ වෙන්න ඕන.
1881 ෆෙඩ්‍රික් එංගල්ස්, හාක්නස් මෙනෙවියට ලියපු ලිපියක තියෙනවා මෙහෙම;
“කතුවරයාගේ හිතමිත්‍ර පක්ෂපාතීකම් කවරක් වුව ද කතුවරයා දැන හෝ නො දැන සමාජ යථාර්ථය කෘතිය තුළට නිරුත්සාහිකව ම රිංගා එනු ඇත.”
එංගල්ස් කියන මේ කාරණය තේරුම් ගන්න ආදර්ශ නිර්මාණයක් විදියට අපිට මේ සින්දුව භාවිත කරන්න පුළුවන්. 2020ට කලින් අපි මීට වඩා සැපට හිටියා නේද, කියලා හිතුණට, අන්න ඒ අතීතකාමයෙන් මිදෙන්න මේ සින්දුව උදව් කරනවා. බලද්දි මීට අවුරුදු 9කට කලිනුත් අපි මේ අසහනය ම භුක්ති විඳලා තියෙනවා. හැබැයි අවුරුදු 9ක් ගිහිල්ලත් අපි, සමාජයක් විදියට මේ සමාජ ක්‍රමය වෙනස් කර ගන්න අසමත් වෙලා.
අනෙක් කාරණය තමයි මේ සින්දුව ඇතුළෙ නව ලිබරල් ආර්ථිකය යි කලාව යි - විශේෂයෙන් ම සංගීතය යි එකිනෙකට සතුරු අන්තයන් දෙකකට ධ්‍රැවීකරණය වෙන හැටි ගැන සටහන් වෙලා තියෙන එක. සංගීතය, කලාවක මුහුණුවරින් ව්‍යාපාරික මුහුණුවරක පැත්තට මාරු වීම නිසා ඇති වෙච්ච කලබගෑනිය ගැන ගොඩක් සින්දු කියවිලා, ලියවිලා නෑ.
සංගීතකාරයෙකුගෙ, එහෙම නැත්නම් සංගීත කණ්ඩායමක නිර්මාණ ජීවිතය ගැන විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතය ගැන පවා තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න බැරි වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන හැටි ගැන කතාවක් මේ සින්දුවෙ තියෙනවා.
සංගීතයට සංග්‍රහ කරනව වෙනුවට ලංකාවෙ සින්දුවක් කරන්න නම් කරන්න ඕන දේවල්වල ලැයිස්තුවක් මේ සින්දුවෙ තියෙනවා. ඒ ‘දොළ පිදේනි ටික දී ගන්න බැරි වෙච්ච මියුසික් උණ තියෙන කොල්ලෙක්ගෙ ආවේගය’ තමයි මේ සින්දුවෙන් පිට වෙන්නෙ.
තමන්ගෙ සංගීත හීනය සැබෑවක් කර ගන්න බැරුව පවුලෙ මිනිස්සු ඉස්සරහත් පීචං වෙන්න සිද්ද වෙලා තියෙන මේ තරුණයා ඉන්නෙ අතෘප්තිකර මනෝභාවයක. ඒ අතෘප්තිය කියන්නෙ පරිපූර්ණත්වය සොයා ගෙන යන්න බල කරන අතෘප්තියක් නෙවෙයි. මේ කියන අතෘප්තිය නතර වෙන්න ඉඩ තියෙන්නෙ සියදිවි නසා ගැනීම වගේ එකකින්. සංගීත සංදර්ශන සංවිධායකයන්ගෙ ඉඳලා තමන්ගෙ රසිකාවියන් දක්වා බැණ වදින, බීලා ගෝරි දා ගෙන වැනි වැනි ගෙදර එන, බිරියගෙන් බැණුම් අහන සංගීතකාරයෙක්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරු යි.
සින්දුව පුරා ම ඇහෙන්න ලැබෙන පොඩි ඩිප්‍රෙෂන් ගතියෙන් ඒ හැඟීම තව ටිකක් තීව්‍ර කරනව. අර අපිට සාමාන්‍යයෙන් ඇහෙන්න ලැබෙන ස්ථායි කොටස යි අන්තරා කොටස් දෙක යි තියෙන සාමාන්‍ය විධිමත් සින්දුව වෙනුවට මේකෙ දි ඇහෙන්නෙ සෑහෙන අසංවිධානාත්මක ගීතයක්. සමහර පදවලට නිශ්චිත අර්ථයක් පවා නෑ. ඒ වගේ තියෙන්නෙ ඔහේ කියවන ගතියක්.
රස්තියාදු වචන, ඉංග්‍රීසි වචන, ෆීල්ඩ් එකේ උපවහර එක්ක කලවම් වෙලා අපි අහලා තියෙන සමහර පරණ සින්දුවල වචන කණපිට ගහලා අපිට මේ සින්දුවෙ දි ඇහෙනවා. ගායන විලාසෙත් එහෙම කලවමක් තියෙනවා. රොක් ගතියක් එක්ක රැප් ටයිප් එකත් මේකෙ දි භාවිත වෙනවා. අන්තිම කොටසට එද්දි ෆ්‍රෙඩී සිල්වාගෙ ටෝන් එකත් එක්ක මෙච්චර වෙලා සින්දුව ගලාගෙන ගිය රිද්මවලට හාත්පසින් වෙනස් තාලෙකට සින්දුව මාරු වෙනවා. සින්දුව කියන්න කට යි උගුර යි දෙක ම පාවිච්චි වෙනවා.
ඒ කියන්නෙ කථකයාගෙ ජීවිතේ තියෙන ජෑම් ගතිය සින්දුව පුරා ම දකින්න ලැබෙනවා. ඒ වුණාට ඒ ඔක්කොම එක්ක සීදුව සකුරාටත් මිදෙන්න බැරි යුගයේ අවිඤ්ඤාණක ආශාව දන්නෙ ම නැතුව මේ සින්දුවෙන් එළියට එනවා.
අතේ සතේ නෙවෙයි හිතේ සතුට තමයි වැදගත් කියලා කියවුණාට ප්‍රාඩෝ, පැජරෝ අහිමි වීමේ වේදනාව මේ සින්දුවෙන් ඇහෙන්නෙ ඒක නිසා. ඒක හොඳට ම ඇහෙන තැන තමයි මේ;
“වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්”
ඇත්තට ම හිතේ සතුට වෙනුවෙන් මියුසික් කරන එකෙකුට මෙහෙම පැරඩොක්ස් එන්න බෑ. සංගීතය, ව්‍යාපාරයක් බවට පත් වීමට එරෙහි වෙන සින්දුවක ම කථකයා සංගීත නිර්මාණ කරලා පතන්නෙ ‘දියුණු’ වෙන එක නේද, කියලා දැනෙන කොට, ආයෙමත් අපට මින් පෙර කිව්ව එංගල්ස්ගෙ උද්ධෘතය මතක් වෙන එක වළක්වන්නත් බෑ.
සිංදු කියලා අපි හොයා ගත්තු සල්ලි
අද කුඩු වෙනවා මල්ලි
පං මල්ලට දා ගත් පොඩි බඩු කෑලි
ඇයි මිල වැඩි මුදලාලි
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගි
හිටියට අපි හිට් වී
සංගීතෙන් අපි හොදටම නසරානී
මේ කලාවේ හැටි
ආර්ථිකේ හරි දරුණුයි
අපේ අතමිට දැන් නම් ෆුල් සුද්දයි
රජයත් බඩු මිල උස්සයි
අපේ ගෙදර ගෑනී මට පුප්පයි
පොලියට ගෙන විශුවල් කෙරුවයි
ස්පොන්සව කපලා ටීවි එකේ යයි
කම්පැනියෙන් ගේමක් ඇද්දයි
අපි එයින් බේරුනේ වැද වැටිලයි
ඩී එන් ඒ ට්‍රැක් එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
එෆ් එම් වල රශ් එක බෝමයි
එකෙන්නම් දිගටම ප්ලේ වෙයි
කපන මණ්ඩලෙන් සිංදු කැපිලා යයි
අන්තිමේදි ඒ ෆෙස්බුක් විතරයි
සිංදු කියලා අපි...
මැටිත් නෙවේ සිටිත් නෙවේ මේක අපේ හැටි
විසිල් පාටි ඉතුරු අපිට කරපිංචා නැටි
ෆන්කි ලයිෆ් ඒත් ගමන් කරන්නේ වැටි වැටී
අපි වේලයි එක වේලයි වේලයි සම්බෝලයි රොටී
රෑ උනාම සාද පුංචි පුංචි පුතා බෝල නෑනේ
බොරු ආගම් බේද එන්න පුල්ලේ කිනම් පාද
සුකුරුත්තං මාල වලලු තෝඩු හවඩි අත කනකර
කරකුට්ටං රෑට වැනිලා එද්දි මල්ලි ගෝරී
කුඩුපට්ටං ලෑලි ගෙදර නැ බොල මට බොන්ඩ වතුර
සංගීතෙන් ඉතුරු කරේ තුට්ටු දෙකයි කන්ඩ නැතුව
කෝම කලත් මේ කලාව අත් හරින්ඩ බෑ
අතේ සතේ නෙවෙයි හිතේ සතුට කියලා වැඩක් නෑ
සිංදු කියලා අපි...
දැම්මත් අපි ලොකු සද්දේ
අපේ ගෙවල් වලින් යම යුද්දේ
අපේ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නැ මේ මට පෙම් බැන්දේ
ප්‍රාඩෝ පෙජරෝ නම් නෑනේ
අපි පාරේ ටැක්සිවල යන්නේ
මෙහෙමයි කොන්සට්වල වෙන්නේ
බට් ඔර්ගනයිසර් පොලු තිබ්බේ
අපි කාටද මේක කියන්නේ
දෙයියෝ ඇයිද අපිව නොබලන්නේ
අපි හිතේ දුකට සෙට් වෙන්නේ
රෑ වැනි වැනි ගෙදරට එන්නේ
ලංකාවේ මියුසික් පල් පට්ටයි
මට නම් මේ හැම දැන් තිත්තයි
බලදාරිය නම් කියවයි
අන්තිමේදි නැති වෙන්නේ සංගීතෙයි
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්ඩ ඕනෑ නම් //
සිංදු නම් එපා//
සිංදු නම් එපා කෝම කෝම හරි කරපල්ලා බං බිස්නස්!
Comments
Post a Comment